ජාතික රූපවාහිනි නාලිකාව හරහා ශ්‍රීලාංකිකයන්ට1983 ජනවාරි 19 වැනි බදාදා දින රාත්‍රී 8.30ට අමුතු ම ආකාරයේ අත්දැකීමක් ලබා දුන්නා. ඒ අප රටේ පළමු ටෙලිනාට්‍ය වුණු ‘දිමුතු මුතු’ හි පළමු කොටස විකාශය කරමින්. එලෙස විකාශය වුණු දිමුතු මුතු ටෙලිනාට්‍යය වැඩිකල් යන්නට පෙර අප රට තුළ ජනප්‍රිය වුණා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් ආසන්න වසර කිහිපයක් ඇතුළත තවත් ටෙලිනාට්‍ය රැසක් මෙරට රූපවාහිනී නාළිකා මඟින් ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කළා. ඒවා අතරට ළා හිරු දහසක්, පළිඟු මැණිකේ, යශෝරාවය, කඩඉම, කන්දේගෙදර, කෝපි කඩේ, ඇල්ල ළඟ වලව්ව, ගම්පෙරළිය වැනි ටෙලිනාට්‍ය අයත්.
80 දශකයේ දී අප රටේ ඇරඹුණු ටෙලිනාට්‍ය උන්මාදය 90 දශකය වන විට වඩාත් උත්සන්න වී තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 80 දශකයේ දී විකාශය වුණු සමහර ටෙලිනාට්‍ය 90 දශකයේ දී නැවත විකාශය කිරීමට සිදුවුණේ ප්‍රේක්ෂකයන්ගේ බලවත් ඉල්ලීම මත යි. 90 දශකයේ දී අලුතින් ටෙලිනාට්‍ය රැසක් කරළියට පැමිණියා. ඒ අතුරින් සමහර ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද බැඳ තබා ගත්තා. එනිසා 90 දශකයේ විකාශය වුණු සමහර ටෙලිනාට්‍ය අදටත් බොහෝ දෙනකුගේ මතකයේ රැඳී තිබෙනවා. එවැනි ටෙලිනාට්‍ය 3ක් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.
1). දඬුබස්නාමානය
90 දශකයේ දී විකාශය වුණු වඩාත් ජනප්‍රිය ටෙලිනාට්‍ය අතුරින් දඬුබස්නාමානයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ මෙම ටෙලිනාට්‍යය ජාතික රූපවාහිනිය හරහා මුල්ම වරට 1994 දී විකාශය වුණා.
ඉතාමත් උසස් ගණයේ නිර්මාණයක් වුණු මේ සඳහා බුද්ධදාස විතානාරච්චි, ශ්‍රියන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, දීපානි සිල්වා, ඩබ්ලිව්. ජයසිරි, දමිතා අබේරත්න, සේනක විජේසිංහ, නිලන්ති විජේසිංහ, වසන්ත විට්ටච්චි, එඩ්වඩ් ගුණවර්ධන වැනි දක්ෂ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායකත්වය ලබාදුන්නා. මෙම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත නිරූපණය කළ නළු නිළියන්ගේ නම් පහතින් දක්වා තිබෙනවා.
1). හේතුපාල ගුරුන්නාන්සේ- බුද්ධදාස විතානාරච්චි
2). සුදලිය අරච්චි- ශ්‍රියන්ත මෙන්ඩිස්
3). රණා- කමල් අද්දරාආරච්චි
4). ස්වර්ණපාලි- දමිතා අබේරත්න
5). සාලියරත්න (ආරච්චිගේ ඥාති පුත්‍රයා)- සේනක විජේසිංහ
6). ගුරුන්නාන්සේගේ බිරිය- දීපානි සිල්වා
7). ආරච්චිගේ බිරිය- නිලන්ති විජේසිංහ
8). මඩප්පු (ආරච්චිගේ ප්‍රධාන සේවකයා)- ඩබ්ලිව්. ජයසිරි
1920-30 කාල සමය තුළ මධ්‍යම පළාතේ රණමුරේ නම් ගම්මානය ආශ්‍රිත ව සිදුවුණු සිදුවීම් පෙළක් මෙම කතාවෙන් නිරූපණය වුණා. මෙම කතාවේ එන සුදලිය ආරච්චි අංගම්පොර සටන් කලාව පිළිබඳ දැන සිටි අයෙක්. එය ඔහුට සිය පරම්පරාවෙන් උරුම වුණු සටන් කලාවක්. අංගම්පොර සටන් කලාව තම පරම්පරාවෙන් පිට කෙනකුට කිසිදු දිනක කියා නොදෙන බවට ආරච්චි සිය පියාණන්ට පොරොන්දු වී තිබුණා. ආරච්චිට දරුවන් නොසිටි නිසා ඔහු සිය සහෝදරයාගේ පුත් සාලියරත්නට අංගම්පොර ශිල්පය පිළිබඳ දැනුම ලබා දුන්නා. සාලියරත්න, ආරච්චි වලව්වේ නැවතී සිටිමින් එම සටන් කලාව ඉගෙන ගත්තා.
සාලියරත්න ගමේ සිටි එක්තරා කාන්තාවක් සමඟ අනියම් සබඳතාවක් ඇතිකරගෙන තිබුණා. ඒ සඳහා රණා නම් තරුණයා සහාය ලබා දුන්නා. එනිසා සාලියරත්න, රණාට අංගම්පොර සටන් කලාව පිළිබඳ දැනුම ලබාදුන්නා. ඒ ගැන ආරච්චිට දැනගන්නට ලැබුණා.
ඉන් අනතුරුව ආරච්චි සූක්ෂම අයුරින් සාලියරත්නගේ ජීවිතය නැති කළා. සාලියරත්නගේ මරණයට හේතුව රණා දැන සිටි නිසා ආරච්චි රණාගේ ජීවිතය නැතිකර දැමීමට උත්සාහ කළා. එයින් බේරීම සඳහා රණා වනයට ගියා.
රණාගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉදිරිපත් වුණු හේතුපාල ගුරුන්නාන්සේ සිය මස්සිනා වුණු ආරච්චිට අභියෝග කළා. එදා ගුරුන්නාන්සේ සහ ආරච්චි අතර ඇතිවුණු මහා සටනින් පසු ගුරුන්නාන්සේ මරණයට පත්වුණා. එම සටනේ දී වැදුණු පහරක් හේතුවෙන් ආරච්චි ද දින කිහිපයකින් මරණයට පත්වුණා. අවසානයේ දී රණා ද පොලිස් වෙඩිපහරකින් මරණයට පත්වුණු නිසා අංගම්පොර සටන් ශිල්පය පිළිබඳව දැන සිටි සියලුදෙනා ම මරණයට පත්වුණා.
මෙම අපූරු ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයාට කීමට උත්සාහ කළේ පරම්පරා ගණනාවක් තිස්සේ අප රැකගෙන ආ සමහර වටිනා ශිල්ප ශාස්ත්‍ර සදහට ම වැළලී ගොස් ඇති බව යි. දඬුබස්නාමානය ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයා අතරට යාමට ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ විශිෂ්ට සංගීත හැකියාව ද හේතුවක් වුණු බව සිහිපත් කළ යුතුයි.
කොටස් 17කින් සමන්විත වුණු මෙම ටෙලිනාට්‍යය උසස් ගණයේ නිර්මාණයක් වුණු නිසා 1995 දී පැවති පළමු සුමති ටෙලි සම්මාන උළෙලේ දී සම්මාන 12ක් හිමිකර ගත්තා. පහත දක්වා ඇත්තේ සම්මාන හිමිකර ගත් එහි රංගන ශිල්පීන් පිළිබඳව යි.
1). හොඳම නළුවා- බුද්ධදාස විතානාරච්චි
2). හොඳම ටෙලිනාට්‍ය- සුනිල් රත්නායක (ටෙලිවිව් වෙනුවෙන්)
3). හොඳම අධ්‍යක්ෂණය- ජයන්ත චන්ද්‍රසිරි
4). ජනප්‍රියතම ටෙලිනාට්‍ය- සුනිල් රත්නායක (ටෙලිවිව් වෙනුවෙන්)
5). හොඳම සහාය නළුවා- කමල් අද්දරාඅරච්චි
6) හොඳම නැගී එන නළුවා- සේනක විජේසිංහ
7). හොඳම කලා අධ්‍යක්ෂණය- පැට්‍රික් ඩේවිඩ්
8). හොඳම වේශනිරූපණය- වසන්ත විට්ටච්චි
9). හොඳම කැමරාකරණය- නිලන්ත චූලරත්න
10). හොඳම සංගීතය- ප්‍රේමසිරි කේමදාස
11). හොඳම තිර රචනය- ජයන්ත චන්ද්‍රසිරි
12). හොඳම ගායනය- අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල
2). දූ දරුවෝ
වර්තමානය වන විට අප රටේ විවිධ රූපවාහිනි නාළිකාවල දීර්ඝ ටෙලිනාට්‍ය විකාශය වෙනවා. 90 දශකය ආරම්භ වන විට කෝපි කඩේ හැරුණු විට වෙනත් දීර්ඝ ටෙලිනාට්‍යයක් මෙරට රූපවාහිනි නාළිකා හරහා විකාශය වුණේ නැහැ. එවැනි වටපිටාවක දූ දරුවෝ ටෙලිනාට්‍යය 1990 දී කරළියට පැමිණියා.
නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කළ එම ටෙලිනාට්‍යයේ පටිගත කිරීම් 1990 ජූලි 23 වැනිදා ආරම්භ වුණා. 1990 දෙසැම්බර් 29 ඉරිදා දින ජාතික රූපවාහිනිය හරහා එය මුල්ම වරට විකාශය වුණා. කොටස් 230කින් සමන්විත වුණු මෙම කතාව 1995 දෙසැම්බර් 17 වැනි දින අවසන් වුණා.
මෙම ටෙලිනාට්‍යය සඳහා එම යුගයේ අප රට තුළ සිටි දක්ෂත ම නළු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දුන්නා. ප්‍රවීන තිර පිටපත් රචකයකු වන සෝමවීර සේනානායක මෙහි පිටපත රචනා කළා. දක්ෂ සංගීතවේදියකු වන රෝහණ වීරසිංහ දූ දරුවෝ ටෙලිනාට්‍ය සඳහා සංගීතයෙන් දායකත්වය ලබා දුන්නා. එහි අපූරු තේමා වාදනය බොහෝ දෙනකුගේ සිත් තුළට තදින් ම කා වැදුණා. ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත සහ ඒවා නිරූපණය කළ නළු නිළියන්ගේ නම් පහතින් දක්වා තිබෙනවා.
1). සුදු සීයා- හෙන්රි ජයසේන
2). ඩල්සි ආච්චි- අයිරාංගනී සේරසිංහ
3). ඩයස්- එච්.ඒ පෙරේරා
4). කුසුමලතා- සුනේත්‍රා සරත්චන්ද්‍ර
5). සුමනදාස- නීල් අලස්
6). සුධර්මා- වීණා ජයකොඩි
7). පුන්සිරි- ජයලත් මනෝරත්න
8). නන්දනී- චාන්දනී සෙනෙවිරත්න
9). දීප්ති- නිල්මිණි තෙන්නකෝන්
10). සම්පත්- උදේනි අල්විස්
11). ජයන්ත- අජිත් ලොකුගේ
12). ප්‍රියංවදා- යශෝධා විමලධර්ම
13). නිහාල්- කැළුම් විජේසූරිය
14). ඥාණවතී- දීපානි සිල්වා
1989/90 කාලයේ සෝමවීර සේනානායක ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත වුණා. ඕස්ට්‍රේලියාවේ සිටිය දී එරට තුළ විකාශය වුණු දීර්ඝ ටෙලිනාට්‍ය නරඹන්නට ඔහුට අවස්ථාව ලැබුණා. සිය රටට යළි පැමිණි සෝමවීර දූ දරුවෝ ටෙලිනාට්‍ය පිටපත රචනා කළා. එම ටෙලිනාට්‍යය ආරම්භ කිරීම පිළිබඳ සෝමවීර සේනානායක සහ සුසිල නිෂ්පාදන සමාගම අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාවේ දී දූ දරුවෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා ලෙසින් තෝරා ගත්තේ සුදත් දේවප්‍රිය යි. ඔහු ඒ වන විට අඹ යාළුවෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා ලෙසින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටියා.
එම කාල සමය වන විට සුදත් ජාතික රූපවාහිනියේ සේවය කරමින් සිටියා. එනිසා ඔහුට නිවාඩු ගැනීම පිළිබඳ ගැටලු තිබුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් නාලන් මෙන්ඩිස්ට දූ දරුවෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කිරීමේ අවස්ථාව හිමි වුණා. නාලන් මෙන්ඩිස් ඒ වන විට විද්‍යා ගුරුවරයෙක් ලෙස සේවය කරමින් හිටියා. දූ දරුවෝ ටෙලිනාට්‍යය නිසා ඔහුට රැකියාවෙන් විශ්‍රාම යන්නට පවා සිදු වුණා.
මුල් යුගයේ දී සෑම ඉරිදා දිනක ම රාත්‍රී 7.30ට විකාශය වුණු මෙම ටෙලිනාට්‍යය පසු කලෙක රාත්‍රී 8.30ට විකාශය වුණා. දූ දරුවෝ රූපගත කළ නිවස පසු යුගයක ඉතාමත් ජනප්‍රිය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සමහර ප්‍රේක්ෂකයන් එම නිවස නැරඹීමට පවා පැමිණියා.
දූ දරුවෝ පවුලක් වටා ගෙතුණු ටෙලිනාට්‍යයක්. පවුලක් ආරම්භ වී ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය, පරම්පරා ගණනාවක් මුළුල්ලේ එය වෙනස් වන ආකාරය, විවිධ පරම්පරා එයට ඇතුළත් වන ආකාරය මා පරම්පරා ගැටුම දූ දරුවෝ ටෙලිනාට්‍යය හරහා මනාව පෙළ ගස්වා තිබුණා. දූ දරුවෝ ටෙලිනාට්‍යය අප රට තුළ වඩාත් ජනප්‍රිය වීමට හේතුව එය යි. මෙම ටෙලිනාට්‍යයේ දීප්තිගේ චරිතය රඟ පෑ නිල්මිණී තෙන්නකෝන්ට එකල විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබුණා.
එහි ප්‍රතිඵලයක් වශයෙන් 1995 දී පැවැති පළමු සුමති සම්මාන උළෙලේ දී ඇයට ජනප්‍රියත ම නිළිය සම්මානය හිමි වුණා. 1994 දී පැවති විජය-රූපවාහිනි සම්මාන උළෙලේ දී දූ දරුවෝ ශ්‍රී ලංකාවේ ජනප්‍රියත ම ටෙලිනාට්‍යය බවට ද පත් වුණා.
3). මනෝකාය
90 දශකයේ විකාශය වුණු ටෙලිනාට්‍ය අතුරින් මනෝකායට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. ඒ එය විද්‍යාත්මක තේමාවක් ඔස්සේ නිර්මාණය වුණු කතාවක් නිසා යි. ජාතික රූපවාහිනිය හරහා 1998 දී විකාශය වුණු මෙම ටෙලිනාට්‍යය සඳහා බුද්ධදාස විතානාරච්චි, ටෝනි රණසිංහ, රත්නාවලී කැකුණවෙල, රංගන ප්‍රේමරත්න, ග්‍රැන්විල් රොද්‍රිගෝ, ආනන්ද වික්‍රමගේ, ඉග්නේෂස් ගුණරත්න, සුසන්තා චන්ද්‍රමාලි, ඉන්ද්‍රජිත් නාවින්න වැනි කලාකරුවන් දායකත්වය ලබාදුන්නා.
ප්‍රකට රසායන විද්‍යා ගුරුවරයකු වුණු රංජන් ද සිල්වා නාට්‍යයේ තිර පිටපත රචනා කළා. සුසිරන් ද සිල්වා මෙහි අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළා. මෙම ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කුරුණෑගල බඩගමුව රක්ෂිතය ආශ්‍රිත ව සිදුවුණා.
මෙම ටෙලිනාට්‍යය ගෙතී තිබුණේ එක්තරා විද්‍යාඥයන් දෙදෙනෙක් සිදු කළ පරීක්ෂණයක් වටා යි. මිනිසාගේ භෞතික ශරීරයට අයත් තවත් සූක්ෂම මනෝමය සිරුරක් තිබෙන බවත්, එය මිනිස් සිරුරින් පිටතට ගැනීම හරහා විශාල පෙරළියක් සිදු කළ හැකි බවත් එම විද්‍යාඥයන් දෙදෙනා විශ්වාස කළේ.
එම විද්‍යාඥයන් දෙදෙනා මහ වනයක් මැද සෑදූ විද්‍යාගාරයක පරීක්ෂණ කටයුතු සිදු කළා. එහි දී සිදුවුණු ත්‍රාසජනක සිදුවීම් පෙළක් මෙම කතාව හරහා ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කෙරුණා.
මනෝකාය ටෙලිනාට්‍යයේ විද්‍යාඥයන් දෙදෙනාගේ චරිත නිරූපණය කළේ බුද්ධදාස විතානාරච්චි සහ ටෝනි රණසිංහ යන ප්‍රවීන රංගන ශිල්පීන් දෙදෙනා යි. විද්‍යාගාර සහායකයාගේ චරිතය රංගන ප්‍රේමරත්න ද, පරීක්ෂණය සඳහා යොදා ගත් පුද්ගලයාගේ චරිතය ග්‍රැන්විල් රොද්‍රිගෝ ද නිරූපණය කළා. ඒ වාගේම ඉග්නේෂස් ගුණරත්න විද්‍යාගාරයේ සේවකයාගේ චරිතය නිරූපණය කළා.
මෙම නාට්‍යයේ කතාවට අනුව විද්‍යාගාරයේ සහායකයාට එහි පාලන කටයුතු භාර දී විද්‍යාඥයන්ට හදිසියේම කොළඹ යන්නට සිදුවුණා. ඒ අතරතුර විද්‍යාගාර සහායකයාගේ මවට අසනීප වී ඇති බවට පණිවිඩයක් ලැබුණා. එම අවස්ථාවේ දී ඔහු විද්‍යාගාර සේවකයාට අවශ්‍ය උපදෙස් ලබා දී සිය මෑණියන් බැලීමට පිටත්ව ගියා.
එදින රාත්‍රියේ බීමතින් සිටි සේවකයා පරීක්ෂණය සඳහා යොදා ගත් මිනිසා සම්බන්ධ කර තිබුණු යන්ත්‍රයේ වැරදි බොත්තමක් එබුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පරීක්ෂණය සඳහා යොදා ගත් මිනිසා අවදි වී මෘගයකු සේ හැසිරුණා. ඉන් පසුව ඔහු විද්‍යාගාරය විනාශ කර එයින් පලා ගොස් වනය පුරා සැරිසරන්නට පටන් ගත්තා.
ගමට ගිය විද්‍යාගාර සහායකයා ආපසු පැමිණෙද්දී විද්‍යාගාරය විනාශයට පත් ව තිබුණා පමණක් නොව පරීක්ෂණය සඳහා යොදා ගත් මිනිසා ද අතුරුදන් වී තිබුණා. විද්‍යාගාර සහායකයා එම පරීක්ෂණය සඳහා පසුව ඉදිරිපත් වුණා. අවසානයේ දී ඔහු අවාසනාවන්ත අයුරින් මරණයට පත් වුණා. ඒ වන විටත් මෘගයෙකු සේ වනයේ සැරිසරමින් සිටි පරීක්ෂණය සඳහා යොදා ගත් මිනිසා අවසානයේ දී වනයේ භාවනා කරමින් සිටි භික්ෂූන් වහන්සේ කෙනෙක් හමුවේ දමනය වුණා.
එම කතාවෙන් ලබාදුන් අවසන් ඉඟිය වුණේ යම් පුද්ගලයකුගේ මනෝකාය භෞතිකව කිසිදා නිරීක්ෂණය හෝ පරීක්ෂණය කළ නොහැකි අතර එය පරීක්ෂා කිරීම කළ හැක්කේ ආධ්‍යාත්මික ක්‍රමවේදයකින් පමණක් බව යි.
මනෝකාය ටෙලිනාට්‍ය එම යුගයේ දී මෙරට ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. ග්‍රැන්විල් රොද්‍රිගෝ සහ රංගන ප්‍රේමරත්න මෙම ටෙලිනාට්‍ය හරහා අති විශිෂ්ට රංගනයක නිරත වුණා. එවර සුමති ටෙලි සම්මාන උළෙලේ රංගන ප්‍රේමරත්නගේ නම හොඳ ම නළුවා සම්මානය සඳහා ද නිර්දේශ වුණා. මීට 24 වසරකට පෙර විකාශය වුණු මනෝකාය ටෙලිනාට්‍ය ගැන අදටත් බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ මනෝකාය ටෙලිනාට්‍යය, ප්‍රේක්ෂකයන්ගේ සිත්වලට තදින් ම කා වැදුණු නිසා බව කිව යුතු යි.