Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඛනිජ තෙල් වෙනුවට භාවිතයට ගත හැකි විකල්ප ඉන්ධන ප්‍රභව

ඛනිජ තෙල් සොයාගැනීම කාර්මීකරණය හා ප්‍රවාහනයේ දියුණුවට මහඟු පිටිවහලක් වුණා. මෙම ඛනිජ තෙල් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය වසර දහස් ගණනක් තිස්සේ ඓන්ද්‍රීය ද්‍රව්‍ය වියෝජනය වීම නිසා සිදුවන්නක්. වෙනත් ආකාරයකින් පැවසුවහොත් ඩීසල්, පෙට්‍රල් ඇතුළු ඛනිජ තෙල් ආසවනය කරගන්නා බොර තෙල් ස්වභාවිකව නිෂ්පාදනය වීම ඉතා සෙමින් සිදුවන්නක්. වර්තමානය වන විට ලොව ඛනිජ තෙල් පරිභෝජන වේගය ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙයට ආසන්න ලෙස හෝ සරිලන වේගයකින් භූගත ඛනිජ තෙල් සංචිතවල නිෂ්පාදනය සිදු නොවීම නිසා ඒවා ඉකමනින්ම සම්පූර්ණයෙන් අවසන් වීමේ තර්ජනයකට ලක් වී තිබෙනවා. එමෙන්ම මෙම ඉන්ධන දහනය නිසා පරිසරයට එක්වන කාබන් අංශු ප්‍රමාණය ද එන්න එන්නම ඉහළ යනවා.

Shutterstock

21 වන සියවසේ මිනිස් වර්ගයා ප්‍රවාහනය අරබයා මුහුණදෙන ප්‍රධාන ගැටලු අතර ඛනිජ තෙල් සංචිත හිඟ වීම හා ඒවා දහනය හේතුවෙන් පරිසරය දූෂණය වීම ඉහළින්ම තිබෙනවා. මේ නිසා වඩාත් පරිසර හිතකාමී හා තිරසාර වූ විකල්ප ඉන්ධන ප්‍රභව සොයා යන්නට මිනිසුන්ට සිදුවෙලා. මේ එවැනි ප්‍රභව අතරින් වඩාත් උචිතයැ යි පෙනී යන කිහිපයක් පිළිබඳ තොරතුරු යි.

විදුලි බලය

bookonclick.in

අර්ධ වශයෙන් හා ඛනිජ තෙල් භාවිතා කිරීමකින් තොරව සම්පූර්ණයෙන් විදුලි බලයෙන් ධාවනය කළ හැකි වාහන වර්තමානය වන විට නිෂ්පාදනය කර තිබෙනවා. මේවායේ විදුලිබලය ගබඩා කර තබාගත හැකි කෝෂයක් අන්තර්ගත යි. මේ ආකාරයෙන් එන්ජිමට බලය සැපයෙන වාහන පිළිබඳ උනන්දුව වර්තමානය වන විට කෙමෙන් කෙමෙන් වැඩි වෙමින් පවතිනවා. මෑතක දී හඳුන්වා දුන් නිසාන් ලීෆ් වැනි සකසුරුවම් මිලකට ඇති මෝටර් රථවල සිට වඩාත් මිලෙන් ඉහළ විදුලියෙන් දිවෙන ටෙස්ලා එස්. මාදිලියේ වාහනවලටත් ඇති ඉල්ලුම වර්තමානය වන විට පිළිගත හැකි මට්ටමක තිබෙනවා.

ශ්‍රී ලංකාව වැනි රටක වර්තමානය වන විට මෙවැනි මෝටර් රථයක් භාවිතා කිරීමේ දී ප්‍රායෝගික ගැටළු කිහිපයක් බලපවත්වනවා. ඉන් ප්‍රධානම එකක් වන්නේ මෙවැනි මෝටර් රථ ආරෝපණය කිරීම සඳහා රට පුරා විහිදී ඇති මධ්‍යස්ථානවල අඩුවක් දක්නට ලැබීම යි. අනෙක් අතකින් කලබලකාරී දිවියක් ගත කරන අයවලුන්ට මේවැනි මෝටර් රථ නැවත ආරෝපණය කිරීමට යම් වේලාවක් ගතවීමත් ගැටලුකාරී වෙනවා. උදාහරණයක් ලෙස යමෙක් කොළඹ සිට යාපනයට ගමන් කිරීමේ දී එක්වරක් හෝ මෙවැන්නක් නැවත ආරෝපණය කළ යුතු වෙන අතර ඛනිජ තෙල් නැවත පිරවීමේ දී මෙන් නොව වැඩි වේලාවක් ඒ සඳහා ගත කරන්නට සිදුවෙනවා.

හිරු එළිය

Toyota/ engineering.com

හිරු එළියත් ඛනිජ තෙල් වෙනුවට අත්හදා බැලෙන පරිසර හිතකාමී ඉන්ධන ප්‍රභව අතර ඉහළින්ම තිබෙනවා. පසුගිය දිනෙක ඕස්ට්‍රේලියාවේ දී සම්පූර්ණයෙන් හිරුඑළියෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් අත්හදා බැලුණා. මෙය ද හිරුඑළියෙන් නිපදවෙන ශක්තිය ගබඩා කරගත හැකි බැටරියකින් පොහොසත්.

හිරු එළිය ද මෝටර් රථ ඉන්ධනයක් ලෙස යොදාගැනීමේ දී ප්‍රායෝගික ගැටලු කිහිපයක් උද්ගත වෙනවා. ඉන් පළමුවැන්න හිරු එළියෙන් විදුලිය නිෂ්පාදනය කිරීමට වැඩි වර්ගඵලයක සූර්යය පනේල භාවිතා කළ යුතු වීම යි. ශ්‍රී ලංකාව වැනි හිරුඑළිය යහමින් ලැබෙන රටක එය යම්තාක් දුරකට සාර්ථක වූවත් ධ්‍රැවාසන්න රටවලට ලැබෙන සූර්යය ශක්තිය අවම නිසා ලෝක මට්ටමෙන් මේවා භාවිතා කිරීමේ දී ගැටලු උද්ගත වෙනවා. එවැන්නක දී වාහනය ධාවනය කිරීමට සරිලන විදුලි බලයක් උත්පාදනය කිරීම සඳහා වැඩි වපසරියක සූර්යය පනේල භාවිතා කළ යුතු වෙනවා. අනෙක් අතට වැසි හා රාත්‍රී කාලවල දී මෙවැන්නක් නොනවත්වා ධාවනය කිරීමේත් ප්‍රායෝගික ගැටලු තිබෙනවා.

හුමාලය

steamcar.net

මෝටර් රථ ඉන්ධනයක් ලෙස හුමාලය යොදාගැනීමේ ඉතිසාසය වසර සියයකටත්  වඩා ඈතකට දිවයනවා. ක්‍රි.ව. 1899 -1905 අතර හුමාලයෙන් දිවෙන එන්ජින් සහිත මෝටර් රථ නිෂ්පාදනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ස්ටැන්ලි’ සමාගමේ මෝටර් රථ සාර්ථකව අලෙවි වුණා. පසුකාලීනව මේවා භාවිතයෙන් ඉවත් වීමට හේතු වූයේ හුමාලයෙන් ගමන් ගන්නා වාහනවල ඉතා බරැති බොයිලේරු තිබූ නිසා යි.

වර්තමානය වන විට හුමාලයෙන් දිවෙන එන්ජින් පිළිබඳව ලෝක අවධානය නැවත යොමු වීමට හේතු වී ඇත්තේ ඒවා එක අතකින් ප්‍රවාහන කර්තව්‍යය සිදුකරන අතර, අනෙක් අතකින් මේවාට අවශ්‍ය තාපය සැපයීම විවිධ අපද්‍රව්‍ය දහනයෙන් ද සිදු කළ හැකි නිසා යි. පසුකාලීනව හෙවත් 1969 වසරේ දී නැවත හුමාල දහන එන්ජිමක් අත්හදා බැලුණත් එයට අභ්‍යන්තර දහන එන්ජින්වල කාර්යක්ෂ්මතාවයට ලඟා වීමට නොහැකි වුණා. 2009 දී පැයට කි.මී. 130කට වඩා වේගයෙන් යා හැකි මෝටර් රථයක් නිෂ්පාදනය කෙරුණත් එය ටොන් 3කට වඩා බරෙන් යුක්ත වූ අතර, හුමාලය සංසරණය කරවන බට පද්ධතිය සැතපුම් දෙකකට වඩා දිගින් වැඩි වුණා.

ද්‍රව බවට පත් කරන ලද හෝ සම්පීඩනය කරන ලද ස්වභාවික වායු

auto.howstuffworks.com

ද්‍රව බවට පත් කරන ලද හෝ සම්පීඩනය කරන ලද ස්වභාවික වායුවලින් දිවෙන වාහන කාර්යක්ෂ්මතාවය අතින් ඛනිජ තෙල්වලට සමාන වූවත් ඒවා මගින් පරිසරයට මුදාහැරෙන කාබන් අංශු ප්‍රමාණයේ සැලකිය යුතු අඩු බවක් තිබෙනවා. වර්තමානය වන විට ලොව පුරා ස්වභාවික වායු මගින්  දිවෙන මෝටර් රථ දහස් ගණනක් භාවිතා වෙනවා. මේවායින් බහුතරය බර වාහන වෙනවා. හොන්ඩා සමාගම 1998 දී ස්වභාවික වායු මගින් දිවෙන සිවික් මාදිලියේ කාරයක් ලොවට හඳුන්වා දුන්නා. කෙසේ නමුත් එය එක්වරම ප්‍රචලිත නොවූයේ ස්වභාවික වායු ලබාගැනීමේ ප්‍රායෝගික අපහසුතා හා කාර්යයක්ෂ්මතාවය ඛනිජ තෙල්වලින් දිවෙන වාහනවලට සාපෙක්ෂව අඩු බවක් පෙන්වූ නිසා යි.

ජෛව ඩීසල්

earthhabitat.wordpress.com

ජෛව ඩීසල් නිෂ්පාදනය කරනු ලබන්නේ එළවළු තෙල්, සත්ත්ව මේදය හා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඓන්ද්‍රීය ද්‍රව්‍ය වැනි දේ වලිනුයි. මේවා සාමාන්‍ය ඩීසල්වල ඔක්ටේන් අගය වැඩි කිරීමට යොදාගැනෙන අතර මේ හේතුවෙන් ඒවා වඩාත් පරිසර හිතකාමී ලෙස දහනය වෙනවා. බොහෝ විට මෙලෙස සාමාන්‍ය ඩීසල් හා මුසුව භාවිතා කෙරුණත් සම්පූර්ණයෙන්ම ජෛව ඩීසල් යොදාගෙන ද සාමාන්‍ය ඩීසල් එන්ජින් ක්‍රියාවේ යෙදවිය හැකියි.

කවරයේ පින්තූරය – newscenter.lbl.gov

Related Articles