මතු යම් දෙනෙක පෘථිවි තලයෙන් මිනිස් වර්ගයා සම්පූර්ණයෙන් ම තුරන් වී යා හැකි අයුරු මෙන් ම ලෝකය විනාශ විය හැකි ආකාරය ගැන ද පසුගිය ලිපියකින් අපි සාකච්ඡා කළා. මෙසේ ලෝක විනාශය සිදු විය හැකි අවස්ථාවන් ගණනය කළ නොහැකි තරම් ප්‍රමාණයෙන් විශාල යි. නමුත් මේ අතරින් අනාගතයේ දී සිදු වීමේ ඉහළ සම්භාවිතාවයක් පවතින් සිදුවීම් කිහිපයක් ගැන තොරතුරු සෙවීමට විද්‍යාඥයින් පිරිසක් දැඩි කැපවීමෙන් කටයුතු කරනවා.
ලෝක විනාශය ගැන තොරතුරු සොයන කණ්ඩායම සැකසී ඇත්තේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අනුභූතී අවදානම් අධ්‍යයන මධ්‍යස්ථානයේ (Centre for the Study of Existential Risk) සහ බුද්ධියේ අනාගතය පිළිබඳ ලීවර්හියුම් මධ්‍යස්ථානයේ (Leverhulme Centre for the Future of Intelligence) සේවය කරන තම ක්ෂේත්‍රයේ ඉහළට ම උගත් විද්‍යාඥයින්, නීතීඥයින්, දර්ශනවාදීන් සහ අනෙකුත් විද්වතුන්ගෙන්. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ ලෝක විනාශයක් ඇති වීමේ අවදානමක් ඇති විට ශිෂ්ටාචාරයන් රැක ගැනීම සඳහා අනුගමනය කළ හැකි සාර්ථක ක්‍රමවේදයන් හඳුනා ගැනීම යි.
ඒ අනුව ලෝක විනාශය සහ මනුෂ්‍ය ප්‍රජාව පෘථිවියෙන් තුරන් වී යා හැකි ආකාරය ගැන ඔවුන් ඉදිරිපත් කර ඇති තවත් පුරෝකථන කිහිපයක් ගැන තොරතුරු යි මේ.
දිනෙන් දින ඉහළ යන දේශගුණික විපර්යාස
කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අනුභූතී අවදානම් අධ්‍යයන මධ්‍යස්ථානයේ (Centre for the Study of Existential Risk) සිදු වන පර්යේෂණයන් අතර ඉහළ ම අවධානයක් යොමු වී ඇති මාතෘකාවක් ලෙස දිනෙන් දින ම ඉහළ යන ගෝලීය උෂ්ණත්වය හඳුන්වා දිය හැකි යි. කාර්මික විප්ලවයේ පැවති සමයේ සිටි ම මිනිසාට එල්ල වූ චෝදනාවක් තමයි පෘථිවි වායුගෝලය සතු ක්‍රමවත් තුලනය සඳහා අනවශ්‍ය ලෙස මැදිහත් වෙමින් එහි අසමතුලිත බවක් ඇති කරන බව. ෆොසිල ඉන්ධන දහනය හේතුවෙන් වායුගෝලයට එක් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙන් ම අනෙකුත් හරිතාගාර වායු ප්‍රමාණය ද ඉහළ ගොස් ඇත්තේ දරා ගත නොහැකි උෂ්ණත්වයක් පවතින බවට මෙන් ම පෘථිවිය වටා විෂ වායු පටලයක් නිර්මාණය වෙමින් පවතින බවට රතු එළි නිකුත් කරමින්.
නාසා ආයතනය මගින් නිකුත් කරන ලද දත්තවලට අනුව ලෝක ඉතිහාසයේ ඉහළ ම උෂ්ණත්වයක් සහිත වර්ෂය ලෙස සැලකෙන්නේ 2016 යි. ඔවුන් පෙන්වා දෙන ආකාරයට පෘථිවියේ සමස්ත (ගොඩබිමේ සහ මුහුදේ) උෂ්ණත්වය 20 වැනි සියවසට සාපේක්ෂ ව 0.94°C කින් ඉහළ ගොස් තිබෙනවා. මෙය වහා ම නතර කිරීමට කටයුතු නොයෙදුවහොත් වාෂ්පීකරණය වැඩි වීම නිසා ඝන වලාකුළු ආවරණයක් ඇති වන අතර වලාකුළු ශක්තිමත් පරිවාරක වන බැවින් උෂ්ණත්වය වැඩි වීම උග්‍ර වනු ඇති බවට ඔවුන් මත පළ කරනවා. මේ හේතුවෙන් සාගරයේ ඇති පාෂාණ තුළ ගබඩා වී ඇති කාබන් ඩයොක්සයිඩ් අස්ථායී බවට පත් වී නිදහස් වුවහොත් මෙම ගැටලුව තව තවත් උග්‍ර විය හැකි යි. ඒ අනුව ක්‍රමයන් පෘථිවියේ උෂ්ණත්වය අංශක සිය ගණනකින් ඉහළ යන්නේ ඒ මත ජීවයකට පැවතීමට ඇති අවස්ථාවන් අහිමි කරමින්.
ආහාර හිඟතාවය
දැනට පුරෝකථනය කර ඇති අන්දමට 2050 වර්ෂයේ දී ලෝක ජනගහනය බිලියන 9.8 ක් වනු ඇත. ඒ අනුව ආහාර හිඟතාවයක් ඇති නොවීමට නම් ඉහළ යන ජනගහනයට සමානුපාතිකව ඉදිරි වසර 30 ක කාලය තුළ දී ලෝක ආහාර නිෂ්පාදනය 70% කින් ඉහළ නැංවිය යුතු බවට විද්‍යාඥයින් මත පළ කරනවා. නමුත් ප්‍රායෝගික ව මතු වී ඇති ගැටලුවක් වන්නේ ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ශිල්පීය ක්‍රම බොහෝමයක් ෆොසිල ඉන්ධන මත රඳා පැවතීම යි. එයට අමතර ව පාංශු ඛාදනය වැනි සාධක හේතුවෙන් වගා කළ හැකි භූමි ප්‍රමාණය ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා.
එසේ ම ආහාර හිඟතාවය සඳහා බලපාන තවත් වැදගත් හේතුවක් වන්නේ මිනිසා විසින් ආහාරයට ගන්නා ද්‍රව්‍යවල ස්වභාවය යි. මේ වන විට සත්ත්ව මාංශ ආහාරයට ගැනීම අඩු කිරීමට ද ධාන්‍ය හා එළවළු වැඩි වශයෙන් ආහාරයට ගැනීමට ද ප්‍රවණතාවයක් පවතිනවා. කෙසේ වෙතත් මෙයට පිළියමක් ලෙස බෝග සංවර්ධකයන් විසින් ඕනෑම ස්ථානයක වගා කළ හැකි බෝග වර්ග නිර්මාණය සඳහා යොමු වී ඇති අතර විද්‍යාඥයින්ගේ මතය වන්නේ ඒ මගින් අදාල බෝග අතර නොයෙකුත් රෝග පැතිරී යාමේ අවදානමක් ඇති වනු ඇති බව යි. උදාහරණයක් ලෙස එවැනි අවස්ථාවක දී වැඩි අස්වැන්නක් වෙනුවට ඇතැම් විටෙක දිලීර ආසාදනයක් හේතුවෙන් තිරිඟු වගාව සම්පූර්ණයෙන් ම ලෝකයෙන් තුරන් විය හැකි බවට ඔවුන් මත පළ කරනවා.
මෙවැනි තත්ත්ව හේතුවෙන් 2020 වන විට ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති අතර 21 වැනි සියවසේ මැද වන විට සංවර්ධනය වෙමින් පවතින රටවල උග්‍ර ගැටලුව වනු ඇත්තේ ආහාර හිඟතාවය යි.
විශ්වය රික්තයක් තුළ ඇදී ගියොත්
ලෝකයේ අවසානය ගැන පවතින තවත් පුරෝකථනයක් වන්නේ අත්වැරදීමක් හේතුවෙන් සුපිරි ඝට්ටන පර්යේෂණයක (supercollider experiments) ප්‍රතිඵලයක් ලෙස පෘථිවිය විනාශ වනු ඇති බව යි. විද්‍යාඥයින් මෙම මතයට පැමිණ ඇත්තේ විශ්වයේ ආරම්භය සහ ජීවය පිළිබඳ ව පිළිතුරු නොලද ගැටලු විසඳා ගැනීම සඳහා ස්විට්සර්ලන්තයේ ජීනීවා හි ඇති න්‍යෂ්ටික පර්යේෂණයන් සඳහා වන යුරෝපීය සංවිධානය හෙවත් CERN හි සිදු කරන ලබන පර්යේෂණ ගැන අවධානය යොමු කරමින්.
දැනට ලෝකය සතු වන විශාලත ම සහ බලවත් ම අංශු ත්වරකය (particle accelerator) ලෙස සැලකෙන Large Hadron Collider (LHC), න්‍යෂ්ටික පර්යේෂණයන් සඳහා වන යුරෝපීය සංවිධානය සතු වෙනවා. අංශුවල ශක්තිය වැඩි කිරීම සඳහා එය සතු ව ත්වරණ ව්‍යුහ සැලකිය යුතු ප්‍රමාණයක් ඇති අධිසන්නායක චුම්බක සහිත සැතපුම් 17 ක් දිගින් යුතු වළල්ලක් පවතිනවා. ත්වරකය තුළ දී අධි ශක්ති අංශු ද්විත්වයක් එකිනෙක හා ගැටෙන තුරු ආලෝකයේ වේගයට සමාන වේගයකින් ගමන් කිරීම සිදු වෙනවා. තවමත් ඝට්ටනය වී නැති එම අංශු දෙක, යම් අවස්ථාවක දී ගැටුණහොත් වසර බිලියන 13.8 පෙර දී මහා පිපිරුම් වාදයෙන් පසු ව විශ්වය නිර්මාණය වීමට සමාන අවස්ථාවක් ඇති වනු ඇති බව සැලකෙනවා.
ඇතැම් විද්‍යාඥයින් මත පළ කරන්නේ එවැනි අවස්ථාවක දී කළු කුහර ඇති විය හැකි බවත්, එහි දී ඇති වන රික්තය අවට ඇති පදාර්ථයන් ගිල ගැනීමේ දී සමහර විට සමස්ත විශ්වය ම එයට ඇදී යාම තුළින් ලෝක විනාශය සිදු විය හැකි බව යි. එය ක්‍රියාදාමය රික්තක ක්ෂය වීම (vacuum decay) ලෙස හඳුන්වනු ලබනවා. එසේ ම මෙවැනි සුපිරි ඝට්ටනයක අතුරු ප්‍රතිඵලයක් ලෙස ‘strangelets’ ලෙස නම් කර ඇති කල්පිත අනු පරමාණුක අංශු නිර්මාණය විය හැකි බව රාජකීය තාරකා විද්‍යාඥ තනතුර දරන මාටින් ජෝන් රීස් ප්‍රකාශ කර තිබෙනවා. මේවාට සෑම දෙයක් ම වෙනස් ම පදාර්ථයකට පෙරළීමේ හැකියාව ඇති අතර ඒ මගින් සමස්ත පෘථිවියේ ම සැකසීම වෙනස් වීම තුළින් එය විනාශ විය හැකි බව සැලකෙනවා.
දැවැන්ත සුනාමියක්
2004 දෙසැම්බර් 26 වැනි දින ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවකට දරුණු හානි සිදු කළ සුනාමිය අමතක කෙනෙක් නොමැති තරම්. එයින් හානි සිදු වුණේ වෙරළබඩ නගරවලට පමණක් වුවත් අනාගතයේ දී පැමිණිය හැකි දැවැන්ත සුනාමියකට ලෝකයේ රටවල් බොහෝමයක් විනාශ කළ හැකි බවට මේ වන විට අනාවැකි පළ වී තිබෙනවා. බොහෝ විට මෙවැනි දැවැන්ත සුනාමි රළක් අඩි දහස් ගණනක් උස විය හැකි අතර අතිධ්වනි වේගයෙන් ගොඩබිමට කඩා වැදිය හැකි යි. මෙවැනි සුනාමියක් බොහෝ විට සිදු වනු ඇත්තේ දැවැන්ත නාය යාමක් හෝ ග්‍රාහක ගැටීමක් නිසාවෙන්.
අනාගතයේ දී මෙවැනි දැවැන්ත සුනාමියක් ඇති වුවහොත් යුරෝපයේ මෙන් ම ඇමෙරිකාවේ දී රටවල් බොහෝ ගණනක් ලෝක සිතියමෙන් මැකී යා හැකි බවට යි සැලකෙන්නේ. එවැනි අවස්ථාවක දී පෘථිවියේ ඇති ඉදි කිරීම් සියල්ල ම විනාශ වනු ඇත්තේ මිනිස් ප්‍රජාව සම්පූර්ණයෙන් ම තුරන් කරමින්.
වැඩිදුර මූලාශ්‍ර
- wired.co.uk
කවරයේ පින්තූරය : sefinsalatasi.blogspot.com