තෙල් පෝලිම් හෝ ගෑස් පෝලිම් නිම වන බවක් නම් පෙනෙන්නේ නෑ. දින ගණන් පෝලිම්වල දුක්විඳිමින් මිය යාමටත් මේ වනවිට ඇතැමුනට සිදුව තිබෙන බව පේනවා. විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා පසුගිය දා පවසා සිටියේ මේ මාසය අවසන් වන විට ඉන්ධන ලබා ගැනීමට සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.
ඒ සඳහා සලාක කූපනයක් නිකුත් කිරීමට නියමිත බවත් පැවසෙනවා. සලාක ක්‍රමය නිසා ජනතාව විඳි දුක්පීඩා 1970 දශකය ගැන මතක වැඩිහිටියන්ට නම් තවමත් මතක යි. එන්නට යන සලාක ක්‍රමය හා ඉන්ධන අවුල ගැනත් අපි දැනගෙන සිටීම වැදගත්.
ඉන්ධන සලාක කාඩ්පත්
ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත ඉන්ධන සලාක ක්‍රමයට ලබාදෙන කාඩ්පතක් හඳුන්වා දෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. අත්හදාබැලීමක් ලෙස ඉන්ධන සලාක ක්‍රමය ජුලි මාසයේ පළමු සතියේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ සඳහා කාඩ්පතක් හඳුන්වා දීමට නියමිතයි. සලාක ක්‍රමය යටතේ ඕනෑම පාරිභෝගිකයෙකුට නිශ්චිත ඉන්ධන ලීටර් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ලබාදීමට නියමිතයි.
‘අපි යෝජනා කරන්නේ ජුලි මාසයේ පළමු සතියේ ඉඳලා අත්හදා බැලීමක් හැටියට යම් සලාක ක්‍රමයක්, ඒ කියන්නේ ඕනෑම පාරිභෝගිකයෙකුට නිශ්චිත ඉන්ධන ලීටර් ප්‍රමාණයක් ඔවුන්ට අනිවාර්යයෙන්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න. තමන්ට තියෙන ළඟම ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වෙනවා වගේම තමන්ට සතියක් තුළ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය තමන් ලියාපදිංචි වෙන ඉන්ධන පිරවුම්හලෙන් ගන්න පුළුවන්. ඒ සඳහා වෙනම කාඩ් එකක් ලබාදෙන ක්‍රමයක් අපි කතාකරගෙන යනවා මේ දවස්වල ‘
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යෝජිත ක්‍රමවේදය ගැන එසේ පවසනවා.
එය ක්‍රියාත්මක වන්නේ මෙලෙසයි. උදාහරණයක් ලෙස සතියක් සඳහා ලීටර් 100 ක සලාක කාඩ්පතක් හිමි වන අයකුට ඉන් ලීටර් 60ක් ලියාපදිංචිවන ඉන්ධනහලෙන් සහ ඉතිරි ලීටර් 40ක් ප්‍රමාණය දිවයිනේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබාගත හැකිවන ලෙස එම ක්‍රමවේදය සකස් කිරීමට බලාපොරොත්තු වබ බව පැවසෙනවා. එවිට ඉන්ධන ලබා ගත් විට කාඩ්පතේ ඒ බව සලකුණු වන නිසා වැඩිපුර ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. අවශ්‍ය හැමෝමට ඒ මඟින් ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. තමන්ට ආසන්න ම ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වී තමන්ට සතියක් තුළ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලබාගත හැකියි.
විවිධ ක්ෂේත්‍රවලට සහ වාහනවලට අනුව ලබා දෙන ඉන්ධන ප්‍රමාණය වෙනස්වෙනවා. ත්‍රීරෝද රථවලට එක් විදිහකටත්, මෝටර් රථවලට වෙනස් ආකාරයකටත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය තීරණය වෙනවා. මගී බස් රථවලට, පාසල් වෑන්වලට ආදී වශයෙන් ඉන්ධන ප්‍රමාණයේ සීමා ඇතිවෙනවා. මෙම ක්‍රමය සකස් කිරීමට සති දෙකක් හෝ තුනක් ගතවන බවත් ඇමැතිවරයා සඳහන් කළා.
මෙරටට ඉන්ධන ආනයනය සඳහා මසකට දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක පමණ මුදලක් වැය වෙනවා. පසුගිය මාස 3ක කාලයේ ඉන්දියාවෙන් ලැබුණු ණය සහන ක්‍රමය යටතේ එරටින් ඩොලර් මිලියන 700ක පමණ ඉන්ධන සැපයුණා. ලබන ජූලි මාසය දක්වා අප රටට ඉන්ධන සැපයීම පිණිස ඉන්දියානු ණය ක්‍රමය දීර්ඝ කිරීමට අදාළ සාකච්ඡාවක් ද මේ වනවිට සිදුවෙනවා.
පෝලිම්වල ගැටුම්
දැනට අත්‍යවශ්‍ය සේවා ලෙස ඉන්ධන ලබා දීමට පිරවුම්හල් වෙන්කර බලපත්‍ර ලබාදී තිබුණත් දින ගණන් පෝලිම්වල සිටිනා ජනතාවගේ විරෝධය නිසා පොලිසියට සහ වෛද්‍යවරුන් වැනි අයට පවා ආරවුල්වලට මැදිවීමට සිදු ව තිබෙනවා. අපට මාධ්‍ය ඔස්සේ එවැනි අවස්ථා දිනපතා අසා දැකගත හැකි යි.
නව සැපයුම්කරුවකුගෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා තව සති තුනක් පමණ ගතවිය හැකි බවත් ඒ සඳහා නව සැපයුම්කරුවන් හය දෙනකු පමණ ඉදිරිපත්ව ඇති බවත්, ඔවුන්ගේ මිල ගණන් සලකා බලා බොරතෙල්, ඩීසල් හා පෙට්‍රල් මිලදී ගැනීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරනවා.
බවුසරයකින් ලීටර් 6600යි
එක් බවුසරයකින් වරකට පිරවුම් හලකට යැවෙන්නේ ඉන්ධන ලීටර් 6600ක් බව පසුගිය දා රජය ප්‍රකාශ කළා. එයට හේතුව පවතින සීමිත ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කරගත යුතු වීම යි. ඒ නිසා පිරවුම්හලට ලැබෙන ඉන්ධන තොගයෙන් පෝලිමේ තිබෙන සියලු ම වාහනවලට ඉන්ධන ලබාදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
දිවයින පුරා තිබෙන ඉන්ධනහල් 1140ට ම දෛනිකව ඉන්ධන සැපයීමත් සිදු වන්නේ නැහැ. නමුත් දහස් ගණන් වාහන පෝලිම්වල අපට දැක ගත හැකියි. මේ නිසා තමයි සලාක ක්‍රමයක් යෝජනා වී තිබෙන්නේ.
සලාක ක්‍රමයේ අමිහිරි මතක
සලාක ක්‍රමයට භාණ්ඩ හා සේවා ලබා ගැනීම ගැන වත්මන් තරුණ පරපුරට අත්දැකීම් නැතත් මෙරට වැඩිහිටියන්ට නම් සලාක ක්‍රමය සම්බන්ධයෙන් තිබෙන්නේ අමිහිරි අතීත අත්දැකීම්. අවසන් වරට ශ්‍රී ලංකාවේ සලාක ක්‍රමයක් ක්‍රියාත්මක වුණේ 1970 දශකයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරියගේ සමගි පෙරමුණු පාලන කාලයේදි යි.
1978 ජේ.ආර්. ජයවර්ධන රජය විසින් විවෘත ආර්ථිකය හඳුන්වා දී පිටරටින් අනවශ්‍ය පරිදි භාණ්ඩ ගෙන්වා සලාක ක්‍රමය අහෝසි කරන තෙක් ම රටේ සහල් සැපයුම සිදුවුණේ සලාක ක්‍රමයට යි.
කූපන් පොත
එදා සෑම පවුලකට ම සාමාජිකයන් සංඛ්‍යාව අනුව ‘‘කූපන් පොතක්’’ නිකුත් කර තිබුණා. එය රැගෙන සමූපකාර වෙළෙඳසලට පැමිණි විට සලාකයට අනුව අඩු මිලට හෝ නොමිලේ යම් සහල් ප්‍රමාණයක් ලබා ගැනීමට පාරිභෝගිකයාට හැකියාව ලැබුණා. ලංකාවට සහල් සලාක ක්‍රමය මුලින් ම හඳුන්වා දී ඇත්තේ ආහාර හිඟයක් ඇතිවූ දෙවැනි ලෝක යුද සමයේදී යි.
1948 දී රට නිදහස් වුවත් එදා සිට 1978 පමණ වන තෙක් සහල් සලාකය ක්‍රියාත්මක වුණා. එය හැඳින්වුණේ හාල් පොත කියල යි.
අතීතයේ ආණ්ඩු පත් කෙරෙනු මහ මැතිවරණවල දී ජනතාවට ලැබුණු ප්‍රධාන ඡන්ද පොරොන්දු බොහොමයක් සැකසුණේ සහල් සලාකය මුල්කර ගෙන යි. හාල් සේරු දෙකක් දෙනවා, හාල් සේරුවක් නොමිලේ දෙනවා, හඳෙන් හෝ සහල් ගෙනත් දෙනවා ආදී ජනප්‍රිය ඡන්ද පොරොන්දු එදා ඡන්ද වේදිකාවල එකල අසන්නට ලැබුණා. 1977 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ජනතාවට පොරොන්දු වුණේ ධාන්‍ය රාත්තල් 8ක් ජනතාවට ලබා දෙන බව යි.
මැතිනිගේ කූපන් පොත
1972 වසරේ දී සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව, රටේ ආර්ථික තත්ත්වය දියුණු කිරීමට පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කළා.
එහෙත් ආණ්ඩුව බලාපොරොත්තු වූණු ආකාරයට පස් අවුරුදු සැලැස්ම සාර්ථක වුණේ නැහැ. පිටරටින් ආහාර ගෙන්වීම සීමා කිරීම නිසා ජනතාවට ප්‍රමාණවත් තරම් ආහාර ලැබුණේ නැහැ. මුදල් තිබුණත් ප්‍රමාණවත් තරම් ආහාර සහ අනිකුත් භාණ්ඩ මිල දී ගැනීමට අවස්ථාවක් තිබුණේ නැහැ.
මේ හේතුවෙන් වැඩිපුර ම පීඩාවට පත්වූයේ නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත්වූ ජනතාව යි.
බත් ආහාරයට ගැනීමට ලැබුණේ සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දාට විතර යි. අනික් දවස්වල අල, බතල, මයියොක්කා, රොටි වැනි ආහාර ලබාගත යුතු වුණා. වරකට හාල් කිලෝ පහකට වඩා නිවසකට ගෙන ඒම තහනම්. වැඩිපුර සහල් තිබුණොත් අද ඉන්ධන තබාගත්තා වගේ ම පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. සහල්, පාන් පිටි, පාන් වැනි දෑ ගැනීමට පෝලිමේ සිට කූපන් පොත ඉදිරිපත් කළ යුතු යි. ලැබෙන සීමිත ආහාර ප්‍රමාණයෙන් සතිය ගත කිරීමට එකල සිදුව තිබුණා. රෙදිපිළි මිලදී ගැනීමට ද කූපන් පොත් තිබුණා. එවකට තිබුණේ භූමිතෙල් සුවඳ එන බාල රෙදි යි.
කුඩා දරුවන් සිටින පවුලකට ආණ්ඩුවෙන් ලබාදුන්නේ කිරිපිටි පැකට් එක යි. තවත් කිරිපිටි පැකට් එකක් අවශ්‍ය වූ විට ග්‍රාමසේවක අත්සන් කළ යුතු වුණා. එකල සෑම සමුපකාර කඩයක ම දිනපතා දිගු පෝලිම් දැකගත හැකි වුණා.
සහල් පොලු හා මිරිස් පොලු
සීමිත ආහාර තොග පිරිමසා ගැනීමට ආණ්ඩුව ගත් එක් පියවරක් වූයේ සහල් පොලු සහ මිරිස් පොලු දැමීම යි. ඒ අනුව එක් ප්‍රදේශයක සිට තවත් ප්‍රදේශයකට සහල් සහ මිරිස් ගෙන යාම තහනම් වුණා. මාර්ග බාධක තැන තැන යොදා ගමන් මලු, බඩු මලු පරීක්ෂා කිරීම සිදුවුණා. සහල් හා මිරිස්, පාන්පිටි වැනි භාණ්ඩ රජයේ සෘජු පාලනය හා අධීක්ෂණය යටතේ තමයි බෙදාහැරීම සිදුවුණේ.
සතියේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල ආපනශාලාවල බත් අලෙවිය තහනම් කෙරුණා. පිටරටින් ගෙනෙන සීමිත පිටි තොගවලින් පාන් නිෂ්පාදනය ද සීමා කර තිබුණා. පාන් බෙදාහැරුණේ ද සලාක ක්‍රමය යටතේ යි. ඒ අතර කළුකඩයේ වැඩි මිලකට බඩු අලෙවිය ගැනත්, දේශපාලන හිතවතුන්ට සීමාවලින් තොරව බඩු ගැනීමට අවස්ථාව හිමි වීම ගැනත් අහන්න ලැබුණා.
එකල පැවතියේ අද මෙන් සංකීර්ණ බහු පරිභෝජන සමාජයක් නොවෙ යි. අද මෙන් ත්‍රිවීලර්. මෝටර් බයිසිකල්, ජංගම දුරකථන තිබුණෙම නැහැ. දුරකථන තිබුණෙත් ගමකට ම එක් නිවසකට පමණ යි. තිබුණේ ලංගම බස් හා දුම්රිය පමණ යි. පාසල් වෑන් සේවයක් තිබුණෙත් නැහැ. ගෑස් භාවිතයක් තිබුණෙත් නැහැ. දර නැත්නම් භූමිතෙල් උදුන් තමයි තිබුණේ. මේ නිසා අධික ඉන්ධන හෝ ගෑස් අවශ්‍යතාවක් තිබුණේ නැහැ.
කෙසේ වුවත් ජනතාවට සලාක ක්‍රමය විශාල පීඩාවක් වී තිබුණා. මේ නිසා 1977 මහ මැතිවරණයේ දී පාලක ශ්‍රිලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණට අන්ත පරාජයක් හිමි වුණා.