යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා ඝාතනය කිරීම සම්බන්ධ නඩු විභාගය අගෝස්තු මස 28 වනදා තෙක් කල් තැබීමට අධිකරණය අගෝස්තු 04 වනදා නියෝග කළා. මෙම සිදුවීම සිදුවූවේ 2015 වසරේ මැයි මස වන අතර උතුරු-දකුණු භේදයක් නොමැතිව සමස්ථ රටම කම්පනයට පත් කිරීමට සමත් වූ බව ඔබට මතක ඇති.
ජූනි මස 12 වනදායින් ඇරඹි ජුනි 28,29,30 සහ ජුලි 20, 24, 26 දිනයන්හි ද විභාගයට ගත් මේ නඩුවේ අවසන් තීන්දුව සැප්තැම්බර් මස අවසන් වන්නට ප්‍රථම ලබා දෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.
නඩුව විභාගයට ගන්නා විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වන මානික්කවාසගර් ඉලන්චේලියන් විනිසුරුවරයාට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සහ එහිදී එතුමාගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් පරීක්ෂක හේමචන්ද්‍ර මහතා මරණයට පත්වීමත් අදාළ නඩුව පිලිබඳ මහජන අවධානය යොමු වීමට බලපෑ තවත් හේතුවක් ලෙස හැඳින්විය හැකියි.
මෙම නඩුව වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශශී මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් සහ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිගම් පරමශංකර් මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි මේ වන විට යාපනය අධිකරණයේදී විභාගයට ගැනෙමින් පවතිනවා.
මේ ඒ පිලිබඳ මූලික කරුණු අළලා සකස් කළ වාර්තාවකුයි.
නැවත නොපැමිණි පාසල් සිසුවිය
1996 නොවැම්බර් මස 25 වන දින උපත ලද විද්‍යා මියයන විට යාපනය පුන්ගුඩුතිව් ප්‍රදේශයේ වාසය කළ අතර නිවසට ක්ලෝමිටර 2ක් පමණ දුරින් පිහිටි පුන්ගුඩුතිව් මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි සිසුවියක වූවා.
එම ප්‍රදේශයේ විසු බොහෝ සිසු සිසුවියන් මෙන් විද්‍යාත් පාසල් යාමට භාවිතා කළේ පා පැදියක්. සාමාන්‍යයෙන් ඇය සමඟ ඇගේ මිතුරියන් දෙදෙනෙකුත් පාසල් යාමට එක් වුණා.
නමුත් සිද්ධිය සිදුවූ 2015 මැයි මස 13 වන දින අනෙක් සිසුවියන් දෙදෙනා පාසල් යාමට නොපැමිණි අතර වෙනදා එසේ වූවිට විද්‍යා කැටුව යන ඇගේ සොහොයුරා නිශාන්තන් ද නිවසින් බැහැරට ගොස් සිටියා. ඒ නිසා විද්‍යාට පාසල් යාමට සිදුවුණේ තනිවයි. ඇගේ මවට අනුව පෙරවරු 7.25 ට පමණ ඇය නිවසින් පිටත් වී තිබුණා.
වෙනදාට පාසල නිමවී සවස 3 පමණ විට පෙරලා නිවසට පැමිණෙන දියණිය එදින බොහෝ වෙලාවක් යනතුරු නොපැමිණි නිසා ඇගේ මව සරස්වතී සහ නිශාන්තන් පාසලට ගොස් අය පිළිබඳව විපරම් කළා. එහිදී හෙළිවූවේ විද්‍යා එදින පාසල් නොපැමිණි බවයි. පාසල අසලම කුඩා අවන්හලක් පවත්වාගෙන යන ඔවුන්ගේ ඥාතියෙකු ද එය තහවුරු කළා. ඔහු පවසා සිටියේ තමන් එදින දවස පුරාවටම විද්‍යා දුටුවේ නැති බවයි.
පොලිසියෙන් ලද ඇල්මැරුණ ප්‍රතිචාර
මෙසේ දන්නා අඳුනන අයගෙන් විද්‍යා පිලිබඳ විමසීමෙන් පසුවත් කිසිම තොරතුරක් නොලැබීම නිසා පවුලේ අය අනතුරුව තීරණය කරන්නේ පොලිස් ස්ථානය කරා යාමටයි. ඒ අනුව එදින පස්වරු 6ට පමණ පුන්ගුඩුතිව් පොලිසියේ කුරිකට්ටවාන් පිරික්සුම් ස්ථානයට (checkpoint) ස්ථානයට යන ඔවුන් විද්‍යා පාසල නිමවී තවමත් නිවසට නොපැමිණි බව පොලිසියට දැනුම් දෙනවා.
එහෙත් පොලිසිය ඒ පිලිබඳ සැළකිල්ලක් නොදක්වන අතර පවසා සිටින්නේ විද්‍යා පිරිමි ළමයෙකු හා පැන යන්නට ඇති බවයි. පැමිණිල්ල බාරගැනීමට ඔවුන් උනන්දුවක් දක්වන්නේ නැහැ.
කළකිරීමට පත්වන නිශාන්තන් සහ සරස්වතී ඉන්පසුව කයිට්ස් හි වෙලනතිව් පොලිස් ස්ථානය වෙතට යනවා. ඒ හවස 6.30 ට පමණ. නමුත් එහිදී ද ඔවුන්ගේ පැමිණිල්ල සටහන් කරගැනීමට පොලිසිය කටයුතු කරන්නේ රාත්‍රී 9.30 ට පමණයි.
විද්‍යාගේ අතුරුදහන් වීම පිලිබඳ පැමිණිල්ල ගොනු කිරීමෙන් පසුව ඔවුන් යලිත් නිවසට පැමිණෙන අතර දැරිය පිළිබඳව සෙවීමට පොලිසියෙන් කිසිදු සහයක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිශාන්තන්, ගම්වැසියන් කණ්ඩායමක් සහ සුනඛයන් දෙදෙනෙකු කැටුව සිය සොයුරිය සොයා අවට ප්‍රදේශය පුරා සැරිසැරීමට පටන් ගන්නවා.
පාන්දර 5 ට පමණ නැවතත් සිය සොයායාම අරඹන ඔවුන් නිවසින් කිලෝමීටර එක හමාරක පමණ දුරින් පිහිටි පාළු මාවතක් කරා පැමිණෙන විට සුනඛයන් දෙදෙනා බුරන්නට පටන් ගන්නා අතර ඔවුන් පසුපස යාමේදී විද්‍යාගේ බයිසිකලයත් ඇගේ සපත්තු ජෝඩුවත් හමුවනවා.
මාවතෙන් ඇතුලට වන්නට පිහිටා තිබූ පාළු ගොඩනැගිල්ලක් තුලදී විද්‍යාගේ නිසල දේහය සොයාගනු ලබන්නේ සොයුරු නිශාන්තන් විසිනුයි. ඇගේ පාසල් බෑගය සිරුර පසෙකින් වැටි තිබුණා.
පෙරවරු 7ට ආසන්න වේලාවක සිය සොයුරියගේ මළ සිරුර හමුවූ බව කියන්නට නිශාන්තන් විසින් පොලිසියට දුරකථන ඇමතුමක් ගන්නා නමුත් අදාළ ස්ථානයට පැමිණිමටවත් පොලිසිය් උනන්දු වන්නේ නැහැ. අනතුරුව නිශාන්තන් 119 අංකය අමතා සිද්ධිය පිලිබඳ දැනුම් දුන් පසු පෙරවරු 11ට පමණ එම ස්ථානයට ලඟා වීමට පොලිසිය ක්‍රියා කරනවා.
විද්‍යාගේ මළගම මැයි මස 15 වන දින මානක්කඩු සුසාන භූමියේදී පැවැත්වුණා.
ආවේගයට පත් මහජනතාව
උතුර, දකුණ දෙකම කම්පනයට සහ කෝපයට පත්කළ මේ ඝාතනය උතුරේ ආවේගශීලි විරෝධතා ගණනාවක් ඇති කරවීමට මග පෑදූ බව ඇතැම් විට ඔබේ මතකයේත් රැඳී ඇති.
මැයි 14 වන දින පුන්ගුඩුතිව්හි පාසල් සිසුන් මහා මාර්ග අවහිර කරමින් විරෝධතාවක් පැවැත්වූ අතර පසුව කිලිනොච්චි, මුලතිව්, සහ යාපනය විශ්වවිද්‍යාලයේ දී ද මෙම සිදුවීම කෙරෙහි කෝපය පල කරමින් විරෝධතාවන් පැවැත්වුණා.
මැයි මස 20 වන දින සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකු යාපනය උසාවියට රැගෙන ආ මොහොතේ ප්‍රකෝපකාරී මහා ජතාව උසාවි සංකීර්ණය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් එම සැකකරුවන් තමන්ට බාර දෙන ලෙස ඉල්ලා සිටියා.
මැයි මස 20 සහ 21 දිනවලදී කෝපය පළකරමින් උතුරු පළාතේ හර්තාලයක් පැවැත්වූ අතර ඒ නිසා සමස්ථ පලාතම අකර්මණ්‍ය තත්වයට පත්වුණා. රාජ්‍ය කාර්යාල පවා මෙම දින දෙකේ වසා තැබීම විශේෂත්වයක්.
කෙසේ නමුත්, මැයි 23 වන දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණය යාපනය නගරසීමාව තුළ හර්තාල් සහ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
සැකකරුවන් අත්අඩංගුවට පත්වීම
මැයි 13 දින උදෑසන පාසල් යමින් සිටි විද්‍යා පැහැරගැනීමට ලක් වුණ බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වුණා.
ඉන්පසු මැයි මස 15 වන දා විද්‍යාගේ පවුල සමඟ දිගු කලක සිට ආරවුලක් ඇති කරගෙන තිබූ එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.
ඊට අමතරව කොළඹ සිට පුන්ගුඩුතිව් වෙත පැමිණ සිටි තරුණයන් පස් දෙනෙකුත් අත්අඩංගුවට ගැනුණා. ඔවුන් සිද්ධිය සිදුවූ මැයි 13 වන දින කොළඹ සිට පුන්ගුඩුතිව් කරා පැමිණ පසුව කොළඹ කරා ගොස් තිබුණා. අනතුරුව කොළඹ සිට විශේෂයෙන්ම ආපහු පුන්ගුඩුතිව් කරා පැමිණ තිබුණේ ඔවුන් පැවසූ පරිදි විද්‍යාගේ අවමගුලට සහභාගී වීමටයි.
සිද්ධියේ 9 වන සැකකරු ලෙස නම් කර සිටින ස්විස් ජාතික මහාලිංගම් සිවකුමාර් නොහොත් ශෂීකුමාර්/ ස්විස් කුමාර් නම්වලින් හැඳින්වූ තැනැත්තා මුලින්ම අල්ලා ගනු ලැබුවේ ගම්වාසින් විසිනුයි. පසුව ඔහු රෝහල් ගත කෙරුණ අතර ඉන් පලා යන ඔහු කොළඹ බලා යන්නේ එතැනින් නැවත ස්විට්සර්ලන්තය වෙත යාමටයි. නමුත් එම ප්‍රයත්නය ව්‍යර්ථ කරමින් මැයි මස 18 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී ඔහුත් අත්අඩංගුවට පත්වෙනවා.
මෙම සැකකරුවන් 09 දෙනාට එරෙහිව කරුණු 41ක් ඇතුළත් අධි චෝදනා ගොනු කර ඇති බව වාර්තාවන අතර මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 37 දෙනෙකු ඉදිරිපත් වී තිබෙනවා.
නඩු විභාගය අතරතුර හෙළිදරව් වූ කරුණු
නඩු විභාගය ඇරඹි ප්‍රථම සතියේදී ම හෙළිදරව් වූ කරුණක් වූවේ දකුණු ආසියාතික බාල වයස්කාර දැරිවියන් ලිංගික බලහත්කාරකම්වලට ලක් කරන අයුරු වීඩියෝ ගත කර එම වීඩියෝ අසභ්‍ය වීඩියෝ බෙදාහරින වෙබ් අඩවිවලට විකිණීමේ ජාවාරමක් පිළිබඳවයි.
සිදුවීමෙන් අනතුරුව එම වීඩියෝ පටය නඩුවේ නව වන සැකකරු ස්විස් කුමාර්ට ලබා දුන් බවත් ඔහු එය ස්විට්සර්ලන්තයට රැගෙන යනු පිණිස ගෙන ගිය බවටත් නඩුවේ දී කියැවුනා.
අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් තවත් පුද්ගලයෙකු ප්‍රකාශ කර සිටියේ පැහැර ගැනීමට දින දෙකකට පමණ පෙර වාහනයකින් පැමිණි ස්විස් කුමාර් සහ තවත් පස් දෙනෙකු (සැක කරුවන් ලෙස නම් කර ඇති තිදෙනෙකු ද ඇතුළුව) විද්‍යා දෙස බලාසිටිනු තමන් දුටු බවයි.
නඩුවේ සාක්ෂි කරුවෙකු ලෙස නම් කර සිටි පාසල් දරුවෙක් සාක්ෂි ලබා දෙමින් පවසා සිටියේ විද්‍යා පැහැර ගැනීමට ලක්වූ දින මිතුරෙකු හා අදාළ ගොඩනැගිල්ල අසලින් යන විට තමන්ට ඒ තුළින් කෙඳිරිලි හඬක් ඇසුණ බවයි. ගොඩනැගිල්ල ඉදිරිපිට තිබූ අරලිය ගසක් අසල නඩුවේ දෙවන සැකකරු සිටිනු තමන් දුටු බවත් පාළු ගොඩනැගිල්ලේ හොල්මන් ඇතැයි බිය වූ නිසා තමන් දෙදෙනා එතනින් පැන දිවූ බවත් පාසල් සිසුවා පවසා සිටියා.
තවත් සාක්ෂිකරුවෙකු පවසා සිටියේ සිද්ධිය සිදුවූ මැයි මස 13 දින තමන් සිය ව්‍යාපාරික ස්ථානය විවෘත කිරීමට යන විට දෙවන සැකකරු සහ තෙවන සැකකරු අදාළ පාළු ගොඩනැගිල්ලට නුදුරකින් සිටිනු තමන් දුටු බවයි.
ස්විස් කුමාර් අත්අඩංගුවට ගැනුනේ මැයි මස 19 වන දින වැල්ලවත්තේ පිහිටි ලැගුම්හලකදියි. එහි හිමිකරු සාක්ෂි දෙමින් පවසා සිටියේ ස්විස් කුමාර් 2015 මැයි 08 වැනි දා නවාතැන්පොළට ඇවිත් 14 වැනි දා දක්වා කාමර වෙන් කර ගත බවයි. ඔහු සමඟ පිලිවෙලින් 4, 7 සහ 8 වැනි සැකකරුවන් සිටි බව අවන්හල්හිමියා පැවසුවා. 1 3 වැනි දා ලැගුම්හලේ නවාතැන්ගත් මොවුන් යළි 14 වන දා අවමංගල්‍යක් තිබෙන බව කියමින් පිටව ගිය බව ඔහු ප්‍රකාශ කළා.
ලැගුම්හල්හිමියාගේ සාක්ෂියට අනුව 14 වනදා පිටව ගිය ස්විස් කුමාර් නැවත ලගුම්හලට පැමිණ තිබෙන්නේ අත්අඩංගුවට පත්වූ 19 වන දින උදෑසනයි. අත්අඩංගුවට පත්වනවිට ඔහුගේ බිරිඳ යැයි හැඳින්වූ කාන්තාවක් සහ කුඩා දරුවෙක් ඔහු සමඟ සිට තිබෙනවා.
රාජ්‍ය ඇමතිනිය, මහාචාර්යවරයා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා
ස්විස් කුමාර්ට පලා යාමට උපකාර කිරීම පිලිබඳ මධ්‍යම සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ. ජයසිංහ, කොළඹ නීති පිඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය වී.ටී තමිල්මාරන්, සහ ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ට චෝදනා එල්ලවන්නට ගත්තේ ද මේ අතරතුරදියි.
ස්විස්කුමාර් පුන්ගුඩුතිව්හිදී පොලිසිය විසින් රැගෙන යන මොහොතේදී එම ස්ථානයේ රාජ්‍ය ඇමතිනිය රැඳී සිටින වීඩියෝවක් නිකුත් වීම, මහාචාර්ය තමිල්මාරන් ස්විස්කුමාර්ව පොලිසියට ගෙන යාම සහ ඉන් අනතුරුව සැකකරු වැල්ලවත්තේ ලැගුම්හලකින් සොයාගැනීම මෙම චෝදනා එල්ලවීමට බලපෑ සාධක වුණා.
ඒ අනුව අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් මහාචාර්යවරයා පවසා තිබෙන්නේ ස්විස් කුමාර් නමැති අය පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා තමන් සහාය වූ බවයි. එවකට යාපනය ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි ලලිත් ජයසිංහ අමතා ගම්වාසීන්ට හසුව සිටි ස්විස් කුමාර්ගේ ජීවිතය අනතුරක ඇති හෙයින් පොලිස් ආරක්ෂාව ලබාදී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටි බව ඔහු පැවසුවා.
තමා විසින් පොලීසිය වෙත බාරදුන් ස්විස් කුමාර් කොළඹ කරා ගියේ කෙසේදැයි තමා නොදන්නා බවත් ඔහු ප්‍රකාශ කළා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජුලි මස 15 වනදායි. ස්විස් කුමාර් අත්අඩංගුවට ගැනීමෙන් පසු සාක්ෂි නැතැයි කියා ප්‍රකාශ සටහන් කරගැනීමක් පමණක් සිදුකර මුදාහැර ඇති බවත් එසේ සිදුකර ඇත්තේ උතුරු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙසින් බවත් අධිකරණය ඉදිරියේ කියැවුනා.
ස්විස් කුමාර් ගැන ජනතා විරෝධය මතු වීමේදී ඔහුට එරෙහිව සාක්කි නැති හෙයින් මුදා හැරි බවත් කිසිවකු ඒ සම්බන්ධයෙන් සාක්කි දෙන්නේනම් සැකකරු නැවත අත්අඩංගුවට ගන්නා බවත් පුන්ගුඩුතිව්හි පැවති රැස්වීමකදී ලලිත් ජයසිංහ මහතා ප්‍රකාශ කළ බවත් පැවසුනා. ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.
විජයකලා මහේෂ්වරන් ඇමතිනිය පෙනී සිටින වීඩියෝව (මෙය අධිකරණයට ඉදිරිපත් කළේ ලලිත් ජයසිංහ මහතාගේ නීතිඥයන් විසිනුයි) පිළිබඳ ඇය විසින් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ ප්‍රකාශයක් සටහන් කර ගැනීම පිලිබඳ කිසිදු නිල දැනුම් දීමක් තවමත් ලැබී නැති බවයි. අධිකරණ කටයුත්තක් නිසා ඒ පිලිබඳ වැඩිදුර අදහස් දැක්වීම ඇය ප්‍රතික්ෂේප කළා. කෙසේ නමුත් ඇගෙන් වහාම ඒ ගැන ප‍්‍රකාශයක් ලබා ගන්නැයි කයිට්ස් මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන බව වාර්තාවනවා.
Cover image – ශෝකය පල කරමින් එල්ලා තිබූ බැනරයක් (Tamil Guardian)