කටාර් රාජ්‍යය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන බව දෙසැම්බර් 3 වන දා නිවේදනය කළා. එරට බලශක්ති අමාත්‍ය සාද් අල්-කාබි නිවේදනය කර තිබුණ ආකාරයට, 2019 ජනවාරි 1 වන දා සිට කටාරය ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වනු ඇති.
කටාර් රාජ්‍යය පවසන්නේ තමන් සතු ස්වාභාවික වායු සම්පත දියුණු කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව යි.
නමුත් සවුදි අරාබිය ඇතුළු අරාබි රටවල් කිහිපයක් සමග ඇති එදිරිවාදිකම හේතුවෙන් කටාරය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වන්නට ඇතැ යි විශ්වාසයක් ද පවතිනවා.
කටාරය සාපේක්ෂ ව විශාල තෙල් ප්‍රමාණයක් නිපදවන රටක් නොවන බැවින්, ඔපෙක් සංවිධානයෙන් එරට ඉවත් වීම තෙල් මිල කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනු ඇතැ යි සිතන්නට බැහැ.
එමෙන්ම එය විශාල තෙල් නිපදවන්නෙකු නොවන හෙයින් ඔපෙක් සංවිධානයේ විශාල තීරක බලයක් කටාරයට නැහැ. කලින්, කටාරය සහ සවුදි අරාබිය අතර හොඳහිත පැවති සමයෙහි කටාරයට තම විශාලත්වයට සාපේක්ෂ ව විශාල වූ බලයක් ඔපෙක් සංවිධානයෙහි තිබුණා. නමුත් වර්තමානයේ එම තත්ත්වය දකින්නට ලැබෙන්නේ නැහැ. සවුදි අරාබියාව සමග ඇති විරසකය විසින් කටාරය එම සංවිධානය තුළ එතරම් නොවැදගත් සාමාජිකයකු බවට පත්කොට තිබෙනවා.
කුඩා සාමාජිකයන්ගේ නොසතුට
ඔපෙක් සංවිධානය පිහිටුවන ලද්දේ 1960 වසරේ දී යි. එහි ආරම්භක සාමාජිකයන් වූයේ ඉරානය, ඉරාකය, සවුදි අරාබිය, කුවේටය, සහ වෙනෙසුවේලාව යි. මේ වනවිට, කටාරය ද ඇතුළත් ව රටවල් 15ක් එහි සාමාජිකයන් වනවා. ලෝක තෙල් නිෂ්පාදනයෙන් සියයට 44ක් පමණ ඔපෙක් රටවලින් සිදු කෙරෙනවා. ලෝක තෙල් සංචිතවලින් සියයට 70ක් පමණ එම රටවල පිහිටා තිබෙනවා.
ඔපෙක් සංවිධානයෙහි සාමාජිකයන් කිහිපදෙනෙකු ම අප්‍රිකානු රටවල් වන අතර, පවතින තත්ත්වය යටතේ එහි කටයුතු බොහොමයක් සවුදි අරාබිය සහ ඊට හිතවත් රටවල් කිහිපයක් විසින් පාලනය කෙරෙනවා. එක් අතකින් ඉරානය මෙහි දී තනි වීමක් සිදුවනවා. මීට අමතර ව කුඩා රටවල්වලට සංවිධානයෙහි කටයුතු පිළිබඳ තීරක බලයක් නොලැබීමේ තත්ත්වයක් තිබෙනවා.
සවුදි අරාබිය සහ රුසියාව අතර පවතින මිත්‍රත්වය හේතුවෙන් ඉදිරියේ දී ලෝක තෙල් නිෂ්පාදනය පිළිබඳ තීරක බලය එම දෙරට අතට පත්වනු ඇතැ යි ඇතැම් විචාරකයන් සැක පළ කරනවා. රුසියාව ඔපෙක් සාමාජික රටක් නොවුව ද, තෙල් සහ ස්වාභාවික වායු නිෂ්පාදනය අතින් වැදගත් රාජ්‍යයක් වනවා.
මෙවන් තත්ත්වයක් යටතේ දී ඔපෙක් සංවිධානයේ කුඩා රටවල් එහි කටයුතුවලින් ඈත් වීමේ අවදානමක් මතු විය හැකි ය යි ඇතැම් විචාරකයන් සැක පළ කරනවා. නමුත් කටාරය ඉවත් වීම තුළින් එවන් තත්ත්වයක් මතුවේ ය යි සිතීමට ප්‍රමාණවත් තරම් සාධක නැහැ.
කටාරයට ඇති බලපෑම
ඔපෙක් සංවිධානය බොරතෙල් නිෂ්පාදනය සහ එහි මිල පිළිබඳ තෙල් නිෂ්පාදනය කෙරෙන රටවල්වලට වැඩි පාලනයක් ලබා ගැනීමේ අදහසින් ඔපෙක් සංවිධානය පිහිටුවනු ලැබුණා. ඇතැම් කාලවල සාමාජික රටවල දේශපාලනික ගැටුම් හේතුවෙන් ඔපෙක් සංවිධානයේ අර්බුදකාරී තත්ත්වයන් මතු වුණා. ඉරාන – ඉරාක යුද්ධය, ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම, සවුදි – ඉරාන මතභේද ආදිය හේතුවෙන් විවිධ අර්බුද මතු වුණත් ඔපෙක් සංවිධානය අදටත් සාර්ථක ලෙස ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා. මේ නිසා කටාරය ඉවත් වීමෙන් ඔපෙක් සංවිධානයට විශේෂ අවාසියක් වේ ය යි සිතන්නට අපහසු යි.
ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීම කටාරයට ඇති දේශපාලන බලය තවත් සීමා වීමක් ලෙස ඇතැම් විචාරකයන් දකිනවා. ප්‍රකට වෙබ් අඩවියක් වන oilprice.com හි විශ්ලේෂක සිරිල් විඩර්ශෝවන් තර්ක කරන්නේ තෙල් සම්බන්ධයෙන් ඇති දේශපාලන බලය ස්වාභාවික වායූන් සම්බන්ධ ව නොමැති බව යි. රුසියාව සම්බන්ධයෙන් මෙම තත්ත්වය වෙනස් වන නමුත්, වෙනත් රාජ්‍යයන් සැලකීමේ දී තෙල් සම්පත සමග දේශපාලන බලය බැඳී ඇති බව ඔහු පෙන්වා දෙනවා. යුරෝපය සිය ස්වාභාවික වායු සැපයුම සඳහා රුසියාව මත යැපෙන තත්ත්වයක් තිබෙන හෙයින් රුසියාව සම්බන්ධයෙන් එම තත්ත්වය තරමක් වෙනස් වනවා.
කටාරය සතු ව ඇති තෙල් සංචිත ප්‍රමාණය සාපේක්ෂ ව විශාල නැතත්, එරට ස්වාභාවික වායු සංචිත ප්‍රමාණය සැලකීමේ දී ලොව පළමු රටවල් කිහිපය අතර වනවා. මේ හේතුව නිසා අනාගතයේ දී LNG හෙවත් ද්‍රවීකරණය කළ ස්වාභාවික වායු නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි කටාරය තවත් අවධානය යොමු කරනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. 2017 දී කටාරයට එරෙහිව සවුදි අරාබිය ඇතුළු අරාබි රටවල් කිහිපයක් විසින් සම්බාධක පැනවීමෙන් පසු කටාරය කෙමෙන් කෙමෙන් සිය ස්වාභාවික වායු නිෂ්පාදනය ඉහළ නැංවූවා. දැනට ලෝක LNG අවශ්‍යතාවයෙන් සියයට 30ක් පමණ කටාරය විසින් සපුරනු ලබන අතර, ඉදිරි කාලයේ දී සඳහා ඉල්ලුම වැඩි වනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. ඔපෙක් සංවිධානය LNG නිෂ්පාදනය පිළිබඳ කටයුතු පාලනය කරන්නේ නැහැ.
තෙල් මිල වැඩි කිරීම
කටාරය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීමේ තීරණය නිවේදනය කළේ වියානා නුවර දී ඔපෙක් සංවිධානයේ මීළඟ රැස්වීම පැවැත්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී යි. තවමත් එරට එහි සාමාජික රාජ්‍යයක් වන හෙයින් කටාරයට ද එම රැස්වීමට සහභාගී වීමේ අවස්ථාව තිබෙනවා.
මෙම රැස්වීමේ දී මූලික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත ව තිබෙන්නේ තෙල් නිෂ්පාදනය අඩු කිරීම මඟින් මිල ඉහළ නැංවීම යි. විශේෂයෙන් ම ඉරානයට එරෙහිව ඇමරිකාව විසින් පනවන ලද සම්බාධක සිතූ තරම් දැඩි නොවීමත්, අනෙකුත් නිෂ්පාදකයන් විසින් වැඩියෙන් තෙල් නිෂ්පාදනය කිරීමත් හේතුවෙන් තෙල් මිල පසුගිය මාස දෙකක පමණ කාලය තුළ පහළ යනු දකින්න ලැබුණා. මේ තත්ත්වය පිළිබඳ ඔපෙක් රැස්වීමේ දී සාකච්ඡා කෙරෙනු ඇති. කෙසේ නමුත්, මෙසේ තෙල් මිල ඉහළ ගියහොත් ඒ කටාරය ඔපෙක් සංවිධානයෙන් ඉවත් වීම හේතුවෙන් නොවන බව පැහැදිලි ලෙස කියා සිටිය යුතු වනවා. කලින් ද අප සඳහන් කළ පරිදි ලෝක තෙල් වෙළෙඳපොලේ මිල පාලනය සම්බන්ධයෙන් කටාරයට තනි රාජ්‍යයක් ලෙස විශාල තීරක බලයක් නැහැ.