ලෝක මැයි දිනය අපට වෙනස් කරන්න පුළුවන් ද?

ජාත්‍යන්තර පිළිගත් දිනයක් අපිට හිතුමතයට වෙනස් කරන්න පුළුවන් ද? මේ අද බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය මතු වෙන්නෙම මැයි පළවෙනි දා සමරන ලෝක කම්කරු දිනය දින 6කින් කල් දැමීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ව්‍යකූලත්වය නිසයි. ශ්‍රී ලංකාවේ කම්කරු දිනය සැමරීම ආරම්භ වූ දා ඉඳලම ලෝක කම්කරු දින ඉතිහාසයේ කවරදාකවත් කුමන හේතුවක් නිසාවත් කම්කරු දිනය කල් දැමීමක් සිදු කර නැහැ. සියලු ජාතීන්, සියලු ජනවර්ග, සියලු ආගමික කොටස්, ආගම් නොඅදහන කොටස්, සියලු දෙනා එක්ව සමරන එකම දිනය වන්නේ මැයි පළමු වැනි දා යි.

නමුත් මෙවර කම්කරු දිනය වෙනස් කිරීමට රජය තීන්දු කිරීමත් සමඟ මැයි පළමු වැනි දා කම්කරු දිනය සැමරීමට තිබූ අවස්ථාව අහිමි වුණා. ලංකාවේ සිදු කළාක් මෙන් මෙවර කම්කරු දිනය වෙනස් කිරීමට ලෝකයේ කිසිදු බෞද්ධ රටක් පියවර ගෙන නැහැ. එම නිසා රජයේ තීරණය සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ ප්‍රසාදයකටත් වඩා අප්‍රසාදයක් කිවහොත් නිවැරදි යි. රජයට මැයි දිනය වෙනත් දිනයකට කල් දැමීමට නෛතික වශයෙන් බාධාවක් නොමැතිමුත් සදාචාරාත්මක වශයෙන් ගතහොත් කම්කරුවන්ට මැයි පළවෙනි දා කම්කරු දිනය සැමරීමට අවකාශය නොලැබී යාම සාධාරණ නොවන බව ඇතැමෙක්ගේ තර්කය වෙයි.

2.bp.blogspot.com

කම්කරු දිනය වෙනස් කිරීම ගැන රජය හා ඇතැම් වෘත්තීය සංගම් අතර විරසකය

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධනගෙන් මේ පිළිබඳව විමසීමේ දී ඔහු පැවසුවේ මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු ගරු නායක ස්වාමීන් වහන්සේලාගේ විශේෂ ඉල්ලීමකට අනුව මැයි සැමරුම වෙනස් කිරීමට තීරණය කළ බව යි. ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 7 වැනිදාට ගෙන යාම සම්බන්ධයෙන් වෘත්තීය සංගම්වල විරෝධතාවයන් ගැන ද ඇමතිවරයා චෝදනා නැගුවේ ය.

‘‘අපට පෙනෙනවා ඇතැම් වෘත්තීය සමිති ඒ පිළිබඳව හඬ නගනවා ජාත්‍යන්තර කම්කරු දිනය කොහොම ද ආණ්ඩුව වෙනස් කරන්නේ කියලා. මේක හරිම බොළඳ තත්ත්වයක්. ජාත්‍යන්තර කම්කරු දිනය ඇමෙරිකාවේ පවත්වන්නේ සැප්තැම්බර් මාසයේ දී. කැනඩාවේ පවත්වන්නේ සැප්තැම්බර් මස 09 වැනි දා. තම තමන්ගේ රටට ගැලපෙන ලෙස එම වෙනස්කම් කළ යුතුව තිබෙනවා. එංගලන්තයේ මැයි 07 වැනි දා. වෙසක් අප්‍රේල් වලට අරගෙන, මැයි දිනය 07 වැනිදාට අරගෙන කියා මාධ්‍ය මගිනුත් වැරදි ප්‍රචාර අරගෙන යනවා.’’

ස්වදේශ කටයුතු ඇමතිවරයා දැක්වූ අදහස්වලට එකඟ නොවන බව පැවසූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්, එම සංගමය කම්කරු දිනය කල් දැමීම සම්බන්ධයෙන් ලෝක කම්කරු සංවිධානය ඉදිරියේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සුදානම් වන බව සඳහන් කළා.

‘’වෙසක් දිනය තියෙන්නේ අප්‍රේල් 29 වැනිදා යි. මැයි පළවෙනි දා ජාත්‍යන්තර කම්කරු දිනය යි. ජාත්‍යන්තර කම්කරු දිනය වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ. මේගොල්ලෝ කියන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමක් අනුව මෙය කල් දැම්මා කියලයි. හැබැයි මේ වෙද්දි අපි දන්නව මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි හාමුදුරුවෝ ප්‍රසිද්ධියේ කිව්වා මේක විහිළුවක් කියලා. එහෙමනම් කොයි භික්ෂූන් වහන්සේලා ද මැයි දිනය කල් දාන්න කියලා ඉල්ලුවේ.

cnn.com

ආණ්ඩුවක් උනහම ඒකපාර්ශවිකව කටයුතු කරන්න බැහැ. මැයි දිනය කල් දාන එක ගැන එක වෘත්තිය සමිතියක් එක්ක සාකච්ඡා කළා ද? නැහැ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැුව ඒකපාක්ෂිකව මැයි දිනය කල් දැම්මා. මේක සම්පූර්ණයෙන්ම අත්තනෝමතික ක්‍රියාමාර්ගයක්. බෞද්ධ වෙසක් දිනය සමරන්න තියෙන අයිතිය වගේම කම්කරුවාට කම්කරු දිනය සමරන්න අයිතිය තියෙන්න ඕනේ’’

මේ අතර ජෝශප් ස්ටාලින් පවසන්නේ මැයි දිනය සැමරීමට නගර ශාලාවක් හෝ පිට්ටනි නොදෙන බවට ලිඛිතව නාගරික කොමසාරිස්වරයා විසින් වෘත්තීය සංගම් වෙත දැනුම් දී තිබීම අත්තනෝමතික තත්ත්වයක් බවයි.

‘’මැයි දිනය කල් දාන්න තීන්දු ගත්තත් පිට්ටනි දෙන්නේ නැහැයි කියලා මේ විදිහට බලහත්කාරකම් කරන්න පුළුවන්කමක් නැහැ. මේ වගේ ලියුම් ගහන්නෙ මොන පදනමකින්ද කියලා අපි අහනවා.’’

මේ අතර මැයි පළවෙනි දා කොටුව දුම්රිය පොළෙන් මැයි දින පෙළපාලියක් ආරම්භ කිරීමට වෘත්තිය සමිති විසි දෙකක් සූදානම් වෙමින් සිටී.

ලෝක කම්කරු දිනය වෙනත් දිනයක සැමරිය නොහැකි බවත්, කම්කරුවාගේ හඬ මැයි පළමු වැනිදා දා තරම් වෙනත් දිනයක් ඇඟට නොදැනෙන බවත් පවසන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ලෙස්ලි දේවේන්ද්‍ර ලෝක කම්කරු දින සැමරුම් රැලිය වැඩ කරන ජනතාව පන්දහසකට (5000) අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි පළමු වැනි දා පවත්වන බව සඳහන් කරයි.

dailynews.lk

කම්කරු දින නිවාඩුව

ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීම සඳහා මැයි පළමු වැනිදා ලැබෙන නිවාඩුව මෙවර ලැබෙන්නේ මැයි මස හත් නිසා කම්කරු දිනය සැමරීමට අපේක්ෂා කරන කම්කරු ජනතාවට මැයි පළවෙනි දා නිවාඩුව නොලැබී යයි. කම්කරු කොමසාරිස් ජනරාල් ආර්.පී.ඒ. විමලවීර මහතා Roar වෙත සඳහන් කළේ නිවාඩු ලබාදීම රජයේ ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව යි.

“නිවාඩු පනත ප්‍රකාරව මැයි දිනය නිවාඩු දිනයක් හැටියට ප්‍රකාශයට කළහම ඒ දිනය පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නිවාඩු දිනයක් විදිහට අපි තීරණය කරල තියනවා. නිවාඩු තීරණය කිරීමේ දී පරිපාලන සභා ආඥා පනත, සහ සාප්පු හා කාර්යාල සේවක පනත අනුව පෞද්ගලික අංශයේ සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන් ද ඇතුළුව අර්ධ රාජ්‍ය ආයතන වල සේවකයන්ගේ නිවාඩු සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුව යි.

මැයි දිනයට අනුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත් කළහම අපි එය පෞද්ගලික අංශයේ සේවකයන්ට ව්‍යවස්ථාපිත නිවාඩුවක් හැටියට ගන්නවා. ප්‍රශ්නය තියෙන්නේ නිවාඩු දෙන දිනය හත්වැනි දා හැටියට ප්‍රකාශයට පත් කළහම කලින් තිබ්බ පනතේ ගැසට් නිවේදනය අවලංගු කරලා, ඒ වෙනුවට මැයි පළවෙනි දා නෙවෙයි හත් වැනිදා රජයේ නිවාඩුව කරලා තියෙනවා. එතකොට පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා සහ අර්ධ රාජ්‍ය සංස්ථා ද ඇතුළුව සේවකයන් සඳහා වන ව්‍යවස්ථාපිත නිවාඩුව හිමි වෙන්නේ මැයි පළවෙනි දා නෙවෙයි, මැයි 7 වැනි දා යි’’.

කම්කරු ප්‍රජාවගේ මැයි දින ඉතිහාසය

dailynews.lk

මැයි දින ඉතිහාසය ක්‍රි. ව.1886 තරම් අතීතයකට දිව යන අතර එම වසරේ මැයි 01 වනදා ඇමරිකානු කම්කරුවන් 65000ක පිරිසක් තම වැඩ මුරය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලා චිකාගෝ නුවරට රැස් වුණා. කම්කරු ජනතාවගේ සාධාරණ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ චිකාගෝ කර්මාන්තශාලා හිමියන් තම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කිරීම නිසා තත්ත්වය උණුසුම් අතර හැරුණු අතර, ආවේගයට පත් දහස් ගණන් වන ජනයා චිකාගෝ හේමාකට් චතුරස‍්‍රයට ගලා එන්නට පටන් ගත්තා. මෙසේ රැස් වූ ජනයා අයුක්තියට අසාධාරණයට එරෙහිව පෙළ ගැසෙමින් මිනීමරුවන් පෙන්වා දඬුවම් කරන්නැයි රාජ්‍ය පාලකයන්ගෙන් ඉල්ලා සිටියා.

වැඩවර්ජනයේ තෙවන දින ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් කම්කරුවන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත් වීමත් සමඟ ගැටුම් උග්‍ර අතට හැරුණා. එදින පොලිසිය හා කම්කරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර එහි දී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියකු ද මිය ගියේය. ගැටුමක් දක්වා වර්ධනය වූ එය තවත් උග්‍ර වුයේ, පොලිස් නිලධාරීන් 06දෙනෙකුට ජීවිත අහිමි කරමිනුයි.

ඕගස්ටස් ස්පයිස්, ඇල්බට් පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ් ෆීෂර්, ජෝර්ජ් එන්ගල්ස්, සැමුවෙල් ෆීල්ඩන්, ලුයිස් ලන්ග්, මයිකල් ස්ට්වැච්, හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ  අතර පසුව ඔවුන්ට එරෙහිව නඩු පවරනු ලැබී ය. ඔස්කා නිබේට වසර 15ක සිර දඬුවමක් නියම වූ අතර සැමුවෙල් ෆීල්ඩන්, මයිකල් ස්ට්වැඩ් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

චිකාගෝ සුපිරි කම්හල් හිමි ධනේශ්වරයින්ගේ මෙම කි‍්‍රයාවලිය එවක එහි සිටි පොලීසිය අනුමත කළත් ලොව කිසිදු ජන වර්ගයක් අනුමත කළේ නැහැ. ඒ නිසාම ලෝකය පුරා පැතිර ගිය ජාත්‍යන්තර කම්කරු අරගලයකට මුල පිරුණි.

පැය 08ක සේවා කාලයක් ඉල්ලා අරගල කරමින් එලෙස රුධිරය වැගිරූ තම සගයින් සදාතනිකව සිහි කිරීමට, පැරිස් නුවර දී ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ ප‍්‍රධානත්වයෙන්1889 වසරේ රැස් වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය සැමරුම් උත්සවයක් පැවැත්වීමට තීරණය කරන ලදී.

ඒ අනුව සැම වසරකම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළ අතර ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේ දී යි. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.

ශ්‍රී ලංකාවේ මැයි දින ඉතිහාසය1926 වර්ෂයේ මැයි දිනයේ දී කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. එදා මැයි දිනය, මැයි පෙරහැරක් පවත්වා වැඩ කරන ජනතාවට කී‍්‍රඩා උපකරණ තෑගි ලෙස ලබා දෙන ලදී. මෙම මැයි පෙළපාලිය පාලනය සඳහා කම්කරු පොලිස් හමුදාවක් යොදා තිබුණු අතර මත්පැන් පානය ද තහනම් කර තිබුණි.

සැබවින්ම එය විනය ගරුක කම්කරු උළෙලක් වූ අතර පසු කාලය වන විට මෙය මැයි පෙළපාලියක් ලෙස සම්මත රැළියක් බවට පත් විය.

Cover – jvpsrilanka.com

මූලාශ්‍ර

itnnews.lk

මනහර සඟරාව 1998 කලාපය

Related Articles

Exit mobile version