ලංකාවේ දේශපාලන පවුල් තුනක් – 1 කොටස

පවුල්වාදී දේශපාලනය ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා දකින්න ලැබෙන සංකල්පයක්. ලංකාවේ දේශපානය මෙහෙයවීම වැඩිපුරම සිදුවන්නේත් විවිධ පවුල් අතින්. ඉතින් එවැනි පවුල් අතරින් තුනක් ගැනයි මේ.

01. සේනානායක පවුල

ඩි.එස් සේනානායක, ඔහුගේ මව පියා හා සහෝදර සහෝදරියන් සමග. ඥාති සොහොයුරෙක් ද මෙහි සිටී. (Wikipedia)

ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ හාපිටිගම කෝරළයේ පිහිටි බෝතලේ වලව්වේ උපත ලබන දොන් ස්පෙටර් සේනානායක ඉතා ධනවතෙක් ව්‍යාපාරිකයෙකු බවට පත්වෙන්නේ මිනිරන් පතල් කර්මාන්තය තුළින්. ඒ මඟින් උපයාගත් ධනයෙන් තේ වතු හා අරක්කු රේන්ද විශාල ප්‍රමාණයක් මිල දී ගැනීමට ද ඔහුට හැකි වෙනවා.

විවාහයෙන් පසුව ඔහුට දාව පුතුන් තිදෙනෙක් හා එක් දියණියක් මෙලොව එළිය දකින අතර ඔවුන් ෆෙඩ්‍රික් රිචඩ් සේනානායක (එෆ්.ආර්), දොන් චාල්ස් සේනානායක (ඩි.සි), දොන් ස්ටීවන් සේනානායක (ඩී.එස්) හා මරියා ෆ්‍රැන්සිස් සේනානායක යි.

පුතුන් තිදෙනා අතරින් ඩී. එස්. සේනානායක එක්සත් ජාතික පක්ෂය පිහිටුවන අතර ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. තවත් ධනවත් පරපුරක් වන දුනුවිල පරම්පරාවේ මොලී දුනුවිල සමග විවාහ වීමෙන් පසුව ඔවුන් දෙපළට දාව ඩඩ්ලි සේනානායක හා රොබට් සේනානායක මෙලොව එළිය දකිනවා.

ඩඩ්ලි සේනානායක ලංකාවේ දෙවන අගමැතිවරයා බවට පත්වෙනවා. රොබට් සේනානායක ගේ පුතු වන රුක්මන් සේනානායක කලක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු ඇමතිවරයෙක් ලෙස කටයුතු කරනවා. රුක්මන් සේනානායක ගේ සහෝදරයෙක් වන රංජිත් සේනානායක ගේ පුත්‍රයා, වසන්ත සේනානායක වර්තමානය වන විට පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රාජ්‍ය ඇමතිවරයෙක් ලෙස කටයුතු කරනවා.

රුක්මන් සේනානායක ගේ සහෝදරියක් වන රංජිනී සේනානායක රංජිත් විජේවර්ධන සමග විවාහ වන අතර ඔවුන්ගේ පුත්‍රයා වන රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. අනාගත එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකත්වයකට රුවන් විජයවර්ධන පත්වනු ඇතැයි ඇතැම් පාර්ශව විසින් සදහන් කර තිබෙනවා.

02. රාජපක්ෂ පවුල

ඩි.ඒ රාජපක්ෂ තම දරුවන් සමග

වර්තමානයේ ක්‍රියාකාරී දේශපාලන පවුලක් ලෙස රාජපක්ෂ පරම්පරාව හදුන්වා දෙන්න පුළුවන්. දොන් අල්වින් රාජපක්ෂ (ඩී.ඒ) හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ග්‍රාමයේ දී උපත ලබන අතර පසුව ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වී දහනායක ආණ්ඩුව සමයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරනවා.

ඔහුගේ පුත්‍රයන් අතරින් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන අතර චමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ ද පාර්ලිමේන්තු ඇමතිවරුන් ලෙස කටයුතු කරනවා. ඊට අමතරව ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් වරයෙක්. මහින්ද රාජපක්ෂ ගේ පුත්‍රයෙක් වන නාමල් රාජපක්ෂ වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අතර චමල් රාජපක්ෂ ගේ පුත්‍රයෙක් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ කලක් ඌව පළාත් සභාවේ මහ ඇමති වරයා ලෙස කටයුතු කළා.

ඩි.ඒ රාජපක්ෂ ගේ සොහොයුරෙක් වන මැතිව් රාජපක්ෂ ගේ එක් පුත්‍රයෙක් වූ ලක්ෂ්මන් රාජපක්ෂ ද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඔහුගේ තවත් පුත්‍රයෙක් වන ජෝර්ජ් රාජපක්ෂ කලක් සොඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරනවා.

තවද ජෝර්ජ් රාජපක්ෂගේ දියණිය වන නිරූපමා රාජපක්ෂ වරෙක පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.

03. විජේවර්ධන පවුල

ඩි ආර් විජයවර්ධන (HowOld.co)

ධනවත් ව්‍යාපාරිකයෙක් වූ තුඩුගල දොන් පිලිප් විජයවර්ධනට හා හෙලේනා වීරසිංහට දාව ඩී.ආර්. විජේවර්ධන උපත් ලබනවා. ඔහුගේ පුත් රන්ජිත් විජේවර්ධන හා සේනානායක පවුලේ රන්ජනී සේනානායක විවාහ වීමෙන් බිහි වූ රුවන් විජේවර්ධන වර්තමානයේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරනවා.

ඩි.ආර් විජේවර්ධන ගේ දියණියක් වන නලිනි විජේවර්ධන වික්‍රමසිංහ පරම්පරාවේ එස්මන්ඩ් වික්‍රමසිංහ සමග විවාහ වීමෙන් රනිල් වික්‍රමසිංහ බිහිවෙන අතර වර්තමාන ශ්‍රී ලංකාවේ අගමැතිවරයා වන්නේ ඔහු යි.

දොන් පිලිප් විජේවර්ධන යුවළගේ දියණියක් වන ඇග්නස් හෙලන් විජේවර්ධන හා නීතිවේදී ඉයුජින් විල්ෆ්‍රඩ් ජයවර්ධන විවාහ වීමෙන් පසු බිහිවෙන ජුනියස් රිචඩ් ජයවර්ධන හෙවත් ජේ.ආර් ශ්‍රී ලංකාවේ දෙවන ජනාධිපතිවරයා යි.

Related Articles

Exit mobile version