ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS) ත්‍රස්ත සංවිධානය සතුව පවතින අවසන් ප්‍රදේශය වන බගූස් වෙත සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකා විසින් එල්ල කරන ප්‍රහාරයන් මාසයකට වැඩි කලක් තිස්සේ තවමත් ක්‍රියාත්මක යි.
මාර්තු 12 වන දා සිරියානු ප්‍රජාතන්ත්‍රික බලකා (SDF) ප්‍රකාශක මුස්තෆා බාලි ප්‍රකාශ කළේ කලින් දා සවස සිට SDF සංවිධානය වෙත යටත් වූ ත්‍රස්තයින් සංඛ්‍යාව 3,000ක් වන බව යි.
මේ අතර තවත් සැලකිය යුතු පිරිසක් බගූස් ගම්මානය ආශ්‍රිතව රැඳී සිටින අතර, සිවිල් වැසියන් ද විශාල පිරිසක් එහි වන බැවින් දරුණු ප්‍රහාරයන් එල්ල කිරීම අපහසු වී තිබෙනවා.
2013 සිට සිරියාවේ විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයේ බලය කෙමෙන් කෙමෙන් තමන් අතට පත් කරගැනීමට ISIS සංවිධානය සමත් වුණා. 2015 වසර වන තුරු ම ඔවුන් සිරියාවේ විවිධ ප්‍රදේශ වෙත සිය බලය ව්‍යාප්ත කළා. මේ අතර 2014 දී ඔවුන් ඉරාකයේ ද විශාල ප්‍රදේශයක බලය තහවුරු කරගත්තා.
මෙසේ ISIS ත්‍රස්තවාදීන් අතට විශාල පෙදෙසක් පත් වෙද්දී, එම ප්‍රදේශය මැද වූ ඩෙයර් එස්-සෝර් නගරය දිගටම සිරියානු හමුදා අත තිබුණා. 2015 සිට ත්‍රස්තයින්ට එරෙහිව සිරියානු හමුදා සහ රුසියානු හමුදා එක්ව ප්‍රහාරයක් ඇරඹුණා. මේ අතර SDF සංවිධානය ද ත්‍රස්තයින්ට එරෙහිව සටන් කරගෙන ගියා.
2017 සැප්තැම්බර් 5 වන දා ඩෙයර් එස්-සෝර් වෙත ළඟා වීමට සිරියානු හමුදා සමත් වුණා. දිගටම සිරියානු හමුදා මෙන්ම SDF සංවිධානය ද ISIS ත්‍රස්තයින් වෙත පහර දුන්නා. කල් යාමේ දී අනෙකුත් ප්‍රදේශ ද ISIS සංවිධානයෙන් ගිලිහී ගියා.
කියවන්න: වසර තුනක් තිස්සේ ISIS ත්‍රස්තයින් වටලා සිටි ඩෙයර් එස්-සෝර් නගරය මුදා ගනී.
2019 මුල වන විට ඉරාකයේ පාලන ප්‍රදේශ සම්පූර්ණයෙන්ම මුදාගෙන ද කලක් වනවා. සිරියාවේ ද පාලන ප්‍රදේශය බගූස් ගම්මානය කේන්ද්‍ර කරගත් වර්ග කිලෝමීටර 4ක පමණ ප්‍රදේශයකට සීමා වුණා. මෙම ප්‍රදේශයට සටන්කාමීන් සහ ඔවුනගේ පවුල්වල අය ඇතුළු විශාල පිරිසක් පසු බැස්සා.
බගූස් සටන
යුප්‍රටීස් නදී තීරයේ, ඉරාක-සිරියා දේශසීමාව අසල බගූස් පිහිටා තිබෙනවා. එක් පසකින් SDF සේනාංක එහි ළඟා වෙද්දී, ගංගාව තරණය කිරීම වැළැක්වීමට සිරියානු හමුදා රඳවා තිබෙනවා. ඉරාක සේනාංක ඉරාක-සිරියා දේශසීමාව ආරක්ෂා කරනවා. මේ අනුව ත්‍රස්තයින් සහ ඔවුනගේ පවුල්වල අය ඇතුළු සිවිල් වැසියන් බගූස් හි කොටු වී සිටිනවා.
බගූස් වෙත අවසන් ප්‍රහාරය පෙබරවාරි 9 වන දා ආරම්භ වුණා. එය එක දිගටම සිදුවන්නේ ද නැහැ. SDF සංවිධානය පවසන්නේ සිවිල් වැසියන්ට බගූස් අතහැර පැමිණීමට ඉඩ ලබාදීම සඳහා නිතර ම සටන් විරාමයන් ක්‍රියාත්මක කරන බව යි. එහෙත් මේ වන විට ද සැලකිය යුතු සිවිල් වැසියන් ප්‍රමාණයක් ත්‍රස්ත පාලනය සහිත ප්‍රදේශයේ සිටින බව විශ්වාස කරනු ලබනවා.
ISIS නායක අබු බකර් අල්-බග්දාදි මෙම ප්‍රදේශයේ සිටින්නේ ද යන්න තහවුරු වී නැහැ. ඔහු පිළිබඳ විවිධ වාර්තා විවිධ අවස්ථාවන් හි මාධ්‍යවල පළ වූවද, තවමත් ඔහු ජීවතුන් අතර වේය යි විශ්වාස කෙරෙනවා.
බගූස් යනු ISIS හි අවසානය ද?
බගූස් සටනින් පසු ISIS සංවිධානය අවසන් වේ ද යන්න මේ වනවිට මතුවන ප්‍රශ්නයක්. 2018 දෙසැම්බරයේ දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ISIS සංවිධානය පරාජය වී අවසන් බව යි. එහි සියලු බල ප්‍රදේශ අල්ලාගෙන අවසන් බව ඔහු පෙබරවාරි අවසන ප්‍රකාශ කළා. නමුත්, බගූස් සටන අවසන් නැති පසුබිමක එම ප්‍රකාශය නිවැරදි නැහැ.
බගූස් සටන අවසන් වීම ද, ISIS විරෝධී සටනේ අවසානය නොවේ. බගූස් යනු පැහැදිලි ලෙස ම ISIS සංවිධානයට එරෙහි සටනේ එක් වැදගත් සන්ධිස්ථානයක් බවට විවාදයක් නැහැ. නමුත් එයින් ISIS සංවිධානය පරාජය වීම යනු සමස්ථ ISIS සංවිධානය පරාජය වීම නොවන බව අප මතක තබාගත යුතු යි.
එක් අතකින්, ඉරාකයේ ISIS පාලන ප්‍රදේශ සියල්ලක්ම අල්ලාගත් නමුත්, එහි අදහස ISIS ත්‍රස්තයින් සියල්ලන් පරාජය කෙරුණ බව නොවේ. නමුත්, ඉරාක ආරක්ෂක අංශයන්ට පිරිස් බලය ප්‍රමාණවත් නොවීම නිසා හෝ අන් හේතුවක් නිසා හෝ ඉරාකයේ දී ද ඔවුන්ව සම්පූර්ණයෙන් පරාජය කිරීමට හැකි වූයේ නැහැ. ඉරාකයේ ආරක්ෂක අංශ තම භූමිය අල්ලාගත් පසු ද අවස්ථා කිහිපයක දී ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වුණා. මේ අතර, සිරියාවේ ද, SDF සන්නද්ධ අංශ වෙත පහර දීම් සිදුවුණා. සාමාන්‍යයෙන් ප්‍රධාන නගරවල පාලනය ISIS සංවිධානයෙන් ගිලිහී ගිය ද, කාන්තාර ප්‍රදේශයන් හි කුඩා ගම්මාන ආශ්‍රිතව ISIS ත්‍රස්තයින් තවමත් රැඳී සිටින බවට විවිධ තොරතුරු ලැබෙමින් පවතිනවා.
පෙර කල ඔවුන් කළාක් මෙන් කාලිෆේටයක් පිළිබඳ යුටෝපියාවක් මවා පෑම මඟින් විදේශික සටන්කාමීන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව දැනට ISIS සංවිධානයට නොමැති බව සත්‍යයක්. නමුත්, ප්‍රබල සටන්කාමීන් සටන එකවර අතහරිනු ඇතැ යි සිතීම ද අදූරදර්ශී ක්‍රියාවක් වනවා. මේ බව අවබෝධ කරගත් ඉරාක ආරක්ෂක අංශ අන්බාර් වැනි ප්‍රාන්තයන් හි දැඩි ආරක්ෂක විධිවිධානයන් පවත්වාගන යනවා.
මීළඟ ප්‍රශ්නය වන්නේ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයන් සංවර්ධනය කිරීම යි. සුන්නි මුස්ලිම් සංවිධානයක් වන ISIS සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ සුන්නි මුස්ලිම් කොටස්වලින් දිගටම සහයෝගය බලාපොරොත්තු වනු ඇති. මේ දෙරටෙහිම පාලන බලය ඇත්තේ වෙනත් කණ්ඩායම් අත බැවින්, මෙම රටවල් දෙකෙහි ජීවන තත්ත්වය නගා සිටුවීමට නොහැකි වුවහොත්, දෙරටේම ඔවුනට යළි නැගී සිටීමට හේතු නිර්මාණය වනු ඇතැ යි සැක පළ වනවා.