ජපානය කීවාම ඔබට මතක් වෙන්නේ පරිසර හිතකාමී විදියට ජීවත්වන ඉතා දියුණු රොබෝවරු වගේ දේ නිපදවන තාක්ෂණයක් තියෙන මිනිස්සු ඉන්න රටක් විඳියට. ඔවුන්ගේ ගෙවල් කීවාම ඔබට නිතැතින් මතක් වෙන්නේ ලී හරි උණබටවලින් හරි හදපු ගෙවල්. මොකද ජපානයේ සම්ප්‍රදායික නිවෙස් ඒ ආකාරයෙන් තමයි ඔවුන් නිර්මාණය කරන්නේ. එහෙත්, ස්වභාවික විපත් වලින් ගහණ රටක් වීම නිසාම ජපානය ඔවුන්ගේ ගෘහ නිර්මාණය අද වෙනකොට ඒවාට ගැලපෙන ආකාරයට දියුණු කරගෙන තිබෙනවා.
භූමිකම්පා කියන්නෙත් ජපානය නිතරම වගේ මුහුණ දෙන ස්වභාවික අනතුරක්. මේ නිසාම ජපානය භූමිකම්පා වලට ඔරොත්තු දෙන්න ඔවුන්ගේ ගෙවල් නිර්මාණය කරගන්නවා.
මේ ලිපිය වෙන්වෙන්නේ ඒ වගේ නිවෙස් නිර්මාණය කරන්න ජපානය යොදාගන්න තාක්ෂණය ගැනයි. ඒ වගේම ලෝකයේ අද භූමිකම්පා වලට ඔරොත්තු දෙන ගෙවල් හදන්න යොදාගන්න විවිධ තාක්ෂණික ක්‍රම ගැනත් කියවන ඔබට ලිපිය හරහා දැනගනන්න පුළුවන්.
ජපානය මුහුණ දෙන භූමිකම්පා අනතුරු
භුවිද්යාත්මකව බලන විට ජපානය පිහිටි කලාපය ලෝක ගෝලයේ භූතල හතරක් අතර පිහිටි රටක් ලෙස හදුන්වන්න පුළුවන්. චීන, උතුරු ඇමරිකානු, පිලිපීන හා පැසිපික් යන භූතැටි අතර පිහිටීම නිසා ඒ භූතැටි චලනය වීමෙන් හටගැනෙන ගැටීම හරහා ඇතිවන භූකම්පන වලින් නිතරම ජපානයට අනතුරු සිදුවෙනවා. එලෙස සිදුවූ ප්‍රභල භූමිකම්පා අතරින් 1703 (ජීවිත 150000ක් අහිමි වුණා), 1855 (ජීවිත 20000ක් අහිමි වුණා), 1923 (ජීවිත 99000ක් අහිමි වුණා), 2011 (ජීවිත 15890ක් අහිමි වුණා. මේ අනතුර නිසාම හටගත් සුනාමි තත්වයක් නිසා න්‍යෂ්ඨික බලාගාරයක් වන ෆුකුෂිමා බලාගාරය විනාශවී යනවා) ලෙස ප්‍රධාන භූමිකම්පාවන් සිදුවූ අවස්ථා කිහිපයක් උදාහරණ විදිහට දක්වන්න පුළුවන්
.භූමිකම්පා වලට ඔරොත්තු දෙන්න ජපානය යොදාගත් ගෘහනිර්මාණ ශිල්පය
පාරිසරිකව එලෙස මිනිස් ජිවිත වලට බලපෑම් සිදුවෙනකොට ජපානය ඊට මුහුණ දීමට විවිධ ක්‍රමයන් යොදාගැනීම සිදුකලා. ඒ අතරින් එක් ක්‍රමයක් තමයි මේ ගෘහ නිර්මාණ ශිල්පය යොදාගැනීම කියන්නේ. මෙහිදී යොදාගන්නේ මෝටර් රථයක suspension එහෙම නැතිනම් ගැස්සීම වැලක්වීමට යොදාගන්නා ක්‍රමයමයි. මෙහිදී ගොඩනැගිල්ල ඉදිකිරීමේදී තාක්ෂණික ක්‍රමයන් හෝ උපකරණ යොදාගැනෙන අතර එමගින් භූමියේ ගැස්සීමෙන් සිදුවන සෙලවීම පාලනය කිරීමත් ඒ ගැස්සීම ගොඩනැගිල්ලට බලපෑම් කිරීම නැවතීමත් සිදුකරනවා.
භූමිකම්පා වලට ඔරොත්තු දෙන ගෙවල් හදන්න යොදාගන්න තාක්ෂනය
භුමියේ සිදුවන සෙලවීම් වලට ඔරොත්තු දෙන්න යොදාගන්නා ක්‍රම කීපයක්ම ජපානයේ තිබෙනවා. ඒවා අතරින් කීපයක් පහත පරිදි දක්වන්න පුළුවන්.
පාදමේ ඒකලිත පද්ධතියක් යෙදීම (based isolator)
මේ ක්‍රමයේදී ගොඩනැගිල්ල පොළොවෙන් උඩ ඉදිකිරීම සිදුවෙනවා. ඒ කියන්නේ ගොඩනැගිල්ලේ කිසිම කොටසක් පොළොව හා සම්බන්ධ නොවන ලෙස ඉදිකිරීමයි. නම්‍යශීලි බෙයාරින්ග්ස් හෝ කොට්ට (pad) යොදාගෙන පොළව හා ගොඩනැගිල්ල අතර සම්බන්ධතාවය සිදුකරනවා. පොළොවේ ඇතිවන ගැස්සිමකදී ඒ හරහා ඇතිවන චලනයේ ශක්තිය උරාගැනීමට මේ පාදමට හැකිවෙනවා. මේ ක්‍රමය සෑම ඉදිකිරිමකටම සුදුසු නොවන අතර ඝන පාෂාණමය ඉදිකිරීම් සදහා සුදුසු වෙනවා. පාදමේ කොටස් නිපදවීමට ප්‍රධාන වශයෙන් රබර්, ඊයම් (ලෙඩ්) හා වානේ යන ද්‍රව්‍ය යොදාගන්නවා.
භූකම්පන තරංග ඒකලිත පද්ධතියක් යොදාගැනීම (Seismic Isolation)
මේ ක්‍රමයේදීත් ගොඩනැගිල්ල පොලොවෙන් වෙන්කර ඉදිකිරීම සිදුවෙනවා. නමුත් මෙහිදී පොලොව හා ගොඩනැගිල්ල අතරට යොදාගන්නේ කම්පන අවශෝෂණය (shok absorber) කරන යාන්ත්‍රික පද්ධතියකුයි. මේ ක්‍රමය බොහෝ සෙයින් මෝටර් රථවල කම්පන අවශෝෂක වලට සමානයි. මෙහිදී භූ කම්පනයක් අතරතුර ඇතිවන ගොඩනැගිල්ලේ තිරස් චලනයන් පාලනය කිරීමක්ද සිදුවෙනවා. මේ පද්ධතියක් යොදා නොගත් ගොඩනැගිල්ලකට සාපේක්ෂව මේ ක්‍රමය යොදාගැනීමෙන් එලෙස සිදුවන තිරස් චලනයන් 1/5 ක ප්‍රමාණයක් දක්වා අඩුකිරීමක් මේ තාක්ෂණය හරහා සිදුකරගන්න පුළුවන්.
කම්පන වලට ඔරොත්තුදෙන කලම්ප හා කණු යෙදීම
මේ ක්‍රමය කොටස් දෙකකින් දක්වනවා. එනම් ටයිෂින් හා සයිෂින් ලෙසයි. ටයිෂින් ක්‍රමයේදී ගොඩනැගිලි වල බිත්ති හා කලම්ප සැකසීමේදී කම්පන වලට ඔරොත්තු දෙන අමුද්‍රව්‍ය යොදාගෙන කලම්ප සවිකිරීම සිදුකරනවා. එහිදී ඇන යොදා සවිකිරීම සාමාන්‍ය පරිදි සිදුකරන අතර මේ ඇන යොදාගැනීමේදී විශේෂිත කොටස් හා විශේෂිත ඇන වර්ග යොදාගන්නවා. සයිෂින් ලෙස හඳුන්වන ක්‍රමයේදී ගොඩනැගිලිවල තට්ටු අතර කම්පන අවශෝෂක (damping divices) සවිකිරීම සිදුකරනවා. තට්ටුවලට වෙන වෙනම ඒවා සවිකරන අතර එමගින් කම්පනයන් සිදුවීමේදී ඇතිවන හානිය අවම කරගන්නවා.
නිවෙස් වල ගෘහභාණ්ඩ සැකසීමේදී යොදාගන්නා ක්‍රම
මහා පරිමාණ ගොඩනැගිලි වගේම කුඩා ප්‍රමාණයේ නිවාසත් ජපානයේ ඇති අතර ඔවුන්ගේ නිවෙස් ඉදිකිරිමේදීත් හැකි පමණ භූමිකම්පා අනතුරු වලක්වා ගැනීමට ඔවුන් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් අල්මාරි වැනි ගෘහභාණ්ඩ එහා මෙහා නොයන පරිදි බිත්තිවලට හෝ බිමට සවිකිරීමත්, බිත්ති වලට ඉතා තුනී බරින් අඩු ලී වර්ග යොදාගැනීමත් සිදුකරනවා.
කාබන් කෙඳි වලින් සැකසු කබ යොදාගැනීම
මේ තාක්ෂණය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින්නක්. මෙහිදී කාබන් මුලද්‍රව්‍යයේ නැනෝ මට්ටමේදී නිපදවන කෙඳි හරහා සාදන කබ ගොඩනැගිලි වලට සම්බන්ධ කරනවා. එමගින් ගොඩනැගිල්ලේ තිරස් චලනයන් සිදුවන විට එම චලනයට විරුද්ධව කබ මගින් ඇදීමක් සිදුකිරීමෙන් කම්පනයෙන් ඇතිවන ගොඩනැගිල්ලේ පැද්දීම නවත්වනවා. මේ කබ ගොඩනැගිල්ලේ වහලයේ එක කෙලවරක්ද අනෙක් කෙලවර අසල භූමියකද ලෙස සම්බන්ධ කරනවා. (කාබන් නැනෝ මට්ටමේ කෙඳි වල ශක්තිමත් භාවය ඉහලයි)
වායු බෑග් (air bag) පාදමට යෙදීම
මේ ක්‍රමයත් නව සොයාගැනීමක් විඳියට හදුන්වන්න පුළුවන්. එය තවමත් පර්යේෂණ මට්ටමේ පවතිනවා. මෙහිදී භුමිකම්පාවක දත්ත ලබාගැනීමට සංවේදකයක් භාවිතා කරනවා. ගොඩනැගිල්ලේ පාදමත් ගොඩනැගිල්ලත් අතරට වායු පිරවිය හැකි බැලුන් යොදා ඇති අතර සංවේදනයක් දැනුනු වහාම ඒවාට හුලං පිරවීම සිදු වෙනවා. මෙහිදී සාමාන්‍ය නිවෙසක් පාදමෙන් සෙන්ටිමීටර් 3ක් පමණ එසවිය හැකි වී තිබෙනවා. මේ හුලං බැලුන් මගින් කම්පන පාලනය කිරීමක් සිදුකිරීම තාක්ෂණය යොදාගැනීමේ අරමුණයි. නමුත් මේ ක්‍රමය මගින් විශාල ගොඩනැගිලි වලට වගේම විශාල ප්‍රමාණයේ භූකම්පන වලින් ඇතිවන බලපෑම් පාලනය කරන්නත් තවම හැකියාවක් ලැබී නැහැ.
කාලයත් සමග ලංකාවේ අපිටත් මේ වගේ ගැටලුවකට මුහුණ දීමට සිදුවුවොත් අද ඉදිකරන ඔබේ නිවස ඊට ගැලපෙන විදියට ඉදිකරගන්න ඉහත සදහන් කරපු ක්‍රම යොදාගන්න ඔබටත් හැකියාවක් අද වෙනකොට පවතිනවා.
කවරයේ පින්තුරය : upload.wikimedia.org