ළමයින් අනතුරේ දමන අපේ රටේ ජාවාරම්

වැඩිහිටියන් යටතේ ජීවත් වන, නිදහස් චින්තනයකට හිමිකම් නැති, සමාජයක සිටින අසරණම මානව කොට්ඨාසයයි, ළමයින්. ළමයින් අනෙකුත් පුද්ගලයන්ට සාපේක්ෂව අනතුරේ වැටීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ළමයින් ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවත්, ළමා අයිතිවාසිකම් වල අවශ්‍යතාවත්  මතුවන්නේ ඒ නිසයි.

ළමා ගණිකාවන් ශ්‍රී ලංකාවෙන්

(http://life.dailymirror.lk/article/travel/Beach-boys-and-Lankan-tourism/58/16486) විදේශිකයන්ගේ ගොදුරක් වූ ශ්‍රී ලාංකික පිරිමි ළමයෙක්

නෙදර්ලන්තයේ ප්‍රකාශයට පත්කරන SPARTACUS’  නමැති සංචාරක සඟරාවක සඳහන් වුයේ  “ශ්‍රී ලංකාව පිරිමි ළමා ගණිකාවන්ගේ පාරාදීසයක්” බවයි. ‘LITTLE JOHN’ නමැති තවත් සංචාරක සඟරාවක් දක්වා තිබුණේ “ගණිකාවක් අවශ්‍ය නම් තායිලන්තයටත්, ළමා ගණිකාවක් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවටත් යන ලෙසයි.” එම සඟරා වල ලංකාවේදී ළමා ගණිකාවන් මුණගැසිය හැකි ස්ථාන වල ලිපිනයන් සහ දුරකථන අංක පවා  සඳහන් කර තිබුණා.

වයස අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් දුරාචාරයේ යොදවා ගැනීම ළමා ගණිකා සේවය යනුවෙන් හඳුනාගන්න පුළුවන්. ළමා ගණිකාවන් සඳහා ඇල්මක් දක්වන්නේ වයස අවුරුදු 50 ට වැඩි විදේශිකයන් බවයි සාමාන්‍ය මතය.

ශ්‍රී ලංකාව ළමා ගණිකා ව්‍යාපාරයට මහත් ප්‍රසිද්ධියක් උසුලනවා. ශ්‍රී ලංකාව තුල ළමා ගණිකා ව්‍යාපාරයට හසුවන බොහොමයක් අය, පිරිමි ළමුන්. ඔවුන්ගෙන් සමහරක්ට වයස අවරුදු 7 වත් සම්පුර්ණ වී නැහැ. වයස අවරුදු 7 සිට අවුරුදු 19 පමණ දක්වා වූ පිරිමි ළමයින් මේ සඳහා ගොදුරු වෙලා තිබෙනවා. වයස අවරුදු 19-20 පසු වූ විට ඔවුන් එම ව්‍යාපාරයෙන් ඉවත් වී විදේශිකයන්ට ළමා ගණිකාවන් සපයන තැරවුකරුවන් බවට පත් වෙනවා. ඒ අනුව මෙය නැවතීමක් ‍දක්නට නොලැබෙන ව්‍යාපාරයක්.

මෑතකදී කළ පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ලෝකයෙන්ම ළමා ගණිකාවන් සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇති බවයි. ඉන් ප්‍රථම ස්ථානය හිමි වන්නේ තායිලන්තයටයි.

ශ්‍රී ලංකාවේ මෙම ව්‍යාපාරය ව්‍යාප්ත වී ඇති නගර අතර පළමු තැන කොළඹටත්, දෙවන තැන මීගමුව ටත්, තුන් වන තැන ගාල්ලේ උණවටුන ටත් හිමි වෙනවා. මෙය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත කලාප වලයි.

කුඩා දරුවන් මේ සඳහා පොළඹවා ගැනීමට තැරවුකරුවෝ විවිධ උපක්‍රම භාවිතා කරන අතර, සෙල්ලම් බඩු, රසකැවිලි ආදිය ලබාදීමත්, තවදුරටත් ඔවුන් එවැනි හැසිරීම් වලට විරුද්ධ වන්නේ නම් තම බලය යොදා ඔවුන් මෙල්ල කරගැනීමත්, සිදු කරනවා. කෙසේ වුවත් වෙරළාසන්නයේ සිදුකෙරෙන මෙම ව්‍යාපාරයෙන් ඔවුන් වාර්ෂිකව විශාල මුදලක් උපයනවා.

මෙම ව්‍යාපාරය ව්‍යාප්ත වීමට බලපා ඇති සමාජීය හේතු බොහෝමයි. දුප්පත්කම සහ නූගත්කම ඉන් ප්‍රධාන වන අතර මව්වරුන් විදේශගත වීම සහ ඒ මත දරුවන්ට ලැබිය යුතු ආදරය සෙනෙහස ආරක්ෂාව අහිමි වීම ද මෙයට බලපානවා.

වර්තමානය වන විට ළමයින් මේ සඳහා කෙතරම් දුරට ඇබ්බැහි වී තිබෙනවා ද යත්, ඔවුන් ඉන් ඉවත් වීමටත් අකමැතියි. විදේශිකයන්ගෙන් ඔවුන්ට ලැබෙන ගාස්තු ඊට හේතුවයි. සමාජ රෝග වලට කෙතරම් ගොදුරු වුවත්, හෙට ගැන සිතීමට පෙර අද කා බී සතුටින් සිටීමයි ඔවුන්ගේ වුවමනාව.

සංචාරකයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීම, සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ වල මෙහි භයානකත්වය පිලිබඳ දැනුවත් කිරීම, මෙවැනි ව්‍යාපාර ගෙන යන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම, සහ ළමා ගණිකා ව්‍යාපාරයේ ‍යෙදෙන ළමයින් පුනුරුත්ථාපනය කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීම කාන්තා හා ළමා කාර්යාංශය හරහා සිදු කෙරෙනවා.

ළදරු‍ වෙළඳාම ජයට

ශ්‍රී ලංකාව තුළ ළදරු වෙළඳාම සීඝ්‍ර වශයෙන් ඉහළ යන්නේ 1977 න් පසුවයි. ශ්‍රී ලංකාවේ වර්තමාන නීතිය අනුව ළදරුවන් හෝ ළමයින් මුදලට විකිණීමක් කළ නොහැකි වුවත්, ජාවාරම් කණ්ඩායම් හොර රහසේ ළදරුවන් විදේශයන්ට විකිණීමෙන් ලක්ෂ ගණනින් ලාභ ලබනවා. ළදරුවන් විදේශයන්ට විකිණීමේ අරමුණින් රටේ කිහිප පොළකම ‘ළදරු තවාන්’ බිහි වී ඇති අතර ඒවා තුල රඳවා සිටින ගැබිණි මව්වරුන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සපයනු ලබනවා. ලැබෙන දරුවා වෙනුවෙන් ජාවාරම්කරුවන් සහ විදේශිකයන් අතර මුදල් ගිවිසුමක් ඇති වන අතර දරුවාගේ මවට ද සොච්චම් මුදලක් හිමි වෙනවා.

  • පෙම්වතුන් හෝ වෙනත් පුද්ගලයන් මගින් ගැබ්ගත් අසරණ තරුණියන්,
  • දුප්පත් කම නිසා ලැබෙන දරුවන් නඩත්තු කළ නොහැකි මව්වරු,
  • දුර බැහැර පළාත් වලින් රැකියා සොයාගෙන කොළඹට පැමිණෙන තරුණියන්,

ආදිය මෙවැනි තවාන් වලට ගාල් කරගැනීමට ජාවාරම්කරුවන් යොමුවෙනවා.

පෙම්වතුන් නිසා ගැබ්ගත් තරුණියන් හට එම ගැබත් සමඟ නිවසේ තවදුරටත් ජීවත් වීම ලැජ්ජාවක් බවට සමාජය පත්කර ඇති නිසා ඔවුන්ට මෙවැනි තවාන් ආරක්‍ෂිත නවාතන්පලක් බවට පත්වෙනවා.

මේ ව්‍යාපාරයට විරුද්ධව මුල් කාලයේ නීති සැකසී තිබුණේ නැහැ. ඒ කාලයේ විදේශිකයන් තමා දරුවා හදා වඩා ගැනීම සඳහා මිලදී ගන්නා බව පැවසුවත්, ඇත්තෙන්ම සිදු වුයේ වහල් මෙහෙය සඳහාත්, විකෘති කාමාශාවන් සඳහාත්, ඉන්ද්‍රියයන් බද්ධ කිරිමටත් යොදාගැනීමයි.

විදේශිකයන්ට දරුවන් කුලවද්දා ගැනීම (දරුකමට හදාගැනීම) සඳහා ශ්‍රී ලංකාවේ මුල් වරට නීති සැකසෙන්නේ 1964 දීයි. නමුත් ඊට පෙරදීත් දේශීය අයදුම්කරුවන්ට අන් අයගේ දරුවන් හදා වඩා ගැනීම ‍සඳහා අවස්ථාව දී තිබුණා. 1964 දී දරුකමට හදාගැනීම සඳහා ඇති නීති සංශෝධනය වෙමින් විදේශිකයන්ට ද ඒ සඳහා අවස්ථාව සැලසෙනවා.

කෙසේ වෙතත් නව නීති පැමිණියත්, නීතියට පටහැණිව ළදරුවන් විකිණීමේ ව්‍යාපාරය නම් නැවතුණේ නැහැ. සමාජ ව්‍යාපාර වල දැඩි බලපෑම හමුවේ නැවත නීති සංශෝධනය කිරීමට එකල රජය කටයුතු කරමින් 1992 දී නීතිය නැවත වෙනස් කළ අතර එම ඉල්ලුම්කරුවන් පහත සුදුසුකම් සපුරා තිබිය යුතු වෙනවා.

  • ආර්ථිකය යහපත් වීම.
  • ශාරීරික මානසික යහපැවැත්ම.
  • සමාජයේ උසස් පුද්ගලයෙක් වීම.
  • අපරාධ වලට සම්බන්ධ නොවූවෙක් බවට සිය දේශයෙන් ලබාගත් පොලිස් වාර්තාවක් සැපයීම.

ඒ ඒ රට වල තානාපති කාර්යාල මඟින් ළමයින්ගේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ද ළමාරක්ෂක දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු වෙනවා.

කෙසේ වෙතත් විදේශිකයන්ට දරුවන් හදා  වඩා ගැනිමට දීම පිළිබඳ කතිකාවත තවමත් අවසන් වී නැහැ. දැඩි ආර්ථික දුෂ්කරතාවන් හමුවේ ‘දරුවන් හදා වඩා ගැනීම’ යන නාමය භාවිතයෙන් දරුවන් ලබා දුන්නත් සැබවින්ම එයද ‘ළදරු වෙළෙඳාම’ක් බවයි විචාරකයන් පවසන්නේ.

ළමා ශ්‍රමය

(https://yourstory.com/2017/04/child-labour/) දර මඩුවක සේවයේ යොදවා ඇති ළමයෙක්

වයස අවුරුදු 14 වත් සම්පුර්ණ නොවූ දරුවන් විවිධ සේවාවන්හි යොදාවා ගැනීම ශ්‍රී ලංකාවේ දක්නට ඇති තවත් භයානක තත්වයක්. කෙසේ වෙතත් ළමයින් විසින් සිදුකරන සියලු වැඩ කටයුතු ළමා ශ්‍රමය යටතට ගැනෙන්නේ නැහැ. ගෙදර දොර වැඩ කටයුතු වලදී, කෘෂිකාර්මික කටයුතු වලදී දෙමවුපියන්ට සහය වීම ආදිය ළමා ශ්‍රමය සූරා කෑමක් නොවෙයි.

ළමා ශ්‍රමිකයන් විවිධ අංශ වලදී අපට හමු වෙනවා. පදික වෙළෙඳාම, ගෘහස්ත සේවය, කරවල වේලීම, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර, කඩ සාප්පු හා හෝටල් සේවය, ලොතරැයි අලෙවිය ආදිය ඉන් විශේෂයි.

බොහෝ විට මධ්‍යම පාන්තික නිවෙස් වල, කුඩා දරුවන් සුළු මුදලකට මෙහෙකාර සේවයේ යොදවාගන්නා ආකාරය දැකගන්න පුළුවන්. ඇතැම් විට මෙහිදී ඔවුන්ගේ සේවයට මුදලක් ගෙවන්නේම නැහැ. හෝටල් වල වැඩ කරන ළමයින්ට ද තුන් වේල මිස වැටුපක් නැහැ.

සේවා නියුක්ති පනතට 1957 දී ගෙන ආ අතුරු නීතියට අනුව වයස අවුරුදු 12 ට අඩු දරුවෙක් සේවාවන් වල යොදවා ගැනීම නීති විරෝධී වන නමුත් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ ඇත්තේ ද අවම ක්‍රියාකාරිත්වයක්.

බොහෝ විට දෙමවුපියන් අහිමිවීම මත පවුලේ බර කරට ගැනීමට සිදුවීම, දෙමව්පියන් සමඟ හෝ සුළු මවගෙන් හෝ සුළු පියාගෙන් සිදු වන අතවර මත නිවස අතහැර යාම නිසා දරුවන් මෙවැනි තත්වයන්ට ගොදුරු වෙනවා.

මෙම තත්ත්වය මත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන අතර ඔවුන්ගේ අනාගතය ද අනාරක්ෂිතයි. ඔවුන් බොහෝ විට අවසානයේ නතර වන්නේ සිර මැදිරියකින්.

ළමයින්ගේ අයිතිවාසිකම් හා සුභසාධනය ‍පිළිබඳ ඉහළින් කතා කරන, සමීක්ෂණ පවත්වන,  රටේ වැදගත් යයි සම්මත ලොකු ලොක්කන් සහභාගී වන සම්මන්ත්‍රණ වලදී කෙතරම් මෙවැනි ගැටළු කතා කලත්, ළමයින් අනතුරේ වැටීම නම් දිනෙන් දින වැඩි වීමක් විනා අඩුවක් නැහැ. ළමා පරපුර මෙවන් අනතුරු වලින් බේරාගැනීමට රජයට හා  අනෙකුත් සමාජ සංවිධාන වලට කළ හැකි දේ බොහෝයි. නමුත් ගැටළුව ඇත්තේ ඔවුන් කිසිවක් නොදන්නා, නොපෙනෙනා, නොඇසෙනා අන්ධයන්, ගොළුවන්, බිහිරන් සේ සිටිනවා හැර ඒ සඳහා සුදුසු පියවරක් නොගැනීමයි.

කවරයේ පින්තූරය- https://mycanopy.org/2017/04/child-abuse/

මූලාශ්‍ර

  1. slembassyusa.org
  2. srilanka.smetoolkit.org
  3. colombopage.com
  4. ibtimes.co.uk
  5. independent.co.uk
  6. sundaytimes.lk

Related Articles

Exit mobile version