වාමන ග්‍රහලෝක පිළිබඳව ලෝකයා දැනුවත් වූයේ ඉතාම මෑතකයි. එකළ ග්‍රහලෝකයක් ලෙස සැළකුණු ප්ලූටෝ ට ඔබ්බෙන් අප සෞරග්‍රහමණ්ඩලයට අයත්ව කිසිදු ග්‍රහලොවක් සොයාගෙන නොතිබුණු අතර නවීන තාක්ෂණයේ පිහිටෙන් ප්ලූටෝ හා සමාන ග්‍රහ වස්තූන් කිහිපයක්ම ප්ලූටෝගේ කක්ෂයට එපිටින් සොයා ගැනීමත් සමඟ ‘වාමන ග්‍රහලෝක‘ යන යෙදුම කරළියට පැමිණියා. අවසානයේ ප්ලූටෝත් වාමන ග්‍රහලෝක කුලකයට වැටුණු අතර මෙලෙස සොයාගත් ග්‍රහ වස්තූන් අතරින් හවුමෙයා හා මකෙමකේ ගැන තොරතුරු පසුගිය ලිපි දෙකකින් අපි ඔබ වෙත ගෙන ආවා.
මෙලෙස හඳුනාගත් වාමන ග්‍රහලෝක අතරින් ඊරිස් ඉතාම විශේෂිත වෙනවා. ඒ දැනට සොයාගෙන ඇති වාමන ග්‍රහලෝක වලින් හිරුට දුරස්ම කක්ෂය දැරීම නිසා පමණක් නොවේ.
ඊරිස් පිළිබඳ මූලික තොරතුරු
ග්‍රීක දේවතාවියක වන ඊරිස්ගේ නමට අනුව නම් කරන ලද ඊරිස් සෞරග්‍රහ මණ්ඩලයේ පිටත ප්‍රදේශයෙහි ඇති කුයිපර් පටියේ පිහිටා තිබෙනවා. මෙය ප්‍රමාණයෙන් හා ව්‍යුහයෙන් ප්ලූටෝට ඉතා සමාන අතර මෙහි විෂ්කම්භය කිලෝමීටර 2,326-2,370 ලෙස ගණනය කර තිබෙනවා. කෙසේ නමුත් මෙය ප්ලූටෝට වඩා 27% ක් බරෙන් වැඩි බව නිර්ණය කර තිබෙනවා. මේ නිසා මෙය තුනී අයිස් ආවරණයකින් වට වූ පාෂාණමය වාමන ලොවක් ලෙස සැලකෙනවා.
දැනට සොයාගෙන ඇති වාමන ග්‍රහලෝක අතුරින් විශාලතම කක්ෂයට හිමිකම් කියන්නේ ඊරිසුයි. සෞරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය ඇතුළු අනෙක් ග්‍රහලෝක පිහිටන තලයෙන් අංශක 44ක් පමණ ආනත වූත් ඉලිප්සාකාර වූත් මෙය ඔස්සේ සූර්යයා වටා එක් වටයක් යාමට ඊරිස්ට පෘථිවි වසර 561 ක් පමණ ගත වෙනවා. හිරුට ආසන්නම අවස්ථාවේදී සූර්යයාට කිලෝමීටර බිලියන 5.8 කින් හෙවත් අභ්‍යාවකාශ ඒකක 38ක්ද උපරිම දුරකින් පිහිටන විට කිලෝමීටර බිලියන 14.6 කින් හෙවත් අභ්‍යාවකාශ ඒකක 97ක් ද හිරුගෙන් දුරස්ව ස්ථානගත වන ඊරිස්ගේ එක දිනයක් හෙවත් එක් වරක් සිය අක්ෂය වටා භ්‍රමණය වීමට ගත වන කාලය පෘථිවි පැය 25.9ක් වෙනවා.
ඊරිස් සොයා ගැනීම
ඊරිස් මුලින්ම නිරීක්ෂණය වන්නේ 2005 වසරේදී යි. 2003 UB313 ලෙස ආරම්භයේ දී නම් කෙරුණු ඊරිස් මුලින්ම නිරීක්ෂණය වූ විට නිගමනය වූයේ එය ප්ලූටෝට වඩා කිහිප ගුණයක් විශාලත්වයෙන් වැඩි ග්‍රහලොවක් වනු ඇති බවයි. කෙසේ නමුත් ඉක්මනින්ම එය ඒ තරම විශාල නැති බවත්, ප්‍රමාණයෙන් ප්ලූටෝ හා සමාන බවත් සොයා ගැනුණා.
පෘථිවිය හා සූර්යයාගෙන් ඉතා දුරින් පිහිටා ඇති නිසා තාරකා විද්‍යාඥයින්ට ඊරිස් නිරික්ෂණය කිරීම අපහසු වුණා. කෙසේ නමුත් 2010 වසරේදී එය තාරකාවක් ඉදිරියෙන් ඇදී යාම නිසා එම තාරකාවේ ප්‍රභා මණ්ඩලය ඔස්සේ මේ වාමන ග්‍රහලොව වඩා හොඳින් නිරීක්ෂණය කිරීමට ඔවුනට හැකි වුණා. මේ අනුව එය හවුමෙයා මෙන් නොව ගෝලාකාර බවත්, එහි බර හා ප්‍රමාණය වැනි තොරතුරු උකහා ගත හැකි දත්තත් සටහන් කරගනු ලැබුණා.
ඊරිස් පිළිබඳ විශේෂිත තොරතුරු
ඊරිස් ගේ පෘෂ්ඨය ඉතාමත් දීප්තිමත් එකක් ලෙස සැලකෙනවා. ඊරිස් වෙත වැටෙන ආලෝකයෙන් 96% ක්ම එය විසින් පරාවර්ථනය කරනු ලබනවා. මේ නිසා ඊරිස් අප සෞරග්‍රහ මණ්ඩලයෙහි වාර්තමානය වන විට ගවේෂණය කර ඇති ග්‍රහ වස්තූන්ගෙන් හොඳින්ම ආලෝකය පරාවර්ථනය කරන ග්‍රහ වස්තුවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ අනුව යමින් විද්‍යාඥයින් පවසන්නේ මෙහි පෘෂ්ඨයෙහි මිදුණු මීතේන් වායුව මුසු වූ නයිට්‍රජන් වලින් සාරවත් තුනී අයිස් තට්ටුවක් ඇති බවයි. මෙලෙස අයිස් තට්ටුවක් නිර්මාණය වීමට හේතු ලෙස ඔවුන් දක්වන්නේ ඉලිප්සීය කක්ෂයක් දරන ඊරිස් සූර්යයා ගෙන් ඈත් වන විට එහි වායුගෝලය ඝණීභවනය වී මතුපිට තැන්පත් වීම බවයි.
ඊරිස් ගේ මතුපිට උෂ්ණත්වය පිළිබඳවද විද්‍යාඥයින් මත පල කර තිබෙනවා. ඊරිස් හි හිරුට මුහුණලා ඇති කොටසේ මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක ඍණ 396 හෙවත් සෙල්සියස් අංශක ඍණ 238 බොහෝ විට නොඉක්මවන බවත් අනෙක් කොටසේ උෂ්ණත්වය ඊටත් වඩා පහළ අගයක තිබිය යුතු බවටත් ඔවුන් විසින් නිර්ණය කොට තිබෙනවා.
ඊරිස්ගේ චන්ද්‍රයා
ඊරිස් සතුව එක් චන්ද්‍රයෙක්ද සිටිනවා. එයට නම් තබා ඇත්තේ තවත් ග්‍රීක දේවතාවියක් වන ඩිස්නෝමියාගේ නාමයෙන්. ග්‍රීක දේව කතාවලට අනුව ඩිස්නෝමියා ඊරිස්ගේ දුවණියයි. මේ චන්ද්‍රයා සොයා ගැනීමත් සමඟම ඊරිස් පිළිබඳව වඩා සවිස්තර හා නිවැරදි තොරතුරු සොයා ගැනීම විද්‍යාඥයින්ට තවත් පහසු වුණා. මෙහි ප්‍රමාණය පිළිබඳව මතභේද පවතිනවා. මුලින්ම එහි විෂ්කම්භය කිලෝමීටර 350-490 අතර ඇති ලෙස සැලකුණත් නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එහි විෂ්කම්භය කිලෝමීටර 685ක් පමණ වන බවයි.
ඩිස්නෝමියා පෘථිවි දින 15.77 කින් ඊරිස් වටා එක් වටයක් ගමන් කරනවා. මෙහි කක්ෂයේ පරිධිය කිලෝමීටර 37350 ක් පමණ වනු ඇතැයි සැලකෙනවා. ඊරිස් මත කුයිපර් පටියේ තිබූ ග්‍රාහක කැබැල්ලක් ඝට්ටනය වීමෙන් ඩිස්නෝමියා සම්භවය වී ඇතැයි සැලකෙනවා.
ඊරිස් පිළිබඳ නවතම තොරතුරු
ඊරිස් හා පෘථිවිය අතර ඇති ඇති විශාල දුරත් එය අප චන්ද්‍රයාටද වඩා කුඩා ප්‍රමාණයෙන් යුතු ග්‍රහ වස්තුවක් වීමත් යන කාරණා නිසා විද්‍යාඥයින්ට ඊරිස් නිරීක්ෂණය කිරීමට හැකි වී තිබෙන්නේ කඩින් කඩයි. 2017 වසරේ දකුණු ඇමෙරිකා මහාද්වීපයේ අටකාමා කාන්තාරයේ පිහිටුවා ඇති අල්මා නිරීක්ෂණ මධ්‍යස්ථානය හා හර්ෂල් අභ්‍යාවකාශ නිරීක්ෂණ මධ්‍යස්ථානය මඟින් සිදුකළ නිරීක්ෂණ ඔස්සේ මේ වාමන ග්‍රහලොව පිළිබඳව නවතම තොරතුරු ගොන්නක් සොයා ගැනීමට මේ වන විට ඔවුනට හැකි වී තිබෙනවා.
දැනට ලැබී ඇති තොරතුරු අනුව ඊරිස්ගේ මතුපිට පෘෂ්ඨය හා කබොල ක්‍රියාකාරී මට්ටමක පැවතීමේ ඉතා වැඩි සම්භාවිතාවක් තිබෙනවා. එනම් පෘථිවි කබොලේ ඇති ක්‍රියාකාරී ගිනිකඳු මෙන් පිහිටීම් ඊරිස් හිද තිබිය හැකියි. මේ පිළිබඳ තව දුරටත් පර්යේෂණ කරමින් පවතින අතර නුදුරු අනාගතයේදී ඒ පිළිබඳ නිවැරදිම තොරතුරු ලොවට හෙළි කිරීමට විද්‍යාඥයින් සැදී පැහැදී සිටිනවා.
ඊරිස් මෙන්ම අනෙකුත් බොහෝ වාමන ග්‍රහලෝක පිළිබඳව පෘථිවි වාසීන් විසින් දැනට හෙළි කරගෙන ඇති කරුණු ඉතා අල්පයි. බොහෝ විට දැනට සොයාගෙන ඇති වාමන ග්‍රහලෝක ගොන්නට එපිටින් තවමත් හඳුනාගෙන නොමැති ග්‍රහ වස්තු රාශියක් අප සූර්යයා වටාම කක්ෂ ගත වී තිබිය හැකියි. දිනෙන් දින අළුත් වන අභ්‍යාවකාශය හා තාරකා විද්‍යාව ගැන තොරතුරු අධ්‍යයනය කිරීම ඉතාම රසවත් මාතෘකාවක් වී තිබෙන්නේ ඒ නිසායි.
කවරයේ පින්තූරය – space-engine.wikia.com