ප්‍රතිවිරුද්ධ අදහස් දරන දෙපිරිසක් එක් වී බිහි වූ අලුත් ඉතාලි ආණ්ඩුව​

ඉතාලියේ මෑත කාලීනව මතු වූ දේශපාලන අර්බුදය නිමා කරමින් එරට නව රජයක් බිහි වූයේ පසුගිය සතියේ යි. මෙහිදී සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය නොහැකි පරිද්දෙන් ජනකාන්තවාදී දේශපාලන ව්‍යාපාරයක් වන තරු පහේ ව්‍යාපාරය සහ මධ්‍ය වාමාංශික දේශපාලන පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එක්ව සභාග රජයක් පිහිටුවා ගනු ලැබුණා.

ඉතාලි දේශපාලන ව්‍යාකූලතාව මතු වූයේ තරු පහේ ව්‍යාපාරය සමග එක්ව සභාගයක් පිහිටුවාගන සිටි “ලීගය” එම රජයෙන් ඉවත් වීම හේතුවෙන්. මෙය ලීගයේ නායක මෙන්ම පැවති ඉතාලි රජයේ උප අගමැති සහ අභ්‍යන්තර කටයුතු ඇමති වූ මතයෝ සැල්විනිගේ බල අවශ්‍යතාව මත සිදු වූවක්. කෙසේ නමුත් නව සභාගය පිහිටුවීම තුළ සැල්විනිගේ අගමැති සිහිනය තාවකාලිකව හෝ කල් දැමීමට සිදුව තිබෙනවා.

තරු පහේ ව්‍යාපාරය යනු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සියල්ල ප්‍රතික්ෂේප කරමින් පිහිටුවාගන්නා ලද ජනකාන්තවාදී දේශපාලන පක්ෂයක්. එහි නිර්මාතෘ වූයේ හිටපු විකට නළුවකු සහ විචාරකයකු වූ බෙප්පෙ ග්‍රිල්ලෝ යි. මෙම සංවිධානය රටේ ආර්ථික අර්බුදය සහ සංක්‍රමණික ගැටළුව ආදී ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන බව පවසමින් බිහිවූවක්. එය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සිය ප්‍රචාරණ කටයුතු වැඩිදියුණු කළේ සාම්ප්‍රදායික මාධ්‍ය පිළිබඳ එතරම් රඳා නොපවතිමින්.

බෙප්පෙ ග්‍රිල්ලෝ (Merco Press)

මේ අතර ලීගය කලක් තිස්සේ ඉතාලියේ ක්‍රියාත්මක වූ නව ෆැසිස්ට්වාදී පක්ෂයක්. එය කලින් උතුරු ලීගය ලෙස හැඳින්වූ අතර උතුරු ඉහාලියට ස්වයං පාලනය අවශ්‍යයැ යි කියා සිටියා. එම පක්ෂය එකල ගෙන ආ තර්කය වූයේ වඩා දුප්පත් වූ දකුණු ඉතාලිය නඩත්තු කිරීමට උතුරු ඉතාලියේ ධනය යෙදවීම අසාධාරණයක් බවයි. මෑතකාලීනව එම පක්ෂය වඩා වැඩි පිරිසකට ආකර්ෂණය වීම සඳහා “ලීගය” ලෙස නම වෙනස් කරගත්තා.

2018 මහමැතිවරණයට ලීගය තරග  කළේ සිල්වියෝ බර්ලුස්කෝනිගේ ෆුවර්සා ඉතාලියා පක්ෂය සහ තවත් කුඩා පක්ෂ කිහිපයක් සමගයි. අන් සියළු පක්ෂ ප්‍රතික්ෂේප කළ තරු පහේ ව්‍යාපාරය තනිව තරග කළා. එවකට බලයේ සිටි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද කුඩා පක්ෂ කිහිපයක සහය ලැබුවා.

මැතිවරණයේදී තරු පහේ ව්‍යාපාරය ආසන 630න් 227ක් දිනාගත්තා. ඒ අනුව, කිසිදු පක්ෂයක් හා එක් වීමට අකමැති වූ ඔවුන්ට තනිව රජයක් පිහිටුවීමට නොහැකි වූවා සේම, ඔවුන් නොමැතිව කිසිවෙකුට රජයක් පිහිටුවීම ද අසීරු වුණා. ලීගය ආසන 125ක් ද එහි සන්ධානගත සහයකයා වූ ෆුවර්සා ඉතාලියා ආසන 104ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 112ක් ද දිනාගත්තා.

දූෂණ චෝදනා එල්ල වී තිබුණ බර්ලුස්කෝනි සමග කිසිම රජයකට හවුල් වීමට තරුපහේ ව්‍යාපාරය කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් ඔවුන් යම් කිසිවකු හෝ සමග සභාගයකට නොගියහොත් නැවත මැතිවරණයක් කරා යාමට සිදුවන බව පැහැදිලි වුණා. මේ අවස්ථාවේ බොහෝ සාකච්ඡා පැවැත්වීමෙන් පසු තරු පහේ ව්‍යාපාරය සහ ලීගය රජයක් පිහිටුවීමට එකඟ වුණා. ඒ අනුව ලීගය තම සන්ධානගත මිත්‍ර පක්ෂය අතැර රජයට එක් වුණා.

සැල්විනි (AFP)

තරු පහේ ව්‍යාපාරය විසින් අගමැති ධුරයට නම් කෙරුණේ ද දේශපාලන අත්දැකීම් නොමැති අයකු වූ ගුසෙප් කොන්ටේ යි. ඔහු නිල වශයෙන් එම පක්ෂයේ සාමාජිකයකු ද වන්නේ නැහැ.

කෙසේ නමුත් මුල පටන්ම මෙම පක්ෂ දෙක අතර ගැටුම් ඇතිවුණා. එමෙන්ම ලීගයේ නායක සැල්විනි සිය සංක්‍රමණික ප්‍රතිපත්තිය ආදිය හේතුවෙන් වඩා ජනප්‍රිය වුණා. ඔහු යුරෝපයේ ඇතැම් අන්ත දක්ෂිනාංශික පක්ෂ සමග එක්ව යුරෝපා පාර්ලිමේන්තුවේ ද කණ්ඩායමක් ගොඩනගා ගත්තා. යුරෝපා මැතිවරණයට පෙර ඉතාලියේදී විශාල රැලියක් පවත්වා අනෙක් රටවල එම පක්ෂ නායකයන් ගෙන්වන්නට ද ඔහු ක්‍රියා කළා.

සිය ජනප්‍රියත්වය වර්ධනය වීමත් සමග තමන්ට මැතිවරණයකින් ජයගත හැකි වේයැ යි සැල්විනි බලාපොරොත්තු වන්නට වුණා. ඔහු රජයෙන් ඉවත්වීමට කටයුතු කළේ හදිසි මැතිවරණයක් පැවැත්විය යුතු බව කියා සිටිමින්. මේ අවස්ථාවේ ගුසෙප් කොන්ටේ සැල්විනිව දැඩි ලෙස විවේචනය කරමින් ඔහු අවස්ථාවාදියකු බවත්, ඔහුගේ ප්‍රශ්නයක් රටේ ප්‍රශ්නයක් බවට පෙරළා ගත් බවත් සඳහන් කළා.

ගුසෙප් කොන්ටේ (Reuters)

මේ අවස්ථාවේදී කිසිදු අයකුට නව රජයක් පිහිටුවිය නොහැකි වුවහොත් මහ මැතිවරණයක් පැවැත්විය යුතු වුණා. පැවති තත්ත්වය යටතේ නව රජයක් පිහිටුවීමේ හැකියාවක් පෙනුණේ ද නැහැ. නමුත්, ඇතැම්විට​ සැල්විනි බලාපොරොත්තු නොවූ කරුණ වූයේ තරු පහේ ව්‍යාපාරය සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය රජයක් පිහිටුවීම සඳහා එක්වනු ඇති බව යි.

මෙම නව සභාගය පිහිටුවීම සඳහා සාකච්ඡා පැවති අවස්ථාවේ ද මෙම දෙපාර්ශවයේ වෙනස්කම් ප්‍රකට වුණා. තරු පහේ ව්‍යාපාරය දිගටම කියා සිටියේ කොන්ටේ අගමැති ලෙස රැඳී සිටිය යුතු බව යි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එයට එකවර එකඟ වූයේ නැහැ.

අගෝස්තු 28 වන බදාදා වන විට දෙපාර්ශවය රජයක් පිහිටුවීම සඳහා එකඟතාවකට පැමිණිය යුතු වුණා. නමුත් අගෝස්තු 26 වන දා රාත්‍රියේ පැවති සාකච්ඡා ද මෙම අගමැති ගැටළුව හමුවේ බිඳ වැටුණා. ඊළඟ දිනයේදී තරු පහේ ව්‍යාපාරය සඳහන් කළේ සාකච්ඡා අසාර්ථක වූ බව යි. නමුත් එම පක්ෂය විසින් එසේ නිවේදනය කර පැය කිහිපයක් තුළ​, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යළි සාකච්ඡා සඳහා පැමිණියේ අගමැති ධුරය කොන්ටේ වෙතම තබා ගැනීමට එකඟ වෙමින්.

මෙම පක්ෂ දෙක මේ අනුව අගෝස්තු 28 වන දා වනවිට නව රජයක් පිහිටුවා ගැනීමට එකඟ​ වුණා. මෙය තරු පහේ ව්‍යාපාරයේ සාමාජිකයන් විසින් අනුමත කළ යුතු නමුත් එය සිදු වේ යයි අපේක්ෂා කෙරෙනවා. එහෙත් සංක්‍රමණික ප්‍රශ්නය සහ යුරෝපා සංගමය පිළිබඳ මතය යනාදී මූලික කරුණු පිළිබඳ මෙම පක්ෂ දෙක දරන්නේ ඉතා වෙනස් මතයන් වන බැවින් මෙම රජය කෙතෙක් කල් පවතිනු ඇතිදැයි පැහැදිලි නැහැ.

මෙම රජයට ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ ඉතාලි සෙනට් සභාවේ බහුතරය රැක ගැනීමට ඔවුන්ට තවත් ආසන කිහිපයක් අවශ්‍ය වීම යි. එහෙයින් ස්වාධීන​ හෝ වාමවාදී සෙනට් සභිකයන් කිහිප දෙනකුගේ සහය ඔවුන්ට අවශ්‍ය වනවා.

තරු පහේ ව්‍යාපාරය සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙසේ රජයක් පිහිටුවා ගැනීමෙන් පසු ඔවුන් දෙපාර්ශවයම විවේචනය කිරීමේ අවස්ථාව සැල්විනිට ලැබී තිබෙනවා. ඒ අනුව දැන් ඔහුට තමන්ගේ ප්‍රධානම ප්‍රතිවාදීන් දෙපිළම එකවර තම ප්‍රහාරයට ලක් කළ හැකියි. එයින් ඔහුගේ ජනප්‍රියත්වය රැක ගැනීමට ඔහුට ඉඩක් ලැබෙනවා.

ඇතැම් විට​, මෙම පක්ෂ දෙක එකතු වේ ය යන ආදහස ඇතිවම​, සැල්විනි සිය පළමු පියවර ගත්තා වන්නට ද ඉඩ තිබෙනවා. එය එසේ නම්, එය ඉතාම දක්ෂ දේශපාලන පියවරක් බව කිව හැකියි.

Cover Image: ගුසෙප් කොන්ටේට නව රජයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා විසින් ආරාධනා කෙරුණා (Reuters)

Related Articles

Exit mobile version