ලොව වැඩියෙන් ම සිප ගත් යුවතියගේ දුක්බර සත්‍ය කතාව

ඔබ කෘත්‍රිම ස්වසනය ලබාදීම පිළිබඳ අධ්‍යයනය කර ඇති අයකු නම්, එලෙස කෘත්‍රිම ස්වසනය ලබා දීම ඉගැන්වීමේ දී සම්පූර්ණ මානව ශරීරයක, උඩු කයක හෝ හිසක ස්වරූපයට තනා ඇති ජීවමාන පැනුමැති ඩමි හෙවත් ප්‍රතිරූපක යොදා ගන්නා බව දන්නවා ඇති. කෘත්‍රිම ස්වසනය ලබා දීම ඉගැන්වීමට ලොව පුරා වැඩියෙන් ම එලෙස යොදා ගන්නේ, දෑස් වැසී ඇති ලෙස සකසා ඇති, ප්‍රසන්න පෙනුමැති යුවතියකගේ ස්වරූපය ප්‍රකට කරන එක්තරා ප්‍රතිරූපකයකු යි. මෙලෙස එය යොදාගන්නේ එහි ඇති ඉතාමත් ප්‍රසන්න පෙනුම නිසා වන අතර, ශාන්ත ස්වභාවයක් සහිත එය පිටුපස ඇත්තේ ඉතා දුක්බර සත්‍ය කතාවක් බව බොහෝ දෙනා දන්නේ නැහැ.

සේන් නදියේ පාව ආ නන්නාඳුනන මළසිරුර

දහනව වන සියවසේ අග භාගයේ ප්‍රංශයේ සේන් නදිය ඔස්සේ ගසා ගෙන ආ මළසිරුරක් පැරීසිය ආසන්නයේ දී ගොඩ ගැනෙනවා. ළා බාල තරුණියකගේ ස්වරූපය ප්‍රකට කළ මේ මළසිරුර 16 වියැති හෝ ඒ ආසන්න වයසක අයකුගේ බවට බලධාරීන් අනුමාන කළා. සිරුර ඉතාමත් හොඳ තත්ත්වයේ තිබූ අතර, දුටුවන ම එය ජීවමාන කිසිවකු නිදා සිටින ආකාරයක් ප්‍රකට කළා.

සේන් නදිය ඔස්සේ මළසිරුරු ගසා ගෙන ඒම එකල එතරම් දුලබ සිදුවීමක් වූයේ නැහැ. මේ නිසා මෙම සිදුවීම එහි බලධාරීන්ට විමතියක් එක් කළ එකක් වූයේ නැහැ. ඔවුන් මැය පිළිබඳ ව තොරතුරු සොයා බැලූ මුත්, කිසිදු තොරතුරක් සොයා ගන්නට අපහසු වෙනවා. අයකු මැය සිය දිවි නසා ගෙන ඇති බව අනුමාන කරද්දී, තවත් අයකු පැවසුවේ, හදිසි අනතුරක් නිසා ඇය සේන් නදියට වැටෙන්නට ඇති බව යි, මළසිරුරෙහි ස්වරූපය අනුව මෙය මිනිමැරුමක් වීමේ සම්භාවිතාව ඉතා අඩු බවට බොහෝ දෙනා තර්ක කළා.

මළසිරුරට කිසිදු හානියක් නොවී තිබීම නිසා ඇය සේන් නදියට වැටී ඇත්තේ පැරීසිය ආසන්නයෙන් ම බැව් බොහෝ දෙනාගේ මතය වූ අතර ඉක්මනින් ම ඇය පිළිබඳ ව තොරතුරු හෙළිවෙතැයි අපේක්ෂා කළා. එහෙත් එය එසේ සිදුවූයේ නැහැ. ඇයට ‘L’Inconnue de la Seine’ හෙවත් ‘සේන් නදියේ නන්නාඳුනන්නිය’ලෙස නමක් පටබැඳුණා.

‘සේන් නදියේ නන්නාඳුනන්නිය’ – L’Inconnue de la Seine- amusingplanet.com 

මෘතශරීරාගාරයට ගෙන ආ යුවතිය

සේන් නදියේ පාව ආ එම තරුණියගේ සිරුර ඉක්මනින් ම පැරීසියේ මෘත ශරීරාගාරයට යැවුණු අතර, එහිදී ප්‍රදර්ශනයට තබා තිබුණේ කිසිවෙක් හෝ එය හඳුනාගනීවි යැයි අපේක්ෂාවෙනු යි. එකල සේන් නදියේ පාව එන මළ සිරුරු නැරඹීමට පැරීසියේ මිනිසුන් වැල නොකැඩී පැමිණුන ද, බොහෝ සිරුරු හඳුනා ගැනීමට කිසිවකුත් අපොහොසත් වුණා. මෙම යුවතියගේ සිරුරට ද එම ඉරණම ම අත් වුණා.

පැරිස් මෘත ශරීරාගරයේ සේවයේ නියුතු අයකු මෙම තරුණියගේ මුහුණෙහි යම් විශේෂත්වයක් දකිනවා. සාමාන්‍යයෙන් දියේ පාවී එන මළසිරුරුවල මුහුණෙහි දක්නට නොලැබෙන ඉතාමත් ශාන්ත හා බුහුටි ස්වභාවයක් ඔහු අධ්‍යයනය කරනවා. එය දිව්‍යමය භාවයකින් යුක්ත යැයි කල්පනා කළ ඔහු, සිරුරෙහි අවසන් කටයුතු කිරීම සඳහා ඉවත් කිරීමට පෙර, ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා ගෙන එහි අච්චුවක් සකසා ගන්නවා.

අනතුරුව ඔහු එය හොර රහසේ ම තම නිවසට ගෙන යනවා. ඉන් අනතුරුව ඉන් පිළිම වැනි දේ තැනෙන අතර ඉකමනින් ම මේ පිළිම පැරීසිය පුරා අතිශය ජනප්‍රියතාවට පත් වෙනවා. ඒවා කෙතරම් ජනප්‍රිය වූවාද යත්, ඉක්මනින් ම මේ නන්නාඳුනන තරුණිය ‘සංස්කෘතියමය සංකේතයක්’ ලෙසට ප්‍රංශ ජාතිකයන් හඳුන්වන තත්ත්වයට පත් වෙනවා. රචක හා දර්ශනවේදී ඇල්බට් කැම්‍යුස් ඇය හැඳින්වූයේ ‘ගිලී ගිය මෝනාලීසා’ ලෙස යි.

ජීවිතාරක්ෂක ක්‍රියාවලියට

විසි වන සියවසේ මුල් යුගය වන විට, සේන් නදියේ පාවී ආ නන්නාඳුනන්නියගේ රුව සහිත මූර්ති ප්‍රංශය පමණක් නොව සමස්ථ යුරෝපය පුරාවට ම ප්‍රචලිත වුණා. ඇයගේ වැසුණු ඇස් සහ, හැඟීමකින් තොර, හොඳින් පියැවුණු පිරිපුන් තොල් සඟළක් සහිත මුහුණේ අනුරූ යුරෝපා නිවෙස්වල විසිත්ත කාමර විචිත්‍රවත් කළ අතර, බොහෝ සිත්තරුන්ගේ වැඩපොළවල නොවැරදී ම තැබුණු මූර්තියක් වුණා. ඉන් චිත්‍ර ද බිහි වූ අතර, නවකතාකරුවන් පවා ඇගේ මේ බුහුටි ලාලිත්‍යයෙන් ඔද වැඩී සිටියා.

 අස්මුන්ඩ් ලයර්ඩල් – simulationinformation.com 

 

මරණයෙන් බොහෝ කලකට පසු ව, එනම් 1940 දශකයේ දී මෙම තැනත්තියගේ රුව වෙනස් ම කටයුත්තකට ඈඳුණා. නෝවීජියානු සෙල්ලම් බඩු නිෂ්පාදකයකු වන අස්මුන්ඩ් ලයර්ඩල්, කුඩා දරුවන්ට ලබා දීම සඳහා නවත ම පන්නයේ සෙල්ලම් බඩු නිපදවීමට උත්සුක වී සිටි අතර, ඔහු අතට මැයගේ මූර්තියක් පත් වෙනවා. ඔහු මෘදු ප්ලාස්ටික් යොදාගෙන ‘ඈන් ‘නම් බෝනික්කා නිපදවන්නේ ඇගේ මුහුණ භාවිතයෙන්. නිදිබර ස්වරූපයෙන් නිපදවුණු මෙය නෝර්වේ රාජ්‍ය පුරා ඉක්මනින් ම ප්‍රචලිත වූ අතර, එය සම්මානයට පවා පාත්‍ර වෙනවා.

ලයර්ඩල් ගේ දෙහැවිරිදි කුඩා දරුවා දිනෙක දියෙහි ගිලී මියැදෙන්නට ගිය අතර, ඔහු බේරාගැනීමේ කටයුත්ත නිසා, ප්‍රදේශයේ ජීවිතාරක්ෂකයන් හා වෛද්‍යවරුන් සමඟ ඔහුගේ සමීප සම්බන්ධයක් ඇති වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් පසුකාලීන ව ලයර්ඩල් හමුවී ‘බෝනික්කකු’ සකස් කර දෙන ලෙස ඉල්ලා සිටින්නේ, නවීනතම කෘත්‍රිම ශ්වසන ක්‍රමයක් (සී.පී.ආර්) අත්හදා බැලීම සඳහා යි.

මේ අනුව වෛද්‍යවරුන්ගේ ගුරුහරුකම් මැද ලයර්ඩල් මානව ශරීරයකට ඉතා සමීප ලෙස, කෘත්‍රිම ස්වසන ක්‍රම අත්හදා බැලිය හැකි, ජීවමාන ප්‍රමාණයේ බෝනික්කකු නිපදවන අතර, එයට සේන් නදියේ පාවී ආ නන්නාඳුනන්නියගේ මුහුණ තබනවා. මීට මඳක් ඇරුණු තොල් පෙති හා, එබිය හැකි පපු පෙදෙසක් ඔහු විසින් තබන ලද්දේ සී.පී.ආර් ක්‍රියාවලියේදී සිදු කරන, මුඛයට මුඛය තබා හුස්ම පිඹීම හා පපු තෙරපුම සාර්ථක ව සිදු කළ හැකි පරිද්දෙනුයි.

 රෙස්කියු ඈන් සී.පී.ආර් ක්‍රමය සඳහා භාවිත කරන ආකාරය- cpr-savers.com)

මිලියන ගණනකගේ දිවි බේරූ තැනැත්තිය

ලයර්ඩල් ගේ ‘ජීවමාන’ ප්‍රතිරූපකය ක්‍රම ක්‍රමයෙන් ලොව පුරා ජනප්‍රිය වූයේ, සී.පී.ආර් ක්‍රමය ලොව ප්‍රචලිත වීමට සමගාමී ව යි. හුදු කාන්තාවක් වීමට අමතර ව, ඇයගේ තිබුණු විස්මයජනක ‘ශාන්ත’ ස්වහාවය මේ ප්‍රතිරූපකය ලොව ජනප්‍රිය වීමට බලපෑවා. ලොව වෙනත් ස්වරූපවලින් කලින් කලට සී.පී.ආර් ප්‍රතිරූපක පැමිණිය ද මැයගේ ප්‍රතිරූපකය ආසන්නයටවත් පැමිණීමට ඒ කිසිවකට නොහැකි වී තිබෙනවා. ලොව පුරා ඊට නම් රාශියක් පටබැඳුණු අතර ‘රෙස්කියු ඈන්’ හෙවත් ගලවා ගැනීමේ ඈන් ‘සී.පී. ආර්. ඇනී ‘ ඉන් ද්විත්වයක් පමණ යි.

ලොව පුරා සී.පී. ආර්. ක්‍රමය උගන්වන තැන්වල මිලියන ගණනක් මුවට මුව තබා මේ ප්‍රතිරූපකයෙන් හුස්ම පිඹීමට ඉගෙනගන්නා නිසා ඇයට ‘ලොව වැඩියෙන් ම සිප ගැනීමට ලක් වූ තැනැත්තිය’ යන නාමය ද පටබැඳුණා.සී.පී. ආර් ඇනී නිසා අද වන විට ලොව පුරා මිලියන ගණනකගේ දිවි බේරී ඇති බැව් නොරහසක්. දියේ ගිලී මිය යන මොහොතේ තමන් අනාගතයේ ලොව පුරා මිලියන ගණනකගේ දිවි බේරීමට දායක වේ යැයි කිසි විටක ඇය නොසිතන්නට ඇති.

කවරයේ පින්තූරය - සේන් නදියේ නන්නාඳුනන්නිය - shareably.net 

මූලාශ්‍ර:
Sciencealert.com
Brightside.me
News.com.au

Related Articles

Exit mobile version