පාරිසරික අසමතුලිතතාව සහ පාරිසරික විනාශය නිසා ලෝකයේ බොහෝ රටවලට මේ වන විටත් අනිසි ප්‍රතිඵල අත්වෙමින් තිබෙනවා. මහා පරිමාණයේ මානව ක්‍රියාකාරකම් මේ සඳහා සෘජු දායකත්වයක් සපයනවා. කෘෂිකර්මාන්තය කියන්නෙත් මහා පරිමාණයේ මානව ක්‍රියාකාරකමක්. දිනෙන් දින වර්ධනය වන ලෝක ජනගහනයට සාපේක්ෂ ව ආහාර ඉල්ලුමේ වැඩි වීම නො වැළැක්විය හැකි කාරණාවක්. ඇතැම් රටවල අධි පරිභෝජනයත් මීට අහිතකර ලෙස බලපානවා. කෘෂිකර්මාන්තයේ භාවිත වන තාක්ෂණය, මෙම නොනවතින ඉල්ලුමට සරිලන සේ මූලික ව ම හැඩගැසීම වැලැක්විය නොහැකි යි. රසායනික පොහොර, පළිබෝධ නාශක කරළියට පැමිණෙන්නේ මෙවැනි සන්දර්භයක යි. අවසානයේ දී එක් ප්‍රශ්නයකට පමණක් අවධානය යොමු කිරීමේ ආදීනව ලෝකය අදඅත්විඳිමින් සිටිනවා.
කෘෂිකර්මාන්තය හරහා පොළොවට එකතු වූ අධික රසායනික ද්‍රව්‍ය සමඟ පැන නැඟුණු මානව සෞඛ්‍ය ගැටලු සහ පාරිසරික අසමතුලිතතා නිසා ශ්‍රී ලාංකික අප ද මේ වන විට සිටින්නේ දැඩි අවදානමක යි.
රසායනික පොහොර භාවිතයෙන් ගොවියා දුරස් කිරීම සහ කාබනික ගොවිතැන පිළිබඳ දැන් අපට නිතර අහන්න ලැබෙනවා. කාබනික ගොවිතැන කියන්නේ අද ඊයේ බිහිවූවක් ද? කොහෙත්ම නෑ, එය කලෙක පටන් ලෝකයේ ක්‍රමික ව විකාශනය වෙමින් පැමිණි සංකල්පයක්. අද වන විට එහි වටිනාකම ලෝකය වේගයෙන් තේරුම් ගනිමින් සිටිනවා. කාබනික ගොවිතැන ගැන වැඩි කතාබහක් ශ්‍රී ලංකාව තුළ ඇති ව තිබෙන නිසා, සැබැවින් ම කාබනික ගොවිතැන යනු කුමක් ද? එහි ප්‍රායෝගිකත්වය, ප්‍රයෝජන සහ අභියෝග ඇතුළු තවත් බොහෝ කරුණු
ඔබේ ගොවිපළ, තවත් එක් ජීවියෙක්!
කාබනික ගොවිතැන කියන්නේ එක්තරා විදියකින් අපූරු තාක්ෂණයක්. එහි දී, බෝග වගා කිරීම සහ සතුන් රැක බලා ගැනීම යන ද්විත්වය ම ස්වභාවික ව සිදුවෙනවා. පසෙහි සරු බව සහ බෝගවලට හානි කරන පළිබෝධකයන් වැනි තවත් බොහොමයක් අවශ්‍යතා සඳහා කෘත්‍රීම ද්‍රව්‍ය (රසායනික ද්‍රව්‍ය) යොදාගැනීම මෙහි දී සිදුවන්නේ නැහැ. ජානමය වශයෙන් වෙනස් කළ බෝගයන්ට හෝ සතුන්ටත් මෙම තාක්ෂණය තුළ ඉඩක් ලැබෙන්නේ නැහැ. කාබනික ගොවිතැන මූලික ව ම, පාරිසරික සමතුලිතතාවයට ගරු කරමින් කරගෙන යන ක්‍රියා පිළිවෙතක්. කෘෂි බෝග කලින් කලට මාරු කරමින් වගා කිරීමේ ක්‍රමවේදය, හරිත පොහොර සහ කාබනික පොහොර භාවිතය, ජෛවීය ක්‍රමවේද භාවිතයෙන් පළිබෝධ පාලනය, ඛනිජ සහ පාෂාණ භාවිතයෙන් පස සැකසීම වැනි බොහෝ මූලධර්ම මත කාබනික ගොවිතැන රඳා පවතිනවා. ඒ නිසා, කාබනික ගොවිතැන යනු රසායනික පොහොර නොයෙදීම පමණක් ම නෙවෙයි.
තවදුරටත් කාබනික ගොවිතැන ගැන සලකා බැලුවහොත්; ගොවිපළ නම් පද්ධතිය, බාහිර පරිසර පද්ධතියේ ම කොටසක් ලෙස සලකා ක්‍රියාකිරීම සිදුවෙනවා. සාම්ප්‍රදායික ලෙස රසායනික පොහොර සහ පළිබෝධ නාශක භාවිතයෙන් සිදුකරන ගොවිතැනේ දී බාහිර පරිසර පද්ධතිය ගැන තැකීමක් සිදුකරන්නේ ඉතා ම අඩුවෙන්. ගොවිපළ ලෙස පවත්වා ගෙන යන භූමියේ ඉලක්කගත බෝග හෝ සතුන් කෙරෙහි පමණ යි මෙහි දී අවධානය යොමුවෙන්නේ. නමුත්, බාහිර පරිසරය ගොවිපළ සමඟ අන්තර්ක්‍රියා කිරීම එයින් නවතින්නේ නැහැ. කෘත්‍රීම ද්‍රව්‍ය යොදා තැනූ ගොවිපළ, කෘත්‍රීම පරිසර පද්ධතියක් බඳු යි. එයින් එල්ල වන අහිතකර බලපෑම නිසා බාහිර පරිසරයත් අවුල් සහගත වෙනවා. ගොවිපළ ස්වභාවික පරිසර පද්ධතියට ම අයත් තවත් එක් “ජීවියෙක්” ලෙස සලකා කටයුතු කිරීම ඒ අනුව ඉතා කාලෝචිත යි.
නිහඬ අවදානම හඳුනාගනිමු!
කාබනික ගොවිතැන සිදුකරන අතරවාරයේ, ගබඩා කිරීමේ දී හා සැකසීමේ දී රසායනික පොහොර, පළිබෝධ නාශක හෝ වෙනත් කෘත්‍රීම ද්‍රව්‍ය භාවිත වීමක් සිදුවන්නේ නැහැ. එයින් අදහස් වන්නේ එම ආහාරය ඉතා සෞඛ්‍යාරක්ෂිත බව යි. සාම්ප්‍රදායික ව කරන ගොවිතැනේ දී රසායනික ද්‍රව්‍ය පාලනයකින් තොරව යෙදීමේ අවදානමක් පවතිනවා. අපගේ ජීවිත කාලය පුරා ම මේ විස සහිත ආහාර දාමයට සම්බන්ධිත ව සිටීමෙන් දීර්ඝ කාලීන සෞඛ්‍ය අවදානමක් ඇති කරනවා. ඒ අතර පිළිකා, ස්නායු ආබාධ, ප්‍රතිශක්තීකරණ දුර්වලතා වැනි බරපතළ සෞඛ්‍ය ගැටලු ප්‍රමුඛතාවක් උසුලනවා. දැනටමත් ශ්‍රී ලාංකිකයන් දීර්ඝ කලක සිට මේ අවදානම මැද ජීවත් වෙනවා. ඒ නිසා විසඳුමක් අවශ්‍ය ම මොහොතකට යි අපි දැන් පැමිණ සිටින්නේ.
ඔබ මෙන්ම ලෙඩ වෙන පස
පස කියන්නේ පෝෂ්‍ය පදාර්ථ, ජීවින් සහ බෝග එකිනෙකා සමඟ සමීප ව ක්‍රියාකරන වෙන ම ලෝකයක් බඳු තැනක්. දීර්ඝ කාලීන ව යොදන රසායනික ද්‍රව්‍ය නිසා පසට ලැබෙන්නේ ඉලක්කගත පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් පමණ යි. එවිට කාලයත් සමඟ පසෙහි ගුණාත්මකභාවය ක්ෂය වන අතර, සෑම ජීවියෙකුට එම පස හිතකර වන්නේ නැහැ. කාලයක් ගත වන විට එම බිම්, මුඬුබිම් බවට පත් වීමේ අවදානමක් පවතිනවා. වැඩි අස්වැන්නක් වෙනුවෙන් කෘෂිකර්මාන්තයේ දී මූලික ම සාධකය වන “භූමිය” එලෙස අමතක කිරීම කොතරම් දුරට ප්‍රායෝගික ද?
මූල්‍ය නිදහස සහ ස්වාධීනත්වය
රසායනික පොහොර සහ පළිබෝධ නාශක පාංශු සෞඛ්‍ය විනාශ කරන හෙයින්, ඒවා මත යැපෙන ගොවීන්ට එකම ආකාරයේ බෝග මත දිගින් දිගට ම යැපෙන්න සිදුවෙනවා. වගාව සඳහා දරන්නට වෙන අධික පිරිවැය නිසා ගොවීන් හමුවේ මූල්‍යමය අවදානමක් නැතැ යි කියන්නට බැහැ නේද?
භූමිය මත විශ්වාසය නොතබා රසායනික ද්‍රව්‍ය මත විශ්වාසය තැබීමෙන් ගොවියාගේ ස්වාධීනත්වයටත් සිදුවන්නේ හානියක්. කාබනික ගොවිතැනේ යෙදෙන්නකුට තමාගේ භූමිය ගැන විශ්වාසය තැබිය හැකි යි. එවැන්නකුට වසරක් පාසා අලුතෙන් පොහොර සහ පළිබෝධ නාශක මිලදී ගැනීමේ අවශ්‍යතාවක් ද පවතින්නෙ නැහැ.
ආහාර විවිධත්වය
ඇතැම් කෘෂි ව්‍යාපාර තමන්ගේ ම පළිබෝධ නාශක වර්ගවලට ප්‍රතිරෝධී බීජ වර්ග නිෂ්පාදනය කරනවා. එම බීජවල හිමිකාරීත්වය තිබෙන්නේත් ඔවුන්ට ම යි. මෙම ක්‍රියාවලිය නිසා පලතුරු සහ එළවළු වර්ගවල ස්වාභාවික ප්‍රභේද දහස් ගණනක් වඳ වී යාමට මඟ පෑදෙනවා. අවසානයේ දී එක ම ආහාරයේ පවා වෙනස් වෙනස් ප්‍රභේදවල රසය සහ ගුණය අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට අහිමි වෙනවා. කාබනික ගොවිතැනේ යෙදෙන පුද්ගලයන්ට නම් මෙම ගැටලුව නැහැ. අපට ඉතිරි වී ඇති ආවේණික, පෝෂණ ගුණය සපිරි දේශීය පලතුරු සහ එළවළු ප්‍රභේද සංරක්ෂණය කිරීමෙහි ලා කාබනික ගොවිතැනේ නිරත වන්නන්ට මනා කාර්යභාරයක් ඉටුකළ හැකි යි.
මේක එක රැයෙන් එළිවෙන හීනයක් නෙවෙයි
දශක ගණනාවක සිට රසායනික ද්‍රව්‍ය මත යැපෙමින් පවත්වාගෙන යන කෘෂිකර්මාන්තයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටක්, එක්වර ම කාබනික ගොවිතැන කරා යොමු වීම එතරම් ප්‍රායෝගික නැති බව යි ඒ හා සම්බන්ධ ප්‍රාමාණික විද්වතුන්ගේ අදහස. කාබනික ගොවිතැන හරහා සෞඛ්‍ය ප්‍රතිලාභ සහ පාරිසරික සුරක්ෂිතභාවය කොතරම් තහවුරු වුණත්, ගැටලු සහගත තැනුත් නැතුවා ම නොවෙයි. මූලික ව ම මෙම ගැටලු කේන්ද්‍රගත වී තිබෙන්නේ, ආහාර ඉල්ලුමට අනුව සැපයුම කාබනික ගොවිතැන හරහා පවත්වා ගත හැකි ද යන කාරණය මත යි. කාබනික ගොවිතැන සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික ගැටලු කිහිපයක් අපි දැන් සැකෙවින් සලකා බලමු.
විශේෂ යටිතල පහසුකම් නොමැතිකම
බොහෝ විශාල කාබනික ගොවිපළවල් තවමත් කාර්මික-කෘෂිකාර්මික ශෛලියක් තුළ ක්‍රියාත්මක වන අතර, කෘෂි නිෂ්පාදන ගබඩා කිරීමේ ක්‍රියාවලිය සඳහාත් කෘත්‍රීම ක්‍රමවේද යි භාවිත වෙන්නේ. අවසානයේ දී කාබනික ගොවිපළවල් පවා කිසියම් දුරකට සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය මෙන් පරිසරයට හානිකර පිළිවෙත් අනුගමනය කිරීම සිදුකරනවා. කාබනික ගොවිතැන හා සම්බන්ධ සංකල්ප රැකෙන අයුරින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම මෙහි දී ඉස්මතු වෙනවා.
කාබනික පොහොර විෂ රහිත ද?
රසායනික පොහොර අහිතකර වුවත්, කාබනික පොහොර එසේ නොවේයැ යි එකහෙලා ම පවසන්නට බෑ. ගුණාත්මක බවින් අඩු රසායනික පොහොර මෙන්ම, ගුණාත්මක බවින් අඩු කාබනික පොහොර ද එක සේ විෂ සහිත වෙන්න පුළුවන්. නගර සභා බල ප්‍රදේශවල ඉවතලන කසළවල බොහෝ විට බැර ලෝහ අඩංගු බැවින් ඒවා කොම්පෝස්ට් ලෙස පසට එකතු වුවහොත් සිදුවන හානිය සුළුපටු නැහැ. ඒ නිසා පිලිපීනය වැනි රටවල භාවිතා කරන ගැඩවිලුන්ගෙන් නිපදවන කොම්පෝස්ට් පොහොරක් වැනි ගුණාත්මක නිෂ්පාදනයක් භාවිත කිරීම වඩාත් සුදුසු වෙනවා.
වෙනත් රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම ද මනා නියාමනයකට යටත් කිරීම අනිවාර්ය යි. ඒවායේ ජීවත් වෙන ක්ෂුද්‍ර ජීවින් අපගේ පරිසර පද්ධතියට කුමනාකාරයේ බලපෑමක් ඇති කරාවි ද යන්න ගැනත් එහි දී සොයා බැලිය යුතු වෙනවා. ආනයනික කාබනික පොහොර නිසා ආක්‍රමණශීලි ජීවින් විශේෂ රට තුළ පැතිර යෑමේ අවදානමකුත් පවතිනවා. මේ සඳහා හොඳම විසඳුම වන්නේ, ගුණාත්මක කාබනික පොහොර ශ්‍රී ලංකාව තුළ ම නිපදවීම යි. නමුත්, ඒවා මහා පරිමාණයෙන් නිපදවීමට ගත වන කාලය, බෙදාහැරීම සහ රසායනික පොහොරවලින් වගාවට ලබාදෙන ඵලදායීතාවය කාබනික පොහොර මඟින් ලබාගැනීම සඳහා කළ යුතු දෑ වැනි බොහෝමයක් කරුණු ගැන විශේෂ අවධානය යොමුකරන්න සිදුවෙනවා.
එතකොට පළිබෝධ නාශක?
කාබනික ගොවිතැන ගැන දැඩි අවධානයක් ඇති ව තිබෙන කාල වකවානුවක, රසායනික පොහොර භාවිතය සීමා කිරීමේ වැඩපිළිවෙළකුත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සැබවින් ම කාබනික ගොවිතැන යනු රසායනික පොහොර අවම කිරීම පමණක් ම නොවෙයි. රසායනික පොහොරවලටත් වඩා විෂ සහිත කෘමි නාශක, වල් නාශක, දිලීර නාශක බැහැර කිරීම සහ ඒවාට සුදුසු විකල්ප සෙවීමේ පර්යේෂණ පසුබිමක් ඇති කිරීමත් මෙහි දී ඉතා වැදගත්.
කාබනික පළිබෝධ නාශක මේ සඳහා හොඳ විකල්පයක් විය හැකි යි. කාබනික පළිබෝධ නාශක සාදා ඇත්තේ ස්වාභාවික අමුද්‍රව්‍යවලින්. ඒවා සම්පූර්ණයෙන් ම රසායනික ද්‍රව්‍යවලින් තොර බව එයින් අදහස් වෙන්නේ නැහැ. ඒවා ශාක ද්‍රව්‍ය සහ ඛනිජ ප්‍රභව තුළ අඩංගු රසායනික ද්‍රව්‍ය ආශ්‍රයෙන් නිපදවූ පළිබෝධ නාශක වෙනවා. රසායනික ඒවා මෙන් කාබනික පළිබෝධ නාශකත් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු වුවත්, සාම්ප්‍රදායික රසායනික පළිබෝධ නාශකවලට වඩා ඒවායේ රසායනිකයන් ඉක්මනින් ම බිඳවැටෙන නිසා හානිය අවම යි.
දුෂ්කර යි. නමුත්, අත්‍යවශ්‍ය යි!
වසර දහස් ගණනක සිට අපේ පැරැන්නන් පාරම්පරික ගොවිතැන පවත්වාගෙන ගියේ පරිසරය සමඟ හිතවත් ගනුදෙනුවක යෙදෙමිනුයි. පරිසරයේ සිටින ජීවින්ට අවම හානියක් වන පරිද්දෙන් එම ජීවින් ද රැකගෙන ජීවිකාව සරි කරගන්නා ක්‍රමවේදයක් ඔවුන් අනුගමනය කළා. නමුත්, 1960 කාලවකවානුව වන විට ඇරඹුණු හරිත විප්ලවයත් සමඟ කෘෂිකර්මාන්තය වේගයෙන් වාණිජකරණයට ලක් වුණා. කෙටි කලකින් වැඩි අස්වැන්නක් ලබා, ඉල්ලුමට සරිලන සැපයුම ලබාදෙමින් ලාභ ඉපයීම එහි අරමුණ යි. සියලු බෝග කෘත්‍රීම සාධක මත යැපෙන තත්ත්වයට පත් වූ අතර, එයින් හටගත් ගැටලු කෙමෙන් කෙමෙන් මානව සංහතියේ පැවැත්මට සෘණාත්මක ලෙස බලපාන්න පටන් ගත්තා. එහෙත්, වසර ගණනාවක් තිස්සේ අප පුරුදු වී සිටින මෙම කෘෂි ක්‍රමවේදයෙන් ගැළවීම පහසු නැහැ.
උක්ත සියලු කරුණු කාරණා සලකා බැලීමේ දී අප මෙතෙක් හුරු පුරුදු ව සිටි කෘෂිකාර්මික රටාවෙන් විතැන් ව විකල්ප ක්‍රමවේද කරා ගමන් කිරීම කාලීන අවශ්‍යතාවයක් යැයි කිව යුතු ම යි. එකම විකල්පය කාබනික ගොවිතැන නම්, එම ක්‍රමවේදය වෙත මාරු වීමේ දී මුහුණපාන්නට සිදුවන ප්‍රායෝගික ගැටලුවලට සංවේදී වෙමින් විසඳුම් සෙවිම වඩාත් සුදුසු යි. කාබනික ගොවිතැන සාර්ථක ලෙස පවත්වාගෙන යන රටවලින් අවශ්‍ය දැනුම උකහාගෙන, අපේ රටට ගැළපෙන පරිදි ආකලනය කිරීමත් සිදුකළ හැකි යි.
රසායනික පොහොර ආනයනය පමණක් සීමා කොට කාබනික ගොවිතැනින් අපේක්ෂා කරන අරමුණු කරා ළඟාවිය හැකියැ යි සිතීම උගහට යි. එය ගොවියා, කෘෂි විද්‍යාව පිළිබඳ හසල දැනුමැති විද්වතුන්, බෙදාහරින්නන් සහ වෙළෙන්දන්, ව්‍යාපාරිකයන් ඇතුළු තවත් බොහෝ පාර්ශව සමඟ සංයමයෙන් යුතු ව දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඔස්සේ සිදුකළ යුත්තක්. කාබනික ගොවිතැන එක රැයින් එළිවෙන හීනයක් බවට පත් කිරීමට ප්‍රයත්න දැරීම තවත් ගැටලු රාශියකට මඟ පාදන්නක් විය හැකි යි. නමුත්, එය අනාගතයේ දී අපට පෙරට වඩා අත්‍යවශ්‍ය වේවි. ඒ වෙනුවෙන් මෙතැන් පටන් ක්‍රමානුකූල ව අපගේ පවතින්නා වූ කෘෂිකර්මාන්ත රටාවේ වෙනසක් සිදුකිරීම ඉතා වැදගත්.