කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යයි

පසුගිය වසර තුළ ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය තවමත් අවසන් වී නැහැ. මෙම සතියේ ආරම්භයත් සමගම ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා ගියා. දැනට මාස කිහිපයක සිට දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 6 ඉක්මවා යන ආකාරය දක්නට ලැබෙනවා. රටවල් රැසකින් ඉහළ රෝගීන් ප්‍රමාණයක් වාර්තාවීමට ප්‍රධානතම හේතුව වන්නේ උතුරු අර්ධ ගෝලයේ රටවල්වලට ශීත කාලය උදා වී තිබීම යි. 

කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින මෙම කාල වකවානුවේ, රටවල් රැසක් කොරෝනා එන්නත් ලබාදීම ආරම්භ කර තිබෙනවා. එම නිසා ඉදිරියේ දී කොරෝනා වසංගත තත්ත්වයෙහි යම් අඩුවීමක් බලාපොරොත්තු විය හැකියි. නමුත් තවමත් කොරෝනාව ලෝකය ගිලගනිමින් සිටින නිසා එහි නවතම තොරතුරු මෙම ලිපිය මඟින් ඉදිරිපත් කරනවා. 

ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළට 

එක්සත් ජනපදයට ශීත කාලය උදාවීමත් සමගම එරට දෛනික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යන ආකාරය දක්නට ලැබුණා. ඒ අනුව පසුගිය ජනවාරි 8 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් 308,035ක් වාර්තා වුණා. එය එරටින් දිනකට ලක්ෂ 3කට වඩා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණු මුල්ම අවස්ථාව බවට පත්වුණා. ගෙවුණු මාස 2ක තුළ එක්සත් ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් මිලියන 12කට වැඩි ප්‍රමාණයක් වාර්තාවීමත් සමගම එරට සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මිලියන 26 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට වැඩිම කොරෝනා ආසාදිතයින් සිටින රටවල් අතරින් තෙවන ස්ථානයේ සිටින බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා රෝගීන් ප්‍රමාණයෙහි සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරනවා. පසුගිය ජනවාරි 7 වැනිදා එරටින් වාර්තා වුණු ආසාදිතයන් 87,134 මෙතෙක් එරටින් දෛනිකව වාර්තා වුණු වැඩිම කොරෝනා රෝගීන් ප්‍රමාණය ලෙස සටහන් වුණා. ගෙවුණු ජනවාරී මාසයේ දී එරටින් කොරෝනා ආසාදිතයන් ලක්ෂ 14කට වැඩි ප්‍රමාණයක් වාර්තා වීමත් සමගම සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණය මිලියන 10කට ආසන්න වී තිබෙනවා. 

ජනවාරි මාසය අවසන් වන විට රටවල් 6ක සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මිලියන 3 ඉක්මවා ගියා. පහත දක්වා තිබෙන්නේ එම රටවල්වලින් වාර්තා වුණු සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය යි.

1) ඇමරිකා එක්සත් ජනපදය- 26,767,229

2) ඉන්දියාව- 10,758,619

3) බ්‍රසීලය- 9,204,731

4) රුසියාව- 3,850,439

5) එක්සත් රාජධානිය- 3,817,176

6) ප්‍රංශය- 3,197,114

කොරෝනාවෙන් පීඩා විඳින ඇමරිකානුවන් (gettyimages)

රටවල් 5ක කොරෝනා මරණ ප්‍රමාණය ලක්ෂය ඉක්මවා යයි 

ඊයේ (ජනවාරි 31) දිනය වන විට සමස්ත කොරෝනා මරණ ප්‍රමාණය 2,237,204 ලෙසින් වාර්තා වුණා. මේ දිනවල වැඩිම දෛනික මරණ ප්‍රමාණයක් වාර්තා වන රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදය යි. ගෙවුණු ජනවාරි මාසයේ දී එරටින් මරණ 95613ක් වාර්තා වුණා. ඇමරිකාවට පසුව වැඩිම දෛනික මරණ ප්‍රමාණයක් වාර්තා වන රට බවට පත්ව තිබෙන්නේ මෙක්සිකෝව යි. මෙක්සිකෝවෙන් වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 19කට ආසන්න වුණත්, මරණ ප්‍රමාණය 158,074ක් තරම් වැඩි අගයක් ගන්නවා. ඒ අනුව පසුගිය මාසයේ දීත් එරටින් කොරෝනා මරණ 32,267ක් වාර්තා වී තිබුණා. ජනවාරි 31 වැනිදා වන විට නිකුත් වී තිබුණු කොරෝනා වසංගත දත්තවලට අනුව මරණ ලක්ෂය ඉක්මවා ගිය රටවල් 5ක් හමුවනවා. පහත දක්වා තිබෙන්නේ එම රටවල්වලින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණ යි.

1) ඇමරිකා එක්සත් ජනපදය- 452,279

2) බ්‍රසීලය- 224,534

3) මෙක්සිකෝව- 158,074 

4) ඉන්දියාව- 154,428

5) එක්සත් රාජධානිය- 106,158

කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය මෙක්සිකෝ වැසියන් (gettyimages)

මිලියන 75කට වැඩි පිරිසක් සුවය ලබයි 

මෙතෙක් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා ගියත් ඉන් මිලියන 75කට වඩා සුවය ලබා තිබීම සැනසිලිදායක කරුණක්. ඒ අනුව මේ වන විට කොරෝනා රෝගීන් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් සුවය ලැබූ රටවල් 6ක් හමුවනවා. පහත දක්වා තිබෙන්නේ එම රටවල්වල සුවය ලැබූ ආසාදිතයන් ප්‍රමාණය යි.

1) ඇමරිකා එක්සත් ජනපදය- 16,403,843

2) ඉන්දියාව- 10,433,988

3) බ්‍රසීලය- 8,027,042

4) රුසියාව- 3,300,004 

5) තුර්කිය- 2,362,415

6) ඉතාලිය- 2,010,548

එසේම, මිලියන 2කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇති රටවල් අතරින් වැඩිම රෝගීන් සුවවීමේ ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වාර්තා වනවා. ඊට අමතරව තුර්කිය සහ කොළොම්බියාව යන රටවල්වලින් ද ඉහළ රෝගීන් සුවවීමේ ප්‍රතිශතයක් පෙන්නුම් කරනවා. පහත දක්වා තිබෙන්නේ එම දත්තයන්. 

ඉන්දියාව 

* සමස්ත ආසාදිතයන් ප්‍රමාණය- 10,758,619

* සුවවුණු ආසාදිතයන් ප්‍රමාණය- 10,433,988

* සුවවුණු ප්‍රතිශතය- 96.98%

තුර්කිය

* සමස්ත ආසාදිතයන් ප්‍රමාණය- 2,477,463

* සුවවුණු ආසාදිතයන් ප්‍රමාණය- 2,362,415

* සුවවුණු ප්‍රතිශතය- 95.35%

කොළොම්බියාව 

* සමස්ත ආසාදිතයන් ප්‍රමාණය- 2,094,884

* සුවවුණු ආසාදිතයන් ප්‍රමාණය- 1,938,322

* සුවවුණු ප්‍රතිශතය- 92.52%

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

මිලියන 2කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන රටවල් 3ක් වාර්තා වනවා 

කොරෝනා රෝගීන් මිලියන 75ක් සුවය ලබා තිබුණත්, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් ප්‍රමාණය මිලියන 26 ඉක්මවා යනවා. ඒ අතරින් තවමත් මිලියන 2කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන රටවල් 3ක් හමුවනවා. පහත දක්වා තිබෙන්නේ තවමත් වැඩිම රෝගීන් ප්‍රතිශතයක් ප්‍රතිකාර ලබන රටවල්. 

ප්‍රංශය 

* සමස්ත ආසාදිතයන් ප්‍රමාණය- 3,197,114

* ප්‍රතිකාර ලබන ආසාදිතයන් ප්‍රමාණය- 2,896,651

* ප්‍රතිකාර ලබන ප්‍රතිශතය- 90.60%

එක්සත් රාජධානිය

* සමස්ත ආසාදිතයන් ප්‍රමාණය- 3,817,176

* ප්‍රතිකාර ලබන ආසාදිතයන් ප්‍රමාණය- 2,037,082

* ප්‍රතිකාර ලබන ප්‍රතිශතය- 53.36%

ඇමරිකා එක්සත් ජනපදය

* සමස්ත ආසාදිතයන් ප්‍රමාණය- 26,767,229

* ප්‍රතිකාර ලබන ආසාදිතයන් ප්‍රමාණය- 9,911,107

* ප්‍රතිකාර ලබන ප්‍රතිශතය- 37.02%

තවමත් ප්‍රතිකාර ලබන ප්‍රංශයේ කොරෝනා රෝගීන් (gettyimages)

ඉහත දක්වා ඇති දත්තවලට අනුව පෙනී යන්නේ කොරෝනා වසංගතය නිසා ලෝකයේ රටවල් රැසක් තවමත් දරුණු පීඩාවට පත්ව ඇති බව යි. නමුත් මේ දිනවල ලබාදෙන කොරෝනා එන්නත් මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබුණොත් වසංගත තත්ත්වයේ යම් අඩුවීමක් දක්නට ලැබෙනු ඇතැ යි බලාපොරොත්තු විය හැකියි. 

කවරයේ ඡායාරූපය- (gettyimages)

මූලාශ්‍රයයන්- worldometer

පසුගිය වසරේ සිට ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතයට ගොදුරු වුණු ආසාදිතයන් ප්‍රමාණය, මේ වන විට මිලියන 100 ඉක්මවා ගොස් තිබෙනවා. 

Related Articles

Exit mobile version