එක් පැත්තක ජාතිවාදී ගිනි ඇවිල යද්දී මේ රටේ ජාතීන් අතර සංහිඳියාව සහ සහජීවනය යළි ගොඩනංවනු වස් බෞද්ධ සහ මුස්ලිම් ආගමික නායකයෝ පෙරමුණ ගත්හ. ඉස්ලාම් ආගමික වතාවත් වලට මුල්තැන දෙන සිකුරාදා දිනයේ දී රත්මලාන බෞද්ධ පන්සල් ගණනාවක භික්ෂූන් වහන්සේලා මුස්ලිම් පල්ලි වෙත වැඩම කරමින් ජාති ආගම් භේද පසෙක ලා මනුෂ්‍යයන් වශයෙන් එක්ව සිටීමේ වැදගත්කම ලොවටම පෙන්වූහ.
මෙම වැඩසටහන දියත් කෙරුණේ මුස්ලිම් මව්ලවිතුමන්ලා සහ රත්මලාන විහාරස්ථාන කීපයක හිමිවරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව, ජාතීන් හා ආගම් අතර අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක ආගමික නායකයින් අතින් සිදුවිය යුතු කාර්යභාරය පිළිබඳව අන්‍යොන්‍ය අවබෝධයක් ඇති කර ගැනීමෙන් අනතුරුව ය.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා පැවති රැස්වීම සඳහා රත්මලාන විහාරස්ථාන කිහිපයක භික්ෂූන් වහන්සේලා මෙන්ම රත්මලාන මුස්ලිම් පල්ලි කිහිපයක මවුලවිතුමන්ලා ද සහභාගී වූ අතර කෙටිකාලීනව හා දිගුකාලීනව ගත හැකි පියවරයන් පිළිබඳව ද එහිදී දීර්ග ලෙස සාකච්ඡා කෙරිණි.
රත්මලාන විහාරස්ථානවල නායක හිමිවරු ඇතුළු භික්ෂූන් වහන්සේලා කතිකා කරගත් පරිදි වෙන් වෙන්ව රත්මලාන පිහිටි මුස්ලිම් පල්ලි කිහිපයකටම වැඩම කරනු ලැබූ අතර මුස්ලිම් පල්ලි වල ආගමික වතාවත් සිදුවන ආකාරය දැක බලාගත් ස්වාමීන් වහන්සේලා එහිදී ජාති ආගම් වශයෙන් එකමුතුව සිටීමේ වැදගත්කම පිළිබඳ දේශන කිහිපයක් ද පැවැත්වූහ.
රත්මලාන ජුම්මා පල්ලියට වැඩම කළ නායක හිමිවරුන් වූයේ රත්මලාන මල්ලිකාරාමයේ විහාරාධිපති රනස්ගල්ලේ ඥාණවීර, රත්මලාන අත්තිඩිය පාරේ ලංකාරාමාධිපති රාගල පඤ්ඤාසේකර, රත්මලාන බෝධිරුක්ඛාරාම අධිපති රත්මලානේ රාහුල, රත්මලාන කොතලාවල බෞද්ධ මන්දිරයේ අධිපති මාපලගම බුද්ධසිරි, රත්මලාන රජ මාවත විහාරාධිපති කදුරුදූව ගුණාලංකාර යන හිමිවරුන් ය. මෙම වැඩසටහනේ මූලිකත්වය ගෙන කටයුතු කළේ මල්ලිකාරාමාධිපති රනස්ගල්ලේ ඥාණවීර හිමියෝ යි.
මේ සම්බන්ධයෙන් Roar වෙත අදහස් දැක්වූ රනස්ගල්ලේ ඥානවීර හිමියෝ:
“මම අපේ උත්තරීතර මහා නායක හාමුදුරුවන් වහන්සේ සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළා. විහාරාධිපති සංගමයේ ලේකම් හැටියට අපිට මේකට මොකද කරන්න පුළුවන් කියලා මම මහා නායක හාමුදුරුවන්ගෙන් විමසුවා. උන්වහන්සේ කිව්වා මේ අවස්ථාවේ දී කළ හැකි දෙයක් කරන්න අපි ආශිර්වාද කරනවා කියලා. ශාසනික බල මණ්ඩලයේ ලේකම් හාමුදුරුවන් සමඟත් කතා කළා. උන්වහන්සේත් කිව්වා අපි කට්ටිය එකතු කරගෙන මේ දේ කරමු කියලා. පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමායෝජක ස්වාමීන් වහන්සේ වන විනීත හාමුදුරුවන්ටත් කතා කළා. උන්වහන්සේට කිව්වේ මේ වෙලාවේ දී අපි මේ වගේ තනතුරු දරා ගෙන හිටියට වැඩක් නැහැ සමාජය තුළ මෙවැනි තත්ත්වයන් වර්ධනය නොවන ආකාරයෙන් කුමක් හෝ කළ යුතුයි කියා. ඒ අනුව විනීත ස්වාමීන් වහන්සේ ප්‍රාදේශීය ලේකම්තුමාගේ මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වීමක් පැවැත්තුවා. අපේ හාමුදුරුවරු පස්නමක් වැඩම කළා. මුස්ලිම් පල්ලියෙන් මවුලවිතුමා ආවා. හින්දු පූසාරිතුමන්ලා, කතෝලික ක්‍රිස්තියානි පියතුමන්ලා ආවා. අපි පැය එකහමාරක පමණ ඉතාම වැදගත් සාකච්ඡාවක් පැවැත් වූවා. එහිදී මෙම ප්රශ්නය සම්බන්ධයෙන් ක්ෂණික විසඳුමක් වගේම දීර්ඝ කාලීන විසඳුමක් සඳහා යාමට කළ යුත්තේ කුමක්ද ගැන අපි සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුස්ලිම් දේවස්ථාන තුළ ආගමික යාඥාවන් සිදුවන සිකුරාදා දවසේ රත්මලාන තුළ තියන පල්ලි වලට යන්න ඕන කියලා අපි තීරණය කළා. ඒ අනුව සෑම පල්ලියකටම හිමිවරුන් පස්නම බැගින් වැඩම කළා. මම ඇතුළු නායක හාමුදුරුවරු පස්නමක් රත්මලාන ජුම්මා පල්ලියට වැඩම කළා.
මෙතෙක් කලක් මෙවැනි දෙයක් සිදු නොවීම හරි කණගාටු දායකයි. අපි මුස්ලිම් ජනතාව අතරට ගියා ඔවුන් අපිව ඉතාම හොඳින් පිළිගත්තා. අපේ අදහස් ඔවුන් අතරට ගියා. මේ සංවාදය මෙතනින් නොනැවතී දිගටම අරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ස්ථිරසාර විසඳුමක් වශයෙන් අපි තීරණය කළා මසකට වරක් ආගමික පූජකවරුන් වශයෙන් එක් තැනකට රැස් වෙන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නැත්නම් පන්සලේ පල්ලියේ එකතුවලා අපි අතර සුහදතාවය ගොඩනඟා ගන්න කතිකා කරගත්තා. ඒ වගේම සාම පාගමනක් පවත්වන්නත් අපි කතිකා කරගත්තා.’’
සිංහල සහ මුස්ලිම් සමාජය තුළ මෙවැනි අනර්ථකාරී තත්ත්වයක් වර්ධනය වීම කරෙහි මූලික වශයෙන්ම බලපා තිබෙන්නේ අනවබෝධය බව රණස්ගල්ලේ ඥානවීර හිමියෝ වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියහ.
මීට පෙර අපි ඉතා දරුණු අත්දැකීම් ලබා තිබෙන බවත් නැවතත් එවැනි අභාග්‍යසම්පන්න දේ මේ සමාජය තුළ ජාතියේ නාමයෙන් හෝ ආගමේ නාමයෙන් සිදු නොවිය යුතු බවත් පෙන්වා දුන් ඥානවීර හිමියෝ, ජාතිය හෝ ආගම යන්න මිනිසුන් අතර භේද-භින්නතා ඇතිවීමට මාතෘකාවක් නම් ලංකාව එවැනි රටක් නොවන බවට ජනතාව ආගමිකව දැනුවත් කිරීම ආගමික නායකයන්ගේ යුතුකමක් බවද පැවසූහ.
“මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ අපේ සියලු දෙනාගේ නොදැනුවත්භාවය නිසයි. මෙවැනි ප්‍රශ්න ඇති කරන්නේ සිංහල අයවත් මුස්ලිම්, හින්දු හෝ කතෝලික අය නොවෙයි. වෙනත් කුමන හෝ න්‍යාය පත්රයන් අනුව වැඩ කරන ඉතා සුළු පිරිසක්. තිරශ්චීන වූ වින්දනයක් ලබන සමාජය තුළ තමන්ගේ ඕනෑ එපාකම් ඉටු කරගන්න තමයි මේ පිරිස උත්සාහ දරන්නේ. ඒක හරිම ඛේදවාචකයක්. හරිම අපරාධයක්. මේ රට ලස්සන රටක් කරන්න නම් මෙහෙම ගහමරාගෙන බැහැ. අවසානයේ දී අපි අපිම කුලල් කාගෙන වෙන් වූ පිරිසක් විදිහට මේ රටේ ජීවත් වෙනවා. අද වෙලා තියෙන්නෙ ඒකයි. මේ තත්ත්වය නැති කරන්න හිතලා තමයි අපි මෙවැනි වැඩසටහනක් දියත් කළේ.’’
රත්මලාන ජුම්මා පල්ලියේ පැවති වැඩසටහනට සහභාගී වෙමින් දේශනය පැවැත්වූ රාජගිරිය අරාබි විදුහලේ කථිකාචාර්ය, කොලොන්නාව ප්‍රදේශයේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ ලේකම් ඉර්ෂාඩ් හිල්මි මොහොමඩ් මව්ලවිතුමන්, අද එදා සිංහල සහ මුස්ලිම් ජාතිකයින් අතර තිබුණු බැඳීම වියැකී ගොස් තිබෙන බවත් එය යළි ඇති කිරීම ආගමික නායකයින් වශයෙන් තමන්ට පැවරී තිබෙන වගකීමක් බවත් Roar වෙත අදහස් දක්වමින් පැහැදිලි කළේ ය.
“මුස්ලිම් අයගේ වගේම බෞද්ධ පාර්ශ්වයේත් අනවබෝධය තමයි මෙයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. අනිත් කාරණය තමයි මුස්ලිම් සහ බෞද්ධ අය අතර තියෙන බැඳීම යම් තරමකට පිරිහිලා තියෙනවා. මුස්ලිම් මව්ලවි කෙනෙක් පන්සලකට යනවා අඩුයි, බෞද්ධ හාමුදුරු කෙනෙක් මුස්ලිම් පල්ලියකට එනවා අඩුයි. පෞද්ගලිකව යම් යම් සම්බන්ධතාවයන් තිබුණත් පොදුවේ තියෙන සම්බන්ධකම හුඟක් දුරස් වෙලා තියෙනවා. නායක හාමුදුරුවරු අපේ ප්‍රධාන මවුලවිතුමාලත් ගෙන්නලා මෙවැනි දෙයක් සංවිධානය කළේ ඉදිරියට මෙවැනි අසුබ දෙයක් අපේ ප්‍රදේශයන් වල සිදුවීම වැළැක්වීම සඳහායි. පල්ලියක් නම් පල්ලිය යටතේ ඉන්න මුස්ලිම් සමාජය පන්සලක් නම් පන්සල යටතෙ ඉන්න බෞද්ධ සමාජය තුළ මෙවැනි දෙයක් නොවිය යුතුයි කියන අරමුණින් තමයි මේ වැඩපිළිවෙළ සංවිධානය කළේ. අපි මේ සඳහා පොලිසියේ දායකත්වයත් ලබා ගත්තා.’’
“මේ ප්රශ්නය ඇතිවෙලා තියෙන්නෙ ටික දෙනෙක් අතර. මම දකින විදිහට මේ ගොල්ලෝ අතර යම්කිසි අවබෝධයක් තියෙනවා. කඩවල් විනාශ කිරීම සිදු වෙන්නෙ ඒවා සිදු කරන අය හිතනවා ව්‍යාපාර වලින් ඉස්සරහට මුස්ලිම්වරුන් තමයි කියලා. ව්‍යාපාර වලින් ඉහළට යද්දි මුස්ලිම් අය තනිව යන්නේ නැහැ. සිංහල සමාජයත් එක්ක බැඳිලා තමයි තමන්ගේ කටයුතු කරන්නේ. පන්සල් වලට ආධාර කරන මිනිස්සු හුඟාක් මුස්ලිම් සමාජයේ ඉන්නවා. හැබැයි ඒ පිළිබඳව සිංහල සමාජයේ ඉන්න අයට අවබෝධයක් නෑ. ඒ වගේම සිංහල සමාජයේ ඉන්න අය මුස්ලිම් අයට කරන හොඳ දේවල් ගැන මුස්ලිම් අයට අවබෝධයක් නෑ. සිංහල සමාජය ගැන බෞද්ධ ආගම ගැන අවබෝධයක් නැති අය එවැනි කටයුතු වලට පෙළඹෙන්නේ ඉඩ තියෙනවා. මේ සඳහා කළ යුතු ප්‍රධානම දේ තමයි අපි අපේ සමාජයත් අතර බැඳීම් ඇතිකර ගෙන ආගම් පිළිබඳව අවබෝධයක් ඇතිකර ගත යුතුයි. පල්ලියේ සිද්ධ වෙන්නේ මේකයි පන්සලේ සිද්ධ වෙන්නේ මේ දේවල් කියන එක ගැන අවබෝධයක් හැඟීමක් ඇති කර ගැනීම තුළින් මෙවැනි තත්ත්වයන් වර්ධනය වීම සමනය වන බවයි අපට හැඟෙන්නේ.
අපි හැමදාම මේ වගේ දේවල් ප්‍රශ්නයක් අවසන් වුණායින් පස්සේ නවත්වලා දානවා. හරියට කැඩුණු කාර් එකක් වගේ. ටික දවසක් තල්ලු කරනවා, ආයෙත් නවත්තලා තියෙනවා ඒ වගේ නැතුව මේක දිගටම ගෙනියන්න ඕන. පල්ලියේ රැස්වීමක් තිබ්බා වගේ තවත් දවසක අපේ පන්සලේ රැස්වීමක් තියමු. තවත් දවසක කතෝලික පල්ලියේ රැස්වීමක් තියමු. ප්‍රශ්නයක් එන්න ඉස්සෙල්ලා බැම්මක් ගහගන්න ඕනේ මිසක් ප්‍රශ්නයක් ආවයින් පස්සෙ කතා කරන එක පලක් නැහැ.’’
ඉදිරියේදී සියලු ජාතීන් එකතුව සාම පා ගමනක් සංවිධානය කිරීම කෙරෙහි රත්මලාන බෞද්ධ හා ඉස්ලාම් නායකයින්ගේ අවධානය මෙහිදී යොමු විය.
(රත්මලාන ජුම්මා පල්ලියේ දායක සභාවේ ක්‍රියාකාරී සාමාජික අහමඩ් රිසාන් මහතාට විශේෂ ස්තූතිය)
ඡායාරූප – අසාම් අමීන්, අහමඩ් රිසාන්