ආවර්තිතා වගුවෙහි ස්ථානගත කර ඇති පළමු මූලද්‍රව්‍ය කිහිපය හා ඒවා සොයාගත් ආකාරය පිළිබඳව මේ ලිපි පෙළෙහි පළමු ලිපි දෙකෙන් අපි ඔබ වෙත ගෙන ආවා. එහි තෙවන කොටස වන මේ ලිපියෙන් ඔක්සිජන් හා තවත් මූලද්‍රව්‍ය කිහිපයක් සොයාගැනීම පිළිබඳ රසබර තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි සූදානම්.
ඔක්සිජන්
මානව ජීව ක්‍රියාවලීන්ට අත්‍යවශ්‍ය ඔක්සිජන් ආවර්තිතා වගුවෙහි ස්ථානගත වී තිබෙන්නේ 8 වෙනියට යි. දහනය සඳහා ද වැදගත් වන ඔක්සිජන් පෘථිවි වායුගෝලයෙන් 21% වැනි ප්‍රමාණයක අන්තර්ගත වෙනවා. පෘථිවිය ඔක්සිජනීකෘත වී තිබෙන්නේ මීට වසර බිලියන 2.3 -2.4කට පමණ පෙරයි. පෘථිවිය මත ප්‍රභාසංස්ලේෂණය කරන ජීවීන් ව්‍යාප්තවීම ඊට එක් හේතුවක් ලෙස සැළකෙනවා. ඔක්සිජන් ඉතා ක්‍රියාකාරී වායුවක්.
ඔක්සිජන්හි පරමාණුක ක්‍රමාංකය 8 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 15.9994ක්. කාමර උෂ්ණත්වයේ දී වායුවක් වන ඔක්සිජන්හි ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 218.79 වන අතර තාපාංකය සෙල්සියස් අංශක ඍණ 182.95ක් වෙනවා. ඔක්සිජන්හි සමස්ථානික 11ක් ඇති අතර ඉන් ස්ථායී වන්නේ 3ක් පමණයි. මින් වඩාත් සුලභ සමස්ථානිකය ඔක්සිජන් 16 සමස්ථානිකය වෙනවා.
ඔක්සිජන් විශ්වයෙහි පවතින තෙවනුවට බහුලතම මූලද්‍රව්‍යය යි. කෙසේ නමුත් මෙහි ක්‍රියාකාරී බව නිසා පෘථිවිය ආරම්භක අවධියේ එහි පැවති වායුගෝලයෙහි අන්තර්ගත වූයේ අඩුවෙනුයි.
ස්වායු ජීවීන් පහළ වූ දා සිට ඔක්සිජන් ඔවුනට අත්‍යවශ්‍ය සංඝටකයක් බවට පත් වූ මුත් ඔක්සිජන් වායුව කියා යමක් ඇති බව වටහාගන්නට ක්‍රි.ව 1608 වන තුරු මිනිසුන් උනන්දු වූයේ නැහැ. එම වසරේ දී ඕලන්ද ජාතිකයෙකු වන කොරනේලියස් ඩ්‍රෙබෙල් වෙඩි ලුණු රත් කිරීමේදී වායුවක් පිටවූ බව නිරීක්ෂණය කළා. කෙසේ නමුත් ක්‍රි.ව 1770 පමණ වන තුරු මේ සොයාගැනීම කිසිවෙකු අතින් තහවුරු වූයේ නැහැ. 1770 දශකය තුළ විද්‍යාඥයින් තිදෙනෙකුම ඉතා ආසන්න කාලවල ඔක්සිජන් පිළිබඳ සාර්ථක පර්යේෂණ කරනවා. බ්‍රිතාන්‍ය ජාතික ජෝශප් ප්‍රිස්ට්ලි රසදිය ඔක්සයිඩයෙන් ඔක්සිජන් මුක්ත කර ගත්තේ හිරු එළිය උපයෝගී කරගෙනයි. මෙහිදී මුක්ත වූ ‘වායුව’ ඉටිපන්දම් දැල්ල ඉතා දීප්තිමත් කිරීමට සමත් වූ බව ඔහු ප්‍රකාශ කළා.
ක්‍රි.ව 1774 දී පළමුවෙන්ම ප්‍රිස්ට්ලි සිය සොයාගැනීම ප්‍රසිද්ධ කළත් 1771 වසරේ දී කාල් විල්හෙල්ම් ශීලෙ ඔක්සිජන් වායුව වෙන්කරගෙන තිබුණා. නමුත් ඔහු ඒ වන විට සිය සොයාගැනීම් ලොවට හෙළි කර තිබුණේ නැහැ. ඔක්සිජන් සොයාගත් තෙවැන්න ප්‍රංශ ජාතික ඇන්ටන් ලැවෝෂියර් නම් රසායන විද්‍යාඥයායි. ඔහු විසින් මෙම වායුවට ඔක්සිජන් යන නාමය දුන්නේ ග්‍රීක භාෂාවෙන් ‘අම්ල’ යන අර්ථය දෙන ‘ඔක්සි’ යන වදනත් ‘තනන හෙවත් ජනනය කරන’ යන අරුත දෙන ‘ජෙනෙස්’ යන වදනත් ඇසුරෙනුයි.
ෆ්ලුවොරින්
ආවර්තිතා වගුවේ 9 වන මූලද්‍රව්‍යය වන ෆ්ලුවොරීන් මූලද්‍රව්‍යයට එම නාමය ලැබී තිබෙන්නේ ‘ෆ්ලුඑරෙ’ යන වදනිනුයි ප්‍රංශ හා ලතින් සම්භවයක් ඇති එහි අර්ථය ‘ප්‍රවාහය’ යන්නයි.
ෆ්ලුවොරින් හි පරමාණුක ක්‍රමාංකය 9 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 18.9984032ක්. ඉතා තද ඔක්සිකාරක ගුණ ඇති වායුවක් තනන ෆ්ලුවොරීන්හි ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 219.67ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක ඍණ 188.12ක් වෙනවා. විවිධ කර්මාන්ත වල දී විඛාදකයක් ලෙස ෆ්ලුවොරින් වායුව යොදාගන්නා අතර ෆ්ලුවොරයිඩ් ලවණය දන්ත සෞඛ්‍යටත් ඉතා වැදගත් වෙනවා. මීට අමතරව විවිධාකාරයෙන් මිනිසාට ෆ්ලුවොරින් ප්‍රයෝජනවත් වෙනවා.
ෆ්ලුවොරින් සබැඳි සංඝටක මානව ප්‍රජාව විසින් යොදාගත අවස්ථා අතීතයේ පටන් වාර්තා වෙනවා. ජෝර්ජියස් ඇග්‍රිකෝලා නම් අයෙක් ක්‍රි.ව 1529 තරම් ඈත අතීතයක ෆ්ලුවොරින් අඩංගු ෆ්ලුවොර්ස්පාර් ඛණිජය කර්මාන්තයන්හි යොදාගෙන ඇති ආකාරය ලේඛණයන්හි සඳහන් කර තිබෙනවා. ක්‍රි.ව 1670 දී ශ්වන්ඩාර්ඩ් ෆ්ලුවොර්ස්පාර් අම්ල සමග මුසු කළ විට වීදුරු වල මතුපිට විඛාදනය කල බව නිරීක්ෂණය කළා.
කාල් විල්හෙල්ම් ශීලෙ ඇතුළු විද්‍යාඥයින් කිහිප දෙනෙක්ම ෆ්ලුවොරීන් සංශුද්ධ ලෙස නිස්සාරණය කරගැනීමට උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. අවසානයේ 1866 වසරේ දී ප්‍රංශ ජාතික රසායන විද්‍යාඥයෙකු වන ෆර්ඩිනන්ඩ් මොයිසන් සංශුද්ධ ෆ්ලුවොරීන් නිස්සාරණය කර ගැනීමට සමත් වෙනවා.
නියොන්
ආවර්තිතා වගුවේ 10 වන ස්ථානය හිමිව තිබෙන්නේ උච්ච වායුවක් වන නියොන්ට යි. නියෝන් වායුව ගන්ධයක් හෝ වර්ණයක් නොමැති එකක් වන අතර උච්ච වායුවක් බැවින් ක්‍රියාකාරීත්වයෙන් ද ඉතා අවම වෙනවා. විදුලි පහන් වල අන්තර්ගත කරන වායූන්ගෙන් එකක් ලෙස නියොන් සැළකෙනවා.
නියොන් හි පරමාණුක ක්‍රමාංකය 10 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 20.1797 වෙනවා. ඉතා පහළ ද්‍රවාංකයකට හා තාපාංකයකට හිමිකම් කියන නියොන්හි ද්‍රවාංකය සෙල්සියස් අංශක ඍණ 248.59ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක ඍණ 246.08ක් වෙනවා. නියොන්හි සමස්ථානික 18ක් ස්වභාවයේ පිහිටන අතර ඉන් ස්ථායී වන්නේ 3ක් පමණයි.
නියොන්ට සිය නාමය ලැබී තිබෙන්නේ ග්‍රීක වදනක් වන ‘නියොස්’ අනුසාරයෙනුයි. එහි අර්ථය ‘නව’ යන්නයි. නියොන් මුලින්ම නිස්සාරණය කරගැනීමේ ගෞරවය හිමිවන්නේ රසායන විද්‍යාඥයින් වන විලියම් රැම්සේ හා මොරිස් ට්‍රැවස් හටයි. ඔවුන් උච්ච වායු පිළිබඳ පර්යේෂණයක් සිදු කරමින් සිටිය දී නියොන් වායුව නිස්සාරණය වී තිබෙනවා. ඒ 1898 වසරේ දී යි. නියොන් වායු පිරවූ ‘රතු/තැඹිලි’ පැහැති විදුලි බුබුළු මුලින්ම නිෂ්පාදනය කළේ 1902 වසරේ දී ජෝජස් ක්ලෝඩ් නම් ප්‍රංශ ජාතික ඉංජිනේරුවා විසිනුයි.
සෝඩියම්
ආවර්තිතා වගුවේ 11 වන මූලද්‍රව්‍ය වන්නේ ආහාරයට ගන්න ලුණු, බේකින් සෝඩා ඇතුළු එදිනෙදා අපට හමුවන විවිධ සංයෝග වල සංඝටකයක් වන සෝඩියම් මූලද්‍රව්‍යය යි. මීට අමතරව සෝඩියම් ලවණ මිනිස් සිරුරේද අත්‍යවශ්‍ය ජීව ක්‍රියාවලීන් රැසකට අවශ්‍ය වෙනවා.
ඉතා ක්‍රිකාකාරී ලෝහයක් වන සෝඩියම්හි පරමාණුක ක්‍රමාංකය 11 වන අතර පරමාණුක ස්කන්ධ ක්‍රමාංකය 22.8976928ක්. සෝඩියම් ද්‍රවාංකය සෙල්සියස් අංශක 97.8ක් වන අතර තාපාංකය සෙල්සියස් අංශක 883ක් වෙනවා. සෝඩියම්හි සමස්ථානික 21ක් පවතිනමුත් ඉන් ස්ථායී වන්නේ 1ක් පමණයි. ඒ සෝඩියම් 23 සමස්ථානිකය යි.
ආවර්තිතා වගුවේ පළමු කාණ්ඩයට හෙවත් ක්ෂාරීය ලෝහ ඝණයට වැටෙන සෝඩියම් අඩංගු සංඝටක අනාදිමත් කාලයක සිට මිනිසුන් විසින් භාවිතා කළා. පුරාණ ඊජිප්තුවේ මමිකරණය සඳහා භාවිතා කළ නේට්‍රන් නම් සංයෝගයේත් සෝඩියම් අන්තර්ගත වුණා.
සංශුද්ධ වශයෙන් සෝඩියම් ගවේෂණය කිරීමේ ගෞරවය හිමි වන්නේ බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥයෙකු වන හම්ප්‍රි ඩේවිට යි. ඔහු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනයට ලක් කිරීම තුළින් සංශුද්ධ සෝඩියම් නිස්සාරණය කරගැනීමට සමත් වුණා.
ආවර්තිතා වගුවේ ඉතිරි මූලද්‍රව්‍ය ගැන ඉදිරි ලිපි වලින් සාකච්ඡා කරමු.
කවරයේ පින්තූරය -sodiumbreakup.heart.org