හැත්තෑ වසරක් සපුරන NATO සංවිධානය​

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය පිහිටුවන ලද්දේ 1949 අප්‍රේල් 4 වන දා යි. ඒ වොෂිංටන් ඩී.සී. නගරයේ දී උතුරු අත්ලාන්තික් ගිවිසුම අත්සන් කිරීමත් සමග යි. අන්‍යොන්‍ය ආරක්ෂාව පිළිබඳ සංවිධානයක් වන මෙහි ආරම්භක සාමාජිකයන් 12ක් වුණා. දැනට රටවල් 29ක් එහි සාමාජිකත්වය දරනවා.

නේටෝ සංවිධානය පිහිටුවීමට මූලික වූයේ සෝවියට් දේශය ඇතුළු කොමියුනිස්ට් කඳවුර විසින් බටහිර යුරෝපය දෙසට එල්ල කළ තර්ජනය යි. විශේෂයෙන්ම ජර්මනිය වෙත වූ තර්ජනය සහ කුඩා රාජ්‍යයන් කොමියුනිස්ට් බලපෑමට යටත් වීමේ බිය මෙවන් සංවිධානයක් බිහි වීමේ හේතුවක් වුණා.

මූලික වශයෙන් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයත්, බෙනෙලක්ස් රාජ්‍යයන් (බෙල්ජියම​, නෙදර්ලන්තය, සහ ලක්සම්බර්ග්) වැනි අනෙක් රටවලුත් ආරක්ෂාව පිළිබඳ විවිධ ආකාරයෙන් එක්ව කටයුතු කිරීම ඇරඹූයේ නේටෝව බිහිවීමට ද පෙරයි.

සාමාජිකත්වය​

1949 දී නේටෝ සංවිධානය පිහිටුවන අවස්ථාවේ සාමාජික රාජ්‍යයන් වූයේ ඇමරිකා එක්සත් ජනපදය​, කැනඩාව​, බ්‍රිතාන්‍යය​, ප්‍රංශය​, ඉතාලිය​, බෙල්ජියම​, නෙදර්ලන්තය​, ලක්සම්බර්ග්, නෝර්වේ, පෘතුගාලය​, ඩෙන්මාර්කය, සහ අයිස්ලන්තය යන රාජ්‍යයන් දොළස යි. මෙයින් අයිස්ලන්තය යුධ හමුදාවක් නොමැති රටක් වනවා. ෆැසිස්ට්වාදී ඒකාධිපති පාලනයක් පැවති පෘතුගාලය නේටෝවේ ආරම්භක සමාජිකයකු වීම ආන්දෝලනාත්මක කරුණක් වුණා.

1952 දී මෙම සංවිධානයට තුර්කිය සහ ග්‍රීසිය ද ඇතුලත් වුණා. මේ රටවල් දෙක අතර වූ එදිරිවාදිකම් හේතුවෙන් රටවල් දෙකෙන් එකක් පමණක් ඇතුලත් කරගැනීම කළ හැක්කක් වූයේ නැහැ. එමෙන්ම තුර්කිය සෝවියට් දේශයට මායිම්ව පිහිටි නිසා, එරට නේටෝවට එක් වීම වැදගත් කරුණක් වුණා. මේ අනුව නෝර්වේ රාජ්‍යයේ උතුරුදිග කුඩා කොටසක් හැරුණ විට නේටෝ රාජ්‍යයක් සමග සෝවියට් දේශයට දේශසීමාවක් නිර්මාණය වූ ස්ථානය ලෙස තුර්කිය සැලකිය හැකි වුණා.

NATO සාමාජිකත්වය ව්‍යාප්ත වූ අයුරු. මෙම සිතියමෙහි ඇමරිකාව සහ කැනඩාව නොදැක්වේ (Wikimedia Commons)

බටහිර ජර්මනිය 1955 දී නේටෝවට එක් වීම තවත් ආන්දෝලනාත්මක කරුණක් බවට පත් වුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසු කලක් යනතුරු ජර්මනිය යළි සන්නද්ධ වීම පිළිබඳව බටහිර රටවල් දැක්වූයේ බියක් සහ සැකයක්. නමුත් සෝවියට් තර්ජනය ඊට වඩා තදින් දැනෙන්නට වූ හෙයින් ජර්මනියට යළි යුධ හමුදාවක් ගොඩ නැංවීමට සහය දීමට බටහිර රාජ්‍යයන් කටයුතු කළා. මෙහි ම පියවරක් ලෙස බටහිර ජර්මනිය නේටෝවට ඇතුළු කරගනු ලැබුණා.

සෝවියට් කඳවුර බිඳ වැටෙනතෙක් නේටෝවට එක් වූයේ තවත් එක් රටක් පමණ යි. ඒ 1982 දී එම සංවිධානයට එක් වූ ස්පාඤ්ඤය යි.

ඇමරිකානු ජනාධිපති හැරී ටෲමන් උතුරු අත්ලාන්තික් ගිවිසුමට අත්සන් තබයි (Getty Images)

සෝවියට් කඳවුරෙහි බිඳ වැටීමත් සමග නේටෝ සංවිධානය පිහිටුවීමේ මූලික අවශ්‍යතාව නැතිව ගියා. නමුත් නේටෝ සංවිධානය විසුරුවා හැරුණේ නැහැ. මෙය නේටෝව විවචනය කරන්නන් ගේ දැඩි අප්‍රසාදයට හේතු වූ කරුණක්. එමෙන්ම රුසියාව ද ඒ පිළිබඳ සිය අප්‍රසාදය විවිධ අවස්ථාවන්හි පළ කර තිබෙනවා. නේටෝව පැරණි කොමියුනිස්ට් කඳවුරේ රටවල් තම සාමාජිකයන් ලෙස බඳවා ගැනීම හේතුවෙන් රුසියාව දැඩි ලෙස අප්‍රසාදයට පත් වුණා. යුක්‍රේනය සහ ජෝර්ජියාව නේටෝවේ සාමාජිකත්වය ලබාගැනීම පිළිබඳ සලකා බලන අවස්ථාවන්හි එය වළකාලීමට රුසියාව හැකි සෑම දෙයක්ම කළා.

කියවන්න​: කුඩා ජෝර්ජියාව සමග යෝධ රුසියාව ගැටුණ 2008 යුද්ධය

නේටෝවට අවසන් වශයෙන් එක් වූයේ පැරණි යුගෝස්ලාවියාවෙන් බිඳුණ රාජ්‍යයක් වන මොන්ටිනීග්‍රෝව යි. මේ අතර තවත් රටක් නේටෝවට එක් වීමට සූදානම් වනවා. ඒ උතුරු මැසඩෝනියාව යි. 2019 වසරට පෙර එම රාජ්‍යය මැසඩෝනියාව ලෙස හැඳින්වුණා. එම රටෙහි නම පිළිබඳව වූ ගැටුම් හේතුවෙන් ග්‍රීසිය විසින් මැසඩෝනියාව නේටෝවට එක්වීමේ ක්‍රියාවලියට දිගටම බධා කෙරුණා.

නේටෝවේ හමුදා මෙහෙයුම්

සෝවියට් කඳවුරට එරෙහිව ගොඩනැගුණ ද​, සෝවියට් දේශය පවතින සමයේ නේටෝව කිසිදු යුධමය තත්ත්වයකට ක්‍රියාකාරී මැදිහත් වීමක් කළේ නැහැ. එහි අදහස එම සංවිධානය අකර්මණ්‍ය වූ බවක් නොවේ. එහි ඇතැම් රාජ්‍යයන් කොරියානු යුද්ධය​, වියට්නාම් යුද්ධය ආදී අර්බුදවල දී හමුදාමය දායකත්වයන් දැක්වූවා. නමුත් ඒ නේටෝ සංවිධානය ලෙස නොවේ.

නේටෝව මුලින්ම ක්‍රියාකාරී හමුදා මෙහෙයුම් සඳහා සම්බන්ධ වූයේ බොස්නියානු යුද්ධය සමයේ යි. සර්බියාවට එරෙහි නාවික අවහිරතාව ඔවුන් සිදුකළ පළමු මෙහෙයුම යි. පසුව බොස්නියාවේ ගුවන් ප්‍රදේශය ගුවන් ගමන් මුක්ත කලාපයක් බවට පත් කළ පසු එය බලාත්මක කිරීම ද ඔවුන් සිදු කළා.

මේ අතර 1995 දී බොස්නියානු සර්බ් හමුදාවන්ට එරෙහි ගුවන් ප්‍රහාර මාලාවක් ද නේටෝව විසින් සිදු කළා. බොස්නියානු යුද්ධය අවසන් වීම මෙයින් වේගවත් වුණා. ඉන්පසු එහි සාමසාධක කටයුතු ද ඔවුන් විසින් සිදු කරනු ලැබුණා.

1999 දී නේටෝ ප්‍රහාරවලින් හානි වූ බෙල්ග්‍රේඩ් නගරයේ යුගොස්ලාව් ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ල​ (Wikimedia Commons)

නේටෝව යළිත් වරක් පැරණි යුගෝස්ලාවියාවෙහි යුධ මෙහෙයුමකට යොමු වූයේ 1999 මාර්තු 24 වන දා යි. කොසොවෝ ප්‍රදේශයේ ඇල්බේනියානු වාර්ගික කැරලිකරුවන්ට එරෙහි යුගෝස්ලාවියා හමුදා මෙහෙයුම්වල දී යුධ අපරාධ සිදුවන බවට කෙරෙන චෝදනා මත යුගෝස්ලාවියාවට එරෙහිව ගුවන් මෙහෙයුම් සිදු කිරීම ඇරඹුණේ එදින යි. මෙම මෙහෙයුම ජූනි 10 තෙක් ඇදී ගිය අතර අවසානයේ දී කොසොවෝ හි නේටෝ සාමසාධක හමුදා රැඳවීමට එකඟ වීමට යුගෝස්ලවියානුවන්ට සිදු වුණා.

නේටෝව ඇෆ්ඝනිස්ථානයේ සාමසාධක කටයුතු සහ ඒඩ්න් බොක්කෙහි සෝමාලි මුහුදු කොල්ලකරුවන්ට එරෙහි මුර සංචාර කටයුතු සඳහා ද දයක වුණා.

2011 දී නේටෝව සිදුකළ ආන්දෝලනාත්මක මෙහෙයුමක් වූයේ ලිබියාවේ මුවම්මර් ගඩාෆිට එරෙහි කැරලිකරුවන්ට සහය දෙමින් ගුවන් ප්‍රහාර එල්ල කිරීම යි. ගඩාෆි මරාදැමීම දක්වා එම මෙහෙයුම ක්‍රියාත්මක වුණා. එහෙත් ඉන්පසුව ලිබියාව පත්ව ඇති අවුල් සහගත තත්ත්වය පිළිබඳව නේටෝව දෙසට ද ඇඟිල්ල යොමු වනවා.

කියවන්න​: හතලිස් දෙවසරක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි

ට්‍රම්ප් සමග ගැටුම්

ඇමරිකානු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෑත කාලයේ දී නේටෝවේ අනෙකුත් රටවල් සමග ගැටුම් ඇති කරගත්තා. ඊට මූලිකවම හේතු වූයේ නේටෝවේ ආරක්ෂක වියදම් සඳහා අනෙකුත් රටවල් ප්‍රමාණවත් දායකත්වයක් නොදෙන බවට ට්‍රම්ප් කරන චෝදනාව යි. ඇතැම් රටවල් “පිං බත් කන​” සාමාජිකයන් බව ට්‍රම්ප් චෝදනා කරනවා. මෙම කරුණ මත ට්‍රම්ප් සහ අනෙකුත් නේටෝ සාමාජිකයන් අතර ඇතැම් සම්මේලනවල දී දැඩි මතභේද ඇති වුණා.

නේටෝවේ හැත්තෑවන සංවත්සරයට සමගාමීව එහි මහ ලේකම් යෙන්ස් ස්ටොල්ටන්බර්ග් ඇමරිකානු කොන්ග්‍රස් සභාව අමතා කළ කතාවේදී මෙම මතභේද​ පිළිබඳ සාකච්ඡා කළා. මෙය නේටෝවේ ප්‍රධානියකු ඇමරිකානු කොන්ග්‍රසය අමතා කළ පළමු කතාව වුණා. ඔහු මෙහිදී පෙන්වා දුන්නේ මින් පෙර ද සන්ධානය තුළ මත ගැටුම් මතුවූ අවස්ථා තිබුණු බවයි. වඩා වැදගත් වන්නේ සන්ධානයක් ලෙස එක්ව පැවතීම බව ඔහු පෙන්වා දුන්නා.

Cover Image: බ්‍රසල්ස් නගරයේ පිහිටි නව නේටෝ මූලස්ථාන ගොඩනැගිල්ල (NATO)

Related Articles

Exit mobile version