වඳ ව යන ජීවින් යළි උපද්දන අධිශීත සත්වෝද්‍යාන

කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ඩියේගෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙකු වූ කර්ට් බර්නිෂ්කේ විරල දුර්ලභ සත්ව විශේෂවල චර්ම සාම්පල එකතු කරන්නට පටන් ගත්තේ 1972 තරම් ඈත අතීතයකදී ය. හුදෙක් විනෝදාංශයක් ලෙස එය කළත්, තමා මේ සුවිශේෂි වැදගත්කමකින් යුතු සාම්පල එකතු කරන්නේ මන්ද යන්නට නිශ්චිත හේතුවක් ඔහුත් දැන සිටියේ නැත.

කවදා හෝ දිනෙක එකී සාම්පල ආධාර කර ගනිමින් වඳව යන සත්ව විශේෂ මරණයෙන් මුදා ගත හැකි මෙවලම් හෝ ක්‍රමවේද නිර්මාණය වනු ඇති බවට බලාපොරොත්තුවක් ඔහුගේ සිත් කොනක තිබිණි. ඉන් වසර කිහිපයකට පසු කර්ට් ඔහුගේ ජෛව සාම්පල එකතුව සැන් ඩියේගෝ හි සත්වෝද්‍යානයකට රැගෙන ගිය අතර, එතැන් සිට එය හැඳින්වුණේ ‘අධිශීත සත්වෝද්‍යානය‘ ලෙස ය.

ලොව දැවැන්ත ම ‘ක්‍රයෝ බැංකුව’ එයයි

 “සත්වෝද්‍යානයට ඇතුළු වන තැන ඉහළින් එල්ලලා තිබුණා අමුතු කියමනක් රැගත් පෝස්ටරයක්. ඒකෙන් කියැවුණේ මේ වගේ දෙයක්. ‘ඔබ ඔබට නොතේරෙන හේතු නිසාවෙන් යම් යම් දේවල් එකතු කළ යුතුයි.‘ කියලා. සැන් ඩියේගෝ සත්වෝද්‍යානයේ ජාන විද්‍යාඥයකු මෙන් ම කලක දී බර්නිෂ්කේ සමඟ එක්ව වැඩ කළ අයකු ද වූ ඔලිවර් රයිඩර් කිය යි.

ඔලිවර් රයිඩර් – www.cnn.com 

 

“ අපි තවමත් වැටහෙන්නේ නැති වටිනාකමක් අනාගතයේ දී ලැබෙන්නට නියමිත, දැවැන්ත එකතුවක භාරකාරයෝ කියලයි අපිට හැඟුණේ.“ රයිඩර් වැඩිදුරටත් පවසයි. බර්නිෂ්කේ 2018 දී මිය ගිය ද, ඔහු එදා ඇරඹු සද්කාර්යය අදට ද ජීවමාන ය. ඔහු පිහිට වූ අධිශීත සත්වෝද්‍යානය වූ කලී, සත්ව විශේෂ එක්දහස් දෙසිය විස්කට අයත් ජීවින් දසදහස් පන්සියයකගේ ජෛව සාම්පල රැගත් ලොව දැවැන්ත ම සත්ව ක්‍රයෝ බැංකුවයි.

අරඹා සෑහෙන කලක් ගතවන තුරු ලොව එයාකාරයේ එකම ව්‍යාපෘතිය අධිශීත සත්වෝද්‍යානය පමණක් වුවත්, මේ වන විට ලොව පුරා ඒ හා සමාන සංරක්ෂණ ක්‍රමවේද දලු ලා තිබෙන්නේ අනාගතයේ මතු යම් දිනෙක බිහිවනු ඇති බවට එදා බර්නිෂ්කේ බලාපොරොත්තු වූ පරිදි ය. ඊට සමගාමී ව ලොවෙන් වඳ ව යන ජීවින් ගහණය ද ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබෙන බව ද අමතක කළ නොහැකි ය.

WWF Living Planet වාර්තාව

2020 දී ප්‍රකාශයට පත් කළ WWF Living Planet වාර්තාවට අනුව 1970 සිට මේ දක්වා ක්ෂීරපායි, පක්ෂි, උභය ජීවි, උරග, හා මත්ස්‍ය ගහණවල සිදු ව ඇති අඩුවීම 68% කි. මිනිස් ක්‍රියාකාරකම් නිසා වාසභූමි අහිමි ව යාමෙන් ඉදිරි දශක කිහිපයේ දී වඳ ව යාමේ තර්ජනයට ලක් ව සිටින සත්ව හා ශාක විශේෂ සංඛ්‍යාව මිලියනය ද ඉක්මවන බව ඉන් වැඩිදුරටත් හෙළි කොට තිබිණි. ඒ අනුව බලන කල ජෛව සංරක්ෂකයන්ගේ අදහස වී තිබෙන්නේ ජෛව සාම්පල සංරක්ෂණය කිරීම යනු තවදුරටත් අනාගතයට භාරදිය යුතු කටයුත්තක් නොව අනිවාර්යයෙන් ම වර්තමානයේ දී සාක්ෂාත් කරගත යුතු අරමුණක් බව යි.

ඉන්දීය ගවරා –  www.cnn.com 

 

දුර්ලභ ජීවින්ගේ කෝෂ්ඨාගාරයක්

“ අපේ ව්‍යාපෘතිය දවසින් දවස වැඩි වර්ධනය වෙනකොට අපිට තේරුම් ගියා අපි මේ එකතු කරමින් ඉන්නේ ආයේ මොන ම ක්‍රමයකින්වත් ප්‍රතිස්ථාපනය කරන්න බැරි, අතිශය දුර්ලභ ජීවීන්ගේ ජෛව සාම්පල රැගත් කෝෂ්ඨාගාරයක් කියලා. අධිශීත සත්වෝද්‍යානය සතුව තිබෙන ජෛව සෛල නිසා අවධානමට ලක්වූ ජීවින් නෂ්ඨව යාම වළක්වා ගන්න අපට යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය වගේම සම්පතුත් අපට තිබුණා.“ රයිඩර් කියයි.

රයිඩර් පවසන ආකාරයට අධිශීත සත්වෝද්‍යානය පිහිටවූ දින සිට ජානමය විද්‍යා ක්ෂේත්‍රය අතින් ලබා ඇති ප්‍රගතීන් ද  බොහෝ ය. එහි පළමුවැන්න වන්නේ 1996 දී හාපුරා කියා සිදු කළ පළමු සත්ව ක්ලෝණීයකරණය වන ඩොලී බැටළු දෙනගේ උත්පත්තිය යි. වඳ ව යාමේ අවධානමට ලක්වූ සත්ව විශේෂ පහක් අධිශීත සත්වෝද්‍යානය සතු ජානමය ද්‍රව්‍ය ඇසුරින් 2001 වසරේ සිට  මේ දක්වා ක්ලෝණගත කර තිබේ. ඉන්දීය ගවරා, මොල්ලිය සහිත ආසියානු වල් ගවයා, Banteng නමැති අග්නිදිග ආසියාතික ගව විශේෂය, Przewalski අශ්වයා, කළු පාද සහිත මුගටියා ඒ අතරට අයත් ය.

Banteng නමැති අග්නිදිග ආසියාතික ගව විශේෂය  www.cnn.com 

 

ක්ලෝණීයකරණය එතරම් සාර්ථක ක්‍රමවේදයක් නොවුණ ද, එය වඳ ව යාමේ අවදානමට ලක් වූ ජීවි විශේෂ ගලවා ගැනීම සඳහා දැනට ඇති කදිම ක්‍රමවේදයකි. ඒ ඉන් ජානමය විවිධත්වය වර්ධනය කිරීමට ලැබෙන පිටිවහල නිසා ය. සත්ව ගහණයක් සංඛ්‍යාත්මක ව අඩුවෙද්දී, සිය පැවැත්ම තකා එකී ගහණය තුළ සමාභිජනනය කිරීමට සත්වයන්ට සිදුවේ.

එය ගහණයක ජානමය විවිධත්වය තවදුරටත් ක්ෂය වීමට හේතුවකි. 2020 දී උපන් කළු පාද සහිත මුගටියා ක්ලෝණගත කෙරුණේ 1988 දී ලබා ගත් ජෛව සාම්පලයකිනි. මේ නිසා වත්මන් කළු පාද සහිත මුගටි ගහණයට වඩා එහි ජෛව විවිධත්වය වඩාත් සරුසාර විය.  

කලු පාද සහිත මුගටියා    www.cnn.com 

ලොව පුරා විහිදුණු සංරක්ෂණාගාර ජාලයක්

“සත්ව විශේෂයන් සැලකූ විට එහි ස්ථීරසාරත්වය ඒ කියන්නේ ස්වභාවික ආපදා, වෛරස හා වෙනත් වසංගත රෝග හමුවේ නැඟී සිටිමේ හැකියාවක් ඊට ලැබෙන්නේ ජානමය විවිධත්වය නිස යි. වැඩි ජානමය විවිධත්වයක් තියෙනවා කියන්නේ එවැනි ස්වභාවික උවදුරු පරාජය කරන්නට සමත් ජීවින් ගණන ඉහළයි කියන එකයි.“

එලෙස පවසන්නේ එක්සත් රාජධානියේ පිහිටි ක්‍රයෝ බැංකුවක් වන ‘Frozen Ark’ හි මණ්ඩල සභාපතිවරයා වන බ්‍රෙන්ඩන් නෝබල් ය. 2004 දී ‘Frozen Ark’ පිහිටුවූවේ අධිශීත සත්වෝද්‍යාන පිහිටවූවා හා සමාන අරමුණකින් වුව ද, ආකෘතිය අතින් ඒවා එකිනෙකට වෙනස්ය . අධිශීත සත්වෝද්‍යාන තනි ඒකකයක් වුව ද,  ‘Frozen Ark’ වූ කලී ලොව පුරා විසිරුණු සත්වෝද්‍යාන, කෞතුකාගාර, විශ්වවිද්‍යාල, ගණනාවකින් සැදුම් ලත් දැවැන්ත ජාලයකි.

 අධිශීත සත්වෝද්‍යානයට වඩා වැඩි ජෛව සාම්පල සංඛ්‍යාවක්  ‘Frozen Ark’ සතු ය. සංඛ්‍යාත්මක ව පැවසුවහොත් ජීවි විශේෂ පන්දහස් පන්සියයකට අයත් සාම්පල හතළිස්අටදහසක් එය සතු ය. මෙම සාම්පල බොහෝමයක් සජීවි සෛලවලින් නොව ඩී.එන්.ඒ.වලින් සමන්විත වූ ඒවා ය. ඒ නිසා ම ඒවායේ භාවිතාව සේම ගබඩා කෙරෙන තත්ත්ව ද වෙනස් ය.  

    අධි ශීත සත්වෝද්‍යානය තුළ සංරක්ෂිත ජෛව සාම්පල සාම්පල අතිවිශාල සංඛ්‍යාවක් තැන්පත් කොට තිබේ – www.cnn.com 

 

නිදසුනක් ලෙස ගතහොත් ජීවින් ක්ලෝණීයකරණය කිරීමට ඩී.එන්.ඒ. සාම්පල භාවිත කළ නොහැක. එනමුත් වඳ ව යන ජීවි විශේෂයක ජානමය කේතය ග්‍රහණය කරගැනීමට එය වැදගත් ය. එම දැනුම පිළිකා ප්‍රතිකාරවල සිට අවයව පුනර්ජනනය දක්වා වූ පෘථුල පරාසයක පැතිරුණු විද්‍යාත්මක අධ්‍යයන ගණනාවකට පාදම සපයන්නකි. සැන් ඩියේගෝ හි පිහිටි අධිශීත සත්වෝද්‍යානයේ වන ජෛව සාම්පල ගබඩා කොට ඇත්තේ අධිශීත ද්‍රව නයිට්‍රජන් හෙවත් ක්‍රයෝ ටැංකි තුළ ය.

වරින්වර එම සෛල වෙනත් මධ්‍යස්ථාන කරා යැවීමට ද සත්වෝද්‍යානය කටයුතු කරයි. ඩී.එන්.ඒ. මෙන් නොව සෛල අධිශීතකරණය කිරීම අතිශය සියුම්, සංකීර්ණ කටයුත්තකි. -196 °C (-320°F) වැනි අවම ඌෂ්ණත්වයකට සිසිල් කිරීමේ දි සෛල මත අයිස් තැන්පත් වීම වලක්වා ගැනීම අනිවාර්යයෙන් කළ යුතු ය. විවිධ සෛල අධිශීතකරණයට ලක් කළ යුතු ආකාර ද වෙනස් ය. නිදසුනක් ලෙස ස්වභාවයෙන් ම අධිශීතකරණයට ලක් කිරීමට අපහසු උභය ජීවී සෛල ක්‍රයෝ බැංකුවල ඇත්තේ ම නැති තරම් ය.

අධි ශීත සත්වෝද්‍යානය පවත්වාගෙන යාමය කැපවූ කාර්ය මණ්ඩලය   – www.science.sandiegozoo.org     

වඳව යන ජීවින් යළිත් මිහිතලයට?

“ අපිට කරන්න ඕනෑකරන හුඟක් දේවල් තාමත් අපිට කරන්න පුලුවන්කමක් නැහැ.“ යැයි කියන්නේ ‘Nature Safe’ නමැති ක්‍රයෝ බැංකුවේ සාමාජික තුලිස් මැට්සන් ය. ඔහු අනාවැකි පළ කරන්නේ ඉදිරි වසර 10 – 30 ත් ඇතුළත සත්ව ශුක්‍රාණු හා ඩිම්බ සෛල ඇසුරින් වඩාත් ප්‍රබල හැකියාවැති ප්‍රාථමික සෛල නිර්මාණය කිරීමට හැකිවනු ඇති බව යි. එලෙස නිර්මාණය කරන ප්‍රාථමික සෛල ඇසුරින් ගෙමිති (ශුක්‍රාණු හා ඩිම්බ සෛල) සෛල සමූහ වශයෙන් නිර්මාණය කිරීමට හැකිවනු ඇත.  නිර්මාණය කළ ඒ ඩිම්බ හා ශුක්‍රාණු සෛල, වඳව යන සත්ව විශේෂයකින් තෝරාගත් මව් සත්වයකුගේ ගර්භාෂයේ කෘත්‍රිම ව තැන්පත් කිරීමෙන් ජානමය විවිධත්වයකින් යුතු සත්වයකු බිහි කළ හැකි ය.

වඩාත්ම වැදගත් වන්නේ මෙම ක්‍රමය මඟින් දැනටමත් වඳ ව ගොස් ඇති සත්ව විශේෂයක සංරක්ෂිත සෛල ඇසුරින් ලබා ගත් ගෙමිති ඒ හා සමාන ජානමය සැකැස්මකින් යුතු වෙනත් සත්ව විශේෂයක මව් සත්වයකුගේ ගර්භාෂයේ තැන්පත් කිරීමෙන් එකී වඳ ව ගිය සත්ව විශේෂය වුව ද යළි මිහිපිට ජීවමාන කරවීමට ඇති හැකියාව ය.

වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින කාලගුණික විපර්යාසය හා ගෝලීය ඌෂ්ණත්වය ඉහළ යාම යන පාරිසරික අභියෝග හමුවේ ක්‍රයෝ බැංකුවලින් සිදුකරන මෙම සංරක්ෂණ කාර්යයේ අවශ්‍යතාව වඩාත් තදින් දැනෙන්නට පටන්ගෙන තිබීම අරුමයක් නොවේ. මැට්සන් පවසන ආකාරයට මිනිස් ක්‍රියාකාරකම් නිසා ම ලෝකය සිටින්නේ සයවන මහා නෂ්ඨ ව යාමක අභිමුවෙහි ය.

තුලිස් මැට්සන් – www.cnn.com 

 

පාරිසරික විද්වතුන් හා හා සංරක්ෂණ විශේෂඥයන් සියලු දෙනා පොදුවේ එකඟවන එක් කාරණයක් තිබේ. ඒ ක්‍රයෝ බැංකු හෙවත් අධිශීත සත්ව සාම්පල සංරක්ෂණාගාර නමැති සංකල්පය සාමුහික සහයෝගීත්වයෙන් සිදු කළ යුත්තක් බව යි.

“ මේක එක් තනි ඒකකයකට හරි සංවිධානයකට හරි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැම ක්‍රයෝ බැංකුවක් අතර ම හොඳ සංහිඳියාවක් තියෙන්න ඕනෑ. සත්ව විශේෂ මිලියනයක් විතර වඳ ව යාමේ තර්ජනයට මුහුණ දී සිටිනවා. ඒ සියල්ලන්ම  සංරක්ෂණය කරන්න නම් ඒ හැම ජීවි විශේෂයකින් ම එකිනෙකට වෙනස් ජානමය සාම්පල පනහක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මිලියන පනහක සාම්පල තොගයක්. ඒ හැම සාම්පලයකට ම වීදුරු බෝතල් පහ බැගින් ඕනෑ කරනවා. ඒ කියන්නේ සාම්පල මිලියන සිය ගණනක් තැන්පත් කරන්න ගබඩා පහසුකම් තියෙන්න ඕනෑ. ගෝලීය ක්‍රයෝ බැංකු ජාලයක් ගොඩ නඟන්න ඕනෑ කියලා කියන්නේ ඒ නිසා ය’යි තුලිස් මැට්සන් කිය යි.

කවරයේ ඡායාරූපය - අධිශීත සත්වෝද්‍යානය තුළ සංරක්ෂණය කළ සත්ව ජෛව සාම්පලයක් අතැතිව සිටින විද්‍යාඥවරියක් - www.sandiegiuniontribune.com

මූලාශ්‍ර :

Back from the brink: How 'frozen zoos' could save dying species – cnn.com
The Frozen Zoo aiming to bring endangered species back from the brink – theguardian.com
Conservation on ice: How frozen zoos can help save animals - lighthouse.mq.edu.au

       

Related Articles

Exit mobile version