නව තාක්ෂණයත් සමඟ සීඝ්රයෙන් දියුණුවන ලෝකයක ජීවත්වන ඔබ අප සියලුම දෙනාට අන්තර්ජාලය කියන්නේ මේ වන විට ආගන්තුක දෙයක් නොවෙයි. වැඩිදුර උදාහරණ අවශ්‍ය නැහැ; වෙනදා සති අන්ත පුවත්පතකින් වැනි මුද්‍රිත මාධ්‍යයකින් පමණක් මෙවැනි ලිපියක් කියවීමට පුරුදුවී සිටින්නට ඇති ඔබ දැන් මේ ලිපිය කියවන්නේ අන්තර්ජාලය හරහා ඔබේ පරිගණකයෙන් හෝ smart ජංගම දුරකථනයෙන්. මේ වන විට ඔබ සිහින දකින කෘත්‍රිම බුද්ධිය ගැන කියවා ඇත්නම් මිනිසා කියන්නේ කෙතරම් දියුණු බුද්ධියකින් හෙබි ජිවියෙක්ද යන්න පිළිබඳ අදහසක් ඇති. මේ ලිපියේ අරමුණ එවන් අදහාගත නොහැකි මට්ටමේ තාක්ෂණික නිර්මාණ බිහිකිරීමට සමත් මිනිසාට තම මතක ශක්තිය දියුණු කරගැනීමට අන්තර්ජාලය සහය වන්නේ කෙසේද යන්න පිළිබඳ සොයාබැලීමයි.
නව තාක්ෂණය, සමාජ ජාල වෙබ් අඩවි හා අන්තර්ජාලය පිළිබඳ කෙරෙන ඕනෑම සාකච්ඡාවක බොහොම ජනප්‍රිය මාතෘකාවලින් එකක් ඔබට ඉහත රූපයෙන් දැකගත හැකියි. මේ සියලුම තාක්ෂණික මෙවලම් අපව සැබෑ ලෝකයේ මිනිස් සබඳතා වලින් දුරස් කරනවාද? බොහෝ දෙනා මේ ප්‍රශ්නයට පිළිතුර ඔව් ලෙස ලබාදී ඉන් එහාට ඒ පිළිබඳ වැඩිදුර නොසිතා සිටින්න පුරුදුවී තිබෙනවා. නමුත් සෑම දෙයකම හොඳ හා නරක දෙපැත්තක් තිබෙන බව ඔබ අප සැවොම දන්නා කරුණක්. මේ සියලු තාක්ෂණික මෙවලම් අවභාවිතයෙන් සැබෑ මිනිස් සබඳතා දුර්වල වන බව අවිවාදිතයි. එහෙත් ඒවා ඵලදායී ලෙස භාවිතා කිරීමෙන් අපට ලැබෙන ප්‍රයෝජන ද බොහෝමයි. ඒ මොනවාද, ඒවා ලබාගත හැක්කේ කෙසේද යන්න අපි දැන් සොයා බලමු.
Clive Thompson නම් තාක්ෂණය පිළිබඳ ගත්කතුවරයා තම Smarter Than You Think: How Technology is Changing Our Minds for the Better ග්‍රන්ථයේ සඳහන් කරන පරිදි අන්තර්ජාලය, Google search, Bing වැනි සෙවුම් යන්ත්‍ර (search engine) හා ඒ හා බැඳුණු නොයෙක් තාක්ෂණික මෙවලම් අප සිතනවාට වඩා අපේ මතකය හා දැනුම පුළුල් කිරීමට ඉවහල් වනවා. ඔහු එම ග්‍රන්ථයේ හැඳින්වීම මෙසේ සටහන් කරනවා.
“අපට මෙම නව තාක්ෂණික මෙවලම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගත හැකිනම් (හෝ එසේ කළ හැකියැයි උපකල්පනය කිරීමෙන් ) එමගින් අප අතර සිටින් ආධුනික/ සාමාන්‍ය බුද්ධි මට්ටමකින් හෙබි කෙනෙකුට වුවත් ඉහළ බුද්ධි මට්ටමක් කරා යාමේ හැකියාව තිබෙනවා. සිදුවිය හැකි හොඳම දේවල් ලෙස මෙම ඩිජිටල් උපකරණ අපගේ දැක්ම, ධාරණ ශක්තිය හා සන්නිවේදනය පුළුල් කිරීම දැක්විය හැකි අතර, අවභාවිතය අපව එම උපාංග නිර්මාපකයින්ගේ ගොදුරු බවට පත්කළ හැකියි. සමස්ථයක් ලෙස ගත්කළ මේවායේ ප්‍රයෝජන ඒවායේ අවභාවිතයන්ට වඩා වැඩි බව මගේ හැඟීමයි.”
මෙලෙස ඔහු පවසන පරිදි තාක්ෂණය නිසි ලෙස භාවිතා කළ හැකිනම් එමගින් අපේ ධාරණ ශක්තිය හා මතකය වඩාත් ඵලදායි ලෙස භාවිතා කළ හැකියි. මෙහිදී සාකච්ඡාවට බඳුන්වන ප්‍රධානතම කරුණක් වන්නේ බාහිර මෙවලම්වල උදව්වෙන් අපගේ මතකයේ සීමාවන් පුළුල් කරගැනීමයි (memory outsourcing).
මේ කියන්නේ කුමක් පිළිබඳවද? සරල උදාහරණයක් ඉහත රූපයෙන් ඔබට දැකගත හැකියි. මෙවැනි දේ පිළිබඳ ඔබටත් අත්දැකීම් ඇති. ගීතයක පද පේළි කිහිපයක් මතක තිබෙන විට එම ගීතය සොයාගැනීමට උවමනා වූ මොහොතක්? යාන්තමින් මතකයේ ඇති පොතක නමේ කොටස් කිහිපයක් හා කතුවරයාගේ නමේ කොටසක්? මෙවැනි දේ සොයාගැනීමට අවශ්‍ය වූ විට ඔබ කරන්නේ ඔබේ මතකයේ ඇති දෑ අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍රයක මූලපද (keywords) ලෙස ඇතුළු කර සොයාබැලීමයි. මෙමගින් ඔබ කරන්නෙ ඔබ දන්නා යමක උදව්වෙන් නොදන්නා යමක් ආපස්සට සොයා යාමක් (reverse engineering). මේ සඳහා ඔබට අන්තර්ජාලයේ සාමූහික මොළය සහය වනවා. මෙහිදී ඔබේ මතකය ක්‍රියාකරන්නේ සුචියක් (index) ලෙසයි. එහි ඇති මූලපද ඇසුරෙන් ඔබ වඩාත් විශාල මතක ගබඩාවක් (අන්තර්ජාලය) පරිහරණය කරනවා ඔබට අවශ්‍ය දේ සොයාගැනීමට.
කෙසේ වුවත් මේ සංකල්පය අද ඊයේ භාවිතයට ආ දෙයක් නම් නොවෙයි. “අයියෝ ඔයා අහන දේ මේ දැන් මගෙ දිව අග තියෙනවා, මතක් වෙන්නෙ නෑනෙ හරියට!” – මිතුරෙක් ඔබෙන් යමක් ඇසූ විට ඔබ මෙලෙස පිළිතුරු දී ඇති වාර අනන්තවත් ඇති. (Tip-of-the-Tongue Syndrome) ඔබේ මොළය මෙවන් අවස්ථාවලදී ක්‍රියාකරන්නේ කලින් පැවසු පරදී ඔබ දන්නා දේ එකතු කරගෙන ඔබට අමතකව ඇති දේ සොයාගැනීමට තැත් කිරීමෙන්. මේ ක්‍රියාවලිය තත්පර දෙකක් තුනක සිට පැය භාගයක් පැයක් දක්වා වුවද විය හැකියි. එමෙන්ම කිසිලෙසකින් මතකයට නගාගැනීමට නොහැකි වීමටද ඉඩකඩ තිබෙනවා. අන්තර්ජාලයට මෙම ක්‍රියාවලිය පැවරීමෙන් (outsourcing) ඔබට වඩාත් ඉක්මණින් පිළිතුරු ලැබෙනවා. නමුත් මෙහිදී එක් විශාල ප්‍රශ්නයක් පැනනැඟෙනවා.
තාක්ෂණය අපේ දැනුම මොට කරනවාද?
මේ ප්රශ්නය බොහොම සාධාරණයි. පිළිතුරත් ඔව්, සහ නැහැ. එය රඳාපවතින්නේ කලින් පැවසූ පරිදිම භාවිතයේ ස්වභාවය අනුවයි. අපගේ මාතෘකාවට අදාළව නම් යම් කෙනෙකුට සිතෙන්නට පුළුවන් අන්තර්ජාලය අපේ මතකයේ කොටසක් ලෙස භාවිතයෙන් අප තවත් කම්මැලි වනවා යැයි කියා. නමුත් මෙම ක්‍රියාවලියම වෙනස් අයුරකින් භාවිතා කිරීමට අපි අවුරුදු දහස් ගණනක සිට පුරුදු වී සිටිනවා යැයි කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
ඔව්. ඔබට එය විශ්වාස කිරීමට සිදුවනවා. මිනිසා අකුරු ලිවීමට හා පොත් පත් භාවිතයට පුරුදු වූ දා සිට කළේ තමන් සතු දැනුම ගබඩා කරගැනීම ලේඛනවලට පැවරීමයි. ඉන් පසුව කෙමෙන් කෙමෙන් තාක්ෂණයේ දියුණුවත් සමගම ඡායාරුප, චලන රූප ආදියේ ආගමනයත් සමගම මෙය තව තවත් වර්ධනය වුණා. නමුත් ඈත අතීතයේ මුලින්ම ලේඛන ඇසුරෙන් දැනුම ගබඩා කිරීම යෝජනා වූ මුල්ම අවධියේත් අද අපි මේ තාක්ෂණය ගැන වපරැසින් බලන ආකාරයෙන්ම ඒ පිළිබඳ සිතූ අය සිටියා. ග්‍රීක මහා දාර්ශනික සොක්රටීස් පැවසුවේ (ස්වකීය මතකයට) පිටතින් ගබඩා කෙරෙන දැනුම නියම දැනුම නොවන බවත් එමගින් මිනිසුන්ගේ ධාරණ ශක්තිය දැඩිලෙස මොට වන බවත්. නමුත් මේ වන විට ඔබටම පෙනෙන පරිදි ඒ කියූ තරමට මිනිසාගේ ධාරණ ශක්තිය මොට වී නැහැ නේද?
බාහිර ලෝකයේ සහයෙන් දැනුම පුළුල් කරගැනීමේ ක්‍රියාවලියේ පරිණාමය
අපි යම් දෙයක් මතකයේ ගබඩා කරගන්නා ප්‍රධාන ආකාර ද්විත්වයක් දැක්විය හැකියි. ඔබ යම් දිනක මිතුරන් පිරිසක් සමඟ නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් ගිය අවස්ථාවක උණුසුම් කෝපි කෝප්පයක් පානය කළා යැයි උපකල්පනය කරන්න. එම සම්පූර්ණ අත්දැකීම ඔබේ මතකයේ සටහන් වන්නේ එක් ආකාරයකට (episodic memory). නුවරඑළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නගරයක් බවත් උණුසුම් කෝපි යනු සීතල කාලගුණයක ශරීර උෂ්ණත්වය සාමාන්‍ය ලෙස පවත්වාගැනීමට උචිත පානයක් බවත් මතකයේ සටහන් වන්නේ තවත් ආකාරයකට (semantic memory). අන්තර්ජාලය ඔබට සහය වනවා ඔබේ අත්දැකීම් ඇසුරෙන් මතකයේ රැඳෙන දෑ උපයෝගී කරගෙන ඒ හා සම්බන්ධ තථ්‍ය (factual) තොරතුරු සොයායාමට. මෙය ස්වයංක්‍රිය ක්‍රියාවලියක්. ඊට පෙර අපට මේ සඳහා සහාය වුණේ පොත්පත් හා පුස්තකාලයයි. මෙහිදී දැන් අන්තර්ජාලයේ සෙවුම් යන්ත්‍රය මෙන් ඔබට සහය වුණේ පුස්තකාලාධිපතිවරයායි.
මේ ක්‍රියාවලියේ තිබූ ප්‍රායෝගික අවාසි නම් ඔබට අවශ්‍ය දේ සොයාගැනීමට වැඩි කාලයක් ගතවීම හා ඔබේ සහයට සිටි පුස්තකාලාධිපතිවරයා පුස්තකාලයේ ඇති සියලුම පොත්වල අන්තර්ගතය නොදැන සිටීම. නමුත් අන්තර්ජාලය හා සෙවුම් යන්ත්‍රයකට එවැනි ගැටළු පැන නගින්නේ නැහැ. ඔබට අවශ්‍ය දේ උවමනා වෙලාවට (on-demand) ලබාදීමේ හැකියාව එය සතුයි.
අන්තර්ජාලය හා එක්ව දැනුම සොයායමේ අනාගතය කෙබඳුද?
Harvard සරසවියේ මනෝ විද්‍යාඥ Daniel Wegner පවසන පරිදි මිනිසා තම බුද්ධි මට්ටමේ සීමාවන් ගැන තොරතුරු (metamemory) තම මතකයේ වෙනමම රඳවා තබාගන්නවා. මීට අමතරව තමන්ට මතකයේ තබාගෙන භාවිතා කිරීමට අපහසු කාර්යයන් පහසුවෙන් කිරීමට හැක්කේ කෙසේද යන්න හා එසේ කිරීමට හැකියාව ඇත්තේ කුමකටද/කා හටද යන්නත් මේ තොරතුරුවලට ඇතුළත්. උදාහරණයක් ලෙස, ඔබට මනෝමයෙන් ගණනක් සෑදීම අපහසු නම්, ඔබ අසල සිටින ඔබේ මිතුරෙකුට ඔබට වඩා එම හැකියාව ඇත්නම් හදිසි අවස්ථාවක ඔබේ ඔහුගේ/ඇයගේ සහය පතනවා. තනිව මතකය භාවිතා කිරීමට වඩා මෙම ක්‍රමය (transactive memory) කාර්යක්ෂමයි. අප අන්තර්ජාලය භාවිතා කරන්නේද මේ ආකාරයෙන්. ඔබට සහය වන මිතුරා සෙවුම් යන්ත්රයයි.
අතීතයේ සොක්රටීස් මෙන්ම අද අපත් සිටින්නේ මෙම නව තාක්ෂණය භාවිතය පිළිබඳ දෙගිඩියාවෙන්. මෙය මිනිසාගේ ධාරණ ශක්තිය හීනවීමට හේතුවක් වේවිද? තාක්ෂණය අධිභාවිතය මිනිස් සබඳතා හීන වීමට බලපායිද? සැබෑ මිනිස් සබඳතා හීනවීම පිළිබඳව නම් කිවයුත්තේ තාක්ෂණය තිබුණත් නැතත් එහි ප්‍රධාන සාධකය මිනිසාම පමණක් බවයි.
ධාරණ ශක්තිය පිළිබඳ සැලකීමේදී වුවත් මෙම කාරණයේ වැඩි වෙනසක් නැහැ. ඔබ අන්තර්ජාලය භාවිතයෙන් යමක් සොයන්නට පෙළඹෙන්නේ දැනටමත් ඔබට ඒ පිළිබඳ යම් තරමක් හෝ දැනුමක් ඇති නිසයි. එමෙන්ම නොදන්නා යමක් ඉගෙනගැනීමට කැමැත්තක් දක්වනවානම් පමණයි ඔබට තවත් දේ පිළිබඳ සිතීමට හැකියාව ඇතිවන්නේ. එලෙස ගත්කළ අන්තර්ජාලය මගින් තොරතුරු සොයා යාමේදී ඔබට ඔබ සෙවූ විෂය පථයට අදාළ නමුත් කලින් දැන නොසිටි සිත්ගන්නාසුළු යමක් හමුවීමේ හැකියාව ඉතා ඉහළයි. කලින් සඳහන් කළාක් මෙන් ඔබ කරන්නේ ඔබේ දැනුම අසුරු කරගෙන තවත් කෙනෙකුගේ මතකයන් පීරා බැලීමක් (transactive). නමුත් ඔබට සහාය වන දක්ෂ මිතුරෙකුට වඩා සෙවුම් යන්ත්‍රයක ක්‍රියාවලිය වෙනස්. මිතුරාගේ සිතැඟි ඔබ හඳුනන මුත් සෙවුම් යන්ත්‍රයේ ඇල්ගොරිතම ඔබට සමීප නොවන්නට ඇති ඉඩකඩ බොහොම වැඩියි. එය අයිති සමාගම එය සකසා ඇති ආකාරයටයි එය ක්‍රියාකරන්නේ. මේ පිළිබඳ අවබෝධයකින් යුතුව අන්තර්ජාලය භාවිතය මගින් ඔබට දැනුම තරකර ගැනීම අපහසු වන්නේ නැහැ. තාක්ෂණයේ අවභාවිතයෙන් ඇති අවාසි පිළිබඳවම උලුප්පා දක්වමින් එය භාවිතයෙන් ඉවත්කරනවාට වඩා එහි වාසි හඳුනාගෙන වඩාත් කාර්යක්ෂම දිවිපෙවෙතකට හුරුවීමයි කළ යුත්තේ.
අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ ඉතා සරල කාරණයක්. ඔබට වඩා දැනුමෙන් හෙබි, වඩාත් කාර්යක්ෂම ලෙස ක්‍රියාකරන සාමූහික මොළයක් වන අන්තර්ජාලය ඔබේ සිතැඟි පරිදි ඔබට අවශ්‍ය දේ හා නොදත් දේ සොයා යාමට නිවැරදි ලෙස භාවිතා කළ හැකිනම්, එතැනදී ඔබ ඔබේ නිර්මාණශීලීත්වය හා තත්කාලීන දැනුම යන්ත්‍රයකට වඩා හොඳින් හසුරවා අවසානයි.
Brain Pickings හි “Tip-of-the-Tongue Syndrome,” Transactive Memory, and How the Internet Is Making Us Smarter ඇසුරෙන්
කවරයේ පින්තුරය: bbci.co.uk