රවුම් තහනම්, කොටු නිත්‍යනුකූල යි – අලුත් ම ප්ලග් හා සොකට් නීතිය

ජාතික වශයෙන් ප්‍රමිතිගත කරන ලද ඇම්පියර් 13 G වර්ගයේ හතරැස් කොටු සහිත විදුලි පේනු සහ කෙවෙනි (කොටු කූරු පේනුව හා කෙවෙනිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි) පමණක් විකිණීම සිදුකළ යුතු බවත්, අනෙක් වර්ගවල සියලුම විදුලි පේනු හා විදුලි කෙවෙනි නිෂ්පාදනය, ගබඩා කිරීම, හා විකිණීම සම්පුර්ණයෙන් ම තහනම් කර තිබෙනවා.

මෙය ක්ෂණික ව ගත් තීරණයක් නොවන අතර, විදුලි බල කර්මාන්තයේ නියාමන ආයතනයක් වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ගත් දිර්ඝකාලීන තීරණයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

මෙම ප්‍රමිතිය සකස් කිරීමට පළමුව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමිතිකරණය සඳහා පුළුල් මහජන මත විමසීමක් සිදුකරනවා.

ඒ සඳහා 2015 වසරේ සිට සුදානම් වූ අතර, එම වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට විදුලි පාරිභෝගිකයින්, විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදකයින්, ආනයනකරුවන්, හා බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් ඇතුළු සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස්, යෝජනා සැලකිල්ලට ගනු ලබනවා.

ඒ අනුව නව ප්‍රමිතිය හඳුන්වාදීමෙන් පසු ව අලුතෙන් විදුලි උපකරණ මිල දී ගැනීමේ දී ඇම්පියර් 13 G වර්ගයේ පේනුවක් ඇත්දැ යි පරීක්ෂා කරන ලෙසත්, නව ඉදිකිරීම්වල දී ඇම්පියර් 13 G කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට යෝග්‍ය පරිදි රැහැන් පද්ධති සකස් කළ යුතු බවත්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි පරිභාගිකයන් වෙත දන්වා සිටිනවා.

විසඳුමක් නොතිබූ රවුම්, කොටු ප්‍රශ්නය

විවිධ වර්ගයේ කෙවෙනි හා පේනු නම් කර ඇති ආකාරය (Go-today)

විදුලි අනතුරුවලට විසදුම් සොයා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් ක්‍රියාමාර්ගවල එක දිගුවක් ලෙස මෙය හැඳින්විය හැකි යි.

දැනට ලෝකය පුරා විවිධ වර්ගයේ විද්‍යුත් පේනු හා කෙවෙනි භාවිතා වන අතර, එය ප්‍රධාන ලෙස වර්ග 15කට අයත් වෙනවා. නමුත් 1991 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනය විසින් ඇම්පියර් 5 (D වර්ගය), ඇම්පියර් 15 (M වර්ගය), හා ඇම්පියර් 13 (G වර්ගය) යන පේනු හා කෙවෙනිවලට පමණක් ප්‍රමිති සහතික ලබා දී ඇති අතර, අනෙක් වර්ගයේ ඕනෑම පේනු හා කෙවෙනි නිෂ්පාදනය, ආනයනය හෝ විකිණීම පිළිබඳ ව කිසිදු රෙගුලාසියක් පනවන්නේ නෑ. ඒ හේතුවෙන් අනතුරුදායක පේනු හා කෙවෙනි ශ්‍රී ලංකා වෙළදපොළ තුළ සැරිසරනවා.

2014 වසරේ දී ගැසට් නිවේදනයක් නිකුත් කරමින් SLS ප්‍රමිතිය රහිත පේනු හා කෙවෙනි ආනයනය සීමා වන නමුත් සම්පූර්ණ වශයෙන් තහනම් වන්නේ නෑ.

බිම් ගැන්වුම් සම්බන්ධතාව රහිත කූරු දෙකේ පේනු සහිත උපකරණ මේ දක්වා  වෙළදපොළේ අසීමිත ව පැවති අතර, ඒවා පාලනය කිරීම සඳහා නියාමනයක් අතීතයේ සිදුවෙන්නේ නෑ.

ප්‍රමිතිකරණය සඳහා නැඹුරුතාවය

ලොවපුරා ප්‍රමිතිකරණය (www.power-plugs-sockets.com)

E හා F වර්ගයේ පේනු සහිත විදුලි භාණ්ඩ ශ්‍රී ලංකා වෙළඳපොලේ වැඩි වශයෙන් දකින්නට ඇති නමුත්, ඒවායේ බිම් සම්බන්ධතා නොමැති බැවින් අනාරක්ෂිතභාවයෙන් වැඩි යි.

ආරක්ෂිත ම විදුලි පේනු හා කෙවෙනි ගැන සලකා බැලීමේ දී D, G, H, හා I වැනි විකල්ප සැලකීමට ලක් කරනවා. විලයනය කළ පේනුවක් ඇත්තේ G වර්ගයේ පමණක් වන අතර, පරිශීලකයන්ගේ හා උපකරණයේ ආරක්ෂාව අතින් වැඩි සේවාවක් සපයන්නේ මෙම වර්ගයේ පේනු හා කෙවෙනි යි.

තව ද, ප්‍රමිතිකරණයේ දී H හා I වැනි පේනු භාවිතා කළ නොහැකි වන්නේ ඒවා දීර්ඝ කාලයක් තිස්සේ මෙරට භාවිතා නොවුණ බැවින් නව වර්ග සඳහා මාරු වීමට ඇති  අපහසුතාව මත යි.

මේ අනුව පසුගිය වසර 40 තුළ දී බොහෝ රටවල් තනි ප්‍රමිතිකරණයක් සඳහා යොමුවෙනවා. එක්සත් ජනපදය, එක්සත් ආරාබි එමීර් රාජ්‍ය, සිංගප්පුරුව, ස්කොට්ලන්තය, හා මැලේසියාව G වර්ගය ප්‍රමිතිගත කරන අතර ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් I වර්ගය තම ප්‍රමිතිකරණය සඳහා යොදා ගන්නවා. ලෝකයේ වැඩි ම රටවල් ප්‍රමාණයක් තම ප්‍රමිතිගත කිරීම සඳහා යොදාගෙන තිබෙන්නේ G වර්ගය යි.

ඇම්පියර් 13 G වර්ගය පමණක් නීතිගත කිරීම

G වර්ගය (NETIO products)

1991 වසරේ දී ප්‍රමිතිගත කර තිබූ ඇම්පියර් 5 (D වර්ගය), ඇම්පියර් 15 (M වර්ගය) යන පේනු හා කෙවෙනි ද තහනම් කරමින් ගැසට් නිවේදනයක් පසුගිය වසරක නිකුත්වන අතර, එය මේ වසරේ ජනවාරි පළමුවන දා සිට එය ක්‍රියාත්මක වෙනවා.

වෙළඳපොළේ මෙතෙක් කලක් භාවිත කළ ඇම්පියර් 5, 15 විදුලි පේනු, සහ විදුලි කෙවෙනි විකිණීම, ප්‍රදර්ශනය හා ගබඩා කොට තැබීම ජනවාරි පළමු දා සිට තහනම් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විකිණීම, නිෂ්පාදනය, ආනයනය හා ගබඩා කිරීම කළ හැක්කේ G වර්ගෙයේ පේනු හා කෙවෙනි පමණක් බවත්, එම ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙනවා.

G වර්ගයේ වාසි

G වර්ගය (Wikimedia Commons)

G වර්ගයේ කෙවෙනිවල සමතල හිල් ඇති බැවින් ඒ තුළට පේනුව හැර වෙනත් දෙයක් ඇතුළත් කළ නොහැකි යි. මෙහි පේනුවේ බිම් උල අනෙක්වාට වඩා දිගින් හා ඉහළින් පිහිටීම නිසා අහම්බයකින් හෝ සජීවී උලක් ස්පර්ශ වීම වැළකෙනවා.

අඩක් පරිවරණය කර තිබීම හේතුවෙන් ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදීමක් වන්නේ නෑ. පේනුව හා කෙවෙනිය අතර පැතලි සම්බන්ධතාවක් තිබීම ද ආරක්ෂාකාරී යි.  ඒ සඳහා සුදුසු විලායක යොදා තිබීම ද එහි ආරක්‍ෂිත බව තවත් වැඩි කරනවා.

නව ප්‍රමිතිය අනුව දැනට භාවිතා වන වෙනත් වර්ගයේ කෙවෙනි හා පේනු භාවිතා කිරීමට අවහිරයක් නොමැති නමුත් ඒවා විදුලි කාර්මිකයෙක් ලවා ආරක්‍ෂිත ලෙස සකසා ගැනීම උචිත වෙනවා. නමුත් ඉදිරියේ දී ගොඩනඟන නව රැහැන් පද්ධති මෙම ප්‍රමිතිකරණයට අදාළ විය යුතු අතර, ඉදිරියේ දී මිල දී ගන්නා විදුලි උපකරණ පිළිබඳව ද ඔබ සැළකිලිමත් විය යුතු යි.

කවරයේ පින්තූරය: Arrowhead Electric

මූලාශ්‍රයයන්:

pucsl.gov.lk

island.lk

Related Articles

Exit mobile version