මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම තරුව, යූ වයි ස්කුටි

විශ්වයේ ඉමක් කොණක් මේ වන තුරු කිසිවෙකුත් හඳුනාගෙන නැහැ. පෘථිවිය යනු විශ්වයට සාපේක්ෂව ගත් කල නොගිනිය හැකි තරම් කුඩා අංශුවක්. පෘථිවියට සාපේක්ෂව සූර්යයා ඉතා විශාල වුව ද මේ විශ්වයේ ඊටත් වඩා දස දහස් ගුණයෙන් විශාල තාරකා පිහිටා තිබෙනවා. මින් සමහරක් පිළිබඳව නිසි ගණන් මිමි සෑදීම ද අසීරු යි.

දිනෙන් දින විද්‍යාව දියුණු වන විට විශ්වයෙහි තොරතුරු වැඩි වැඩියෙන් ගවේෂණය කරන්නට මානවයා පෙළඹුණා. මේ නයින් නවීන යුගයේ දී සෞරග්‍රහමණ්ඩලයෙන් ඔබ්බෙහි ඇති ග්‍රහ වස්තු, තාරකා හා චක්‍රාවාට පිළිබඳව අධ්‍යයනය කරන්නට ඔවුන් පෙළඹුණා. මෙහිදී ඔවුනට සුවිශාල තාරකා වැනි දෑ පිළිබඳව අධ්‍යයනය කරන්නට ලැබුණා.

විද්‍යාඥයින් විසින් එතෙක් මෙතෙක් සොයාගෙන ඇති විශාලතම තාරකාව වන්නේ ‘යූ වයි. ස්කුටි නම් තාරකාව යි. මෙහි ගණන් මිමි ප්‍රකාශයට පත් කළ දින ලොව බොහෝ දෙනාගේ දෙබැම රැළි නැංවුණා.

යූ වයි ස්කුටිහි පිහිටීම

යූ වයි ස්කුටි- deviantart.com/ NapsRS

යූ වයි ස්කුටි නම් සුවිශාල තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 9500ක් පමණ ඈතිනුයි. සුවිශාල රතු යෝධයෙකු වන මෙය මුලින්ම අධ්‍යයනය කර තිබෙන්නේ 1860 වසරේ දී ජර්මානු විද්‍යාඥයින් පිරිසක් විසිනුයි. කෙසේ නමුත් එකල තාක්ෂණයට අනුව එහි විශාලත්වය නිසියාකාරව නිර්ණය කරන්නට ඔවුනට නොහැකි වූ අතර, එය BD -12 5055 නමින් හැඳින්වුණා. 2012 වසරේ දී චිලියේ අටකාමා කතරෙහි ඇති නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් කළ අධ්‍යයනයකට අනුව මෙහි නියම විශාලත්වය හෙළි වූ අතර, එය නිල වශයෙන් මෙතෙක් සොයාගෙන ඇති විශාලතම තරුව බවට පත් වුණා. මෙහි දීප්තිය පෘථිවි දින 740කට වරක් වෙනසකට බඳුන් වෙනවා.

තාරකාවේ විශාලත්වය

දැනට කරන ලද අධ්‍යයනයන්ට හා නිමානය කිරීම්වලට අනුව යූ වයි ස්කුටි තාරකාවේ අරය ආසන්න වශයෙන් අප සූර්යයාගේ අරය මෙන් 1,700 ගුණයක් පමණ වෙනවා. මෙය දළ වශයෙන් සැතපුම් 1, 200,000,000 ක පමණ අගයක්. එමෙන්ම මෙහි පරිමාව අප සූර්යයා මෙන් බිලියන කිහිප ගුණයක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. මෙහි විශාලත්වය පහත පරිදි අවබෝධ කරගත හැකියි.

පෘථිවිය අඟල් 8ක විෂ්කම්භය සහිත ගෝලයක් යැයි උපකල්පනය කළහොත් අප සූර්යයාගේ විෂ්කම්භය අඩි 73ක් පමණ වෙනවා. එසේම යූ.වයි ස්කුටි හි විෂ්කම්භය අඩි 125,000ක් පමණ වෙනවා. මෙය සැතපුම් 24කට ආසන්න අගයක්. සරලවම පැවසුවහොත් යූ වයි ස්කුටි හි විෂ්කම්භය අභ්‍යාවකාශ ඒකක 7ක් හෙවත් සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර මෙන් 7 ගුණයක් පමණ වෙනවා.

යූ වයි ස්කුටි අප සූර්යයා වෙනුවට ප්‍රතිස්ථාපනය කළහොත්?

සූර්යයාට සාපේක්ෂව යූ වයි ස්කුටි- ourplnt.com

ලිපියේ ඉහත සඳහන් කළ පරිදි යූ.වයි ස්කුටි තාරකාවේ අරය පමණක් අභ්‍යාවකාශ ඒකක 7ක් පමණ වෙනවා. මේ හේතුව නිසා යම් හෙයකින් අප සූර්යයා පිහිටන ස්ථානයේ මේ තාරකාව පිහිටියේ නම් සෞරග්‍රහමණ්ඩලයේ පළමු ග්‍රහලෝක 5 වන බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු හා බ්‍රහස්පති යන සියල්ලම එයට බිළි වනු ඇති. එමෙන්ම ඉන් නිකුත් වෙන රැස් සෙනසුරු වෙත ද වදිනු ඇති අතර ජීවයට සුදුසු කලාපය හෙවත් ගෝල්ඩිලොක්ස් කලාපය ප්ලූටෝට ඔබ්බෙන් පිහිටනු ඇති.

යූ වයි ස්කුටි තාරකාව එතෙක් මෙතෙක් හඳුනාගත් විශාලතම තාරකාව ලෙස ගෞරවයට පාත්‍ර වුව ද එය බරින් වැඩිම තාරකාව නොවේ. එහි ඝණත්වය අඩු බවට සැලකෙන අතර එය අප සූර්යයා මෙන් 30 ගුණයක් පමණක් බරෙන් යුතු වෙනවා. මෙතෙක් හඳුනාගෙන ඇති බරින් වැඩිම තාරකාව ලෙස සැලකෙන R136a1 අප සූර්යයා මෙන් 300 ගුණයක් පමණ බරින් වැඩි වන අතර එහි අරය සූර්යයා මෙන් 30 ගුණයක් පමණ වෙනවා.

යූ වයි. ස්කූටිට තරගයක් දෙන තරු

තාක්ෂණය දිනෙන් දින දියුණු වන අතර මේ හේතුවෙන් ආසන්න වශයෙන් අනුමාන කරන සමහර දේවල සැබෑ අගයන් මඳක් වෙනස් බැව් පසුකාලීනව සොයාගැනෙනවා. එමෙන්ම සමහර තරු කාලයත් සමග සංකෝචනය හා ප්‍රසාරණය වෙනවා. යූ වයි ස්කුටි තාරකාවේ අරයේ විශාලත්වයත් 100%ක් නිශ්චිතවම තහවුරු කරගෙන නොමැති අතර මේ හේතුවෙන් අනාගතයේ දී දැනට සොයාගෙන ඇති තාරකාවකටම විශාලතතම තරුව වීමේ ගෞරවය ලැබිය හැකියි. අනාගතයේ එම ගෞරවය ලැබිය හැකි මට්ටමේ පවතින තාරකාවන් කිහිපයක් පහත පරිදි වෙනවා.

VY Canis Majoris- reddit.com

WOH G64 තාරකාවෙහි අරය, මේ වන විට සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව සූර්යයාගේ මෙන් 1504 සිට 1730 ගුණයක් පමණ වන බැව් සොයාගෙන තිබෙනවා. විශාල චුම්භක වලාකුළක මෙය පිහිටා ඇති නිසා නිතරම එහි පථය දුහුවිළි වැනි දේවලින් අවහිර වෙනවා. මේ නිසා නිර්ණයන් සිදුකිරීම අපහසු අතර සමහහර විටෙක එහි අරය සූර්යය අරය මෙන් 3000 ගුණයක් පමණ විය හැකි බැව් අනුමාන කෙරෙනවා.

RW Cephei තාරකාවේ අරය අප සූර්යයාගේ මෙන් 1535 ගුණයක් ලෙස දැනට ගණන් බලා තිබෙනවා. තැඹිලි පැහැ යෝධ තරුවක් වන මෙහි ප්‍රමාණය වෙනස් වීම්වලට භාජනය වෙනවා.

Westerlund 1-26 තාරකාවෙහි අරය අප සූර්යයාගේ මෙන් 1530 ගුණයේ සිට 2550 ගුණය දක්වා අතර අගයක් බැව් නිමානය කර තිබෙනවා. මෙහි සත්‍ය අගය අනුමානය කරන ලද අගයන්වල ඉහළ සීමාවට සමානයැ යි අනුමාන කර, එය අප සූර්යයා පවතින ස්ථානයේ ප්‍රතිස්ථාපනය කළහොත් සෙනසුරුද ගිලගනු ඇති. මෙහි දීප්තිය ඒකාකාරව පවතින අතර උෂ්ණත්වය විටින් විට වෙනස් වෙනවා.

KY Cygni හි අරය සූර්යයාගේ මෙන් 1420 ගුණයේ සිට 2850 ගුණය දක්වා වූ අගයක් අතර ඇතැ යි අනුමාන කර තිබෙනවා. මෙය රතු යෝධයෙක්.

VY Canis Majoris තරුවෙහි අරයේ අගය සූර්යයාගේ මෙන් 1300 ගුණයේ සිට 1540 ගුණය අතර අගයක් බවට සැලකෙනවා. මෙය කලින් සූර්යය අරය මෙන් අවම වශයෙන් 1800 ගුණයක් වත් විශාල ලෙස සැලකුණ මුත් නවීන විධික්‍රම ඔස්සේ නැවත ගණනය කළ විට නව අගයන් ලැබී තිබෙනවා.

කවරයේ පින්තූරය- penningtonplanetarium.wordpress.com

Related Articles

Exit mobile version