කාශ්මීරයේ බෙදුම්වාදී සංවිධාන

කාශ්මීර අර්බුදය ඉන්දියාව සහ පාකිස්ථානය අතර 1947 සිටම පවතින බරපතල​, නොවිසඳුණු මතභේදයක් බව අපි දන්නවා. අතීතයේ දී මේ දෙරට අතර යුද්ධ තුනක් වගේම අප්‍රකාශිත ප්‍රධාන සටනකුත් මේ හේතුවෙන් සිදු වුණා. මෑතකදිත් කාශ්මීරය අරබයා දෙපාර්ශවය අතර ගැටුම් හටගත් බව ඔබ දකින්න ඇති. සාමාන්‍ය දිනවලත්, කාශ්මීර පාලන සීමාවේ නිරන්තරයෙන් වෙඩි හුවමාරු සිදු වනවා.

කියවන්න​: ඉන්දු පාකිස්ථාන යුද්ධවල ඉතිහාසය

මුල් කාලීනව පාකිස්ථානය උත්සාහ කළේ යුධමය වශයෙන් ඉන්දියාව පරාජය කර කාශ්මීර ප්‍රශ්නය විසඳීමට යි. විශේෂයෙන්ම නිරවි යුධ සමයේ පැවති තත්ත්වයත් සමග​, ඇමරිකාව එක පසෙකින් පාකිස්ථානයටත්, සෝවියට් දේශය අනෙක් පසින් ඉන්දියාවටත් ආධාර කළා. මේ අනුව ඉන්දු – පාකිස්ථාන ගැටුම වඩා විශාල ඇමරිකානු – සෝවියට් ගැටුමෙහි එක් පැතිකඩක් බවටත් පත් වුණා.

නමුත් තුන් වතාවක් යුද්ධවලින් අසාර්ථක වීමෙන් පසු පාකිස්ථානය තේරුම් ගත්තේ ඉන්දියාව යුධමය වශයෙන් පරාජය කිරීම අසීරු බව යි. ඔවුන් අතර තුන්වන යුද්ධය සිදු වුණේ 1971 දී යි.

2019 පෙබරවාරි 14 වනදා එල්ල වූ පුල්වාමා ප්‍රහාරය (Getty Images)

ඉන් වසර කිහිපයකට පසු සෝවියට් දේශය සහ ඇමරිකාව අතර ගැටුම නවතම මුහුණුවරක් ගත්තා. ඒ සෝවියට් දේශය විසින් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීමත් සමග යි. මේ සමග ඇමරිකානුවන් ඇෆ්ඝනිස්ථානයේ ඉස්ලාමීය සටන්කාමී සංවිධානවලට ආධාර කිරීමට පටන් ගත්තා. ඔවුන් පුහුණු කිරීම ආදිය සිදු වූයේ පාකිස්ථානයේ දී යි. මේ සමග පාකිස්ථානයේ ද ඉස්ලාමීය පාසැල් ආදිය විවෘත වෙමින් සමාජය වඩා අන්තවාදී පාර්ශවයට නැඹුරු වීමට වුණා.

කියවන්න​: ඇෆ්ඝන් ජනාධිපති ඝාතනය කළ සෝවියට් විශේෂ බලකා මෙහෙයුම

කාශ්මීරයේ ත්‍රස්ත සංවිධාන බිහි වුණේ මෙම පසුබිමේ දී යි. මුලින්ම මේවා බිහි වූයේ ඇෆ්ඝනිස්ථානයේ සටන් වැදීමට ගිය කාශ්මීර් වැසියන් නිසා ද​, පාකිස්ථාන බුද්ධි අංශයන්හි ක්‍රියාකාරකම් නිසා ද, එසේත් නැත්නම් කාශ්මීර ජනයා තුළින්ම මතු වූ විරෝධයන් තුළින් ද යන්න හරිහැටි කිව නොහැකි යි. නමුත් 1988 දී කාශ්මීරයේ ඇති වූ විරෝධතා ව්‍යාපාර හා සමගාමීව​, කලින් සඳහන් කරන ලද තුන් පැත්තෙන්ම ලැබුණ පෙළඹවීම මත මෙම සංවිධානයන් බිහි වූ බව කිව හැකියි.

අදටත් මෙම සංවිධාන සමහරක් කාශ්මීරය තුළම මුල් බැසගෙන සිටින අතර තවත් සමහර සංවිධාන පාකිස්ථානය තුළ ද සිය කටයුතුවල නිරත වනවා.

ජම්මු කාශ්මීර් විමුක්ති පෙරමුණ (JKLF)

කාශ්මීරයේ සටන්කාමී සංවිධානවල ප්‍රාරම්භකයකු වන ජම්මු කාශ්මීර විමුක්ති පෙරමුණ මුලින්ම ඇරඹුණේ යුරෝපයේ යි. එය පසුව කාශ්මීරයේ ඉන්දීය සහ පාකිස්ථාන පාලන ප්‍රදේශයන්හි ක්‍රියාකාරකම් ඇරඹුවා. මෙහි සාමාජිකයන් මුස්ලිම්වරුන් වූ නමුත් ඔවුන් ආගමික දර්ශනයට එතරම් තැනක් දුන්නේ නැහැ. මෙම සංවිධානය කියා සිටියේ කාශ්මීරය ඉන්දියාවෙන් මෙන්ම පාකිස්ථානයෙන් ද වෙන් ව ස්වාධීන විය යුතු බව යි. මෙය 1994 දී සන්නද්ධ ක්‍රියාකාරකම් අත් හිටවූවා.

හිස්බ්-උල්-මුජහිදීන් (HuM)

කාශ්මීරය තුළින්ම බිහි වූ සංවිධාන අතර ප්‍රබුඛ සංවිධානයක් ලෙස හිස්බ්-උල්-මුජහිදීන් (ශුද්ධ වූ සටන්කාමීන්ගේ පක්ෂය​) සංවිධානය හඳුන්වන්න පිළිවන්. 1989 සැප්තැම්බරයේ දී මෙම සංවිධානය පිහිටවූයේ මුහම්මද් අසාන් දාර් විසින්. හිස්බ් සංවිධානය පවසන්නේ පාකිස්ථානයට එක් වීමට ඉඩ දෙමින්, ඉන්දියානු හමුදා කාශ්මීරයෙන් ඉවත් විය යුතු බවයි.

මෙම සංවිධානය බිහිවන සමයේ ප්‍රධානම කාශ්මීර සංවිධානය වූ ජම්මු කාශ්මීර් විමුක්ති පෙරමුණ මෙන් නොව ආගමික මුහුණුවරක් ගත්තා. මෙම සංවිධානය ගරිල්ලා ප්‍රහාර මෙන්ම මරාගෙන මැරෙන ප්‍රහාරයන් ද එල්ල කිරීමට සමත් වුණා.

හිස්බ්-උල්-මුජාහිදීන් සාමාජිකයන් යයි සැක කෙරෙන පිරිසක් (India Today)

2016 දී HuM ප්‍රධාන අණ දෙන්නා වූ බුර්හාන් වානි ඉන්දීය ආරක්ෂක අංශ විසින් ඝාතනය කිරීමත් සමග කාශ්මීරයේ විරෝධතා ව්‍යාපාර හටගත්තා. මෙම විරෝධතා ව්‍යාපාර මර්ධනය කිරීම සඳහා දැඩි පියවර ගනු ලැබුණා. එහිදී ඇති වූ උණුසුම්කාරී වාතාවරණය තවමත් පවතිනවා.

පසුගිය වසර කිහිපය තුළ සංවිධානය නැවත වතාවක් කාශ්මීරය තුළ තරුණ පිරිස් අතර මුල්බැස ගැනීමට පටන් ගෙන තිබෙනවා. එහෙයින් එය වඩාත් ස්වදේශික මූලයකින් යුතු සංවිධානයක් බවට පෙරළී තිබෙන බවයි සඳහන් වන්නේ. විශේෂයෙන්ම දකුණුදිග කාශ්මීර ප්‍රදේශයෙහි එම සංවිධානය වඩාත් ශක්තිමත් වනවා.

හරාකට්-උල්-මුහජිදීන්

ඇෆ්ඝන් යුධ සමයේ දී 1985 දී පමණ පිහිටුවන ලද සංවිධානයක් වූ හරාකට්-උල්-මුජහිදීන් කාශ්මීරයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කළේ සෝවියට් හමුදා ඇෆ්ඝනිස්ථානයෙන් ඉවත් වූ පසු යි. 1993 අග සහ 1994 මුල දී ඉන්දියානු ආරක්ෂක අංශ මෙම සංවිධානයේ ප්‍රබලයින් කිහිප දෙනකුම අත් අඩංගුවට ගත්තා.

1999 ඉන්දීය ගුවන්සේවයේ ගුවන් ගමන් අංක 814 ගුවන් යානය පැහැරගැනීමෙන් පසු ඉන්දීය රජය විසින් ත්‍රස්තවාදීන් කිහිප දෙනකු නිදහස් කළා. හරාකට්-උල්-මුජහදීන්හි මවුලානා මසූඩ් අසාර් ද මෙසේ නිදහස් කෙරුණා. නමුත් මසූඩ් අසාර් යළි එම සංවිධානයට එක්වනු වෙනුවට වෙනත් සංවිධානයක් ආරම්භ කළා.

ජයිෂ්-ඊ-මුහම්මද්

මසූඩ් අසාර් මෙසේ පිහිටුවාගත් සංවිධානය වූයේ ජයිෂ්-ඊ-මුහම්මද් (මුහම්මද්ගේ හමුදාව​) සංවිධානය යි. මෙය පිහිටුවීමේ දී ඔහුට අල් කයිඩා සංවිධානයේ සහ එහි එවක නායක ඔසාමා බින් ලාඩ්න්ගේ සහය ලැබුණ බවට විශ්වාස කෙරෙනවා.

ජයිෂ්-ඊ-මුහම්මද් සංවිධානය 2001 ඉන්දියානු පාර්ලිමේන්තුවට පහර දීම​, 2016 ඌරි ප්‍රහාරය් සහ 2019 පුල්වාමා ප්‍රහාරය ඇතුළු ත්‍රස්ත ප්‍රහාර කිහිපයකටම සම්බන්ධ යි. මෙහි නායකත්වය පාකිස්ථානයෙහි ජීවත් වන බව සඳහන් වනවා. ඉන්දියාව පවසන්නේ තම රටට පහර දීම සඳහා පාකිස්ථානය මෙම සංවිධානයට ආධාර කරන බව යි.

වැඩි තොරතුරු සඳහා කියවන්න: කාශ්මීර් අර්බුදය උග්‍ර අතට හරවන ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කල්ලිය

ලශ්කාර්-ඊ-තයිබා

1987 දී හෆීස් මුහම්මද් සයීද් විසින් අරඹන ලද ලශ්කාර්-ඊ-තයිබා සංවිධානය පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන අතර ඉන්දියාව පවසන පරිදි කාශ්මීරයේ ඉන්දු – පාකිස්ථාන මායිම හරහා ඉන්දියානු කාශ්මීරයට ත්‍රස්තයින් එවන්නට කටයුතු කරනවා. 2008 මුම්බායි ප්‍රහාරය ද එල්ල කළේ මෙම සංවිධානය බව යි පැවසුනේ.

මුම්බායි ප්‍රහාරය අවස්ථාවේ තාජ් මහල් හෝටලය​ (AP)

මෙම සංවිධානයේ ආරම්භය ඇෆ්ඝනිස්ථානයේ දී සිදු වූ බවත්, ඔසාමා බින් ලාඩ්න් ඊට මූල්‍යමය ආධාර ඇපයූ බවත් සඳහන් වනවා. 2001 ඉන්දීය පාර්ලිමේන්තු ප්‍රහාරය සඳහා ජයිෂ්-ඊ-මුහම්මද් සංවිධානයේ සටන්කාමීන් සමග මෙම සංවිධානයේ සටන්කාමීන් ද සම්බන්ධ වූ බව සැක කෙරෙනවා.

Cover Image: කාශ්මීරයේ මුර සංචාරයාක යෙදෙන ඉන්දීය හමුදා භටයින් (AP)

මූලාශ්‍රයයන්:

Explainer: Who are Kashmir’s Armed Groups? (Al Jazeera)

South Asia Terrorism Portal

Related Articles

Exit mobile version