ශ්‍රී ලංකා හමුදාව, එක්සත් ජාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීමේ කතාව

එක්සත් ජාතීන් විසින් තම සාමාජික රටවල ඇති අභ්‍යන්තර අර්බුද, රටවල්-රටවල් අතර ඇති වන බාහිර අර්බුදවල දී ඒවා සමනය කිරීම සඳහා සිය සහාය පළ කරනවා. ලෝකයේ රටවල් වැඩිම ගණනක් සාමාජිකත්වය දරන්නෙත්  (රටවල් 193ක්) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බැවින්, ලෝකයේ ගැටුම් නිරාකරණය සඳහා ඔවුන් බොහෝ අවස්ථාවල දී කටයුතු කරනවා.

එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ සඳහා මූලික වී කටයුතු කරන අතර ලෝකය තුළ ත්‍රස්තවාදය තුරන් කිරීම, සාමාජික රටවල අභ්‍යන්තර යුද ගැටුම් විසඳා දීම සම්බන්ධයෙන් ඔවුන් නිරන්තර අවධානයෙන් පසු වෙනවා. ආරක්ෂක මණ්ඩලය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් පහළොස් දෙනකුගෙන් සමන්විත වන අතර ඉන් පහක්, එම මණ්ඩලයේ නිත්‍ය නියෝජිතයන් ලෙස ද ක්‍රියා කරනවා.

ලෝකයේ විවිධ ගැටුම් නිරාකරණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මෙන්ම, ආරක්ෂක මණ්ඩලයේ කැමැත්ත මත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තෝරා පත් කරගන්නා ලද මහ ලේකම්වරයා ද මැදිහත් වීම් සිදුකරනවා. ගැටුම් හා අර්බුද නිරාකරණය කිරීම සඳහා එම දෙපාර්ශවය විසින් විවිධ ක්‍රියාමාර්ග ගනු ලබනවා.

යම් රටක හෝ රටවල් දෙකක් අතර අර්බුදයක් පැන නැඟුණු විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා හා ආරක්ෂක මණ්ඩලයේ සෘජු මැදිහත් වීමෙන් එවැනි ගැටුම් විසඳීම සඳහා උත්සාහ ගනු ලබනවා. එවැනි ක්‍රියාමාර්ග එක්සත් ජාතින් විසින් අතීතයේ දී ද ගෙන ඇති අතර, කියුබානු මිසයිල අර්බුදය නිරාකරණය කිරීම එහි එක් උදාහරණයක් ලෙස නම් කළ හැකියි.

නරඹන්න- කියුබානු මිසයිල අර්බුදය

ආරක්ෂක මණ්ඩලයේ උපදෙස් මත එක්සත් ජාතින් විසින් අර්බුද නිර්මාණය කරන රටවලට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම මඟින් අර්බුද නිරාකරණය කිරීම සඳහා උත්සාහ දැරීම තවත් ක්‍රමවේදයක් වෙනවා. උතුරු කොරියා – දකුණු කොරියා ගැටුමේ දී උතුරු කොරියාවට, එක්සත් ජාතීන් විසින් ආර්ථික සම්බාධක පැනවීම ඊට උදාහරණයක් ලෙස ගන්න පුළුවන්.

කියුබානු මිසයිල අර්බුදයේ දී කෙනඩි ජාතිය අමතයි  (theatlantic)

රටවල්වල ඇති වන සිවිල් කැරලි හා රට රටවල් අතර ඇති වන ගැටුම්කාරී අවස්ථාවල, ඒවා නිරාකරණය කිරීම සඳහා එක්සත් ජාතීන් අනුගමනය කරන තවත් ක්‍රියාමාර්ගයක් වන්නේ, අදාළ ප්‍රදේශයට එක්සත් ජාතීන්ගේ සාම සාධක භට කණ්ඩායම් පිටත් කර හැරීම යි. සූවස් ඇල අර්බුදයේ, ඉන්දු කාශ්මීර් ගැටුම්වල දී ද එක්සත් ජාතින් විසින් අදාළ ප්‍රදේශවලට සිය සාම සාධක හමුදාව යවනු ලබනවා.

වැඩි දුරටත් කියවන්න: බලවත් ජාතීන් තුනකට යන-එන මං නැති වූ සූවස් ඇළ අර්බුදය, ඉන්දු – පාකිස්ථාන යුද්ධවල ඉතිහාසය​

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා 

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව (reutersmedia)

1945 වසරේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් ආරම්භ වෙනවා. නමුත් එක්සත් ජාතීන්ට නිත්‍ය හමුදාවක් නෑ. සාමාජික රටවල්වල ආරක්ෂක අංශවල සාමාජිකයන්, එක්සත් ජාතීන්ගේ හමුදාව ලෙස බඳවා ගෙන මෙම සාම සාධක මෙහෙයුම්වලට යොදා ගනු ලබනවා. එසේ සාම සාධක මෙහෙයුම්වල නිරත එක්සත් ජාතීන්ගේ හමුදාවට තම මව් රටේ නිල ඇඳුම ඇඳිය හැකි නමුත්, එක්සත් ජාතීන්ගේ සලකුණ සහිත නිල් පැහැ බෙරේ හිස්වැස්මක් පැළඳ සිටීම අනිවාර්ය වෙනවා. ඒ සාම සාධක භටයෙක් ලෙස ඕනෑම හමුදාවකට, කැරලි කණ්ඩායමකට හෝ ත්‍රස්ත කල්ලියකට හඳුනාගැනීමේ පහසුව සඳහා යි.

ශ්‍රී ලංකා හමුදාව එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට 

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ශ්‍රී ලංකා හමුදාව (wp)

1955 වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකාව, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය නිල වශයෙන් ලබා ගන්නවා. ඉන්පසුව, එක්සත් ජාතීන් විසින් ක්‍රියාත්මක කරන ලද විවිධ සාම සාධක මෙහෙයුම් සඳහා ලංකා හමුදා කණ්ඩායම් ද සහභාගී වෙනවා. 1960 වසරේ අප්‍රිකානු මහද්වීපයේ කොංගෝ හි නිර්මාණය වූ “කොංගෝ අර්බුදය”  නිරාකරණය සඳහා එක්සත් ජාතින් විසින් යවන ලද සාම සාධක හමුදාවේ, ලංකාවේ පළමු යුද හමුදා භට පිරිස ඇතුළත් වෙනවා. මේ ඔස්සේ යැවුණු පළමු සාම සාධක භටයන් 16 දෙනා 1962 වසර දක්වා එහි සේවය කරනවා.

ඉන්පසුව, වරින් වර එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා මෙරට හමුදා සාමාජිකයන් සහභාගී වෙනවා. ඒ අතරින් අප්‍රිකානු මහද්වීපයේ සාම සාධක මෙහෙයුම් විශේෂ යි. 

හයිටියේ ශ්‍රී ලංකා සෙබළුන්ට ළමා අපචාර චෝදනා

2014 වසරේ දී හයිටියේ ජනාධිපති ජීන් බර්ට්‍රන්ඩ් ඇරිස්ටයිඩ්ව (Jean-Bertrand Aristide) හමුදාව විසින් බලයෙන් පහ කිරීමෙන් පසුව එක්සත් ජාතීන් ප්‍රථම වරට හයිටිය වෙත තම සාම සාධක හමුදාව යවනු ලබනවා. මේ ඔස්සේ 2004 වසරේ දී හයිටිය වෙත ගිය සාම සාධක හමුදාවට ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් ද ඇතුළත් වෙනවා. එම කාල සීමාවේ දී යි ශ්‍රී ලංකික හමුදා සෙබළුන්ට, ළමා අපචාර චෝදනා එල්ල වෙන්නේ.

හයිටි රාජ්‍යයේ සේවය කළ ශ්‍රී ලංකා හමුදා භටයන් 134 දෙනෙකු විසින් ළමුන් 9 දෙනෙක් අපයෝජනයට ලක් කර ඇති බව එක්සත් ජාතින් විසින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා සිටිනවා. ඒ හේතුවෙන් එහි සිටි හමුදා භටයන් 114 දෙනෙකු ශ්‍රී ලංකාව විසින් නැවතත් ගෙන්වා ගත් බවත්, චෝදනා විමර්ශනය කර අදාළ හමුදා භටයන්ට විනය ක්‍රියාමාර්ග ගත් බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රකාශ කරනවා.

මාලි හි නිලධාරියෙක් හා එක් භටයෙක් ඝාතනය වේ

මියගිය විරුවන් දෙදෙනාට අවසන් ගෞරව (army.lk)

වර්තමානයේ දී එක්සත් ජාතීන් විසින් අප්‍රිකානු රාජ්‍යක් වන මාලි හි වර්තමානයේ දී සාම සාධක මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. එහි මෙහෙයුමේ නිරත වූ ශ්‍රී ලංකා හමුදා නිලධාරියෙක් හා සෙබළෙකු 2019 වසරේ ජනවාරි මාසයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයක් හේතුවෙන් සිය දිවියෙන් සමු ගන්නවා. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ නිරත භටයන්ට ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක් බව පවසන මහ ලේකම් අන්තෝනියෝ ගුටාරෙස්, ඒ අපරාධකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස මාලි රාජ්‍ය නායකයාට ප්‍රකාශ කර සිටිනවා.

ශ්‍රී ලාංකික හමුදාවට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් තහනම් වීම 

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා (Aljazeera)

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස පත් කිරීමට විරෝධය පළ කරමින්, ශ්‍රී ලංකාව යුද හමුදාවට සාම සාධක රාජකාරිවල යෙදීමේ අවස්ථාව අහිමි කිරීමට එක්සත් ජාතින් පසුගිය දා තීරණය කරනවා. ඒ යුද්ධය අවසන් සමයේ දී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමෙරිකාව හා එක්සත් ජනපදය නඟන මානව හිමිකම් කඩ කිරීමේ චෝදනාවක් මත යි. මේ ඔස්සේ වර්තමානයේ හයිටියේ, මාලි රාජ්‍යයේ හා දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලංකාවේ 651 වන සොල්දාදුවන් පිරිස ඉදිරියේ දී නැවත ශ්‍රී ලංකාව වෙත එවීමට එක්සත් ජාතින් තීරණය කර තිබෙනවා. නැවත අලුතෙන් සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා භටයන් එකතු කර නොගැනීමට ද තීරණය වී තිබෙනවා.

මේ තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව, එක්සත් ජාතින් සමග සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

කවරයේ පින්තූරය- wikimedia.

මූලාශ්‍රයයන්:

bbc.com

army.lk

aljazeera.com

Related Articles

Exit mobile version