නොනිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල
උතුම් මුව නැබෙහි තැබි බඹ නැණ විකල
විනම් මෙමට මහබඹු පදවි යම් කල
තබම් බොරු කියන දුදනන්ගෙ දිව මුල
– සුභාෂිතය
කස්තුරි ගැන අප බාල කල අසන්නට ලැබුණු ඉහත පද්‍යය ඒ පිළිබඳ අපේ පළමු මතකය යි. කස්තුරි එතරම් ම වටිනා ද්‍රව්‍යයක් බව අපට අසන්නට ලැබෙන්නේ සුභාෂිතයේ එම කවිය සවනේ වැකීමත් සමඟ ය.
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ එන බොහෝ ඖෂධ සඳහා යොදා ගන්නා දෑ අතුරින් ඉතා දුර්ලභ ද්‍රව්‍යයක් ලෙස කස්තුරි හැඳින්විය හැකි ය. ඊට අමතර ව සුවඳ විලවුන් කර්මාන්තය සඳහා ද බොහෝ සෙයින් යොදා ගන්නා කස්තුරිවලට ඒවායේ ඇති දුර්ලභ බව නිසා ම ලැබී ඇත්තේ විශාල වටිනාකමකි.
ඉන්දියාව ද ඇතුළු රටවල් කිහිපයක පමණක් ජීවත් වන මුවන් විශේෂයකගෙන් ලබා ගන්නා කස්තුරි අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් සපයා ගැනීමට නොහැකි වීම නිසා මේ වන විට ව්‍යාජ කස්තුරි නිෂ්පාදනය ද ඉහළ ගොස් තිබේ. මෙම මුවන් සතු කස්තුරි මුළු ප්‍රමාණය ම එකවර ලබා ගැනීමේ අරමුණින් සමහරුන් මෙම කස්තුරි මුවන් මරා දැමීම ද ව්‍යසනයක් බවට පත් ව තිබේ.
ඒ අපූරු කස්තුරි සහ ඒවා සාදා දෙන මුවන් විශේෂය පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.
කස්තුරි මුවා සහ කස්තුරි සෑදෙන අයුරු
කස්තුරි යනු පිරිමි කස්තුරි මුවාගේ ශරීරයෙන් ලබාගන්නා සංඝටකයකි. මේ සතුන් ප්‍රියමනාප පෙනුමකින් යුතු අතර මසින් පිරුණු සිරුර වඩා උස් නොවේ. සාමාන්‍ය මුවන්ගේ උස ප්‍රමාණයට වඩා කස්තුරි මුවා උසින් අඩු ය. සාමාන්‍ය මුවන් ගේ පිහිටන මෙන් කස්තුරි මුවාගේ අං තට්ටුවක් වශයෙන් නොමැත. ඒ වෙනුවට ඉතා කුඩා අං යුගළක් ඇත. කස්තුරි මුවන්ගේ තවත් විශේෂ ලක්ෂණයක් වනුයේ මුඛයෙන් පිටතට නෙරා ආ උල් දත් දෙකක් පිහිටා තිබීම යි.
මෙම මුවන් විශේෂය ජීවත් වන රටවල් ලෙස ඉන්දියාව, ටිබෙටය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, චීනය, සයිබීරියාව, මොංගෝලියාව සහ උතුරු වියට්නාමය වැනි රටවල් හැඳින්විය හැකි ය.
කස්තුරි මුවන්ගේ ශිෂ්ණයෙන් වහනය වන ශ්‍රාවයක් ඔවුන්ගේ නාභිය සමීපයට වන්නට පිහිටි කෝෂයක් තුළ තැන්පත් වීමෙන් කස්තුරි බවට පත් වේ. උපතේ සිට වසර දෙකක් තුනක් වැනි කාලයක් ගෙවුණු පසු මෙම මුවන් තරුණ වයසට එළැඹෙයි. තරුණ මුවන් ලිංගික සංසර්ගයට පෙලඹෙන වකවානුවේ දී කස්තුරි නිෂ්පාදනය වීම සඳහා අවශ්‍ය ශ්‍රාවය බොහෝ සේ ගලා එයි.
තරුණ මුවන්ගේ කස්තුරිවල ඇති මිහිරි සුවඳ කාමෝද්දීපනයට රුකුලක් ලෙස සුළඟට මුසු වී පරිසරය පුරා පැතිරෙන අතර මුවදෙන්නු එම සුවඳ ආඝ්‍රාණය කරමින් සංසර්ගය සඳහා මුවන් සොයා පැමිණෙති. මේ අනුව සංසර්ගයට පෙලඹෙන කස්තුරි මුවන්ගෙන් ගලන එම ශ්‍රාවය ඉහත කී කෝෂයේ බදාමයක් මෙන් බැඳී යයි. සති කිහිපයකට පසුව ඝන වී පවතින එම ශ්‍රාවය වියළී ගිය පසු එය කස්තුරි යනුවෙන් හැඳින්වේ.
කස්තුරි යන වචනය හින්දි භාෂාවේ එන වචනයකි. සංස්කෘත බසින් මෘග නාඉභි, මෘග මද, කස්තුරිකා, කස්තුරිවේද, මුඛ්‍යා සහ සහස්‍රහීන් යන නම්වලින් කස්තුරි හඳුන්වයි. කස්තුරි මල්ලිකා, කස්තුරි මෘර්ගාන්ඩජ යනුවෙන් හැඳින්වෙන්නේ ද කස්තුරි ම ය.
කස්තුරි යනු පිරිමි මුවන්ගේ සිරුරේ සියලුම ශක්තිය කැටි කළ දියරයකි. එය දිව්‍ය ඖෂධයකට සමාන ය. මහා බලගතු වාජීකරණ රසායනික ඖෂධ හා තෛල නිපදවීම සඳහා මේවා යොදා ගනී. අර්ශස් හා ඇදුම රෝගයේදී පෙණහලු ශක්තිමත් කිරීමට මනුෂ්‍යත්වයෙන් ගිලිහීයන තාරුණ්‍යය දිගුකලක් රඳවා ගැනීමට ආයුෂ වර්ධනයට මේ ඖෂධය ප්‍රයෝජනවත් ය. ශරීරය නැවත ප්‍රතිනිර්මාණය කරවීමේ විශේෂ හැකියාවක් මේ ඖෂධය තුළ රැඳී ඇත.
-හොඳ ම වාජීකරණය කස්තුරි – වෛද්‍යාචාරිණී බී.ඊ.ඇම්. විජයසුන්දර – සිළුමිණ- 2017/03/25
මුවන්ගෙන් කස්තුරි ලබා ගන්නා අයුරු
කස්තුරි මුවාගේ නාභිය අසල පිහිටි කෝෂය තුළ එක් රැස් වන මෙම තරලය වියළී ගිය පසු එම ස්ථානයේ කැසීමක් ඇති වේ. ඒ අනුව කස්තුරි මුවන් සිය කුරවලින් එම කෝෂය ගසා දැමීමේ දී කස්තුරි සහිත කෝෂය ශරීරයෙන් වෙන් වී බිම වැටේ. ඒ පිළිබඳ අවධානයෙන් සිටීමෙන් කස්තුරි එකතු කර ගත හැකි ය.
වර්තමානය වන විට කස්තුරි එකතු කරන්නෝ මුවන් මරා හෝ ඒවා ලබා ගැනීමට උත්සාහ කරති. ඒ අයුරින් මුවන් මරා දමා කස්තුරි ලබා ගැනීමේ හැකියාවක් නොමැත. එලෙස මෙම මුවන් මැරීමෙන් කස්තුරි ලබාගැනීම කෙසේ වෙතත් මුවන්ගේ බෝවීම වැලැකී යාමෙන් ඒ මහඟු ඖෂධය ලොවට අහිමි වෙයි.
කස්තුරිවලින් ඇති ප්‍රයෝජන – ප්‍රතිකාර ක්‍රම
වාතය, පිත සහ සෙම යන තුන්දොස් කිපීම නිසා ඇති වන රෝග සඳහා යොදා ගන්නා ඖෂධ සකස් කිරීමට භාවිත කරන දෑ අතරින් ඉතා දුර්ලභ මෙන් ම මිල අධික ද්‍රව්‍යයක් ලෙස කස්තුරි හැඳින්විය හැකි ය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දී විවිධ තෙල් වර්ග නිපදවීම සඳහා ද කස්තුරි යොදා ගනී.
අර්ශස් හා ඇදුම රෝග සුව කිරීම සඳහාත්, තරුණ පෙනුම දිගු කලක් රඳවා ගැනීම සඳහාත් කස්තුරි යොදා ගත හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ. ආයු කාලය වැඩි කිරීම සඳහා ද කස්තුරි යොදා ගෙන නිපදවන ඖෂධ ඇතීතයේ පටන් ප්‍රචලිත ව පැවැති බව (මෙහි විද්‍යාත්මක පසුබිම මීට වෙනස් විය හැකි ය) ආයුර්වේද වෛද්‍ය ක්‍රමය පිළිබඳ ව ලියැවුණු පොතපතෙහි සඳහන් වේ. ඊට අමතර ව ක්ෂය රෝගය, දද, කුෂ්ට හා ඇස් පෙනීමේ දුර්වලතා දුරු කිරීමට මෙන් ම අමනුෂ්‍ය දොස් පලවා හැරීමට ද කස්තුරි යොදා ගත හැකි බව කියැවේ.
කස්තුරි පිළිබඳව ආයුර්වේදයට සම්බන්ධ ලියවිල්ලක සඳහන් වන්නේ: “කස්තුරිකාය: ඇසට ප්‍රියයි, තිත්තයි, සුවඳයි, කටුක රසයි, ශුක්‍ර වඩවයි, බරයි වීර්යය වඩයි, ක්ෂාර සහිත රසායනයි, සෙම, පීනස, ඇදුම, මළබද්ධය, වාත, පිපාස, වමන, කාශ ස්වාස යන සියලුම විෂ දුර්ගුණ සමනය කරන ගුණ ප්‍රකාශිතයි,” කියා ය.
සුවඳ විලවුන් කර්මාන්තය
ඊට අමතර ව වර්තමානය වන විට ඉතා ලාභදායී කර්මාන්තයක් බවට පත් ව ඇති සුවඳ විලවුන් කර්මාන්තය සඳහා ද කස්තුරි යොදා ගනී. සුවඳ විලවුන් සකස් කිරීමේ දී අනිකුත් සංඝටක සමග කස්තුරි මිශ්‍ර කරයි. එමඟින් විලවුන්වල සුවඳ වඩාත් තීව්‍ර කර දිගු වෙලාවක් රඳා පවතින සුවඳක් ලැබේ.
මෑත කාලයේ දී පමණක් නොව වසර දහස් ගණනකට පෙර පටන් සුවඳ විලවුන් වර්ග සකස් කිරීම සඳහා කස්තුරි යොදා ගත් බව කියැවේ. සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා කස්තුරි යොදා ගැනීමේ දී ඒවා මද්‍යසාර හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය සමග මිශ්‍ර කරයි.
ව්‍යාජ කස්තුරි
කස්තුරි සඳහා ඇති ඉල්ලුම වැඩි වීම සහ ඒවායේ ඇති දුර්ලභ බව හේතුවෙන් කෘත්‍රිම කස්තුරි නිෂ්පාදනය කිරීමට ඇතැම් පුද්ගලයන් පෙලැඹී තිබේ. කස්තුරි ලෙසින් නම් කරමින් කෘත්‍රිම නිෂ්පාදන සකස් කිරීම සඳහා යව, තිරිඟු, බඩ ඉරිඟු, බෝංචි වැනි ධාන්‍ය වර්ග වියළා කුඩු කර, එළු, ඌරු, බැටලු හෝ කිඹුලන්ගේ අක්මා කොටස් ඊට එක් කිරීමට ඔවුන් කටයුතු කරයි. එහි සුවඳ ද කෘත්‍රිම ආකාරයෙන් නිර්මාණය කිරීමට ඔවුන් සමත් ව ඇත.
සැබෑ කස්තුරි සහ කෘත්‍රිම ඒවා හඳුනා ගැනීම සඳහා අතීතයේ සිට ක්‍රම කිහිපයක් යොදාගෙන තිබේ. පිරිසුදු ජල බඳුනකට දැමූ විට දිය නොවී පවතින්නේ නම් සහ එම ජලයේ ස්වභාවය නොවෙනස්ව පවතී නම් එය සැබෑ කස්තුරි බව කියැවේ. ගින්නට ඇල්ලූ විට නොපිළිස්සී පවතී නම් එය ද ස්වාභාවික කස්තුරි බව සඳහන් වේ. කෘත්‍රිම කස්තුරි යොදාගෙන ඖෂධ සකස් කළහොත් ඒවා යෙදාගෙන කරන ප්‍රතිකාර ද අසාර්ථක වේ.