ඛන්දීල් බාලෝච් සහ ගෞරවයේ නාමයෙන් කාන්තාවන් ඝාතනය කිරිමේ ඛේදවාචකය

…ඔබ මට ආදරය කළත්, වෛර කළත් මට කම් නැත. ඔබ මට ආදරය කළහොත් මා ඔබේ හදේ රැදේවි. ඔබ මට වෛර කළහොත් මා ඔබේ මනසෙහි රැඳේවි…

– ඛන්දල් ඛාලේච් – (ෆවුසියා අසීඩ්)  (1990-2016)

ඛන්දීල් ඛලෝච් යන අන්වර්ථ නාමයෙන් පෙනි හිටි පාකිස්ථානයේ පලමු කාන්තා සමාජ ජාල තරුව වු ෆවුසියා අසීම් පසුගියදා පන්ජාබ් ප්‍රාන්තයේ මුල්තාන් නගරයේ දී ගෙල සිරකොට මරා දමන ලදී.

ඇගේ ඝාතකයා අන් කවරකුත් නොව, ඇගේම වැඩිමහල් සහෝදරයා වන අසාර් අක්රම් වේ. මුල්තාන් පොලීසිය පවසන පරිදි මෙය පවුලේ ගෞරවයේ නාමයෙන් කරන ලද්දක් හෙවත් “නම්බුකාර ඝාතනයකි” (මේවා honor killings ලෙස හැදින්වේ). අත්අඩංගුවට ගන්නා ලද අක්රම් පාපොච්චාරණයක් කරමින් පවසා සිටියේ තමා ඇයව ඝාතනය කළේ පවුලේ ගෞරවයේ හා ඉස්ලාම් ආගමෙහි ගෞරවයේ නාමයෙන් බැවින්, තම ක්‍රියා කලාපය පිළිබඳව කිසිඳු පසුතැවීමක් තමාට නොමැති බවයි.

(newsworld.pk)

26 හැවිරිදි සමාජ ජාලා තරුව විසින් එම සමාජ ජාලා වෙබ් අඩවි තුල පල කරන ලද ඇගේ ජායාරූප හා වීඩීයෝ පට පිලිබඳව එරට ආගමික අන්තවාදීන් රැසක් ඇය වෙත සිය අප්‍රසාදය පල කොට තිබුණ.

ඇගේ ක්‍රියාවන් ඇතැමුන්ගේ ප්‍රසාදයට ලක්වද්දී, ඇයට නිරත්තරයෙන්ම විවධ දෝෂාරෝපණ හා තර්ජනයන්ට ලක්වන්නට සිදුවුනා. නෛතික ක්‍රියාකාරීන් හා ස්ත්‍රීවාදීන්  ඇයව ඇගයුමේ ඇය පාකිස්ථානු සමාජය තුල පැවති සීමාවන් අතික්‍රමණය කිරීමට තැත් කළ චරිතයක් බවට හඳුනාගනිමින්. ඛන්දීල් විසින් සමාජගත කළ ජායාරූප හා විඩීයෝ පට දෙස බැලු පමණින් හැඟි යන්නේ ඇය වෙනත් සමාජ ජාලා තරුවකට වඩා වෙනස් නොවන බවය.

නමුත් අවාසනාවන්ත ලෙස, පාකිස්ථානය තුල අද වනතුරුත් පවතින්නාවු සංස්කෘතිකමය රාමුවට අනුව එවැනි යමක් ප්‍රසිද්ධියේ පල කිරිම කාන්තාවකට නොහොබිනා දරුණු ගණයේ අපරාධයකි. (ඉස්ලාම් පවුලක වැඩිමහල් සොහොයුරා හෝ පියා විසින් එය අනුමත නොකෙරේ නම්, එම කාන්තාව මරා දැමීමට තරම් දරුණු ගණයේ අපරාධයක් බවට එය පත් වේ.)

(sbs.com.au)

මේ වන විට ඛන්දීල් වෙනුවෙන් මුඵ ලෝකයම කම්පා වන අතර, ඇගේ සොහොයුරා කරන ලද ප්‍රකාශයටද දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. අක්රම් විසින් කලක සිට සිය නැගණියට තම විරෝධය හා පිළිකුල පළ කරමින් තිබුණු අතර, එකී කෝපයේ උච්ඡතම අවස්ථාවට එළඹෙමින් ඔහු විසින් පසුගිය සිකුරාදා ඛන්දීල්ගේ ගෙල සිරකොට මරා දැමුණේ ඔවුන්ගේ පවුලේ නිවස තුලදීමය.

අක්රම් කෙරෙහි පාකිස්ථානු අධිකරණයෙහි ක්‍රියාකලාපය කුමක් වේදැයි පෙර නිමිති පළ කිරීමට දැනට හැකියාවක් නැති වුව ද,  එකී තීන්දුව කුමක් වේදැයි විමසිල්ලෙන් මුඵ ලෝකයටම බලා සිටී. නමුත්, ඇයගේ මරණය තෙක් මෙන්ම ඉන් පසුවද සැමදෙනාටම අමතක වුවක් වන්නේ මෙවැනි ඝාතන ලොව පුරා විවිධ රටවල්හි දිනපතා සිදුවන බවයි. ඛන්දීල්ගේ කතාව මුඵ ලෝකයෙහිම අවධානය දිනා ගත්තද,  ලොවෙන් සැඟවී මිය යන ඛන්දීල්ලා කොතෙක් වේද? ඔවුන්ගේ කතාවලට ඇහුම්කන් දෙන්නේ කවුරුන්ද?

නම්බුකාර ඝාතන හෙවත් Honour Killings

(dawn.com)

‘නම්බුකාර ඝාතන’  නමින් හැඳින්වුවද, එහි කිසිදු නම්බුකාර බවක් නම්  නොමැත. අවාසනාවන්ත ලෙස සිය පවුලේ සහ ආගමේ ගෞරවය උදෙසා ඝාතනයට ලක්වන ගැහැණු ළමුන්, කතුන් මෙන්ම පිරිමි ළමුන්ද සිටිනා බව අමතක නොකළ යුත්තකි. ගැහැණු ළමුන් (සිය මවද ඇතුලුව) සිය පවුලේ සාමාජිකයන් අතින් මිය යන්නේ, තමාට මංගල යෝජනා මඟින් විවාහ කර දීමට යන මනමාලයාට අකමැති වීම හෝ තම පවුල විසින් කැමැත්ත පළ නොකරන ලද පුද්ගලයකු හා පෙමින් වෙලිම හෝ ඔහු සමඟ සිය නිවසින් පැන යාම වැනි හේතුන් මතය.

බෝහෝ බිරින්දෑවරුන් සිය ස්වාමියා අතින් මිය යන්නේ ඇය අනාචාරයේ හැසුරුණු බවට සැකයක් පහල වු පමණිනි. සමලිංගික සබඳතා ඇති කරගැනීමේ ‘පාපය’ මත තරුණයින් මරා දැමීමට ඔවුන්ගේ පවුල් පසුබට නොවේ. තම ලිංගික අනුස්ථාපනය කුමක් වුවද එය සිය පවුලේ අනුමැතිය හිමි නොවන්නක් නම් උරුම වන දඩුවම මරණයයි.

නම්බුකාර ඝාතන ක්‍රමවේදයන්ද ඉතා සාහසිකය. ගෙල සිර කිරිම, වෙඩි තැබිම, ජලයෙහි ගිල්වීම, පන පිටින් ගිනි තැබීම හා මිය යන තුරු පහර දීම මේ අතර පෙරමුණ ගනී.

දකුණු ආසියානු කලාපය තුල මෙම නම්බුකාර යැයි කියාගන්නා ඝාතනයන් දක්නට ලැබෙනුයේ ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය තුල ය. එමෙන්ම සිරියාව, ඉරාකය, ඉරානය, සවුදි ආරාබිය හා උතුරු අප්‍රිකානු රටවල් තුල මෙම චාරිත්‍රය සිදුකෙරේ. තවත් ඛේදනීය කරුණක් වනුයේ මෙවැනි ඝාතනයන්ට අනුබල දෙන ආගම් කිහිපයක්ම මේ කලාපවල තිබීමයි, ඉස්ලාම්, හින්දු, ක්‍රිස්තීයානී, යුදෙවු හා සික් ආගම් හරහා ද නම්බුකාර ඝාතනයන්ට වපසරිය සකසා දී ඇති බව පෙනේ.

අප තවමත් ගල් යුගයේද?

අප අද ජිවත් වන්නේ අතිශය ගෝලීයකරණය වු තාක්ෂණීක යුගයක බැවින් මෙවැනි සිදුවීම් වර්තමානයේ සුලබව සිදු නොවේ යැයි යමෙකු සිතිය හැකිය.

නමුත් සත්‍යය ඊට හාත්පසින්ම වෙනස්ය, ඛේදනීයය. නම්බුකාර  ඝාතන මට්ටම් සතුටුදායක ලෙස අඩු විමක් තවම දක්නට නොමැති අතර, එවා තව දුරටත් සිදු වෙමින් පවතින බව සංඛ්‍යාලේඛන හා දත්ත මඟින් පෙනී යයි. දිනෙන් දින වැඩිවන සමාජමය හා නෛතිකමය පීඩනය හමුවේ පවා මෙම ඝාතන අධෛර්යමත් වී ඇති බවක් නම් නොපෙනේ. අනාදිමත් කාලයක පටන් මෙකී සමාජයන්හි වෙසන මිනිසුන්ගේ මුල් බැසගත් ආකල්පයන්හි පැහැදිලි වෙනසක් මෙතෙක් සිදු නොවීම ඊට හේතුවයි.

එම අන්තවාදී හා පසුගාමි අදහස් වලට එරෙහිව නැගී සිටිමට වෙර දරන ඕනෑම පුද්ගලකු එම සමාජය තුලින් හැකි ඉක්මනින් ප්‍රතික්ෂේප කොට අතුගා දැමිමට එම සමාජයෙන් පෙලඹි ඇත්තේ එබැවිනි. එයට හොඳම උදාහරණය වන්නේ පවුලේ ගෞරවය මුල්තැන ගැනීමේ හද සසල කරවන ඛේදවාචකයයි.

(aljazeera.com)

සමාජ ජාල වෙබ් අඩවි හරහා සිය හඬ නැංවිමට ඛන්දල්ට අවස්ථාව සැලසුණි. ඇයට තහනම් කරන ලද, සියලුම දේ හාස්‍යයට ලක් කරමින් ඇය විසින් කරන ලද ‘BAN’ නැමති ගීතය හා එහි විඩියෝ පටය අන්තර්ජාලය හරහා එක රැයකින් ප්‍රසිද්ධ විය.

ඇයගේ ඝාතනයෙන් පසුව පවා ඇය වෙනුවෙන් සිය හඬ නංවන්නට නෛතීක ක්‍රියාකාරීන්, ස්ත්‍රීවාදින් ඇතුඵ බෝහෝ පිරිසක් බලා සිටිති. ඇගේ නිර්භීත බව කෙරෙහි ගෞරවයත්, ඇයට අත්වුණ ඉරණම කෙරෙහි සහකම්පනයත් අප සිත් තුළද වේ. නමුත් මෙසේ හඬක් නඟන්නට ඉඩක් නොලදවුන් පිලිබඳව අප තව දුරටත් හඬ නැඟිය යුතු නොවේද?

මානව හිමිකම් කුණු කූඩයට ද?

මානව හිමිකම් පිලිබඳ විශ්ව ප්‍රකාශනය, කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ අසාධාරණයන් පිටු දැකීමේ සම්මුතිය වැනි අන්තර්ජාතික බලාධිකාරින් රැසක් එලි දක්වා මේ වන විට විශාල කාලයක් ගතව ඇත. නමුත් එවායින් ඉටු කර ගැනීමට අපේක්ෂිතවු යුක්තීන් හෝ සාධාරණයෙන් කොතෙක් දුරක් ලඟා කරගෙන ඇත් දැයි ප්‍රයෝගික ගැටළුවක් අදටත් පවතී.

වර්තමාන තත්වයෙහි සතුටුදායක වෙනසක් ඇති කරන්නට නෛතීක බලධාරීන්ට පමණක් නොහැකිය. සමාජයීය ආකල්පයන් හි විශාල වෙනසක් කිරීමේ අවශ්‍යතාවය දිනෙන් දින ඉහල යමින් පවති.

ආගමික ලේඛන හා දේශනාවක් මෙකී යුක්කීන් ඉටු කරනා ආකාරයකින් අර්ථ නිරූපණය කීරමේ වහකීම ආගමික නායකයින් හා නියෝජිතයන් සතු වේ. අහිංසක, නිවැරදිකරුවන්ට දඬුවම් ලබා දිමට ආගමික දේශනාවන් අවියක් නොකරගත යුතු බව ඔවුන් සමාජයට වටහා දිය යුතුය. වරදට දඬුවම් දීමේ බලය නීතිය සතුවිය යුත්තක් මිස පවුලේ පියාට හෝ සොහොයුරාට හිමි විය යුත්තක් නොවේ.

මෙහි දී සිහිපත් කළ යුතු තවත් කරුණක් වන්නේ ඛන්දීල් විසින් ඇයට එල්ල වුණ තර්ජන පිලිබඳව පාකිස්ථානු වගකිව යුතු අධිකාරීන්ට දැනුම් දී තිබුණද, ඒ පිලිබඳව කිසිදු පියවරක් ගැනීමට ඔවුන් උත්සුක වී නොතිබීමයි. එහි ප්‍රතිඵලය වුයේ ඛන්දීල් සිය නිවස තුලම අවසන් හුස්ම හෙලන තුරුත් කිසිවෙක් කිසිවක් නොදැන සිටිමයි.

අසාධාරණයට හෝ අයුක්තියට ලක්වන ඕනෑම අයකුට සැකයකින් හෝ බියකින් තොරව නීතියේ පිහිට පතා සහනයක් ලබා ගැනීමට හැකිවන පරිදි සිය නෛතික යාන්ත්‍රණයන් මෙහෙයවීමටත්, නීතීයට හා යුක්තිය පසිඳලීමට ආගමික අන්තවාදය ලං නොකර ගැනීමටත් රාජ්‍යයන් පෙළඹිය යුතු විමේ අවශ්‍යතාව ඛන්දීල්ගේ ඉරණම පුන පුනා පවසා සීටී.

(aljazeera.com)

ඈ මල පමණින් සටන නතර වේද?

තමා කාන්තාවක් ලෙසින් මෙලොව එලිය දැකීමේ වරද නිසාවෙන්ම මරණ දඬුවමට ලක්වන දහසකුත් එකක් ඛන්දීල්ලාගේ නාමයෙන්, හුදු අන්තවාදී හා පසුගාමී මෙන්ම පුරුෂාධිපත්‍යයට නතු වු සමාජයන්ට එරෙහිව හඩ නගන කතුන් වෙනුවෙන් ඛන්දීල්ගේ අවසාන ෆේස්බුක් පෝස්ටුව ඇතුල වදන් කිහිපයක් මෙසේ ලියා තබන්නෙමි.

” කුඩා ගැහැණු ළමයෙකුගේ සිට ස්වාධින කාන්තාවක් වීම දක්වා මා ආ ගමන පහසු නැත. මා විශ්වාස කරන පරිදි මා වර්තමාන ස්ත්‍රීවාදිනියකි. මා සමානාත්මත්වය විශ්වාස කරමි. සමාජයට අවශ්‍ය පරිදි අප ලේබල් අලවාගත යුතු යැයි මම නොසිතමි. කාන්තාවක් වශයෙන් තමන් වෙනුවෙන් නැගී සිටිය යුතුය.”

“මම සටන් කාරියක් වෙමි. සමාජය විසින් අත්පත් කොට යටත් කරගන්නා ලද කාන්තාවන් වෙනුවෙන් සටන් වැද ඔවුන් දිරිමත් කරන්නට මම නැවත එන්නෙමි.”

කවරයේ ඡායාරූපය – dawn.com

තොරතුරු උපුටා ගැනීම – bbc.com

Related Articles

Exit mobile version