සිසුන් ද සිහිනැතිව ඇද වැටෙන ශ්‍රීලංකාවේ කුසගිනි අවුල

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව ම දැන් ගිලී සිටින්නේ විශාල අර්බුදයක යි. රට ගිනි කන්දක තිබෙන බව ආර්ථික විද්‍යාඥයන් පවසනවා. රටේ උද්ධමනය දිනෙන් දින ඉහළ යන බව මාධ්‍යවලින් වාර්තා කරනවා. ජූලි මාසයේ 66ක් ලෙස පැවති උද්ධමනය අගෝස්තු මාසයේ දී 70කට නැග තිබෙනවා. මේ නිසා එදාවේල සොයා ගැනීමට බැරි විශාල පිරිසකට කුසගින්නේ සිටීමට සිදුවෙලා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සැප්තැම්බර් තුන්වැනි සතියේ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවට ලක්ව සිටින බව යි. රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා කරන ලක්ෂ ගණනකටත් සිදු ව ඇත්තේ ආහාර වේල් මඟහරිමින් ජීවත්වීමට යි.

 ධාන්‍ය අස්වැන්න අඩුවිමෙන් ආහාර හිඟය උග්‍ර වෙලා – asiasat.com 

ජනගහනයෙන් විශාල පිරිසක් ණයට කනවා

ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩසටහනේ (FAO/WFP) භෝග සහ ආහාර සුරක්ෂිතතා තක්සේරු මෙහෙයුමේ (CFSAM) ඒකාබද්ධ වාර්තාවට අනුව, අඛණ්ඩව කන්න දෙකක පැවති දුර්වල අස්වැන්න හමුවේ නිෂ්පාදනය සියයට 50 කට ආසන්න අගයකින් පහත වැටී තිබෙනවා.

2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි මස දක්වා කාලය තුළ මෙරට ආහාර අර්බුදය තවත් නරක අතට හැරෙන බවටයි එක්සත් ජාතීන් අනතුරු අඟවා තිබෙන්නේ.
ජනගහනයෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙමින් සිටින බව ඔවුන් සඳහන් කරනවා. හදිසි ආධාර ලබා නොදුනහොත් තත්ත්වය තවත් පිරිහීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන් ලෝකයට අවධාරණය කරනවා. රටේ දූෂිත දේශපාලන වටපිටාව නිසා බොහෝ රටවල් ශ්‍රී ලංකාවට ආධාර කිරීමට උනන්දුවනවා දකින්නට ලැබෙන්නේ නෑ.

 කන්න දෙකක් පාළු වූ වගාබිම් – busuness.standard.com

 

ලෝක ආහාර වැඩසටහනේ අලුත් ම වාර්තාවේ සඳහන් කරන්නේ මෙරට පවුල් දහයෙන් අටක් ම ආහාර වේල් මඟ හැරීම සහ ආහාර ණයට ගැනීමට යොමු වී ඇති බව යි. කාන්තාවන් ආදායම් උපයන පවුල්වල ආහාර අර්බුදය උග්‍ර වී ඇති බවත්, ගම්බද ජනතාවට වඩා නගරබද සහ වතුකරයේ ජනතාවට ආහාර හිඟය දැඩි බලපෑමක් එල්ල කරන බවත් එම වාර්තාවේ සඳහන්කර තිබෙනවා.

ආධාර අවශ්‍ය මෙරට මිලියන 3.4 ක ජනතාවකට සහාය වීමට අමෙරිකානු ඩොලර් මිලියන 63 ක මුදලක් අවශ්‍ය ඇතත් තවමත් ලැබී ඇත්තේ ඉන් 35% ක් බවත් ලෝක ආහාර වැඩසටහනේ වාර්තාව පවසනවා. මේ නිසා වැඩි පිරිසක් වෙන අයගෙන් ආහාර වේල් ඉල්ලා ගැනීමට හෝ ණයට ආහාර ලබා ගැනීමට පෙලැඹී සිටින බවත් ලෝක ආහාර වැඩසටහන පවසන කරුණක්.

ආහාර ගන්නා පාකිස්තාන දරුවෝ –  Sabir Mazhar/Anadolu Agency via Getty Images

යුනිසෙෆ් කියන කතාව

යුනිසෙෆ් සංවිධානය පවසන්නේ ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ දරුවන් කෙරෙහි ඉතා අහිතකර ව බලපා ඇති බව යි. එම සංවිධානයේ නවත ම වාර්තාව පවසන ආකාරයට ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර 6 වැනි තැනට පත්ව තිබෙනවා.

දකුණු ආසියාවේ දරුණු මන්දපෝෂණයෙන් පෙළෙන රටවල් අතර, දෙවැනි ස්ථානයට ද අප රට පත් ව තිබෙනවා. මේ අනුව වැටහෙන්නේ අපේ  ආහාර වේලට දරුණු බලපෑම් එල්ල වී අවසන් බව යි. වැඩි අවදානමකට ලක් ව ඇත්තේ දුප්පත් පවුල්වල දරු දැරියන් බවයි යුනිසෙෆ් සංවිධානය පවසන්නේ.

 ආධාර ලබාගැනීමට පෝලිමේ – 24newshd.tv 

පවුලක වියදම ඉහළ ගිය හැටි

බොහෝ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 2021 අවසාන කාර්තුවේ සිට අඛණ්ඩ ව ඉහළ යමින් පවතිනවා. 2022 අගෝස්තු මාසයේ දී ඒවා ඉහළ මට්ටමක් කරා ළඟා වූ අතර, ආහාර උද්ධමනය ආසන්න වශයෙන් 94% ක් ලෙස සඳහන් වුණා.2019 වර්ෂය වනවිට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මෙරට සාමාන්‍ය පවුලක මාසික වියදම රුපියල් 63130යි.

සාමාජිකයන් හතරකින් සමන්විත පවුලක එක් අයකුගේ මාසික වියදම රුපියල් 16,000කට ආසන්න යි. වර්තමානයේ පවතින දැඩි උද්ධමනකාරී තත්ත්වය තුළ එදා කළ ඒ මූලික වියදම් පිරිමසා ගැනීම සඳහා රුපියල් එක්ලක්ෂ දස දහසක පමණ මුදලක් අවශ්‍ය ව තිබෙනවා.

 පොහොර නැතිකමින් සෑම වගාවකම අස්වැන්න අඩුයි – fao.org

 

2019 දී රුපියල් 63,130ක් වැයකළ පවුලකට බඩු මිල කිහිප ගුණයකින් ඉහළ යාම නිසා සිදුව ඇත්තේ බොහෝ භාණ්ඩ මිලට නොගෙන ගමන් බිමන් නවත්තා කෑම වේල් ද අඩු කිරීමට යි.
රටේ මැදි ආදායම් ලබන පවුලක් 2019 දී මාසික ව වැය කළ මුදල ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව රුපියල් 47,640ක් වෙනවා. මෙම කණ්ඩායමට රාජ්‍ය අංශ සේවකයන්, පෞද්ගලික අංශ සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා ස්වයංරැකියා ලාභීන් ඇතුළත්. 2019 ගත කළ ජීවන මට්ටම ලබා ගැනීමට නම් ඔවුන්ට අද මාසික ව රුපියල් 82,900 වියදම් කරන්නට සිදුවෙනවා. මෙය අමතර රුපියල් 35,000ක වියදමක්.

 එළවළුත් ගිනි ගණං – ft.lk

ලොකු ලොක්කොත් හාන්සියි

2019 වසර වනවිට මාසික පාරිභෝගික වියදම රුපියල් ලක්ෂයක් ඉක්ම වූ පවුල් තිබුණේ 570,000ක්. එම පවුල්වල පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 22ක් වුණා. අද වනවිට මාසික පාරිභෝජන වියදම රුපියල් ලක්ෂය ඉක්ම වූ පවුල් සංඛ්‍යාව මිලියන 2.28ක් හෙවත් ලක්ෂ 23ට ආසන්න ව සිටිනවා. එම පවුල්වල පුද්ගලයන් ප්‍රමාණය ලක්ෂ 84 දක්වා ඉහළ ගිහින්.

රටේ ජනගහණයෙන් ඉහළ ම ආදායම් ලබන පවුල් කාණ්ඩ සියයට 10ට 2019 වසරේ දී මාසික සමස්ත වියදම වූයේ රුපියල් එක්ලක්ෂ අනූ අටදහස් එකසිය හැට නමයක්. මෙම පවුල් කාණ්ඩයට එම ජීවන රටාව දැන් ගෙවීමට නම් රුපියල් තුන් ලක්ෂ හතළිස් හතර දහස් අටසියයක් වියදම් කළ යුතුව තිබෙනවා. ඔවුන් අමතර ව වැය කළ යුතු මුදල රුපියල් එක් ලක්ෂ හතළිස් හත් දහසක් වෙනවා.

ඇය පවුලේ එක ම ජීවනෝපාය උපයන්නිය බවට පත්වී ඇත – WFP/Arete/Riyal Riffai

පාසල් සිසුහු සිහිනැතිව ඇද වැටෙති

මහවිලච්චිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අනුරාධපුර තන්තිරිමලේ පාසල්වල කුඩා දරුවන් 15 – 20 අතර ප්‍රමාණයක් දිනපතා පැවැතිවෙන උදෑසන රැස්වීමේ දී සිහිසුන්ව ඇද වැටෙන බව පසුගියදා මාධ්‍ය වාර්තා කළා. න්තිරිමලේ තම්බියාව ගමේ ධර්මපාල විද්‍යාලය ,කිඹුල් වැව ආනන්ද විද්‍යාලය හා මහවිලච්චියේ සිද්ධාර්ථ යන විද්‍යාල වල ඉගෙනුම ලබන සිසු – සිසුවියන් සැලකිය යුතු මට්ටමකින් උදෑසන රැස්වීම් වේලාවේ සිහිසුන් ව ඇද වැටීම නිසා එම පාසල්වල රැස්වීම් සීමා කිරීමට ද කටයුතු කර ඇති බව එම විද්‍යාලවලින් දැනගන්නට ලැබෙනවා. මේ ගැන පාර්ලිමේන්තුවේ දී ද කතාබහට ලක්වුණා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව හා ලුණුගම්වෙහෙර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල ප්‍රදේශ දෙක කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ සමීක්ෂණයක දී එම ප්‍රදේශවල දරුවන්ගෙන් සියයට 80ක් පමණ මන්දපෝෂණයට ගොදුරු වී සිටින බව හෙළි වී තිබෙනවා. එසේ සඳහන් කළේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති ජී.ජී. චමල් සංජීව යි. එම සමාජ සමීක්ෂණය අනුව එහි දරුවන්ගෙන් සියයට 30ක් පමණ උග්‍ර මන්දපෝෂණයට ලක්ව ඇති බව ද, සියයට 50ක් පමණ මඳ මන්දපෝෂණයට ලක් ව සිටින බව ද ඉතිරි සියයට විස්ස මන්දපෝෂණ තත්ත්වයට ළඟා වෙමින් සිටින බව ද හෙළි වී තිබෙනවා.

මන්දපෝෂණය සියයට 80යි

ආහාර සපයා ගැනීමට මුදල් නැති නිසා ශිෂ්‍ය නායිකාවක් දිවා ආහාරය සඳහා කළටි පොල්මද රැගෙන ඒමේ සිද්ධියක් සහ රාත්‍රී ආහාරය ලබා ගත නොහැකි සිසු සිසුවියන් පිරිසක් පිළිබඳ ව මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසලකින් වාර්තා වුණා.

කැලණිය ප්‍රදේශයේ අධ්‍යාපන කලාපයේ දරුවන්ගෙන් සියයට 25ක් පාසල් එන්නේ නැති බවත් ඊට  ප්‍රධාන ම ගැටලුව ආහාර ප්‍රශ්නය බවත් කැලණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා සජිවි ලියනගේ සඳහන් කරනවා. කැලණීයේ එක් පාසලක සියලු සිසුන්ගෙන් පාසල් එන්නේ සියයට 52ක් බවත් එයට හේතුව ආහාර ගැටලුව බවත් පැවසෙනවා. මේ හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව ද මඟ හැරිලා.

Woman carrying food bags in Colombo while people wait in queue outside a state-run supermarket
ආහාර සපයා ගැනීමට මුදල් නැතිකම – Ishara S. Kodikara – gettyimages.com

 

ආර්ථික අර්බුදයේ බරපතළකම

ආර්ථික අර්බුදයේ බරපතළකම සහ ගෘහාශ්‍රිත මූල්‍ය හිඟකම හේතුවෙන් උතුරු පළාතේ ළමා නිවාසවලට ඇතුළත් කර ගන්නා දරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව උතුරු පළාත් ළමාරක්ෂක හා පරිවාස කොමසාරිස් ගුරුපරන් රාජේන්ද්‍රන් කියනවා.

උතුරු පළාතේ ළමාරක්ෂක හා පරිවාස දෙපාර්තමේන්තුව සතු සංඛ්‍යාලේඛන හා දත්ත මඟින් අනාවරණය වී ඇත්තේ 2022 ජූනි මාසය වන විට උතුරු පළාතේ පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ළමයින් 246ක් දෙනා ළමා නිවාස වෙත බාර දී ඇති බව යි. ඔවුන්ගේ මාපියන් පොරබදමින් සිටින මූල්‍ය අස්ථාවරත්වය නිසා ඔවුන්ගේ දරුවන්ට නිසි පෝෂණයක් සැපයීමට නොහැකි වී ඇති බවයි උතුරු පළාත් ළමාරක්ෂක හා පරිවාස කොමසාරිස්  පවසන්නේ.

මාධ්‍යයට අදහස් දක්වමින් උතුරු පළාත් ළමාරක්ෂක හා පරිවාස කොමසාරිස්වරයා කියා සිටියේ රජය මුහුණ දී ඇති මූල්‍ය අභියෝග හේතුවෙන් ළමා රැකවරණය සහ පරිවාස සඳහා වෙන් කළ මුදල් ද පළාත් මුදල් මහා භාණ්ඩාගාරයෙන් නිදහස් කර නොමැති බව යි.

කවරයේ ඡායාරූපය- ආහාර නැතිකමින් පාසල් සිසුන්ට මන්දපෝෂණය - feedthehungy.org.uk
 මූලාශ්‍ර:
bbc.com
deshaya.lk
lankadeepa.lk

Related Articles

Exit mobile version