ඉන්දියාව දණින් වට්ටන්න කොරෝනාවත් සමග ආ කළු දිලීර රෝගය

වර්තමානයේ කොරෝනා වසංගතය ලොව වෙලාගනිත්දී, මේ වෙද්දී අසල්වැසි ඉන්දියාව දිනෙන් දින අවදානමේ ඉහළට ඔසවා තබන්නට තරම් එහි තත්ත්වය නරක අතට හැරී තිබේ. තම ප්‍රියයන්ගේ අවසන් කැමැත්ත හෝ අවසන් චාරිත්‍ර පවා ඉටු කරන්නට නොහැකි තරමට තත්ත්වය දරුණු අතට හැරෙමින් පවතින මොහොතක, ඉන්දියාවට තවත් ව්‍යවසනයක් පැමිණ ඇත. එය නම් “කළු දිලීර රෝගය” ලෙස හඳුන්වන රෝගී තත්ත්වය යි. මේ රෝගය වාර්තා වූ මැයි මුල දී රෝගීන් කිහිප දෙනෙකු පමණක් වාර්තා වුවත්, මේ වන විට මෙම දිලීර ආසාදිත රෝගීන් දහස් සංඛ්‍යාවක් ඉන්දියාව පුරාම හඳුනාගෙන ඇත. මෙම දිලීර රෝගය වැළඳුන පිරිසේ මරණ ප්‍රතිශතය 50%ක් පමණ වන බව එරට වෛද්‍ය විශේෂඥයන් අනතුරු හඟවා තිබේ. 

වර්ෂ 1885 දී, මිනිසුන්ට අසාදනය වුණු බවට ප්‍රථම වරට වාර්තා වූ මෙම දිලීර රෝගය “මියුකෝමයිකෝසිස්” ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වනු ලබයි. මෙය දුර්ලභ දිලීර ආසාදනයක් වන අතර මියුකෝර් නම් දිලීර කාණ්ඩයෙන් ඇති වේ. Medscape වෛද්‍ය සඟරාවට කරුණු දක්වමින් ඇමරිකාවේ වේන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයීය වෛද්‍ය විද්‍යාලයයේ බෝවන රෝග පිළිබඳ ප්‍රධාන මහාචාර්ය හරන් චන්ද්‍රසේකර් හා වෛද්‍ය පිලිප් ජේ. මැක්ඩොනල්ඩ්, මෙම රෝගය සඳහා ප්‍රධාන දිලීර වර්ග කිහිපයක් හේතු වන බව ප්‍රකාශ කර සිටියේ ය.

විද්‍යාගාර තුල දිලීර වගාකර හඳුනාගැනීම (medicinenet.com)

රෝගකාරක දිලීර

රෝගකාරක විශේෂ කිහිපයක් මෙම රෝගී තත්ත්වය ඇතිකිරීමට දායක වේ. මෙම දිලීර සාමාන්‍ය පරිසරයේ පසෙහි දක්නට ලැබෙන, මිනිසාට අහිතකර නොවන, කාබනික කොටස් වියෝජනය කිරීමට දායක වන දිලීරයන් ය. මේවායේ බීජාණු ආශ්වාසය නිරෝගී මිනිසුන්ට රෝගය වැළඳීමට සාමාන්‍යයෙන් නොවේ. මෙම කාණ්ඩයේ දිලීර ආසාදන පොදුවේ පෙන්නුම් කරන රෝග ලක්ෂණ සමානතාවක් පෙන්වන නිසා රෝගකාරක දිලීරය නියමාකාර ලෙස හඳුනා ගැනීමේ අපහසුවක් පවතී. කෙසේ වෙතත් රෝගීන්ගෙන් ලබාගන්න ජෛව සාම්පල මඟින් විද්‍යාගාර තුළ දී දිලීරය වගාකිරීම හරහා හෝ අනෙකුත් ක්‍රම ඔස්සේ රෝගකාරක දිලීරය හඳුනාගැනීම සිදු කෙරේ. මේ රෝගය මිනිසාගෙන් මිනිසාට බෝවන බවක් දැනට සොයාගෙන නැත. දිලීරය ආසාදනය වූ සියලුදෙනා සිරුරේ ප්‍රතිශක්තිය අවම තත්ත්වයට පත්වූ පිරිසකි.

රෝගකාරක දිලීර බීජාණුවල අන්වීක්ෂීය පෙනුම  (www.wnpr.org)

මෙම දිලීර කාණ්ඩ මියුකොරල්ස් නම් ගෝත්‍රයට අයත්වන අතර සෙල්සියස් අංශක 25ත් 55ත් අතර උෂ්ණත්වයේ වර්ධනය පෙන්නුම් කෙරේ. වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වන මියුකොරල්ස් විශේෂ වර්ධනයට උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ත් 30ත්  අතර ප්‍රශස්ත මට්ටමක පැවතිය යුතු ය. මෙම දිලීර ඔක්සිජන් ශ්වසනය කරන ජීවී කාණ්ඩයක් වන අතර, මේවයේ බීජෞෂණ කාලය දින 2ත් 5ත් අතර වේ.

මෙම රෝගකාරක දිලීරවල බීජාණු අප අවට වාතයේ පවතියි. මේවා ආශ්වාස වාතය මඟින් ශ්වසන පද්ධතියට ඇතුළු වීමෙන් පසුව නාස් කුහරය හා පෙනහැලි ආශ්‍රිතව තැන්පත්වීම සිදුවේ. දිලීරයේ දිලීර සුත්‍රිකා ප්‍රගුණනය වීම සිදුවන්නේ මෙම පටක තුළ ය. බොහෝ අවස්ථාවන්හි දී කළු දිලීර රෝගකාරක දිලීර සූත්‍රිකා සිරුරේ රුධිර නාල ආක්‍රමණය කරනු ලබයි. ඒ හේතුවෙන් විවිධ සංකුලතා පෙන්නුම් කිරීම දැකිය හැකිය.

රෝග ආකාර 

කළු දිලීර නිසා ඇතිවෙන රෝගයන් ආකාර විවිධ ය. සාමාන්‍යයෙන් හෝ පෙනහැලිවලට ආසාදනය වුවත්, දිලීරය සිරුරේ වැඩෙන ස්ථානය අනුව රෝග ලක්ෂණ විවිධ විය හැකිය. ඒවා පහත පරිදි දැක්විය හැකි ය. 

පරණ පාන් මත වැඩී ඇති මියුකෝර් දිලිරය/Flickr

 

 

කෝටරක හා මොළය ආශ්‍රිතව ඇතිවන ආසාදනය (Rhinocerebral mucormycosis)

මෙහිදී ආසාදනය කෝටරක තුළ ඇරඹී, පසුව මොළය දක්වා ව්‍යාප්ත වේ. මෙය, පාලනය කළ නොහැකි තත්ත්වයේ පවතින දියවැඩියාව සහිත රෝගීන්ට බහුලව ඇතිවිය හැකි අතර, වකුගඩු බද්ධ කිරීමට ලක්වූවන්ට ද ඇතිවීමේ හැකියාව පවතී.

පෙනහැලි ආශ්‍රිතව ඇතිවන ආසාදනය (Pulmonary mucormycosis)

මෙය බහුලවම ඇතිවිය හැකි වන්නේ පිළිකා රෝගීන්ට හා අවයව බද්ධකිරීම්වලට ලක්වූ පුද්ගලයන්ට ය.

අමාශය හා ආන්ත්‍රිකව ඇතිවන ආසාදනය (Gastrointestinal mucormycosis)

මෙය වැඩිහිටියන්ට වඩා ළමයින් තුළත්, විශේෂයෙන්ම නොමේරූ හා අඩු උපත් බර සහිත ළදරුවන්ගේ වයස පළමු මාසයේත්, ප්‍රතිජීවක ලබාගන්නා, ශල්‍යකර්මවලට ලක්වූ, හෝ ප්‍රතිශක්තිය දුර්වලවූ පිරිසට ඇතිවීමේ හැකියාව පවතී.

චර්මීය ආසාදනය (Cutaneous mucormycosis)

මෙම තත්ත්වය සම හරහා දිලීර බීජාණු ශරීරය තුළට ඇතුළුවීම (උදාහරණ ලෙස ශල්‍යකර්මයකින් ඇතිවූ තුවාල හෝ පිළිස්සුම් තුවාල හරහා)  නිසා අසාදනය විය හැකිය. මෙය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පුද්ගලයන්ට බහුලව ඇතිවිය හැකි තත්ත්වයකි.

ශරීරය පුර ව්‍යාප්ත වන ආසාදනය (Disseminated mucormycosis)

මෙම ආසාදන තත්ත්වය රුධිර සංසරණය හරහා නිරෝගී ශරීර අවයව හා මුළු ශරීරය පුරාම ව්‍යාප්තිය පෙන්නුම් කරයි. මෙයින් බොහෝ විට මොළය කෙරෙහි බලපෑමක් ඇති කරන අතරම ප්ලීහාව, හදවත, හා සම ආදී අවයව අසාදනය සිදුවේ.

රෝගකාරක දිලීර බීජාණු ශරීරයට ඇතුළුවීම හා ආසාදනය පැතිරීයාම
(www.infectiousdiseaseadvisor.com)

රෝග ලක්ෂණ සහ ප්‍රතිකාර

අවදානම් අවස්ථාවේ දී ඇස් හා නාසය ආශ්‍රිත වේදනාව හා රතු පැහැවීම, දේහ උෂ්ණත්වය ඉහළ යාම, හිසරදය, කැස්ස, හුස්මගැනීමේ අපහසුව, ලේ වමනය, හා මානසික ආතතිය බහුලව දැකිය හැකිය. මෙයට අමතර වශයෙන් නාසයේ බරගතිය, ලේ පැහැයට හෝ කළු පැහැයට නාසයෙන් දියර ගැලීම, දත් බුරුල් වීම, බොඳවී පෙනීම, ශරීරය සුදුමැලි වීම, පපු ප්‍රදේශයේ වේදනාව මෙන්ම, අවසාන වශයෙන් පෙනීම නැතිවී යාම දැක්විය හැකිය. 

ප්‍රතිකාර ලෙස දිලීරනාශක ඖෂධ ලබාදෙන අතර, ඇතැම්විට ජීවිතය ගලවාගැනීම සඳහා ශල්‍යකර්ම හරහා ඇස්, හනුවේ කොටස් ආදිය ඉවත්කිරීමට සිදුවේ.

කළු දිලීර අසාදනය හා කොරෝනා අතර සම්බන්ධයක්?

කළු දිලීර රෝගය ඉන්දියාවේ දී බහුලවම වාර්තා වී ඇත්තේ කොරෝනා ආසාදිතයින්ගෙනි. මහාරාෂ්ට ප්‍රාන්තයේ මෙම කළු දිලීර ආසාදිතයින් විශාල වශයෙන් හමුවීමත් සමග, කොරෝනාවට අමතරව මේ රෝගය නිසාත් දෛනික මරණ ප්‍රමාණය ඉහළ යනු ඇති බව වෛද්‍ය විද්‍යාඥයින් අනතුරු හඟවා තිබේ. 

මෙම රෝගය ඉක්මනින් ව්‍යාප්ත වීමට ප්‍රධානම හේතුව ලෙස දක්වා ඇත්තේ ද කොරෝනා පැතිරීම යි. කොරෝනා රෝගයෙන් අපගේ සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කරනවා සේම, ඒ සඳහා ලබාදෙන ඖෂධයන් ද ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් කළ හැකිය. මෙනිසා කොරෝනා රෝගියෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල මට්ටමක පැවතීමට හැකි අතර, අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා දීලිරය සිරුරට ආසාදනය වේ.

කෙසේ නමුත් කොරෝනා වෛරසය ආසාදනය වූ සැමට මෙම දිලීර රෝගය ආසාදනය වන බව මෙයින් අදහස් නොකෙරේ.

කොරෝනා රෝගීන්ගෙන් පිරුණු ඉන්දියාවේ රෝහල් /ඉන්දීය රොයිටර් වාර්තාකරු Danish Siddiqui)

රෝගය වලක්වා ගැනීම

කළු දිලීර අසාදනයට එරෙහි ප්‍රතිකාර සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවීමත්, ප්‍රතිකාර කිරීමේ අපහසුතාවයත් නිසා, මෙම කොරෝන වසංගත සමයේ ඉන්දියාවේ සැලකිය යුතු මරණ ප්‍රමාණයක් මෙම අසාදනයෙන් ද සිදුවිය හැකි බව විශේෂඥයින් කියා සිටියි. 

රෝගය වලක්වා ගැනීම සඳහා, රෝගීන් ගැවසෙන ප්‍රදේශවලින් හැකිතාක් බැහැරව සිටීම, වායු දූෂක, දූවිලි අංශු ශ්වසන මාර්ගයට ඇතුළු නොවන සේ මුඛ ආවරණයක් භාවිතා කිරීම, ජලයට නොබැස සිටීම සහ තෙත් සහිත පරිසරයන්ගෙන් ඈත්ව සිටීම, පස ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම (අත්වැසුම්, බූට් සපත්තු), ශරීර ප්‍රතිශක්තිය හා මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම, සහ රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම මේ රෝගය වලක්වා ගැනීමේ මූලික පියවර ලෙස දක්වා තිබේ.

කවරයේ ඡායාරූපය: Wikimedia

මූලාශ්‍රයයන්:

1. Song Y, Qiao J, Giovanni G, Liu G, Yang H, Wu J, Chen J. Mucormycosis in renal transplant recipients: review of 174 reported cases. BMC Infect Dis. 2017 Apr; 17(1): 283. doi: https://dx.doi.org/10.1186%2Fs12879-017-2381-1

2. Abdalla A, Adelmann D, Fahal A, Verbrugh H, Van Belkum A, De Hoog S. Environmental occurrence of Madurella mycetomatis, the major agent of human eumycetoma in Sudan. J Clin Microbiol. 2002 Mar; 40(3): 1031–1036. doi: 10.1128/JCM.40.3.1031-1036.2002

3. Vallabhaneni S, Mody RK. Gastrointestinal mucormycosis in neonates: a review. Current Fungal Infect Rep. 2015. DOI:10.1007/s12281-015-0239-9

4. Francis JR, Villanueva P, Bryant P, Blyth CC. Mucormycosis in children: review and recommendations for management. J Pediatric Infect Dis Soc. 2018 May 15;7(2):159-164. DOI: 10.1093/jpids/pix107

5. Sugar, A. M. (1992). Mucormycosis. Clinical Infectious Diseases, 14(Supplement_1), S126–S129. doi:10.1093/clinids/14.supplement_1.s126

6. cdc.gov/ 

7. theguardian.com/

8. indianexpress.com/

9. qz.com/

Related Articles

Exit mobile version