ඩෙංගි පාලනයට: “නෙට් එක යට සිටීමේ” ව්‍යාපෘතිය

දකින දකින තැන ඩෙංගි. රූපවාහිනියේත්, වෙබ් අඩවි, ෆේස්බුක් පි‍ටු වලත් ඩෙංගි. Roar වෙබ් අඩවියේත් ඩෙංගි. නමුත් ඔබ මේ ලිපි කියවනවා ද?

“අනේ ඉතින් ඔය හැමෝම කියන්නෙ වත්ත පිටිය සුද්ද කරගන්නනෙ. අපි එහෙම කරනවා, ඉතින් ආයෙ ඕවයෙ කියවන්න දෙයක් නෑ”, ඔබ කියාවි. “දියර බීලා රෙස්ට් කරන්නනෙ කියන්නෙ. ඕකෙ ආයෙ මොනවා කියවලා අමුතුවෙන් දැනගන්න ද?”, ඔබට සිතේවි. නෑ. ඔබ කියවිය යුතුමයි මේ ලිපිය නම්. මොකද මේ කියන්න යන්නෙ වෙනදා කියන සාම්ප්‍රදායික ඩෙංගි දේශනාව නෙවෙයි. මේ අලුත් දෙයක්. ඔබ නොදන්නවා වෙන්න ලොකු ඉඩක් තිබෙන දෙයක්. ඩෙංගි තුරන් කිරීමට නම් කළ යුතුම දෙයක්. මොකද්ද මේ “අලුත්” දේ?

“පරිසරය පිරිසිදුව තබාගැනීම” සාර්ථක ද?

අතර වාර්තා වූ ඩෙංගි රෝගීන් සංඛ්‍යා  (eradicatedengue.blogspot.com)

ඩෙංගි ලංකාවෙන් පළමුවෙන්ම වාර්තා වෙන්නේ 1962 දි බව Eradicate Dengue බ්ලොග් අඩවිය සටහන් කරනවා. නමුත් රෝගීන් වාර්තාවී ඇත්තේ ඉතා සුළු වශයෙන් බවයි කියැවෙන්නේ. ඩෙංගි රෝගීන් වාර්තා වීම ඉහළ යමින්, අද වන විට වසංගතයක් බවට පත්වන අවස්ථාවට පැමිණ තිබෙන්නේ 2004 සිට බවයි ඔවුන් වාර්තා කරන්නේ.

මේ වසංගත තත්ත්වය පාලනය කරන්න සෞඛ්‍ය සේවකයින් ද ඇතුළුව රජයේ ආයතනත්, නොයෙකුත් සංවිධාන ‍රැසකුත් අද වන විට වෙහෙසෙන බව සත්‍යයක්. ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය මගින් නිවෙස් සහ නිවෙස් අවට මදුරුවන් බෝවීම වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. මේ “පරිසරය පිරිසිදුව තබාගැනීමේ” ක්‍රියාමාර්ග සාර්ථක නම්, මදුරුවන් බෝවීම පාලනය වීමත් සමඟ ඩෙංගි රෝගීන් සංඛ්‍යාව ද පහත වැටිය යුතුයි. නමුත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ලෙස ඩෙංගි රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යන බවකුයි දක්නට ඇත්තේ. මේ නිසා මදුරුවන් බෝවීම වැළැක්වීමේ ප්‍රතිපත්තිය අසාර්ථක බවත්, ඩෙංගි වසංගතය පාලනය සඳහා නව ක්‍රියාමාර්ග අවශ්‍ය බවත් පැහැදිලි කරුණක්.

ආරක්ෂක අංශ ඩෙංගි මර්ධන ව්‍යාපෘති වල යෙදෙමින්  (army.lk)

අසාර්ථක බවට සාධක තිබෙනවා ද?

ඔව්. මෙයට හොඳම සාධකය බ්‍රිටෝ දර්ශක (Breteau index) අගයනුයි. බ්‍රිටෝ දර්ශකය කියන්නෙ වසංගත රෝග පාලනයේ දී භාවිතා කරන, රෝග වාහකයින් ප්‍රවීක්ෂණය කිරීමේ ක්‍රමයක්. එහිදී සැලකිල්ලට ගන්නේ පරීක්ෂා කරන නිවෙස් 100කට ඩෙංගි කීටයින් හමුවන නිවෙස් ගණන යි. එබැවින් බ්‍රිටෝ දර්ශක අගය පහළ යෑමෙන් කියවෙන්නේ නිවෙස් ආශ්‍රිත මදුරු ගහණය පහත වැටෙමින් තිබෙන බවයි. 2004 සිට 2012 දක්වා සංඛ්‍යාලේඛණ වලට අනුව, මෙම බ්‍රිටෝ අගය සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. මදුරුවන් බෝවීම පාලනය සමඟ ඩෙංගි පැතිරීමත් පාලනය වන්නේ නම් රෝගීන් සංඛ්‍යාවත් පහත වැටී තිබිය යුතුයි නේ. අවාසනාවට ඒ නිගමනයට හාත්පසින්ම වෙනස් ආකාරයට, බ්‍රිටෝ දර්ශකය පහත වැටෙද්දී ඩෙංගි රෝගීන් ගණන වසරින් වසර ඉහළ ගොස් තිබෙනවා.

2004 සිට 2012 දක්වා වාර්තා වූ ඩෙංගි රෝගීන් සංඛ්‍යාව බ්‍රිටෝ දර්ශකයට එදිරිව (BI = බ්‍රිටෝ දර්ශකය)  (eradicatedengue.blogspot.com)

ඉතින් මේ සාධක වලට අනුව ඔබ අප දන්නා පරිදි මදුරුවන් බෝවීම වැළැක්වීමට උන්ගේ වාසස්ථාන හා කීටයින් විනාශ කිරීම ඩෙංගි රෝගය පාලනය කර නැහැ.

ඇයි මේ ක්‍රමය අසාර්ථක?

හෙම්බිරිස්සාවක් වැනි රෝගයක් නම් බෝවෙන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාටයි. වර්තමානය වන විට වාර්තා වන ඩෙංගි රෝගීන් සංඛ්‍යාව මෙතරම් ඉහළ යන්නත්, මදුරුවන් බෝවීම පාලනය කළත් ඩෙංගි බෝවීම පාලනය නොවන්නත් හේතුව වන්නේත් මෙවැනිම දෙයක් බව කිව්වොත් ඔබ පිළිගන්නවා ද?

ජීව විද්‍යාත්මක කරුණු තිබියේවා, වර්තමානය වන විට ඩෙංගි රෝගය පැතිරෙන්නේත් පුද්ගලයාගෙන් පුද්ගලයාට වන තැනට පත්ව තිබෙනවා. ඒ අපේම නොදැනුවත්කම නිසා බව මුලින්ම කිව යුතුයි. ඒ කෙසේද යත්, රෝගවාහක මදුරුවෙකු දෂ්ට කළ තැනැත්තෙකුට දින කීපයක් ඇතුලත රෝග ලක්ෂණ මතුවීමට පටන්ගන්නවා. රෝග වාහක නොවන මදුරුවෙකු මෙම රෝගී පුද්ගලයාව දෂ්ට කළ විට, වයිරසය සහිත රුධිරය උරා බොන අදාල මදුරුවා ද රෝග වාහකයෙකු බවට පත්වෙනවා. ඉතින් රෝගී තැනැත්තාට දෂ්ට කළ “පිරිසිදු” මදුරුවා ඔහුගේ සිරුරෙන් ඉගිල ඊළඟ තැනැත්තා වෙත යන්නේ ඩෙංගි වයිරසය ගෙන යන රෝග වාහකයෙකු ලෙසයි.

රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා රෝහල්වල ඇත්තේ අධික තදබදයක්   (ඡායාරූපය – මෙත්මලී දිසානායක)

මෙය ඉතා සරල සිදුවීමක් බව පෙනෙන්නට පුළුවන්. නමුත් සිහි තබාගන්න, ඊඩීස් මදුරුවෙකු ඩෙංගි රෝගියෙකුට දෂ්ට නොකරන තාක්කල් ඌට ඩෙංගි රෝගය පතුරවන්නට බැහැ. මදුරුවාට රෝගය දෙන්නේ අප විසිනුයි.

අපගේ නොදැනුවත්කම නිසා 2017 වසරෙන් මෙතෙක්කල් ලංකාවෙන් වාර්තා වූ ඉහළම ඩෙංගි රෝගීන් ගණන, එනම් 2017 ජූලි 7 වන දිනට රෝගීන් 80, 732ක් වාර්තා වනවා.

ඉතින් මේ සඳහා කළ යුත්තේ කුමක් ද?

නිවෙස් අවට මදුරුවන් බෝවීම වැළැක්වීම ඩෙංගු රෝගය පාලනයට එතරම් සාර්ථක විසඳුමක් නොවන බව දැන් ඔබ දන්නවා. එසේ නම් ඒ සමඟම තවත් යම් ක්‍රියාමාර්ගයක් අපට අනුගමනය කිරීමට සිදුවෙනවා. මේ සඳහා ලොව පුරාම ඉතා දීර්ඝ කාලයක් තිස්සේ වසංගත පාලනය සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගයක් භාවිත කිරීම කළ හැකියි. රෝගය සුව කිරීම සඳහා එන්නතක් වැනි නොවරදින ප්‍රතිකර්ම නොමැති විට ඒ සඳහා නිරෝධායනය භාවිත කිරීමයි ඒ.

නිරෝධායනය

20 වන සියවසේ සරම්ප, ගලපටලය ආදී රෝග පාලනයට නිරෝධායනය උපයෝගී කරගැනිනි.  (Pinterest)

නිරෝධායනය යනු සරලවම කිවහොත් ‘හුදෙකලා කර තැබීම’යි. මෙයින් සිදුවන්නේ රෝගියෙකුගෙන් නිරෝගී පුද්ගලයෙකු වෙත රෝගකාරකය පැතිරීමට ඇති ඉඩකඩ වලක්වාලීමයි. එනිසා, ඩෙංගි පාලනය සඳහා අප විසින් සිදුකළ යුත්තේ ඩෙංගි රෝගීන් මදුරුවන්ගෙන් හුදෙකලා කර තැබීමයි. වඩාත් පැහැදිලිව කිවහොත්, ඔබට හෝ ඔබ සමීපතමයෙකුට ඩෙංගි වැළඳී ඇත්නම්, නිවසේ වේවා, රෝහලේ වේවා, රෝගියාව මදුරු දෂ්ටනයන්ගෙන් ආරක්ෂා කරගැනීම කළ යුතුයි.

ඩෙංගි ද? නෙට් එකක් යට ඉන්න.

මෙම නිරෝධායන ක්‍රියාවලිය සිදු කළ හැකි ක්‍රම කීපයක් තිබෙනවා. ඉන් එකක් තමයි මදුරු දැලක් යට සිටීම. උණ මතුවී සාමාන්‍යයෙන් පළමු දවස් 5 තුළ සිටින රෝගියෙකුට ඩෙංගි වෛරසය පතුරවන්න පුළුවන්. උණ ගැනුණු රෝගියෙකු පළමු දින 2 – 3 සිටින්නේ තම නිවසේ නිසා, මේ දින තුනම රෝගියා විසින් මදුරුවෙකුට වෛරසය ලබා දී ඩෙංගි පැතිරවීමේ අවදානමක් තිබෙනවා. එහෙයින් හැකි සෑම විටම රෝගියා මදුරු දැලක් යට සිටිය යුතුයි. එසේම මදුරු දැලෙන් පිටතට එන විට මදුරු විකර්ශක වර්ග භාවිතා කළ හැකි නම් එය වඩාත් යහපත්.

ඔබට උණක් වැළඳුනහොත්, පරීක්ෂණ කර ඒ ඩෙංගි දැයි තහවුරු කරගන්නා තෙක් ඔබ විසින් අනිවාර්යයෙන්ම නෙට් එකක් යට සිටීම ඔබගේ වගකීමක්. ඔබත්, අනෙක් සියළුම ඩෙංගි රෝගීනුත් ඔබේ වගකීම ඉ‍ටු කළහොත්, මාස 6ක් ගතවන විට ඩෙංගි රෝගය මේ මට්ටමින් අඩක් දක්වා පහත හෙලිය හැකියි.

මදුරු දැල් තිබෙන්නේ හකුලා, එල්ලා තැබීමට නොවේ.    (ඡායාරූපය – මෙත්මලී දිසානායක)

මේ සියල්ල ප්‍රායෝගික නොවන, කිසිදු පදනමක් නැති කතා සේ ඔබට හැ‍ඟෙන්නට පුළුවන්. සාම්ප්‍රදායික ක්‍රමය වන මදුරුවන් බෝවීම වැළැක්වීමෙනුත් උත්සාහ කරන්නේ රෝගීන්ට මදුරුවන් දෂ්ටනය කිරීම වැළැක්වීමයි. මෙම යෝජනාවේද අරමුණ එය වේ; එකම වෙනස පිළියම යොදනු ලබන්නෙ විසිර ගිය මදුරු ජනගහණය මත නොව පාලනයට ඉතා ලෙහෙසි මනුෂ්‍යයන් වීමයි.

බොහොමයක් වෛද්‍යවරුනුත්, අනෙකුත් මාධ්‍යයන් විසිනුත් මේ “මදුරු දැලක් යට සිටින්න” යන පණිවුඩය බෙදා හරිනු අප දු‍ටුවේ නැති තරම්. ෆේස්බුක් සමාජ ජාලයෙහි ක්‍රියාකාරී ඇතැම් වෛද්‍යවරුන් සහ ක්‍රියාකාරීන් පිරිසක් පමණක් මෙම පණිවුඩය සමාජගත කිරීමට උත්සාහ දරනු අප දු‍ටුවා. Roar සිංහල අඩවිය කියවන පාඨක ඔබ වෙත මේ තොරතුරු ලබා දී, ඔබවත් ඔබගේ සමීපතමයනුත් ඩෙංගි වසංගතයෙන් ගලවාගැනීමට වෑයමක් දැරීමේ වගකීමක් අප වෙත ඇති බව අප විශ්වාස කරනවා. ඔබ විසින් කියවන මේ තොරතුරු ඔබ විසින් බෙදාහරිනු ඇති බවත්, මදුරුවන්ගෙන් හුදෙකලාව සිටීමේ වැදගත්කම අන්‍යයින්ට අවධාරනය කරනු ඇති බවත් අප සිතනවා.

ඒ අතරම තවත් යමක් කිව යුතුයි. මේ ලිපිය කියවීමෙන් අනතුරුව ඔබ සමහරුන්ට, “වත්ත සුද්ද කරලා තියාගත්තට පලක් නෑ” වැනි හැඟීමක් ආවාදැයි අප දන්නේ නැහැ. නමුත් එවැනි හැඟීමක් ඇති වූවා නම්, එය වහා බැහැර කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිනවා. මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීමේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා යුතුමයි. මේ “නෙට් එක යට” සිටීමේ “ව්‍යාපෘතිය” ඊට සමාන්තරව කරන යමක් මිස, “වත්ත සුද්ද කිරීමේ” ව්‍යාපෘතිය බැහැර කර සිදුකරන්නක් නොවේ. ඩෙංගි පාලනයට නම් ඔබේ පරිසරය පිරිසිදුව තබාගැනීම අනිවාර්යයි.

මූලාශ්‍ර:

  1. වෛද්‍ය හසින්ද උදලාගම
  2. eradicatedengue.blogspot.com බ්ලොග් අඩවිය

කවරයේ ඡායාරූපය: The Straits Times mosquitonet.jpg

Related Articles

Exit mobile version