Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පසුම්බිය හිස් කර ගන්නට යා යුතු අවන්හල් දහයක්

ඉතා සුළු වැටුපක් ලබන, එම වැටුපෙන් සිය අවශ්‍යතා සියල්ල සපුරා ගැනීම සඳහා විශාල අරගලයක යෙදෙන පුද්ගලයන් මෙන්ම එක් ආහාර වේලක් සඳහා පමණක් ලක්ෂ ගණනින් මුදල් වියදම් කළ හැකි පුද්ගලයන් ද සිටී. එවැනි තැනැත්තන්ට පමණක් වෙන් වූ අති සුඛෝපභෝගි අවන්හල් ගණනාවක් ලෝකයේ විවිධ රටවල පිහිටා තිබේ.

ලොව වටා පිහිටි එවැනි අවන්හල් කිහිපයක් පිළිබඳව මේ ලිපියෙන් විමසා බලමු.

1. සබ්ලිමෝෂන් (Sublimotion)/ ස්පාඤ්ඤය

ලොව මිල අධික ම අවන්හල ලෙස සැලකෙන මෙම අවන්හලෙන් ආහාර වේලක් ලබා ගැනීමට එක් අයෙක් වැය කළ යුතු මුදල අමෙරිකා ඩොලර් 2,380 (රු. 866,000)කි. ග්‍රීස්ම සෘතුව ඉලක්ක කර ගෙන ක්‍රියාත්මක වන මෙය විවෘත ව පවතින්නේ සෑම වසරක ම ජූනි 1 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනි දා දක්වා පමණි.

“Paco Roncero” යටතේ අවන්හල ක්‍රියාත්මක වන අතර එහි සිටින සේවකයන් සංඛ්‍යාව 25කි. මෙහි පැමිණෙන අමුත්තන්ට පැය තුනක කාලයක් එහි රැඳී සිටිය හැකි අතර එම කාලය ඇතුළත ඔවුන්ට ආහාරපාන වර්ග ගණනාවක් රස විඳීමට අවස්ථාව ලැබේ. මෙම අවන්හලේ ආසන වෙන් කර ගත් පසු ලැබෙන ප්‍රවේශ පත්‍රය ද ආහාරයට ගත හැක්කක් වීම විශේෂත්වයකි.

සබ්ලිමෝෂන් (Sublimotion) – www.grubstreet.com

2. ප(ර්) සේ (Per se)/ එක්සත් ජනපදය

එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටා ඇති මෙම අවන්හල ලොව දෙවැනි මිල අධික ම අවන්හල ලෙස සැලැකේ. 2004 දී ආරම්භ කළ මෙහි ප්‍රංශ සහ අමෙරිකානු සූපවේදය අනුව සකස් කළ ආහාරපාන වර්ග ගණනාවක් තිබේ.

මෙහි මෙනුපත් තුනක් ක්‍රියාත්මක වන අතර එකිනෙකට වෙනස් වයින් වර්ග මිල දී ගැනීමට ද එහි එන අමුත්තන්ට හැකි ය. මේස 19කින් සමන්විත අවන්හලේ සාමාන්‍ය ආහාරවේලක් ගැනීමට එක් අයෙක් ආසන්න වශයෙන් වැය කළ යුතු මුදල අමෙරිකා ඩොලර් 680 (රු. 248,000)කි.

ප(ර්) සේ (Per se) – www.boston.com

3. ගයි සැවෝයි (Guy Savoy)/ ප්‍රංශය

ගයි සැවෝයි අවන්හලට එහි හිමිකරුගේ නම යොදා ඇති අතර ඔහුට අයත් තවත් අවන්හලක් එක්සත් ජනපදයේ “Las Vegas” හි පිහිටා ඇත. මෙහි අලෙවි කරන ආහාරවලින් බොහොමයක් මස් වර්ග යොදා ගෙන පිළියෙළ කරන ඒවා වේ.

අවන්හලට පැමිණෙන එක් පුද්ගලයෙක් ආසන්න වශයෙන් වැය කළ යුතු මුදල අමෙරිකා ඩොලර් 630 (රු. 230,000) කි. තාරා සහ පරෙවි මස් සහ බෙල්ලන් සහ පොකිරිස්සන් යොදා ගෙන සකස් කළ ආහාර මෙම අවන්හලේ බහුල ව දැකිය හැකි ය. මෙහි සේවකයන් පුහුණු කිරීම, එහි හිමිකරු තනිව ම සිදු කිරීම සුවිශේෂී කරුණකි.

ගයි සැවෝයි (Guy Savoy) – www.theworlds50best.com

4. මැසා (Masa)/ එක්සත් ජනපදය

මැසා ටකයාමා නම් ජපන් ජාතික සූපවේදියාට අයත් මෙම අවන්හල එක්සත් ජනපදයේ ඇති ඉහළ පෙළේ අවන්හල් අතර ඉදිරියෙන් ම පසු වේ. ජපානයේ ප්‍රචලිත සුෂී සහ ඒ ආශ්‍රිත ආහාර පමණක් අලෙවි කිරීම මෙම අවන්හලේ ඇති විශේෂත්වයකි.

මැසා (Masa)/ එක්සත් ජනපදය – wealthygorilla.com

මෙහි මෙනුපතක් ක්‍රියාත්මක නොවන අතර සූපවේදියෝ ඔවුන්ට සිතැඟි පරිදි එකිනෙකට වෙනස් ආහාරපාන පිළියෙළ කරති.

මෙහි ආසන වෙන් කරවා ගැනීම සති කිහිපයකට පෙර කළ යුතු බව පැවැසේ. මෙහි ආහාර ගන්නා එක් පුද්ගලයෙක් ආසන වශයෙන් වැය කළ යුතු මුදල අමෙරිකා ඩොලර් 600 (රු. 219,000)කි.

මැසා ටකයාමා – www.grubstreet.com

5. අල්ට්‍රාවයලට් (Ultraviolet)/ චීනය

ලොව වඩාත් මිල අධික අවන්හල්වලින් එකක් වන අල්ට්‍රාවයලට් අවන්හලට පැමිණෙන අමුත්තෙක් ආසන්න වශයෙන් අමෙරිකා ඩොලර් 570-900 (රු.211,000 – 327,000)ක් වැය කළ යුතු වේ. මෙය එකවර 10 දෙනකුට පමණ අසුන්ගත හැකි එක් මේසයකින් පමණක් සමන්විත වීම සුවිශේෂී කරුණකි.

එකිනෙකට වෙනස් ආහාරපාන වර්ග ගණනාවක් රසවිඳීමට මෙහි පැමිණෙන අමුත්තන්ට අවස්ථාව ලැබේ. අමුත්තන් ආහාර ගන්නා අතරතුර විවිධ වීඩියෝ පට සහ ගීත වැනි දෑ වාදනය වීම තවත් සුවිශේෂී කරුණකි. සුප්‍රසිද්ධ සූපවේදියෙක් වන පෝල් පේරෙට් යටතේ මෙය ක්‍රියාත්මක වේ.

අල්ට්‍රාවයලට් (Ultraviolet) – www.asiawinenews.com

6. කිචෝ අරශියාමා (Kitcho Arashiyama)/ ජපානය

ඉතා උසස් අමුද්‍රව්‍ය භාවිත කර පිළියෙළ කරන ආහාර මිල දී ගත හැකි අවන්හලක් වන කිචෝ අරශියාමා ජපානයේ පිහිටි ප්‍රධාන පෙළේ අවන්හල්වලින් එකකි. මෙහි ඇති විවිධ සැරසිලි සහ සdම්ප්‍රදායික ජපන් ගෘහ අලංකරණ බොහෝ අමුත්තන්ගේ සිත් ගනී. “Kunio Tokuoka” මෙහි ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරhs’

මෙම අවන්හල ජාත්‍යන්තර මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් ම පසු වේ. ඒ ඒ සෘතුව සහ දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන පරිදි සකස් කළ ආහාර රසවිඳිය හැකි වීම මෙහි ඇති විශේෂත්වයකි. මෙහි ඇති ආහාර වේලක් මිල දී ගැනීමට එක් අයෙක් අවම වශයෙන් අමෙරිකා ඩොලර් 570 (රු. 211,000)ක් වැය කළ යුතු වේ.

කිචෝ අරශියාමා (Kitcho Arashiyama) – www.beaumondetraveler.com

7. මේසන් පික් වැලන්ස් (Maison Pic Valence)/ ප්‍රංශය

පැරිස් නගරයේ පිහිටා ඇති, පරම්පරා කිහිපයක් යටතේ ක්‍රියාත්මක වූ මේසන් පික් වැලන්ස් අවන්හල පසුගිය දා එහි 130 වැනි සංවත්සරය සැමරුවේ ය. වර්තමානයේ සොෆී පික් යටතේ මෙය ක්‍රියාත්මක වේ. එළු සහ මුව මස් යොදාගෙන පිළියෙළ කරන ආහාර වර්ග ගණනාවක් මෙහි දැකිය හැකි ය.

මේසන් පික් වැලන්ස් අවන්හලට පැමිණෙන අමුත්තන්ට රස විඳිය හැකි චොක්ලට් යොදා සකස් කරන අතුරුපස වර්ග ද ගණනාවක් තිබේ. ආහාරවල රසය මෙන් ම පෙනුම පිළිබඳව ද ඉහළ අවධානයක් යොමු කිරීම මෙම අවන්හලේ සාර්ථකත්වය පසුපස ඇති ප්‍රධාන කරුණ බව සොෆී වරෙක පැවසුවා ය. මෙම අවන්හලෙන් ආහාර ගැනීමට එක් අයෙක් ආසන්න වශයෙන් අමෙරිකා ඩොලර් 445 (රු. 165,000)ක් වැය කළ යුතු වේ.

මේසන් පික් වැලන්ස් (Maison Pic Valence) – www.magazine.bellesdemeures.com

8. ඩි ලා හොටෙල් ඩි විලා (Restaurant De L’Hôtel De Ville)/ ස්විට්සර්ලන්තය

එකිනෙකට වෙනස් ආහාර වර්ග ඇතුළත් මෙනු 11කින් සමන්විත ඩි ලා හොටෙල් ඩි විලා අවන්හලෙන් ආහාර ගැනීම සඳහා අවම වශයෙන් අමෙරිකා ඩොලර් 415 (රු. 150,960)ක් වැය කළ යුතු වේ. අවන්හලට පැමිණෙන අමුත්තෝ එහි ඇති බැටළු මස් සහ කුංකුම යොදා සකස් කළ ආහාර සහ සලාද වර්ගවලට බොහෝ ප්‍රිය කරති.

එක් ඇණවුමක් සඳහා වයින් බෝතලයක් නොමිලයේ ලැබෙන අතර, එහි ඇති වයින් ලැයිස්තුව පිටු 40ක් තරම් දීර්ඝ එකකි. “Frank Giovani”එහි ප්‍රධාන සූපවේදියා ලෙස කටයුතු කරන අතර, මෙම අවන්හල 2019 දී “La Liste” නම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමට අනුව “ලොව හොඳ ම අවන්හල්” අතරට එක් විය.

ඩි ලා හොටෙල් ඩි විලා (Restaurant De L’Hôtel De Ville) – www.cityseeker.com

9. අරගාවා (Aragawa)/ ජපානය

ජපානයේ ටෝකියෝ නගරයේ පැරැණි කාර්යාලයීය ගොඩනැඟිල්ලක බිම් මහලේ පිහිටි මෙම අවන්හලෙන් ආහාර ගැනීමේ සඳහා එක් පුද්ගලයෙක් අවම වශයෙන් අමෙරිකා ඩොලර් 370 (රු. 135,000)ක් පමණ වැය කළ යුතු වේ. වෙනත් බොහෝ ඉහළ පෙළේ අවන්හල්වලට පැමිණෙන පාරිභෝගිකයන්, කුමන ආහාරය ලබා ගත්තත් යම්කිසි ස්ථාවර මිලක් ගෙවිය යුතු නමුත් මෙම අවන්හලට පැමිණෙන අමුත්තන් තෝරාගන්නා ආහාර අනුව මිල ගණන් වෙනස් වේ.

ගව මස්වලින් පිළියෙළ කරන ආහාර සඳහා මෙම අවන්හල ප්‍රචලිත ය. ඒ සඳහා යොදා ගන්නා මස් විශේෂ පහසුකම් යටතේ ඇති කරන ගවයන්ගෙන් ලබා ගන්නා බවත්, ඒ නිසා ම ඒවා අනිකුත් අවන්හල්වල ඇති ගව මස් සහිත ආහාරවලට වඩා රසයෙන් ඉහළ බවත් කියැවේ.

අරගාවා (Aragawa) – www.hotdinners.com

10. අයිතා අන්ඩර් සී (Ithaa Undersea) – මාලදිවයින

මාලදිවයිනට අයත් “Rangali” දූපතේ පිහිටි අයිතා අන්ඩර් සී අවන්හල ලොව පළමුවෙන් ම ජලය යට ඉදි කළ අවන්හල වේ. මීටර් පහක් ජලය යටට වන්නට පිහිටා ඇති මෙහි එකවර අමුත්තන් 14 දෙනකුට ආහාර ගැනීමට පහසුකම් ඇත. යුරෝපා රටවල ප්‍රචලිත ආහාරවලින් සමන්විත දිවා සහ රාත්‍රී ආහාර රස විඳීමට මෙම අවන්හලට පැමිණෙන අමුත්තන්ට හැකියාව ලැබේ.

අයිතා අන්ඩර් සී (Ithaa Undersea) – www.flickr.com

“Conrad Rangali” නම් තරු පහේ හෝටලයේ නවාතැන් ගන්නා පුද්ගලයන්ට පමණක් මෙම අවන්හලේ ආසන වෙන් කරවා ගත හැකි ය. ඉතාලි ජාතික සූපවේදියෙක් වන “Marco Amarone” අවන්හලේ ප්‍රධානියා ලෙස කටයුතු කර යි. මෙහි ආහාර ගැනීම සඳහා එක් අයෙක් ආසන්න වශයෙන් වැය කළ යුතු මුදල අමෙරිකා ඩොලර් 320 (රු. 116,000)කි.

කවරයේ ඡායාරූපය - සබ්ලිමෝෂන් (Sublimotion) අවන්හල-ප්‍රංශය wealthygorilla.com
මූලාශ්‍ර :
www.wealthygorilla.com
www.nytimes.com
www.en-vols.com
www.globalbrandsmagazine.com

Related Articles