සීකා උණ වසංගතය: පැතිරීම හා පාලනය

මේ දිනවල බහුලවම සාකච්ඡා වන මාතෘකාවක් තමයි 2015 – 2016 සීකා වයිරස වසංගතය. මෙම වයිරසය මේ වන විට උතුරු හා දකුණු අමෙරිකානු මහද්වීපත්, කැරිබියානු දූපත්, හා ශාන්තිකර දූපත් ආශ්‍රිතවත් පැතිර ගොස් තිබෙනවා. මෙම වයිරසය 1947 වසරේ දී පළමුවෙන්ම හඳුනාගැනුනේ උගන්ඩාවේ වඳුරන් අතරේයි. මිනිසුන් අතර මෙම රෝගය පැතිරෙන බවට ප්‍රථමයෙන් නිරීක්ෂණය කළේ 1952 දී උගන්ඩාවේ හා ටැන්සානියාවේ දී යි. පසුව 1960 – 1980 අතර කාලයේ දී අප්‍රිකාව හා ආසියාව පුරා වරින් වර මෙම රෝගය වාර්තා වුණා. මෙය ප්‍රථමයෙන්ම වසංගත තත්ත්වයක් උද්ගත වන තරමට පැතිරුණේ 2007 වසරේ දී යි. මේ අප අභියස ඇත්තේ දෙවන සීකා වසංගත තත්ත්වයයි.

2016 අගෝස්තු 31 වන දා වන විට සීකා වසංගතය පැතිර තිබූ රටවල් (cdc.gov)

2016 අගෝස්තු 31 වන දා වන විට සීකා වසංගතය පැතිර තිබූ රටවල් (cdc.gov)

මොකද්ද මේ සීකා උණ?

සීකා උණ, එහෙමත් නැත්නම් ‘සීකා’ යනු සීකා වයිරසය නිසා ඇති වන ආසාදක රෝගී තත්ත්වයක්. මෙම වයිරසය බහුලවම පැතිරෙන්නේ ඩෙංඟි, කහ උණ, හා චිකුන්ගුන්යා වාහක ඊඩීස් ගණයේ මදුරුවන් (Aedes aegypti හා Aedes albopictus) හරහා යි. ඊට අමතරව මෙම රෝගය අනාරක්ෂිත ලිංගික හැසිරීම් මගිනුත් බෝවීමේ ඉඩකඩ තිබෙනවා. රුධිර පාරවිලයනයන් හරහාත්, සහ ආසාදිත මවකගෙන් භ්‍රෑණයාටත් ආදී ලෙස ද බෝවීමේ ඉඩකඩ සහිත  බවට අනුමාන කර තිබෙනවා.

මෙහි නිල් පැහැයෙන් පෙන්වන්නේ සීකා වෛරස අංශූන් වේ. මේවා නැනෝ මීටර 40ක පමණ පළලකින් යුක්ත ය. (cdc.gov)

මෙහි නිල් පැහැයෙන් පෙන්වන්නේ සීකා වෛරස අංශූන් වේ. මේවා නැනෝ මීටර 40ක පමණ පළලකින් යුක්ත ය. (cdc.gov)

සීකා වයිරසයේ බීජෞෂණ සමය දින කීපයක් හෝ සතියක් අතර කාලයක් විය හැකි බවට අනුමාන කර තිබෙනවා. ආසාදිත පුද්ගලයෙකුගේ රුධිරයේ සතියක පමණ කාලයක් මෙම වයිරසය රඳා පැවතිය හැකියි. කෙසේ වෙතත්, වයිරසය ආසාදිත පුද්ගලයන්ගෙන් රෝග ලක්ෂණ පෙන්වනු ඇත්තේ 20%ක පමණ ප්‍රමාණයක් පමණයි.  

රෝග ලක්ෂණ, සෞඛ්‍යමය බලපෑම් හා අවදානම්

සීකා වයිරසය ආසාදනය මගින් සීකා උණ වැළඳු තැනැත්තෙකු ඩෙංඟි වල රෝග ලක්ෂණයන්ට සමාන රෝග ලක්ෂණ, එනම්, උණ, සම මත දදයන්, සන්ධි වල වේදනාව, ඇස් රතු පැහැ වීම, පේශී වේදනාව, හා හිසරදය ආදිය පෙන්වනවා. මෙම රෝග ලක්ෂණයන් සතියක පමණ කාලයක් පැවතිය හැකි නමුත්, රෝහල්ගත කිරීම අවැසි වන තරම් තදබල ලෙස ඇතිවන්නේ කලාතුරකින්.

ගැබිනි මවකට සීකා වයිරසය ආසාදනය වීම කුමන ත්‍රෛමාසිකයක වුව ද සිදුවිය හැකියි. ආසාදිත මවකගෙන් භ්‍රෑණයාට මෙම වෛරසය ආසාදනය විය හැකි අතර, එහි ප්‍රථිඵලයක් ලෙස භ්‍රෑණයේ මොළය නිසි ආකාරයෙන් වර්ධනය නොවීම සිදු විය හැකි බවට සැක පල කෙරෙනවා. මොළය නිසි ආකාරයෙන් වර්ධනය නොවීම දරුවාගේ බුද්ධි මට්ටමට, කථන හැකියාවන්ට, හා චාලක හැකියාවන්ට අනිසි අයුරින් බලපෑ හැකියි.

ඊට අමතරව සීකා උණ වැළඳීම හා ගීයන්-බාරේ සහලක්ෂණය (Guillain – Barre Syndrome) ඇතිවීමේ ප්‍රවණතාව අතර ඉහළ සබඳතාවක් ඇති බවට ද නිරීක්ෂණය කර තිබෙනවා (ගීයන්-බාරේ සහලක්ෂණය යනු ප්‍රතිශක්තීකරණ පද්ධතිය විසින් සිරුරේ පර්යන්ත ස්නායු පද්ධතියට හානි කිරීම නිසා ඇතිවන සීඝ්‍ර සහ ආක්‍රමණකාරී මාංශ පේෂී දුර්වලතා තත්ත්වයකි).

ආසාදිත මවක් විසින් දරණ භ්‍රෑණයින්ගේ මොළය වර්ධනය නොවීමේ තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ ඇත. (thingser.com)

ආසාදිත මවක් විසින් දරණ භ්‍රෑණයින්ගේ මොළය වර්ධනය නොවීමේ තත්ත්වයන් ඇති වීමේ ඉඩකඩ ඇත. (thingser.com)

 

රෝගය හඳුනාගැනීම, හා පැතිරීම පාලනය

RT – PCR පරීක්ෂණය හරහා රුධිර සාම්පලයක ඇති සීකා වයිරසය වෙන්කර හඳුනාගත හැකියි. නමුත් සීකා ආසාදිත ද නැති ද යන වග හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණයක් නැහැ. ප්‍රතිදේහ පරීක්ෂාව මගින් සීකා වයිරසය හඳුනාගත නොහැක්කේ එය කහ උණ හෝ ඩෙංඟි ලෙස වරදවා හඳුනාගැනීමේ ඉඩකඩ තිබෙන නිසායි.

සීකා වසංගතය පැතිරී තිබෙන රටක සංචාරයෙන් පසු නැවත මෙරටට පැමිණෙන පුද්ගලයෙකුට පළමු සති දෙක තුළත්, ගැබිනි මවක නම් පළමු දින පහ තුළත් සීකා උණ රෝග ලක්ෂණ ඇතිවන්නේ නම් රුධිර පරීක්ෂාවක් කරගැනීම උචිතයි.

සීකා වයිරසය ආසාදනය වීමෙන් වැළකීමට ගත හැකි පහසුම පියවර නම් මදුරුවන් දෂ්ඨනයෙන් ප්‍රවේශම් වීමයි. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සහ නිවෙස් තුළට මදුරුවන් ඇතුල් විය හැකි ආකාරයේ කවුළු, දොර ජනෙල් වසා තැබීම කළ යුතුයි. ඊඩීස් ගණයේ මදුරුවන් දිවා සහ රාත්‍රී කාලයන් දෙකෙහිම සැරිසරන නිසා දවස පුරාම සිරුර හොඳින් ආවරණය වන ඇඳුම් ඇඳීම, ඇඳන් ආවරණය වන අයුරින් මදුරු දැ භාවිත කිරීම සහ මදුරු විකර්ශකයක් භාවිතා කිරීම  සිදු කළ යුතුයි. සීකා වසංගතය පැතිරී ඇති රටක සංචාරය කිරීමට අදහස් කර ගෙන සිටින ගර්භනී කාන්තාවන් එම චාරිකාවන් කල්දමන්නේ නම් වඩා යහපත්.

ප්‍රතිකාර

සීකා උණ වැළඳුනු විට ලබාදෙන විශේෂ ප්‍රතිකාරයක් හෝ එන්නතක් තවමත් සොයාගෙන නැහැ. සීකා රෝගීන්ගේ සන්ධි සහ පේශී වේදනාව අවම කිරීම සඳහා පැරසිටමෝල් භාවිතා කළ හැකි අතර, වැඩි වශයෙන් සිරුරට දියර වර්ග ලබාගත යුතු වනවා. එමෙන්ම, රෝගය ඉක්මනින් සුවවීම සඳහා විවේකය අත්‍යවශ්‍යයි. මෙම රෝගය සඳහා ඇස්පිරින් ආදී ස්ටෙරොයිඩ නොවන වේදනානාශක භාවිතා කිරීම සිදු නොකළ යුතුයි. රෝග ලක්ෂණ බරපතල නොවන්නේ නම් බාහිර රෝගී අංශයෙන් හෝ නිවසේ සිටම ප්‍රතිකාර ලබාගැනීම උචිත වන නමුත්, රෝගී තත්ත්වය බරපතල නම් රෝහලක නේවාසික ප්‍රතිකාර ලබාදීම සිදු කළ යුතු වනවා. නිසි ප්‍රතිකාර ලබාදුනහොත් සීකා උණ මාරාන්තික වන්නේ නැහැ.

සීකා රෝග ලක්ෂණ පාලනය (unicef.org)

සීකා රෝග ලක්ෂණ පාලනය (unicef.org)

ලංකාවටත් පැතිරෙයිද?

සීකා උණ රෝගය තවමත් ලංකාවෙන් වාර්තා වී නැතත්, මෙරටට පැතිරීමේ අවධානමක් තිබෙනවා. නමුත් රෝගය පිළිබඳ දැනුවත් වීමත්, නිසි ආරක්ෂණ ක්‍රම භාවිතා කිරීමත්, හා ආසාදිතයින් නිසි ප්‍රතිකාර ලබාගැනීමත් මගින් රෝගය පහසුවෙන් පාලනය කිරීමට හැකියි.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වූවා ද? එසේ නම් ඔබ දන්නා හඳුනන පිරිස් අතරේ මෙම ලිපිය බෙදාගන්න.

කවරයේ පින්තූරය: sbs.com.au

Related Articles

Exit mobile version