Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවසීලන්තය ලෝක සිතියම්වලින් අතුරුදහන් වෙයි!

තම කාර්යාල මේසයට වී වැඩ කරන රීස් ඩාර්බි වෙත පැමිණෙන සහායිකාවක් ඔහුට ලියුම් කවරයක් දෙනවා. ඔහු එය කඩා බලද්දී එහි තනි කොළයක ටයිප් කරන ලද පණිවිඩයක් දකිනවා.

“ඊළඟ මහා කුමන්ත්‍රණය – නවසීලන්තය ලෝක සිතියම්වලින් මැකී යයි”

අන්තර්ජාල සෙවුමකින් ඔහුට හමු වන්නේ එම පුවත සත්‍ය බවට තහවුරු වන වාර්තා කිහිපයක්. තමා පිටිපස වන ලෝක සිතියම දෙස බලන ඔහු පුදුමයෙනුත් පුදුමයට පත් වනවා. එම ලෝක සිතියමෙනුත් නවසීලන්තය අතුරුදහන් වී ඇති බව ඔහු දකිනවා.

වහාම ක්‍රියාත්මක වන ඔහු අමතන්නේ නවසීලන්ත අගමැතිණී ජසින්ඩා ආර්ඩන්ව යි. ඇයට මෙම තොරතුර සැල කරන රීස් ඩාර්බි ඒ පිළිබඳ තමා සොයා බලන බව දන්වා සිටිනවා. ජසින්ඩා ආර්ඩන් මෙම තත්ත්වය බරපතල බව වටහා ගන්නේ නැහැ. ඇය සිටින්නේ වෙනත් රාජකාරිවල නිරත වෙමින්.

කවුද මේකට වග කියන්නෙ?

නමුත් පොරොන්දු වූ පරිදිම මේ පිළිබඳ සොයා බලන ඩාර්බිට ලෝකය පුරාම මෙසේ සිතියම්වලින් නවසීලන්තය අතුරුදහන් වූ අවස්ථා පිළිබඳ වාර්තා වනවා. ඔහු ඒවා ලැයිස්තුවක් සකසනවා. මේ අතර ඔහුට සොයා ගන්නට ලැබෙන්නේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංචාරකයන් ගණන වැඩි වන බව යි. මේ අනුව මෙම කුමන්ත්‍රණය පිටිපස ඔස්ට්‍රේලියාව සිටින බවට ඔහු සැක පහල කරනවා.

ඒ අතරම ඔහු තීරණය කරන්නේ එංගලන්තය ද මේ පිටිපස සිටිය හැකි බව යි. 2019 ලෝක රග්බි ශූරතා වීඩියෝවක ලෝක සිතියමේ නවසීලන්තය දකින්නට නැති බව දැක්වෙන පුවතක් ඊට හේතු වනවා.

නවසීලන්තය තිබිය යුතු තැන එය පෙනෙන්නට නැහැ (වීඩියෝවෙන්)

නැවතත් ජසින්ඩා ආර්ඩන් අමතන රීස් ඩාර්බි කියා සිටින්නේ මෙය “සඳ තරණ කුමන්ත්‍රණය සහ ලොක් නෙස්හි අද්භූත සත්ත්වයා පිළිබඳ කතා පුවත​” යන දෙකම එකතු කළාට ද වඩා දැවැන්ත කුමන්ත්‍රණයක් බව යි. ඔස්ට්‍රේලියාව, නවසීලන්තයට එන සංචාරකයින් ඇද ගැනීමට උත්සුක වන නිසා මෙයට සම්බන්ධ වී සිටිය හැකි යයි ඔහු සැක කරනවා. තව ද​, එංගලන්තය, නවසීලන්ත “ඕල් බ්ලැක්ස්” රග්බි කණ්ඩායම අහෝසි කර දැමීමට අවශ්‍ය නිසා මෙයට සම්බන්ධ වී සිටිය හැකි යයි ද ඔහු තවදුරටත් සැක පළ කරනවා. එමෙන්ම​, විදෙස් වයින් නිෂ්පාදකයින්ට, නවසීලන්ත වයින් ලෝක වෙළෙඳපොලෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය තිබෙන​ බව ද ඔහු පෙන්වා දෙනවා. නවසීලන්තය නම් රට ලෝක සිතියමෙන් අතු ගා දැමුවහොත් මේ සියළු දෙනා එයින් වාසියක් ලබා ගන්නා බවයි ඔහු කියා සිටින්නේ.

මේ පිළිබඳ අසා සිටින ජසින්ඩා ආර්ඩන් එය ගණන් ගන්නේ නැහැ. නමුත් ඒ මොහොතේ ඇය දකින්නේ ඇය අසළ ඇති සිතියමකින් ද නවසීලන්තය අතුරුදහන් ව ඇති බව යි!

ප්‍රචාරක වීඩියෝවක්

සත්‍ය වශයෙන්ම මෙම වීඩියෝව නවසීලන්ත සංචාරක ආයතනය විසින් සාදවන ලද වීඩියෝවක්. එමගින් නවසීලන්තයේ ප්‍රකටම අංග වන සුප්‍රකට රග්බි කණ්ඩායම පිළිබඳව මෙන්ම වයින් වර්ග පිළිබඳවත් ප්‍රචාරයක් ලබා දෙන ගමන්ම නවසීලන්තය පිළිබඳ යහපත් චිත්‍රයක් මවා පානවා. මෙම වීඩියෝව නිකුත් කරන ලද්දේ #GetNZontheMap (නවසීලන්තය යළිත් සිතියමට ඇතුලත් කරමු) යන හෑෂ් ටැගය මාතෘකා කරගෙන යි.

මෙහි විශේෂත්වය වන්නේ නවසීලන්තයේ ප්‍රකටම විකට නළුවකු වන රීස් ඩාර්බි සමඟ මෙයට රඟපාන්නේ නවසීලන්ත අගමැතිණී ජසින්ඩා ආර්ඩන් වීම යි.

ෂුවර් ද​?

ෂුවර් ද​? (වීඩියෝවෙන්)

ඔව්. සාමාන්‍ය අගමැතිවරයකු හෝ ජනාධිපතිවරයකු සංචාරක ප්‍රවර්ධන වීඩියෝවකට රඟපෑමෙන් දායක වනු ඇතැයි සිතන්න අමාරු යි. නමුත් ජසින්ඩා ආර්ඩන් ඒ අතින් වෙනස් නායිකාවක බව පෙන්වා තිබෙනවා.

තරුණ නායිකාවක ලෙස ජසින්ඩා ලෝකය පුරා විශාල උනන්දුවක් ඇති කළා. ඇයගේ නායකත්වය යටතේ 2017 වසරේ නවසීලන්ත කම්කරු පක්ෂය බලාපොරොත්තු නොවූ ජයග්‍රහණයක් ලබා රජයක් පිහිටුවා ගත්තා. ඇය නායකත්වයට පත් වීමට පෙර එම පක්ෂය මැතිවරණයෙන් ජය ගනු ඇතැයි බලාපොරොත්තු වුණේ නැහැ.

2017 වසරේ දී ලොව පුරා මතු වූ තරුණ නායකත්වයන් අතර ජසින්ඩා ආර්ඩන් ද ප්‍රමුඛ චරිතයක් වුණා. එවැනිම තවත් නායකයින් දෙදෙනකු වන එමානුවෙල් මැක්‍රොන් සහ සෙබස්ටියන් කර්ට්ස් පිළිබඳවත් අපි ඒ කාළයේ ඔබ වෙත තොරතුරු ගෙන ආවා මතක ඇති.

ජසින්ඩා මේ වන විට සිය පළමු දරු උපතට සූදානම් වනවා. ඒ අනුව ඇය ජූනි මාසයේ දී මාතෘ නිවාඩු ගනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

2018 මැයි 17 වනදා පාර්ලිමේන්තුව අමතන ජසින්ඩා ආර්ඩන් (Getty Images)

ඇත්තටම නවසීලන්තය සිතියම්වලින් මැකෙනවාද​?

නවසීලන්තය ලෝක සිතියම්වලින් අද්භූත ලෙස අතුරුදහන් වන්නේ නැහැ. නමුත් ලෝක සිතියම් අඳින අවස්ථාවල​ නවසීලන්තය ඇතුලත් කිරීමට අමතක වූ අවස්ථා ගණනාවක් ලොව පුරා හමු වනවා. ඉහත වීඩියෝවේ සඳහන් සිතියම් සහ පුවත් වාර්තා එම වීඩියෝව සඳහා නිමවූ ඒවා නොව සැබෑ ඒවා යි.

ඒ පිළිබඳ වන බී.බී.සී වීඩියෝවක් මෙම සබැඳියෙන් ඔබට නැරඹිය හැකියි.

මෙය නවසීලන්ත වැසියන් ගණනාවකගේ අප්‍රසාදයට හේතු වන සිද්ධියක්. කෙතෙක් ද කිවහොත් Reddit සමාජ ජාලයෙහි වන Maps without New Zealand on them එකමුතුවට 40,000 කට වැඩි පිරිසක් මේ වෙද්දී සම්බන්ධ වී සිටිනවා.

නවසීලන්ත සංචාරක බලධාරීන් වෙනුවෙන් නිමවූ ඉහත වීඩියෝවෙ දී ඉතාම නිර්මාණාත්මක ලෙස යොදාගනු ලබන්නේ මෙම සත්‍ය සිද්ධිය යි.

Cover Image: නවසීලන්තය අතුරුදහන් බව දකින ජසින්ඩා ආර්ඩන් (වීඩියෝවෙන්)

Related Articles