දුප්පත් රටවල් අනතුරේ හෙළන, “එන්නත් ජාතිකවාදය”

ගෝලීය වසංගත තත්ත්වයකට මුහුණ දිය යුත්තේ ගෝලීය වශයෙන් සහයෝගීතාව පෙරදැරිව බව මුළු ලෝකයම එකහෙලා පිළිගන්නා කාරණයකි. නමුත්, ඒ දේ ඇත්තටම ක්‍රියාත්මක වෙනවා ද යන කාරණය ප්‍රශ්නාර්ථයකි. කොවිඩ්-19 රෝගයට පිළියම් ලෙස එන්නත් නිපදවා, ඒ ඔස්සේ ලෝකයේම ජනයා වසංගතයෙන් බේරී, මනුෂ්‍ය වර්ගයාගේ තවත් ජයග්‍රහණයක් ලෙස එය සනිටුහන් වනු දැකීම කාගෙත් අපේක්ෂාව වූවත්, කෙමෙන් කෙමෙන් ඉස්මතු වන “එන්නත් ජාතිකවාදය” නැමති අභියෝගය ඒ දල්වාගත් අපේක්ෂාවලට කෙබඳු ඉරණමක් අත්කර දේවි ද?

මොකක්ද මේ එන්නත් ජාතිකවාදය?

ජාතිකවාදී රාජ්‍යයන්, ජාතිකවාදී නායකයන්, ජාතිකවාදී න්‍යායපත්‍ර, ජාතිකවාදී සංකල්ප වැනි ජාතිකවාදය හා සැබැඳි වචන අපට නිරන්තරයෙන් අසන්න ලැබුණත්, “එන්නත් ජාතිකවාදය” මඳක් නුහුරු විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් ග්‍රේබ්‍රියෙසස්, කොවිඩ්-19ට එරෙහි එන්නතක් නිපදවීම පිළිබඳ ලෝකය අවධානය යොමු කළ මූලික අවස්ථාවල පටන් මේ ගැටළුව පිළිබඳව අනතුරු ඇඟවීම් කළේ ය. 

සරලවම, “එන්නත් ජාතිකවාදය” යනු ධනවත් රටවල් ගෝලීය යහපත පිළිබඳව නොසිතා, තම රටට පළමුව එන්නත් ලබාගැනීමට ක්‍රියාකිරීම යි. කොවිඩ්-19 ට එරෙහි එන්නත් එකින් එක කරළියට පැමිණෙන මුල්ම අවස්ථාවේ පටන් බොහෝ ධනවත් රටවල් එන්නත් සමාගම් සමග ගිවිසුම්ගත වී එන්නත් තොග රැස්කිරීමට උත්සුක විය. ඇතැම් ධනවත් රටවල් තමන්ට අවශ්‍ය වන තරමට වඩා කීප ගුණයක එන්නත් මාත්‍රා කලින්ම ඇනවුම් කර තිබුණි. ගෝලීයව මුහුණ දිය යුතු අභියෝගයක දී ධනවත් රටවල් මෙසේ තමන්ගේ මූල්‍යමය හා දේශපාලන හැකියාව මත එන්නත් තොග රැස්කර තබාගෙන, දුප්පත් රටවලට අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා පහසු මිළට ලබාගැනීමේ අවස්ථා අවම වන සේ කටයුතු කිරීම, එන්නත් ජාතිකවාදයේ නවතම තත්ත්වය යි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනොම් ග්‍රේබ්‍රියෙසස්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී/foreignpolicy.com/

 

එන්නත් ජාතිකවාදයේ අනතුර වන්නේ, දුප්පත් රටවලට ලබාදීමට අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා ඉතිරි නොවීම, දුපපත් රටවලට එන්නත් ලබාදීම කල්යාම, එන්නතේ මිළ ඉහළ යෑම, සහ මේ සියල්ලත් තවත් කාරණාත් නිසා ගෝලීය ආර්ථිකය සහ සෞඛ්‍යය යථා තත්ත්වයට පත්වීමේ වේගය පහත බැසීම යි. 

එන්නත ජාතිකවාදය අලුත් ද?

“එන්නත් ජාතිකවාදය” කොවිඩ්-19 රෝගයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සමග ප්‍රසිද්ධ භාවිතාවට පැමිණි පාරිභාෂික වචනයක් වුව ද, එය මීට පෙර ද නිරීක්ෂණය කෙරී ඇති සංසිද්ධියකි. 2009 H1N1 ඉන්ෆ්ලුවෙන්සා වසංගතය ව්‍යාප්තවීමේ දී ද ලොව තුළ එවැනිම රටාවක් දක්නට ලැබුණි. ඊට පෙර, HIV/AIDS, වසූරිය, සහ පෝලියෝ සඳහා සෙසු රටවලට එන්නත් ලබාගත හැකි වූයේ, සංවර්ධිත රටවල  අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තොග ලබාගැනීමෙන් පසුව බවට ඉතිහාසය කියා පායි. 

මෙසේ වූ එන්නත් ජාතිකවාදය, හුදු සංවර්ධිත රාජ්‍යයන් හා දුප්පත් රාජ්‍යයන් අතර පමණක් පවතින්නකින් ඔබ්බට රැගෙන යාමට, ලොවම උඩුයටිකුරු කළ කොවිඩ්-19 මඟපාදා ඇත. එහිදී ලෝකයේ ධනවත් රටවල් රැසකින් සමන්විත යුරෝපාකරයේ පවතින එන්නත් ජාතිකවාදය ලෝක දේශපාලනයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතී.

එකිනෙකා නුරුස්සන යුරෝපය

යුරෝපා කොමිසමේ සෞඛ්‍ය හා ආහාර සුරක්ශිතතා කොමසාරිස් Stella Kyriakides
යුරෝපා කොමිසමේ සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා කොමසාරිස්/newstalk.com/

දැනට ලෝකය තුළ කොවිඩ්-19 රෝගය සඳහා එන්නත් ලෙස ෆයිසර් බයෝඑන්ටෙක්, මොඩර්නා, ඔක්ස්ෆ්‍ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, හා රුසියාවේ ස්පුට්නික් V යන එන්නත් ඉදිරියෙන්ම සිටී. මෑතක පටන් ලංකාවෙ භාවිතයට ගැනෙන, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය හා  බ්‍රිතාන්‍ය-ස්වීඩන සමාගමක් එක්ව නිපදවූ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත යුරෝපා කලාපය තුළ එන්නත්කරණ වැඩපිලිවෙලේ ඉදිරියෙන්ම ඇති එන්නත යි. මෙහිදී තම කලාපයේ රටවලට ප්‍රමාණවත් තරම් තොග ලැබී නැති බවට යුරෝපා සංගමය ඇස්ට්‍රාසෙනෙකා සමාගමට චෝදනා කිරීමත් සමගම අර්බුදයන් රැසක් මතුව ඇත. ඔවුන්, ප්‍රධාන වශයෙන් යුරෝපා සංගමය හා ඇස්ට්‍රාසෙනෙකා සමාගම කලින් ගිවිසගත් පරිදි එන්නත් නියමිත ප්‍රමාණය වන මාත්‍රා මිලියන 80ක් වෙනුවට ඉන් කොටසක් පමණක් ලබාදෙමින් (මිලියන 30), බ්‍රිතාන්‍යයට පමණක් වැඩි ප්‍රමුඛතාවකින් එන්නත් ලබාදෙන බවට චෝදනා කරයි. එන්නත්කරණ වැඩසටහන ඉතා කඩිනමින් ආරම්භ කළ රටක් හා මෑතක දී යුරෝපා හවුලෙන් ඉවත්ව ගිය රටක් වන බ්‍රිතාන්‍යය, සෙසු යුරෝපා රටවලට සාපේක්ෂව තම රටේ ජනතාවගෙන් වැඩි ප්‍රතිශතයක් දැනටමත් එන්නත්කර ඇති බවත්, එන්නත්කරණය ඉක්මනින්ම සිදුකළ රටක් බවට පත්වීම තම අභිප්‍රාය බවත් ප්‍රකාශ නිකුත්කිරීම, මෙහි උණුසුම තවත් වැඩිවීමට හේතු වී ඇත.

යුරෝපයේ ප්‍රබල රටවල් දෙකක් වන ප්‍රංශය හා ජර්මනිය ප්‍රකාශ කර සිටින්නේ, තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා සමාගම ගිවිසගත් පරිදි එන්නත් තොග ලබාදීම යන කාරණයේ දී යුරෝපය වෙනුවට බ්‍රිතාන්‍යයට පමණක් ප්‍රමුඛත්වය ලබාදෙමින් කටයුතු කරන්නේ නම්, සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග හෝ සම්බාධක පවා එල්ල කිරීමට පසුබට නොවන බව යි. යුරෝපා සංගමයේ ද අදහස මීට සමාන ස්වභාවයක් ගෙන තිබීම ගැටළුව ත්‍රීව්‍ර කර තිබේ.

මෙසේ නැගෙන චෝදනාවලට පිළිතුරු ලෙස ඇස්ට්‍රාසෙනෙකා සමාගම කියා සිටින්නේ, තමන්ගේ සමාගමේ යුරෝපයේ නිශ්පාදන මධ්‍යස්ථානවල ධාරිතා සම්බන්ධ ගැටළුවක ප්‍රතිඵලයක් ලෙස මෙම ගැටළුව හටගෙන ඇති බව ය. යුරෝපයට ලබාදෙන ධාරිතාව මාත්‍රා මිලියන 40ට ආසන්න ප්‍රමාණයක් දක්වා වැඩි කිරීමට සමාගම කටයුතු කරන බවත්, එම සමාගම හා බ්‍රිතාන්‍යය අතර ගිවිසුමේ පරිදි ඔවුන්ට එන්නත ලබාදෙනවා විනා තමන් ඔවුන්ට ප්‍රමුඛත්වයක් ලබාදීමට කටයුතු නොකරන බව යි. නමුත් තමන්ට නියමිත එන්නත් තොග නොලැබී යාම නිසා එන්නත්කරණ වැඩපිලිවෙල ඇණහිටීමේ තත්ත්වයක් උද්ගතව ඇතැ යි පවසමින් යුරෝපා සංගමයේ විරෝධතාව තවමත් එල්ලවෙමින් පවතී. තමන්ගේ කලාපයට එන්නත් නොලැබී යාම නිසා යුරෝපා සංගමය ඇස්ට්‍රාසෙනෙකා සමාගමට දන්වා ඇත්තේ, යුරෝපය තුළ ඔවුන්ගේ වගකීම ඉටුකළ පසු ලෝකයේ වෙනත් රටවලට එන්නත් ලබාදෙන ලෙස යි.

එන්නත ලබා ගන්නා බ්‍රිතාන්‍ය ජාතිකයන්
එන්නත ලබා ගන්නා බ්‍රිතාන්‍ය ජාතිකයන්/www.nytimes.com/

 

ජයග්‍රාහකයන් වීමට නම්

කෝවැක්ස් පහසුකම වැනි වැඩසටහන් යටතේ, පොහොසත් රටවල ආධාර මඟින් ලෝකයේ දුප්පත් රටවල ජනගහනයෙන් කොටසකට කොවිඩ්-19 සඳහා එන්නත් ලබාදීම සිදුකිරීමට පියවර ගෙන තිබුණත්, එම රටවලට තවමත් තමන්ගේ ජනතාව එන්නත්කරණය දැඩි අභියෝගයක්ව ඇත. ගෝලීයකරණය නැමැති සංකල්පය තුළ සෑම රටකම සමානාත්මතා පිළිබඳව පාරම්බානා ධනවත් රටවල අධිපතිවාදී හා ජාතිකවාදී ක්‍රියාකලාපයන්ගේ නිරුවත ගෝලීය එන්නත්කරණ අර්බුදය ඔස්සේ කරළියට පැමිණ ඇත.    

පළමුවෙන් තමන්ව ආරක්ෂා කරගැනීමට ජාතීන්ගේ පවතින ආශාව නොවැළැක්විය හැකි නමුත්, මෙවැනි ගෝලීය වසංගත තත්ත්වයක් තුළ එය මත පිහිටා කටයුතු කිරීම කෙතරම් සාධාරණ ද, හා එවැනි තීරණ මුළු ලොවටම කෙබඳු ප්‍රතිවිපාක ගෙන එන්නේදැ යි පැවසිය නොහැකියා. එබැවින් සැබෑ ජාතිකවාදීන් ලෙස සුළු කලෙකට ජයග්‍රාහකයින් වනවා ද, ගෝලීය වශයෙන් ජයග්‍රාහකයින් වනවා ද යන්න ලෝකවාසීන් තීරණය කළ යුතුව ඇත.

Related Articles

Exit mobile version