ඩයලොග් වෙතින් ICU සංවර්ධනයට මිලියන 200ක්

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල්වල කඩිනමින් දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. මිලියන 200ක් ලබාදීමට ඩයලොග් ආසියාටා සමාගම එකඟ වී තිබෙනවා. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීමටත්, දැඩි සත්කාර ප්‍රතිකාර ලබා දීමටත් අවස්ථාව උදා කර දෙමින් මෙරට සෞඛ්‍ය පද්ධතිය වැඩි දියුණු කිරීම උදෙසා මෙම මුදල යෙදවෙනවා.

මේ දිනවල රටපුරා වර්ධනය වෙමින් පවතින කොවිඩ්-19 තත්වය හේතුවෙන් රෝහල්වල දැඩි සත්කාර ඒකකවල පවතින පහසුකම් තවදුරටත් පුළුල් කිරීම කාලීන අවශ්‍යතාවයක්ව තිබෙනවා. ‍වැඩිවන රෝගීන් සංඛ්‍යාවන්ට සාපේක්ෂව ප්‍රතිකාර ධාරිතාවන් වැඩි කිරීම අනාගතය වෙනුවෙන් සූදානම් වීමක්.

ඊට සහාය වෙමින් ඩයලොග් ආසියාටා සමාගම රෝහල්වල දැඩි සත්කාර ඒකක වැඩිදියුණු කිරීමට, නවීන වෛද්‍ය උපකරණ ලබාගැනීමට දායකත්වය සපයනු ලබනවා. එමඟින් කොවිඩ්-19 ආසාදිතයින් පමණක් නොව රෝහල් ගතවන සියලුම පුද්ගලයිට අවශ්‍ය දැඩි සත්කාර පහසුකම් වැඩි දියුණු කිරීම සිදු වෙනවා.

මේ පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමතිණී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවේ මෙම ජාතික සත්කාරය සඳහා අති දැවැන්ත මුදලක් ලබාදීමට එකඟ වූ ඩයලොග් ආසියාටා සමාගම වෙනුවෙන් තම ස්තුතිය පුද කරන බව යි.

එසේම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු මෙම පරිත්‍යාගය සුවිශේෂී වැදගත්කමකින් යුතු එකක් බව යි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ දැඩි සත්කාර ඒකකවලට මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් සංවර්ධනය කිරීමට මෙම පරිත්‍යාගය මහත් පිටිවහලක් වන බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඩයලොග් ආසියාටා සමාගම සිදුකළ මේ සත්කාරයට සෞඛ්‍ය අමාත්‍යවරිය, ලේකම්වරිය, සහ කාර්යමණ්ඩලය ඇතුළු අමාත්‍යාංශයේ සියලුම දෙනා වෙනුවෙන් තම කෘතඥතාවය පළ කරන බවත් ය.

ඩයලොග් ආසියාටාහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙසේ අදහස් දැක්වූවා: “මේ වන විට ශ්‍රී ලංකා රජය කොවිඩ්-19 ගෝලීය වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වැඩපිළිවෙලට සහාය දැක්වීමේ අරමුණින් ඩයලොග් ආසියාටා සමාගම අද දින සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ මිලියන 200 ක දැවැන්ත ගිවිසුමකට එළඹ තිබෙනවා. මෙවන් අවිනිශ්චිත තත්ත්වයක දී අපට ශක්තියක් වෙමින් නිබඳව රැඳී සිටින අපගේ සියලුම පාරිභෝගිකයන්ට අපේ ස්තුතිය පුදකර සිටීමට මෙය අවස්ථාවක් කරගන්නවා.”

තවදුරටත් අදහස් දක්වමින් සුපුන් වීරසිංහ මහතා සමස්ත ශ්‍රී ලංකාවම සුරක්ෂිත කිරීම වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින රජයටත්, මේ වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ සියලු නිලධාරීන්ටත්, සෞඛ්‍ය හා අනෙකුත් සියලු අත්‍යවශ්‍ය සේවා කාර්යමණ්ඩලවලටත්, ගරු අමාත්‍යතුමිය, ලේකම්තුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා ඇතුළු කාර්යමණ්ඩලයටත් තම ආයතනයේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටියා.

කොවිඩ්-19 ගැන සජීවීව තොරතුරු දැනගන්න අපගේ සජීවී බ්ලොග් පිටුව වෙත පිවිසෙන්න. අපේ @RoarSinhala ට්විටර් ගිණුම Follow කරන්න.

Related Articles

Exit mobile version