නයිට්‍රජන් සොයාගත් හැටි සහ තවත් කතා

මෙම ලිපියේ පසුගිය කොටසින් අප ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය 3 වන හයිඩ්‍රජන්, හීලියම්, හා ලිතියම් සොයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ගෙන ආවා. එහි දෙවන කොටස වන මේ ලිපියෙන් තවත් මූලද්‍රව්‍ය කිහිපයක් සොයාගත් ආකාරය පිළිබඳ විමසා බලමු.

බෙරිලියම්

foundrymag.com

ආවර්තිතා වගුවේ සිව්වැනියට හමු වන මූලද්‍රව්‍යය වන බෙරිලියම් ගුවන් යානා, මිසයිල මෙන්ම ජංගම දුරකථන නිෂ්පාදනය සඳහාත් යොදාගන්නවා. මෙයට බෙරලියම් යන නාමය ලැබුණේ මේවා බෙරලියන්තු මාණික්‍ය වල සංඝටකයක් නිසා යි. බෙරිලියම් මූලද්‍රව්‍යයට නිතර නිරාවරණය වීම ශරීරයට අහිතකර වෙනවා.

බෙරිලියම් හි පරමාණුක ක්‍රමාංකය 4 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 9.012182ක් වෙනවා. දෙවන කාණ්ඩයට අයත් ක්ෂාරීය පාංශු ලෝහයක් වන බෙරිලියම් හි ද්‍රවාංකය සෙල්සියස් අංශක 1287ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක 2479.8ක්. මෙහි සමස්ථානික 12ක් පැවතිය හැකි වූවත් ස්ථායී වන්නේ එක් සමස්ථානිකයක් පමණයි.

බෙරලියන්තු -sciencing.com

බෙරිලියම් මුලින්ම සොයාගනු ලැබුවේ ප්‍රංශ ජාතික රසායන විද්‍යාඥයෙකු වන ලුවිස් නිකොලස් වෝක්ලින් විසිනුයි. ඔහු විසින් මේ සංඝටකයේ ඔක්සයිඩ බෙරලියන්තු වල තිබී නිරීක්ෂණය කළා. බෙරිලියම් මුලින්ම සංශුද්ධ ලෙස නිස්සාරණය කළේ 1858 වසරේ දී ජර්මානු විද්‍යාඥයෙකු වන ෆෙඩ්‍රික් වොලර් හා ප්‍රංශ විද්‍යාඥයෙකු වන ඇන්ටන් බුසී විසිනුයි. ප්ලැටිනම් බඳුනක තබන ලද බෙරිලියම් ක්ලෝරයිඩ් පොටෑසියම් යොදාගෙන ඔක්සිහරණය කිරීමෙන් ඔවුන් මෙම සංශුද්ධ බෙරිලියම් ලබාගත්තා. බෙරිලියම් විවිධ ඛණිජ වර්ග 30 කට පමණ මුසු වී ස්වභාවයේ පවතිනවා.

බෝරෝන්

vectorstock.com

ආවර්තිතා වගුවේ පස්වනුවට හමුවන බෝරෝන් කිහිප ආකාරයකින් මිනිසාට වැදගත් මූලද්‍රව්‍යයක් වෙනවා. ශාක වලට අවැසි අංශු මාත්‍රික මූලද්‍රව්‍යයක් වන බෝරෝන් න්‍යෂ්ඨික විද්‍යාවේදීත් යොදාගන්නවා.ආවර්තිතා වගුවේ තෙවන කාණ්ඩයට අයත් බෝරෝන් ලෝහ හා අලෝහ යන ගුණ දෙකම දක්වනවා. මෙය දක්වන ගුණ යම් සංකීර්ණ ස්වභාවයක් උසුලනවා.

බෝරෝන්හි පරමාණුක ක්‍රමාංකය 5 වන අතර ස්කන්ධ ක්‍රමාංකය 10.81ක්. මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක 2075ක් තරම් ඉහළ අගයක් ගන්නා අතර තාපාංකය සෙල්සියස් අංශක 4000ක් වෙනවා. බෝරෝන්හි සමස්ථානික 6ක් දැකගත හැකියි.

බෝරෝන් අඩංගු සංඝටක, විශේෂයෙන් බෝරැක්ස් මීට වසර දහස් ගණනක සිට මිනිසුන් විසින් භාවිතයට ගන්නවා. බෝරැක්ස් හෙවත් සෝඩියම් ටෙට්‍රාබෝරේට ලවණ විල් වාෂ්පීභවණය වන විට උත්පාදනය වෙනවා. ක්‍රි.ව 8 වන සියවසේදී ටිබෙටයේ ලවණ විල් වලින් ලබාගන්නා ලද බෝරැක්ස් සේද මාවත ඔස්සේ අරාබියට ගෙනැවිත් තිබෙනවා. මීට අමතරව මේවා චීන පිඟන් භාණ්ඩ සෑදීමටත් යොදාගෙන තිබෙනවා.

බෝරැක්ස් ව්‍යුහය- softschools.com

බෝරෝන් වලට එම නාමය ලැබී තිබෙන්නේ ‘බුරාක්’ යන අරාබි වදන අනුසාරයෙනුයි. එහි අර්ථය ‘ධවල වර්ණ’ යන්නයි. කෙසේ නමුත් බෝරෝන් මූලද්‍රව්‍යයක් ලෙස 1808 වසර වන තුරු නිස්සාරණය කිරීමට කිසිවෙකුත් සමත් නොවූ අතර එයින් වසර 100ක් ගත වන තුරුත් සංශුද්ධ තත්ත්වයෙන් බෝරෝන් නිස්සාරණය සිදුකරගත නොහැකි වුණා. ක්‍රි.ව 1909 දී  එසෙකියල් වේන්ට්‍රබ් නම් ඇමෙරිකානු රසායන විද්‍යාඥයා විසින් 99% සංශුද්ධ බෝරෝන් නිස්සාරණය කරනු ලබනවා.

කාබන්

colourbox.com

ආවර්තිතා වගුවේ සයවෙනුවට හමුවන කාබන් අති විශේෂ මූලද්‍රව්‍යයක් ලෙස හැඳින්විය හැක්කේ ජීවයේ පදනම වැටී ඇත්තේ කාබන් මතින් නිසායි. විශේෂයෙන් කාබන් සතු විවිධ බන්ධන සෑදීමේ හැකියාවත්, දාම හා දැලිස් සෑදීමේ හැකියාවත් එය සතු විශේෂ ශක්‍යතාවන්ට හේතු වෙනවා.

සිව්වන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන කාබන් සතුව සමස්ථානික 15ක් පවතින අතර ඉන් කාබන් 12 හා 13 පමණක් ස්ථායී වෙනවා. විකිරණශීලීත්වයක් දක්වන කාබන් 14 ද වැදගත් සංඝටකයක් වන්නේ එය පුරාවිද්‍යා පර්යේෂණ සඳහා වැදගත් නිසා යි.

කාබන්හි පරමාණුක ක්‍රමාංකය 6 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 12.0107 වෙනවා. මෙහි ද්‍රවාංකය ඉතා ඉහළ උෂ්ණත්වයක් වන සෙල්සියස් අංශක 3550 වන අතර තාපාංකය සෙල්සියස් අංශක 3800ක්.

විශ්වයේ සයවනුවට බහුලවම පවතින කාබන් අකාබනිකව සම්භවය වන්නේ ත්‍රිත්ව ඇල්ෆා ක්‍රියාදාමයට අනුවයි. තාරකා වල හයිඩ්‍රජන් දැවී යන විට ඉතිරිවන හීලියම් න්‍යෂ්ඨි කෙල්වින් අංශකක මිලියන 100ක් තරම් උෂ්ණත්වයක් යටතේ එකිනෙක විලයනය (හා වීම) සිදුවෙනවා මෙමඟින් අස්ථායී බෙරිලියම් න්‍යෂ්ඨියක් ජනනය වන අතර එයට තවත් හීලියම් න්‍යෂ්ඨියක් එක්වීම සිදු වෙනවා. ප්‍රතිඵල වන්නේ කාබන් පරමාණුවකුයි.

දියමන්ති හා ගල් අඟුරු කාබන් වල බහුරූපී ආකාරයන් දෙකක් -awakeningtimes.com

අන් බොහෝ මූලද්‍රව්‍ය මෙන් නොව කාබන් පිළිබඳව මිනිසා අනාදිමත් කාලයක සිට දැන සිටියා. විශේෂයෙන් ආදිතම මිනිසා ගල් අඟුරු පිළිබඳ දැන සිටි අතර එය කාබන් වල බහුරූපී ආකාරයක්. මේ නිසා මෙය සොයාගත් අයෙකු නිශ්චය කිරීම උගහට යි. ස්වභාවයේ හමුවන කාබන් ඉතා ස්ථායී නමුත් කාබන් 14 අස්ථායී වන නිසා ඒ අනුසාරයෙන් විවිධ පෞරාණික දේ වල වයස ගණනය කරන්නට පිළිවන්. එහි අර්ධ ජීව කාලය වසර 5730ක්. මෙය සොයාගැණුනේ 1940 වසරේ දී මාටින් කේමන් හා සෑම් රූබන් යන විද්‍යාඥයින් දෙදෙනා විසිනුයි.

නයිට්‍රජන්

cafepress.com

ආවර්තිතා වගුවේ 7 වන මූලද්‍රව්‍යය වන නයිට්‍රජන් ජීවයේ පැවැත්මට අත්යවශ්‍ය සාධකයක්. නයිට්‍රජන් සියළු ප්‍රෝටීන වල සංඝටකයක් වෙනවා. තව ද නයිට්‍රජන් ආහාර, පොහොර, පුපුරණ ද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාගන්නවා.

ග්‍රීක වදන් දෙකක් වන නයිට්‍රොන් හා ජෙනෙස් එකතු කර නම් කරන ලද නයිට්‍රජන් විශ්වයේ පස් වෙනුවට බහුලවම පවතින මූලද්‍රව්‍යය වෙනවා. පෘථිවි වායුගෝලයේ 78% ක් ඇත්තේ නයිට්‍රජන් වායුවයි.

නයිට්‍රජන් හි පරමාණුක ක්‍රමාංකය 7 වන අතර ස්කන්ධ ක්‍රමාංකය 14.0067ක්. කාමර උෂ්ණත්වයේ දී වායුවක් වන මෙහි ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 210ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක ඍණ 195.79ක් වෙනවා. නයිට්‍රජන් හි සමස්ථානික 16ක් ඇති අතර ඉන් ස්ථායී වෙන්නේ 2ක් පමණයි.

නයිට්‍රජන් මුලින්ම සොයාගත්තේ ක්‍රි.ව 1772 තරම් ඈත අතීතයක ඩැනියල් රදර්ෆඩ් නම් විද්‍යාඥයා විසිනුයි. ඔහු විසින් වාතයෙන් ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් ඉවත්කළ විට ශ්වසනයට හෝ දහනයට උදව් නොවෙන වායුවක් ඉතිරි වන බව සොයාගත්තා. මේ කාලයේදීම වාතය පිළිබඳව පරීක්ෂණ කරමින් සිටි තවත් දෙපළක් වන කාල් විල්හෙල්ම් ශීලෙ හා ජෝශප් ප්‍රිස්ලිට ද මෙම අත්දැකීම ලැබුණු අතර ඔවුන් විසින් එය එය ‘දහනය වූ වාතය’ හෝ ‘ඔක්සිජන් මුක්ත වාතය’ ලෙස හැඳින්වූවා. ක්‍රි.ව 1786 දී ඇන්ටන් ලැවෝෂියර් එය ‘ඇසෝට්’ යනුවෙන් හැඳින්වූවා. එහි අර්ථය ‘අජීවී’ යන්නයි.

නයිට්‍රජන් ඉතා හොඳ පොහොරක් වුවත් නයිට්‍රජන් වායුව වශයෙන් තිබෙන විට එය අවශෝෂණය කර ගැනීමට ශාක වලට නොහැකියි. හාබර් බොෂ් ක්‍රමයෙන් නයිට්‍රජන් හා හයිඩ්‍රජන් වායූන්ගෙන් ඇමෝනියා සාදාගත හැකි බව ජර්මානු විද්‍යාඥයෙකු වූ ෆ්‍රිට්ස් හාබර් සොයාගත්තා. ඇමෝනියා මඟින් ජලයේ දියවන ඇමෝනියම් ලවණය සාදාගත හැකි අතර එය ශාක මඟින් අවශෝෂණය කළ හැකියි.

තවත් මූලද්‍රව්‍ය කිහිපයක් ගැන තොරතුරු තෙවන කොටසින් බලාපොරොත්තු වන්න.

කවරයේ පින්තූරය -THProducties/videoblocks.com

Related Articles

Exit mobile version