හඬින් සම්මත වූ පනතට එරෙහිව ඉන්දීය ගොවි හඬ

මේ දිනවල ඉන්දියාවේ දිල්ලි නුවර පවතින තද සීතල මෙන්ම, ලොව පුරා පවතින කොරෝනා අවදානම මධ්‍යයේ වුවත් ඉන්දීය ගොවියන් උද්ඝෝෂණය කරමින් සිටින බව ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඔවුන් දින ගණනාවක් තිස්සේ, රජය ඉදිරිපත් කර ඇති කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව උද්ඝෝෂණය කරමින් සිටියි. ඔවුන් දිල්ලි නුවර ප්‍රධාන මහා මාර්ග කිහිපයක් අවහිර කරමින් ඉල්ලා සිටින්නේ, රජය විසින් ඉදිරිපත් කර ඇති කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ අකුලා ගන්නා ලෙස යි. 

පසුබිම් කතා

1960 ගණන්වල ඉන්දියාවේ ඇති වූ දැඩි නියඟය හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනය බිඳ වැටුනු අතර, ඊට පිළියමක් ලෙස ඉන්දීය රජය හරිත විප්ලව වැඩසටහනක් ආරම්භ කරන ලදී. එම වැඩහටහනේ පියවරක් ලෙස ඉන්දියාවට ඇමරිකාවේ පොහොර, වල් නාශක, හා කෘමි නාශක සමාගම් ඇදී ආ අතර, අප මීට පෙර කතා කළ භෝපාල් නගරයේ ඛෙදවාචකයකය ද එහි තවත් දිගුවකි. ඉන්දියානු හරිත විප්ලවයේ පියවරක් ලෙස හාල් හා තිරිඟු නිෂ්පාදනයේ දැවැන්ත වර්ධනයක් ඇතිවිය. මෙම නිෂ්පාදන විකුනාගැනීම අරමුණු කරගත් සංකීර්ණ වෙළඳ පොළ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙයි. එක් එක් ප්‍රාන්තයන්ට ආවේණික වූ මෙම යාන්ත්‍රණයේ මූලික ස්වරූපය විමසා බලමු. 

දිල්ලියේ ඓතිහාසික රතු බලකොටුව තුළ විරෝධතාවයේ නියැලෙන ගොවීන්/Al Jazeera

ඉන්දියාව පුරාවට විසිරී ඇති 6,500 පමණ වූ කෘෂිකාර්මික නිෂ්පාදන වෙළඳ කොමිටි (APMC) හෙවත් මන්ඩි නම් වූ විවෘත වෙළඳපොලක් ඇත. ගොවියන් තම නිෂ්පාදන මෙම මන්ඩිවලට රැගෙන එන අතර, රජයේ ලියාපදිංචි ව්‍යාපාරිකයින් විවෘත වෙන්දේසි මඟින් නිෂ්පාදන මිලට ගනු ලබයි. බොහෝ නිෂ්පාදනයන් සදහා රජය විසින් අවම මිලක් පනවා ඇති අතර, හාල් වැනි නිෂ්පාදන රජය විසින්ම මිළට ගනු ලබයි. මිල දී ගත් නිශ්පාදන ද්වීතියික වෙළඳපොලට යවා, ඒ හරහා අවසාන පාරිභෝජනය සදහා යවනු ලබයි. ජාවාරම්කාර හා අධිපතිවාදී වෙළඳ අධිකාරිය හේතුවෙන් මෙම ක්‍රමවේදය සර්ව සාධාරණ ක්‍රමවේදයක් නොවුණත්, නිසි අධ්‍යාපනයක් නොලද ගොවි ජනයාට මෙමඟින් කිසියම් හෝ සහනයක් ලැබෙන බව බොහෝ අයගේ මතය යි. 

ඉන්දියාවේ කෘෂිකර්මාන්තය සදහා ජනගහයෙන් 50% පිරිසක් දායකත්වය දැක්වූව ද, ඔවුන්ගෙන් 60% පමණ පිරිසක අධික ණය බරින් ජිවත් වෙයි. ඉන්දියාවේ සෑම විනාඩි පහකටම වරක් ගොවියෙකු සියදිවි නසාගැනීමෙන් ගම්‍ය වන්නේ ඔවුන්ගේ කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ ඇතිවී ඇති දැවැන්ත අර්බුදයයි. මේ අර්බුදයන් හේතුවෙන් ගොවීන්, දශක 4-5ක් තිස්සේ සිය නිෂ්පාදන සදහා ස්ථාවර මිලක් ඇතුළු විවිධ ඉල්ලීම් සමග විටින් විට උද්ඝෝෂණ කළෝ ය. එහෙත් වර්තමාන නරේන්ද්‍ර මෝඩිගේ භාරතීය ජනතා පක්ෂ රජය මේ ගොවීන්ගේ ඉල්ලීම්වලට මුවා වී ගෙන හා කෘෂිකාර්මික පනත් හරහා, ගොවීන් තවදුරටත් දරිද්‍රතාවයෙන් මෙන්ම වහල්භාවයෙන් ද පෙළනු ඇතැ යි බොහෝ ඉන්දීය ගොවි සංවිධානවල මතය යි.

ඉන්දීය රජයේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ

දැන් අපි ඉන්දීය රජයේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනා ගැන අවධානය යොමුකරමු. මෙම ප්‍රතිසංස්කරණ යෝජනා නව පනත් දෙකකින් හා සංශෝධිත පනතකින් සමන්විත වේ. 

මෙම පනත් ත්‍රිත්වය නම්, 

  1. ගොවි නිෂ්පාදන ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම පිළිබඳ නිෂ්පාදන හා වාණිජ පනත, 2020. 
  2. ගොවීන් සවිබල ගැන්වීම හා සුරක්ෂිත කිරීම පිණිස මිල සහතික කිරීම පිළිබඳ ගොවි සේවා පනත, 2020.
  3. අත්‍යාවශ්‍ය වෙළඳ භාණ්ඩ (සංශෝධිත) පනත. 

මින් පෙර විවිධ රජයන් යටතේ විවිධ ප්‍රතිසංස්කරණ උත්සහයන් දැරුව ද, නිරන්තරෙන් විරුද්ධ පක්ෂයේ විරෝධතා එල්ලවිය. පෙර කොන්ග්‍රස් ආණ්ඩුව මඟින් ගෙන ආ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට, එවකට ගුජරාට් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි නරේන්ද්‍ර මෝඩි ද විරුද්ධවීම විශේෂ ලක්ෂණයකි. මෙම පනත් ඉන්දීය පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ අවස්ථාවේ විරුද්ධ පක්ෂය දැඩි විරෝධයක් පලකළ අතර, පනත් සම්මත කරන ලද්දේ ද මහජන මන්ත්‍රීන්ගේ ඡන්දයෙන් නොව, 2018 ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙන් හඬ අනුව වීම ද විශේෂයකි.

අප දැන් මෙලෙස අර්බුදයට ලක්ව ඇති පනත් ත්‍රිත්වය වෙන වෙනම සලකා බලමු.

විරෝධතාවයේ යෙදෙන ගොවීන්/NDTV

ගොවි නිෂ්පාදන ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම පිළිබඳ නිෂ්පාදන හා වාණිජ පනත, 2020

මෙම පනත හරහා දැනට මන්ඩි හරහා පමණක් කෘෂි නිෂ්පාදනය විකිණීමේ බාධකය ඉවත් කරනු ලබනවා. ඒ අනුව ගොවියන්ට මන්ඩි පමණක් නොව වෙනත් ඕනෑම වෙළඳපොලක දී තම නිෂ්පාදන විකිණීමේ හැකියාව ලැබෙනවා. එහිදී ඔවුනට එම නිෂ්පාදනය තම ප්‍රාන්තයෙන් පිටත විකිණීමේ හැකියාව ද ලැබෙනවා. දැනට කෘෂිකර්මය විෂය පිළිබඳ අයිතිය ඇත්තේ ප්‍රාන්ත ලැයිස්තුවේ ය. 

මේ පනත පන්ජාබ් හා හර්යානා යන ප්‍රාන්තවලට දැවැන්ත ආර්ථික අර්බුදයක් මතුකරනු ඇත. බැලූ බැල්මට ගොවියන්ට ඉල්ලුම හා සැපයුම මත තම මිල තීරණය කිරිමේ හැකියාව ඇතැ යි අප සිතුව ද, වෙළඳපොල හැසිරෙන්නේ ආර්ථික විද්‍යාවට එහා ගිය ජාවාරම්කාර මාෆියාවක් මත බව තුන්වන ලෝකයේ වෙළඳපොල ගැන යම් අවබෝධයක් ඇති අයෙකුට වැටහේ. එමෙන්ම මෙම පනත හරහා රජය කෘෂි වෙළඳාමෙන් ඉවත්වන අතර, සුළු කාලයකින් මන්ඩි බිදවැටී මිල තීරණය කිරීමේ බලය සමාගම් වෙත ලැබෙනු ඇතැ යි උද්ඝෝෂණය කරන ගොවීන්ගේ අදහස යි.  

ගොවීන් සවිබල ගැන්වීම හා සුරක්ෂිත කිරීම පිණිස මිල සහතික කිරීම පිළිබඳ ගොවි සේවා පනත, 2020

මෙම පනතට අනුව කොන්ත්‍රාත් පදනම මත වගා කරන, එසේත් නැතිනම් වෙනත් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවයන් අනුව වගා කරන, ගොවියන් හා ව්‍යාපාරිකයින් අතර ගිවිසුමක් ඇතිකරනු ලබයි. ඒ අනුව වගා කිරීමේ ප්‍රමාණය, ගුණාත්මක බව මෙන්ම ව්‍යාපාරිකයන් ගොවියන් වෙත ලබා දෙන පොහොර, උපකරණ වැනි කෘෂි සේවාවන් මෙම ගිවිසුම මඟින් පාලනය කරනු ලබයි. ඉන්දීය රජයට අනුව මෙය ගොවියන් ව්‍යාපාරිකයින්ගේ සූරා කෑමෙන් මුදවා ගැනීමේ ක්‍රියාදාමයක් ලෙස හැඳින්වූවත්, ඇත්ත වශ‍යෙන්ම නොදියුණු අසරණ ගොවින් තව දුරටත් ව්‍යාපාරිකයින්ගේ ග්‍රහණයේ තබනු ඇතැ යි ගොවි සංවිධාන ප්‍රකාශ කරයි. මෙම ගිවිසුම් ක්‍රියාවලියට රජය නාමිකව සහභාගී වන නමුත් සමාගම් හමුවේ ගොවියන්ට ලැබෙන ඉඩකඩ ඉතා සීමිත බව, විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට ගොවීන්ගේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය පහළ මට්ටමක පවතින බව සඳහන් කරමින් ගොවීන්ගේ නිෂ්පාදන කොල්ලකෑමේ හැකියාව මෙම ක්‍රමය තුළ ඇති බව බොහෝ ඉන්දීය ගොවි සංවිධාන පෙන්වා දී තිබේ.  

අත්‍යාවශ්‍ය වෙළඳ භාණ්ඩ (සංශෝධිත) පනත

මෙම සංශෝධිත පනත මඟින් රජය හා කෘෂිකර්මානතය අතර ඇති අවසාන සම්බන්ධය ද බිඳදමයි. මෙම පනත මඟින් කෘෂිකර්මාන්ත නිෂ්පාදනවල නිෂ්පාදනය, බෙදාහැරීම, හා විකිණීම පාලනය කරනු ලබයි. මෙම පනත මඟින් නම්කරනු ලබන පාරිභෝගික ද්‍රව්‍යවල මිල කෘත්‍රිම ලෙස ඉහළ දැමීමට කරනු ලබන පාරිභෝගික භාණ්ඩ සඟවා තැබීම, හා ඉතා අධික මිලට පාරිභෝගික ද්‍රව්‍ය විකිණීම ද තහනම් කර ඇත. දැනට මෙම පනත යටතට එදිනෙදා ජන ජීවිතයට අදාල වන ආහාර, ඖෂධ, ඉන්ධන යන ද්‍රව්‍ය අයත් වේ. 2020 වසරේ දී ඉන්දීය රජය මුව ආවරණ හා සනීපාරක්ෂක දියරවල මිල පාලනය කරන ලද්දේ මෙම පනත හරහා ය. 

නව සංශෝධනය හරහා අල, ළූණු, ධාන්‍ය වර්ග යනාදී කෘෂි නිෂ්පාදනයන් එම පනතෙන් ඉවත් කරනු ලැබූ අතර, නව සංශෝධනයන්ට අනුව මිල පාලනයක් සඳහා රජයට මැදහත් විය හැකි වන්නේ යුධ, සාගත, ස්වභාවික ව්‍යසන, හා ඉතා අධික මිල ඉහළ යාමක දී පමණි. මෙමඟින් ඉන්දීය රජය තම හිතවත් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ලෙස මිල ඉහළ දමාගැනීමේ නිල බලය ලබා දී ඇති බවට ගොවීන් චෝදනා කරයි. 

ජනරජ දිනය දා ඉන්දීය පොලිසිය ගොවීන් හා ගැටුනේ ය/MSNBC

නමුත් එයට පිළිතුරු දෙමින් රජය පවසන්නේ, ඉතා අධික ලෙස මිල ඉහළ ගියවිට මෙම ද්‍රව්‍ය නැවතත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කිරීමේ හැකියාව රජය සතු බව යි. එම සංශෝධිත පනතට අනුව, එක් දිනක් තුළ පරිප්පු වැනි ධාන්‍ය 50%කින් ද, ළූණු, අල වැනි ද්‍රව්‍ය 100%කින් ද මිල ඉහළ ගිය විට රජයට මැදිහත් වීමේ හැකියාව ඇත. ගැටළුව ඇත්තේ, මිල ඉහළ යන්නේ එක් දිනයක් තුළ දී නොවුනහොත්, එයට මැදිහත් වීමේ හැකියාවක් රජයට නැතිවීමේ යි. උදාහරණයක් ලෙස, එම මිල ඉහළ දැමීම දින දෙකක් හෝ තුනක් ඇතුළත සිදුවුවහොත් රජයට මැදිහත් විය නොහැකිය. 

මේ වනවිට තමන් මුහුණපා සිටින අධික දරිද්‍රතාවය, ඉඩම් කැබලි වීම, සහ කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය සඳහා විසඳුම් දීමට රජය අපොහොසත්ව ඇති බව ඉන්දියාවේ ගොවීන් පවසයි. ඉන්දියාවේ ගොවීන්ගෙන් 60%කටත් වඩා වැඩි පිරිසක් සතුව ඇති ගොවි ඉඩම් අක්කරයටත් වඩා කුඩා ය. එමෙන්ම දැනට අතිශය ප්‍රාථමික මට්ටමේ පවතින කෘෂි ප්‍රවාහන පහසුකම් හේතුවෙන් වසරකට ඉන්දීය රජයට අහිමිවන නිෂ්පාදනවල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 35,000කි. 

ගොවීන්ගේ උද්ඝෝෂණයට පක්ෂ පිරිස් ප්‍රකාශ කරන්නේ ඉන්දීය රජය තමන්ට ඡන්දය දුන් ගොවියන් අමතක කර දමා, තමන්ගේ ගජ මිතුරන්ට හිතවාදී පරිසරයක් සකසා ඇති බව ය. මෙම පනත් හරහා ඉන්දියාවේ කෘෂිකර්මාන්තය වර්ධනය වීම කෙසේ වෙතත්, දැනටමත් දරිද්‍රතාවයේ පතුලේ සිටින ගොවීන් තවදුරටත් සියදිවි හානිකර ගැනීමට පෙළඹීම වලකනු නොහැකි බව ඔවුන් පවසයි.

sources:

nytimes.com

Vox

Aljazeera - Insight 

cover image: New York Times

Related Articles

Exit mobile version