බ්‍රිතාන්‍යය, දෙසැම්බර් 12 වනදා මහමැතිවරණයක් පවත්වනවා. නියමිත කාලයට වඩා වසර දෙකහමාරක් කලින් පැවැත්වෙන මෙම මහමැතිවරණය පවත්වනු ලබන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියට පැහැදිලි අවසානාත්මක විසඳුමක් සොයාගැනීමේ අරමුණින්. බ්‍රිතාන්‍යයේ දෙසැම්බර් මාසයක මහමැතිවරණයක් පවත්වන්නේ 1923න් පසු පළමු වතාවට යි.
මීට පෙර අවස්ථා කිහිපයක දී ම අගමැති බොරිස් ජොන්සන් මහමැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කළා. එහෙත් එම යෝජනා පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණා. බ්‍රිතාන්‍ය නීතියට අනුව නියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගෙන් තුනෙන් දෙකක අනුමැතිය හිමි විය යුතු යි. එහෙත් කම්කරු පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක විරෝධය නිසා එම අනුමැතිය පෙර අවස්ථාවල ලැබුණේ නැහැ.
එම පක්ෂවල විරෝධතාවට ප්‍රධාන හේතුව වූයේ බොරිස් ජොන්සන් “එකඟතා ගිවිසුමක් නොමැති බ්‍රෙක්සිට්” ක්‍රියාවලිය සඳහා සිය සහාය දැක්වීම යි. එනම් යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය අතර පවතින එකඟතාවලට බ්‍රෙක්සිට්වලින් පසු කුමක් සිදුවේ ද යන්න පිළිබඳ පූර්ව එකඟතාවයකින් තොරව වුව ද බ්‍රෙක්සිට් සිදුකළ යුතුයැ යි ජොන්සන් ප්‍රකාශ කරමින් සිටියා. නමුත් ඊට එරෙහි පිරිස් කියා සිටින්නේ එයින් අනවශ්‍ය අවුල් ජාලයක් නිර්මාණය වන බව යි.
කෙසේ නමුත්, පවතින තත්ත්වය යටතේ එවැනි බ්‍රෙක්සිට් ක්‍රියාවලියක් සිදුනොවන බව පැහැදිලි වූ පසු කම්කරු පක්ෂය ද මහමැතිවරණයක් සඳහා සිය අනුමැතිය ලබා දුන්නා.
පාර්ලිමේන්තුව අඩපණ වීම
හිටපු අගමැතිනි තෙරේසා මේ 2017 මැද දී මහමැතිවරණයක් කැඳවූයේ තම බ්‍රෙක්සිට් සැලැස්ම සඳහා පාර්ලිමේන්තු බහුතරයක් නිර්මාණය කර ගැනීමට යි. එම අවස්ථාවේ කම්කරු පක්ෂ නායක ජෙරමි කෝර්බින් ද ඉතා කැමැත්තෙන් මැතිවරණයට ඉදිරිපත් වුණා. එපමණක් නොව, කම්කරු පක්ෂය බලාපොරොත්තු වූවාට වඩා හොඳ ප්‍රතිඵලයක් ද ලබාගත්තා. එයින් සිදුවූයේ තෙරේසා මේගේ කොන්සර්වේටිව් පක්ෂයට තිබුණු පාර්ලිමේන්තු බහුතරය ද අහිමි වීම යි. ඇයට උතුරු අයර්ලන්තයේ ඩිමොක්රටික් යූනියනිස්ට් පක්ෂය (DUP) සමග සභාග රජයක් පිහිටුවන්නට සිද්ධ වුණා.
තෙරේසා මේ යුරෝපා සංගමය සමග බ්‍රෙක්සිට් පිළිබඳ එකඟතා ගිවිසුමකට එළඹුණ නමුත්, එයට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගන්නට නොහැකි වුණා. කොන්සර්වේටිව් පක්ෂයේම කොටසක් ඊට එරෙහි වීමෙන් තත්ත්වය තවත් ව්‍යාකූල වුණා.
කියවන්න: බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් අවුල
මුලින් 2019 මාර්තු 29 වනදා බ්‍රෙක්සිට් සිදුවීමට නියමිතව තිබුණා. එහෙත් එය සිදුවූයේ නැහැ. එකඟතා ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විරෝධයත්, එකඟතා ගිවිසුමක් නොමැතිව බ්‍රෙක්සිට් සිදුකිරීමට පාර්ලිමේන්තුව විරුද්ධ වීමත් ඊට හේතු වුණා.
තවත් දිගු කිරීම් කිහිපයකින් පසු එම දිනය ඔක්තෝබර් 31 දක්වා දිගු කරනු ලැබුණා. මේ අතර තෙරේසා මේ අගමැති ධුරයෙන් සහ කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කළා. ජූලි මාසයේ දී පක්ෂ නායකත්වයට බොරිස් ජොන්සන් පත් වූ අතර, ජූලි 24 වනදා ඔහු අගමැති ලෙස දිවුරුම් දුන්නා.
ජොන්සන් බලයට පැමිණ දින ගණනක දී පවත්වන ලද අතුරු මැතිවරණයකින් සිදු වූ පරාජයත් සමග කොන්සර්වේටිව් පක්ෂය ඇතුළු සභාග රජයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වුණා. එයින් පසු ගත වූ සමය තුළ ජොන්සන් එක් පසෙකින් එකඟතා ගිවිසුමක් තොරව වුව ද, නියමිත දිනට බ්‍රෙක්සිට් සිදුකළ යුතු බව කියා සිටින ගමන් අනෙක් අතින් නව එකඟතා ගිවිසුමක් සඳහා සාකච්ඡා ද ඇරඹුවා. මේ අතර සැප්තැම්බරයේ දී පාර්ලිමේන්තුව කල් තැබීමට ඔහු ගත් පියවර අධිකරණය විසින් නීති විරෝධී බවට නිගමනය කෙරුණා.
පාර්ලිමේන්තුවේ පැවති තත්ත්වය වෙනස් කර තමන්ට අවශ්‍ය බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ අදහසින් ජොන්සන් පාර්ලිමේන්තුව විසුරුවීමට අවසර ඉල්ලූ නමුත්, එම අවස්ථාව ලැබුණේ ඔක්තෝබර් 29 වනදා යි.
එක් එක් පක්ෂවල ස්ථාවරයන්
මෙවර බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ දී අන් සියලු කරුණු අබිබවා වැදගත් වන්නේ බ්‍රෙක්සිට් පිළිබඳ එක් එක් පක්ෂ දරන මතය යි. කොන්සර්වේටිව් පක්ෂය තුළ බ්‍රෙක්සිට් විරෝධී කණ්ඩායමක් ද සිටින නමුත්, ජොන්සන් ප්රමුඛ කොන්සර්වේටිව් නායකත්වයට අවශ්‍ය වන්නේ හැකි ඉක්මනින් බ්‍රෙක්සිට් සිදුකිරීමට යි. යුරෝපා සංගමය සමග ඔහු එළඹ ඇති එකඟතාව සම්මත කර ගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය මෙම මැතිවරණයේ දී ජොන්සන් බලාපොරොත්තු වනවා.
කොන්සර්වේටිව් පක්ෂය නැවත බ්‍රෙක්සිට් පිළිබඳ ජනමත විචාරණයක් පැවැත්වීමට විරුද්ධ වනවා.
ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය සඳහන් කරන්නේ, තමන් රජයක් පිහිටුවහොත් මාස තුනක් ඇතුළත නව එකඟතා ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා කරන බව යි. ඉන්පසු එම එකඟතා ගිවිසුම ද සමග ජනමත විචාරණයක් කරා යාම ඔවුන්ගේ අපේක්ෂාව යි. මෙසේ පැවැත්වෙන ජනමත විචාරණයක දී ජනතාවට ලැබෙන තෝරාගැනීම් මොනවාදැ යි තවමත් පැහැදිලි නැහැ. එහෙත් බ්‍රෙක්සිට් අවලංගු කිරීමේ අවස්ථාව සහ නව ගිවිසුම අනුව බ්‍රෙක්සිට් සිදුකිරීමේ අවස්ථාව ද ඇතුළත් වේයැ යි අපේක්ෂා කෙරෙනවා.
කම්කරු පක්ෂයේ සැලසුම වන්නේ තම රජයක් යටතේ මාස තුනක් තුළ නව ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා අවසන් කර, මාස හයක් තුළ ජනමත විචාරණයක් පැවැත්වීම යි.
ලිබරල් ඩිමොක්‍රටික්වරුන් කියා සිටින්නේ ඔවුන් බලයට පත් වුවහොත් බ්‍රෙක්සිට් අවලංගු කරන බව යි. ඔවුන් බලයට පත් නොවුණහොත්, දෙවන ජනමත විචාරණයක් සඳහා දිගටම සටන් කරන බව එම පක්ෂය පවසනවා.
ඩිමොක්රටික් යූනියනිස්ට් පක්ෂය බ්‍රෙක්සිට් ඉක්මනින් කළ යුතු බව කියා සිටිනවා. නමුත්, උතුරු අයර්ලන්තය සහ අයර්ලන්තය අතර රේගු සහ ආරක්ෂක මුරපලවල් ආදිය ඇති වීමට ඔවුන් විරුද්ධ යි.
මේ අතර උතුරු අයර්ලන්තයේ සින් ෆෙන් පක්ෂය බ්‍රෙක්සිට්වලට විරුද්ධ වනවා. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවේ ආසනවල අසුන් ගන්නේ නැහැ.
ප්ලේඩ් කම්රී (Plaid Cymru) හෙවත් වෙල්ෂ් පක්ෂය බ්‍රෙක්සිට් අහෝසි කිරීම සඳහා සටන් කරනවා. හරිත පක්ෂය ද නව ජනමත විචාරණයක් ඉල්ලා සිටිනවා.
ලිබරල් ඩිමොක්‍රටික්වරුන්, ප්ලේඩ් කම්රී සහ හරිත පක්ෂය අතර මැතිවරණය සඳහා එකඟතාවක් ඇති කරගැනීමට එම පක්ෂ තුන කටයුතු කරන බව වාර්තා වුණා. ඒ අනුව ඔවුන් ඇතැම් ආසන සඳහා නිතරග ගිවිසුමකට එළඹෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.
ස්කොට්ලන්ත ජාතික පක්ෂය තරමක වෙනස් අදහසක් දරනවා. බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ දී ස්කොට්ලන්ත ජනතාවගෙන් බහුතරයක් යුරෝපා සංගමය සමග සිටිය යුතුයැ යි කියා සිටි බැවින්, ස්කොට්ලන්තයට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට බල කළ නොයුතු බව එහි මතය යි. ඒ අනුව ස්කොට්ලන්තය ලබන වසරේ දී ස්වාධීනත්වය පිළිබඳ ජනමත විචාරණයක් පවත්වා, බ්‍රිතාන්‍යයෙන් වෙන් වීමට ජනතා කැමැත්ත හිමි වුවහොත්, ස්වාධීන රාජ්‍යයක් ලෙස යුරෝපා සංගම් සාමාජිකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වනවා.
මෑතක දී හිටපු කම්කරු පක්ෂ සහ කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීන් කිහිපදෙනකු විසින් පිහිට වූ වෙනසක් සඳහා ස්වාධීන කණ්ඩායම නැවත ජනමත විමසුමක් ඉල්ලා සිටිනවා.
මේ අතර හිටපු එක්සත් රාජධානි ස්වාධීනතා පක්ෂයේ නායක නයිජල් ෆරාජ් දැන් නායකත්වය දෙන බ්‍රෙක්සිට් පක්ෂය කියා සිටින්නේ කිසිදු එකඟතාවක් නොමැතිව වුව ද බ්‍රෙක්සිට් කඩිනමින් සිදුකළ යුතු බව යි. එම පක්ෂය මේ වන විට සිය මැතිවරණ උපක්‍රම පිළිබඳ අභ්‍යන්තර විවාදයක පැටලී සිටිනවා. පක්ෂයේ ඇතැම් ප්‍රබලයින් පාර්ලිමේන්තු ආසන 650ට ම තරග කළ යුතුයැ යි කියා සිටිනවා. නමුත් තවත් කොටසක් කියා සිටින්නේ, ප්‍රබල බ්‍රෙක්සිට් පාක්ෂික කොන්සර්වේටිව් මන්ත්‍රීන් තරග කරන ආසනවල තම පක්ෂය තරග නොකළ යුතු බව යි.