පසුගිය දා එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කිව්වේ කංසා වගාකර අපනයනය කිරීමෙන් මෙරට විදේශ ණය බරෙන් නිදහස්වීමට තරම් ආදායමක් ලබාගත හැකි බව යි. සමාජ ක්‍රියාකාරී හිමිනමක් වන බෙංගමුවේ නාලක හිමියන් ද වෛද්‍යමය කටයුතු සඳහා කංසා වගාකිරීමට අවසර දිය යුතුයැ යි ප්‍රසිද්ධියේ පවසා සිටියා. කංසා හෙවත් ගංජා පිළිබඳව රට තුළ මතුව ඇති විවිධ යෝජනා හා අදහස් සම්බන්ධව අධ්‍යයනය කිරීමට විශේෂඥ කමිටුවක් පත්කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගත් බවත් වාර්තා වුණා. මනෝ වෛද්‍ය විශේෂඥ අනුජ මහේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි, මෙම කමිටුව පත්කර තිබෙන්නේ.
අමෙරිකාවෙත් ගංජා කතාබහ
පසුගිය දා පැවති අමරිකානු ජනාධිපතිවරණයේ දීත් ගංජා ගැන මතවාද මතුවුණා. “ජාතික මට්ටමින් මෙය නීතිගත කිරීමට පෙර ගංජා පිටුපස ඇති විද්‍යාව පිළිබඳව අප බොහෝ දේ දැනගත යුතු වෙනවා,” ජෝ බයිඩන් එහිදී පවසා සිටියා. නමුත් සමහරු බයිඩන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින්, ගංජා නීතිගත විය යුතුමය යන මතයේ සිටියා. Pew Research Center මඟින් සිදුකළ මත විමසුමකට අනුව ගංජා නීතිගත කිරීම සඳහා සහාය පළකරන ඇමරිකානු ජන ප්‍රමාණය පසුගිය දශකය පුරා ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව එක්සත් ජනපදයේ ජනගහනයෙන් තුනෙන් දෙකක් මීට කැමැත්ත පළ කරලා. මේ වනවිටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගංජා භාවිතයට එක්සත් ජනපදයේ ප්‍රාන්ත 33ක නීතියෙන් අවසර ලැබී තිබෙනවා. තවත් ප්‍රාන්ත 11ක් තුළ විනෝදය සඳහා ගංජා භාවිතයට අවසර තිබෙනවා.
ගංජා උපාධි
මේ අතර අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත සරසවියක් වන පුවෙබ්ලෝ කැම්පස් වෙතින් වාර්තා වන්නේ ගංජා ජෛව විද්‍යාව සහ රසායනය පිළිබඳ නව උපාධි පාඨමාලාවක් ඇරඹීමට කටයුතු කිරීම ගැන යි. ගංජාවලට විරුද්ධවීම හෝ එයට පක්ෂවීම නොව ගංජා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් කිරීම මෙහි අරමුණ බව එම සරසවිය සඳහන් කරනවා. ගංජා ශාකයේ අණුක ප්‍රවේණික සංයුතිය ගැන අධ්‍යයනයට මෙහි මුල් තැනක් ලැබෙන බව පැවසෙනවා.
විශාල ව්‍යාපාරයක්
වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ සහ ඖෂධ සඳහා ගංජා ශාකය යොදාගැනීම ඩොලර් කෝටි ගණනක ගෝලීය ව්‍යාපාරයක් බවට පත්වෙලා. කැනාටෙක් සංවිධානය පවසන පරිදි වර්තමානයේ ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය එය යි. ‘ග්‍රෑන්ඩ් වීව් රිසර්ච්’ නම් ඇමෙරිකානු පර්යේෂණ සමාගම ඇස්තමේන්තුගත කර ඇති පරිදි ඖෂධමය ගංජා අලෙවි කෙරෙන ජගත් වෙළෙඳපොල 2025 වසර වනවිට ඩොලර් කෝටි 5500 තරම් ඉහළ වටිනාමක් ගන්නවා.
ගංජා ගස
මිනිසා තම ශිෂ්ටාචාරයේ මුල් කාලයේ ගෘහකරණය කළ ගස් අතරට මේ ශාකයත් අයත්. මිනිසාට ගංජා ශාකය හමුවන්නේ වසර 12000කට පමණ ඉහත දී යි. එම ශාකයෙන් ලබාගත හැකි ප්‍රයෝජන දුටු මිනිසා ගංජා ශාකය ගෘහාශ්‍රිත බෝගයක් ලෙස වගා කරන්නට වුණා. Cannabis sativa යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ ගස පසුගිය වර්ෂ 6000 තිස්සේ ඉන්දියාව සහ පර්සියාවේ පැතිරුණු මිනිස් ජීවිතයට බලපෑම් කළ ගසක්. මේ ශාකය ඊට පසු ලොව රටවල් රාශියකට පැතිරගොස් තිබෙනවා. අඩු තරමින් මෙයින් අවුරුදු 2500කට පෙර මිනිසුන් ගංජා (කංසා) දුම පානය කරන ලද බව තහවුරු කෙරෙන සාක්ෂ්‍ය බටහිර චීනයේ සොහොන් ගැබකින් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වූයේ 2019 මැද භාගයේ දී යි.
ගංජා පැළෑටිය සෙ. මී. 30 සිට මී. 6 දක්වා උසට වැඩෙනවා. මාස තුනකින් පමණ එය පරිණත වී පුෂ්ප සහ බීජ ලබාදෙනවා. එය සංස්කෘතයෙන් හඳුන්වන්නේ තුන් ලෝකයම ජයගත් පැළෑටිය යන අරුතින් “ත්‍රෛලෝක විජයාපත්‍ර” නමින්.
ලංකාවේ ගංජාවල ඉතිහාසය
පෘතුගීසි ලේඛක ක්වේරොස් සඳහන් කරන්නේ වර්ෂ 1563 වනවිට ලංකාවේ කංසා සුළුවශයෙන් වගාකළ බව යි. ලංකාවේ අවුරුදු 20ක් සිරකරුවකු ලෙස ජීවත් වී, 1680 දී එංගලන්තයට ගිය රොබට් නොක්ස් ලංකාවෙන් ගෙනගිය කංසා ගැන එරට දේශනයක් ද පවත්වනවා. ලංකාවේ කංසාවල රෝග සුවකිරීමේ හැකියාව ගැන ඔහු එහි දී සඳහන් කරනවා.
පුරාතනයේ සිට ආයුර්වේද ඖෂධයක් ලෙසින් භාවිත කළ ගංජා අවභාවිතය නිසා අන්තරායකර ඖෂධ පිළිබඳ 1929 පනත අනුව එය භාවිතය සහ වගාකිරීම තහනම් කළා. ඊට පසු කංසා හේන් වටලමින් දඩ ගැසීමට සුද්දන් ක්‍රියා කළා. අදටත් ඒ නීතිය ක්‍රියාත්මක යි. එසේම 1964 අංක 13 දරන පනතේ සංශෝධන අනුව ද මෙහි භාවිතය තවදුරටත් සීමාකර තිබෙනවා. කෙසේවුවත් අදත් නීතිවිරෝධී අන්දමින් කංසා හේන් වගාකිරීම සිදුවෙනවා. ජාතික වනෝද්‍යාන මැද, ඝන වනාන්තර මැද තමයි මේ බෝගය වවන්නේ. උඩවලව වනෝද්‍යානයේ ගංජා හේන් පසුගිය කාලයේ බහුලව අසුවුණා. පසුගිය ජනවාරි මාසයේ තණමල්විල සහ කොස්ලන්ද ප්‍රදේශවල විශාල ගංජා හේන් වැටලීමක් ගැන වාර්තා වුණා. මොණරාගල, වැල්ලවාය, ඇඹිලිපිටිය, අම්පාර, අනුරාධපුර වැනි ප්‍රදේශවල වනාන්තරවල රහසිගතව ගංජා වගාව සිදුවෙන බව පේනවා. ඊට අමතරව ඉන්දියාවෙන් බෝට්ටුවලින් කේරළ ගංජා ගෙන්වීමේ ජාවාරමක් ද සිදුවෙනවා.
ගංජා භාවිත කර නිපදවන ආයුර්වේද ඔසු සමහරක්
ගංජා මිශ්‍ර ඖෂධ භාවිතයෙන් ශරීරබලය සහ ඥානය වර්ධනය කරන බව ආයුර්වේදයේ සඳහන්. එය වාතය, පිත, සෙම සමනය කරනවා. ආයුර්වේදය, සිද්ධ යුනානි වෙදකම්වල පණුගාය, කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, උදරාබාධ, වාතරෝග, ලිංගික දුර්වලතා, මානසික රෝග ආදියට ගුලි, කල්ක, අරිෂ්ට, ආසව ආදී බෙහෙත් තැනීමට ගංජා ගසේ කොටස් යොදාගන්නවා. වර්තමානයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ සඳහා රජය අත්අඩංගුවට ගන්නා ගංජාවලින් කොටසක් අධිකරණ අවසරය මත ලබාගන්නවා.
සුරං විදුර, තාමේෂ්වර මෝදකය, මහා ලක්ෂ්මී විලාස රසය, රණහංස රසායනය, ජීවක රත්න ගුලිය, බුද්ධරාජ ගුලිය, බූතාරාම කල්කය, විෂ්ණු කපාලය, විෂ්ණු නාරායන ගුලිය, කෝල රත්නාදි ගුලිය, චන්ද්‍ර කල්කය, කෝල කුමාර ගුලිය, කෝල සන්නි ගුලිය ආදිය ගංජාවලින් නිපදවන ආයුර්වේද ඔසු සමහරක්.
ප්‍රයෝජන
කෙඳි ලබා ගැනීම, තෙල් ලබාගැනීම, ඔසුවක් ලෙස සහ මනෝ සක්‍රියකාරකයක් ලෙස ද ගංජා භාවිත කරනවා. මත්ද්‍රවය්‍යක් ලෙස ගංජා දුම් ඉරීම නිසා එය වගාකිරීම සහ ළඟ තබාගැනීම බොහෝ රටවල නීතියෙන් තහනම්. ගංජා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන ටී.එච්.සී. සංකීර්ණය අධික මට්ටමින් අන්තර්ගත වෙන ශාක විශේෂයක්.
ටී.එච්.සී. කියන්නේ ගංජාවල තියෙන ක්‍රියාකාරී සංඝටකය වන ටෙට්‍රහයිඩ්‍රොකැනබිනෝල් නම් රසායනිකය යි. කංසා රත් කළ විට තමයි මේ සංඝටකය ක්‍රියාකාරී වන්නේ. එය මත්වීම සඳහාත් යොදා ගන්නවා. නමුත් කංසාවල ඖෂධීය ගුණය වැඩියැ යි වෛද්‍ය විද්‍යාත්මකව සැලකෙන්නේ ටී.එච්.සී. ක්‍රියාකාරී නොකර තබා ගැනීමෙන්. ගංජා අමුවෙන් ගත්විට වේදනානාශක සහ බඩගිනි ඇතිකිරීමේ ගුණය පමණක් ශරීරයට ලැබෙනවා.
වැඩිවුණොත් ලෙඩක්
ශ්‍රී ලංකාවේ තරුණ පිරිස් අතර ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින මානසික රෝගය ලෙස ‘Cannabis Induced Psychosis’ නමැති තත්ත්වය හඳුනාගෙන ඇති බව වවුනියාව රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකයේ වෛද්‍ය මයුර සන්නසූරිය පෙන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තරුණයන් වර්තමානය වන විට ගංජා, සහ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයට වැඩි වශයෙන් නැඹුරු වී ඇති බව යි වෛද්‍යවරයා පවසන්නේ. ගංජා, හෝ කංසා යන ඕනෑම නමකින් හැඳින්වෙන දෙයක් නිතර භාවිත කිරීම මඟින් මානසික සෞඛ්‍යයට හානි ගෙන දිය හැකි වෛද්‍ය වාර්තා සඳහන් කරනවා. එවැනි මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මොළයට ඇති කරන අහිතකර බලපෑම් මත තරුණයන් දිනපතා මානසික රෝග වෙත ගොදුරුවීමේ අවදානමක් පවතින බව ද වෛද්‍යවරු පෙන්වා දෙන කරුණක්.
එසේම, ගංජා දුම් ඉරීම මඟින් මානසික රෝග වැළඳීමේ හැකියාව බොහෝ සෙයින් වැඩිකරන අතර, දැනට තිබෙන මානසික රෝග උග්‍ර කිරීමේ හැකියාවකුත් එයට තිබෙනවා.
නීතිගත කළ යුතු ද?
ගංජා වගාව නීතිගත කළ යුතු බවට මේ වනවිට නොයෙක් පාර්ශ්වයන් රජයෙන් ඉල්ලීම් කර තිබෙනවා. බොහෝ විද්වතුන් පවසන්නේ ඒ සඳහා අවසරය ලබාදුන් විට එය අවභාවිත කිරීමේ ඉඩකඩ වැඩි බව යි. වසරකට මෙරටින් අත්අඩංගුවට ගන්නා ගංජා ප්‍රමාණය කිලෝ හත්දහසක් පමණ වන අතර ඖෂධ නිෂ්පාදනයට ආයුර්වේද සංස්ථාවට කිලෝ 230ක් පමණ යි අවශ්‍ය වන්නේ.
බෙංගමුවේ නාලක හිමි මේ ගැන මෙසේ පවසා තිබෙනවා:
අපේ රට ආක්‍රමණය කළ සුදු ජාතිකයන් විසින් කංසා වගාව තහනම් කළා. ඒ තහනම් කළේ ඒ අයගේ වෙනත් අරමුණු ඉටුකර ගැනීමට මිස මේ රටේ ජනතාවට හිතවත්කමකට නෙමෙයි. කංසා ඖෂධයක් ලෙස භාවිත කිරීමට හැකියාවක් තිබිය යුතු යි. සුදු ජාතිකයන්ගේ කාලයේ ඖෂධයක්, ශරීර ශක්තිය වර්ධනය වන්නක් ලෙස කංසා භාවිත කළා. අපේ රටේත් ඖෂධයක් ලෙස භාවිත කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු යි. එසේ නොමැතිව මත්ද්‍රව්‍යයක් ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඇති නීති සංශෝධනය නොකළ යුතු යි. එවැනි නීති දැඩි කළත් දඬුවම් වැඩිකළත් කිසිදු ගැටලුවක් නැහැ. ආයුර්වේදය සංස්ථාවට සහ දේශීය වෛද්‍යවරුන්ට අවශ්‍ය ඖෂධයක් ලෙස කංසා ලබාදීමට වගා කිරීමේ අවකාශය ලබා දිය යුතු යි. ඖෂධීය වටිනාකම පිළිබඳව සලකාගෙන යි අපි ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ.
කායික ශක්‌තිය වර්ධනය
ආයුර්වේදයට අනුව යම් පුද්ගලයකුගේ කායික සහ ලිංගික ශක්‌තිය හොඳින් පවත්වාගෙන සඳහා කංසා ඖෂධය ඉතා වැදගත් මෙහෙවරක් ඉටුකරනු ලබනවා. ලිංගික ශක්‌තිය සම්බන්ධව පීඩා විඳින කාන්තාවන් සහ පිරිමින් සඳහා ලබාදෙන ඖෂධවල අඩංගු අමුද්‍රව්‍යයක් ලෙසත් කංසා භාවිත කරනවා. රණහංස රසායනය, මදනමෝදක, කාමේශ්වර මෝදකය ආදී ඖෂධවල කංසා අඩංගු වෙනවා. එංගලන්තයේ වෛද්‍යමය කරුණු සඳහා ගංජා භාවිතයට 2018 දී අවසර ලබාදුන්නා. නවසීලන්තය වෛද්‍යමය ගංජා භාවිතයට නීති ලිහිල් කළ බව සඳහන්. ලෝකයේ වෛද්‍යමය ගංජා භාවිතය සඳහා පර්යේෂණ කරන ප්‍රධාන රටවල් වශයෙන් කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, චෙක් ජනරජය යන රටවල් ඉදිරියෙන් සිටිනවා.