මොරටුව විශ්වවිද්‍යාලයය කෘත්‍රිම බුද්ධියෙන් අලුත් කතාවක් ලියයි!

AI, එහෙම නැත්නම් Artificial intelligence, කියන්නේ ලංකාවට තවම එතරම්ම හුරු පුරුදු වචනයක් නෙවෙයි. ලෝකයේ වේගයෙන් ඉදිරියට යමින් තිබෙන, ඒ වගේම අපගේ එදිනෙදා භාවිතාවන්වල දී අපට නොදැනුවත්ම අප භාවිතා කරන මේ තාක්ෂණය අද වනවිට බොහෝ කටයුතු උදෙසා භාවිතා වෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයයේ කතාව

කෘත්‍රිම බුද්ධිය ඇසුරෙන් නිර්මාණය වූ විවිධාකාර වූ සිනමා නිර්මාණ මේ වන විටත් ලෝකය පුරා බිහිවෙමින් පවතිනවා. නමුත් රටක් ලෙස ගත්කල ශ්‍රී ලාංක්ය සිනමාව ආශ්‍රිතව මෙවැනි විද්‍යා ප්‍රබන්ධ හා අනාගතවාදී ප්‍රස්තුතයන් ඇසුරෙන් සිනමා නිර්මාණයන් බිහිවන්නේ තවමත් හරිම අහම්බයෙන්.

එවැනි කාලයක මේ අභියෝගාත්මක කෙටි සිනමා නිර්මාණය “IMPERSON” නිර්මාණය වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයේ වාස්තු විද්‍යා පීඨයේ සමෝධානික නිර්මාණ අංශයේ තුන්වන අදියරේ සිසුන් අතිනුයි. ශ්‍රී ලාංකීය නිර්මාණ ක්ෂේත්‍රයට අදාලව අන්තර්ජාතික දැනුමෙන් හා අත්දැකීම්වලින් යුතු නිර්මාණකරුවන් බිහිකරන ස්ථානයක් ලෙස  මොරටුව විශ්වවිද්‍යාලයයේ වාස්තු විද්‍යා පීඨයේ සමෝධානික නිර්මාණ අංශය බොහෝ දෙනා අතර පැසසුමට ලක්ව තිබෙනවා.

ඔවුන්ගේ තුන්වන වසරේ ව්‍යාපෘතියක් ලෙස මාධ්‍ය හා සන්නිවේදන නිර්මාණකරන අංශය විසින් මේ කෙටි සිනමාපටය නිර්මාණය කෙරුනා. ඒ සඳහා 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කටයුතු කළ අතර The studio ‘Thirteen productions’ නමින් ඔවුන් සංවිධානය වී තිබුණා.

සමෝධානික නිර්මාණ අංශය | The studio ‘Thirteen productions’

කතාව 

පසුගිය දිනක මේ කෙටි සිනමා නිර්මාණය කොළඹ තරංගනී සිනමා ශාලාවේ දී තිරගත කෙරුණා. 

මේ කතාව ගෙතෙන්නෙ නුදුරු අනාගතයක වෙසෙන ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන  හරින්ද්‍ර නම් චරිතය වටා යි. දැනුම සොයා යෑමට මහත් ලැදිකමක් දක්වන ඔහු තමන්ගේ එදිනෙදා වැඩ කොටස podcast එකක් හරහා පටිගත කර ගන්නවා. එයට තවත් හේතුවක් වන්නේ ඔහුගේ අංකවලට හා රටාවන්වලට ඇති ලැදි බව යි. නමුත් තමන්ගේ සහකාරිය වූ අනීකා (ANEEKA) ගේ මියයාම නිසා හරේන්ද්‍ර දැඩි සිත් තැවුලෙන් පසු වෙනවා. මේ අවස්ථාවේ දී ඔහුට අපූරු සහකාරියක් හමු වෙනවා. 

පූර්ව ප්‍රචාරක පටය – https://www.facebook.com/impersonmovie/videos/1432698086870824/?t=0 

ඒ පුදුමාකාර ලෙස යාවත්කාලීන වන, එමෙන්ම ඔහුට මනා ලෙස ගැලපෙන සේෆ් (ZEPH) නම්, කෘත්‍රිම බුද්ධියෙන් සවිබල ගැන්වූ කාන්තාව යි. 

එතැනින් පසුව හරින්ද්‍රගේ කතාව ගොඩ නැගෙන්නේ ඇය සමග යි. නමුත් තමන්ගේ ජිවිතයේ ඉදිරියට යන විට මේ කෘත්‍රිම බුද්ධිය විසින් හරින්ද්‍රට කරන්නේ කුමක් ද, එය විසින් ඔහුගේ ජිවිතයට කෙබඳු අයුරින් වෙනසක් ඇති කරනවා ද යන්න වටා මේ IMPERSON කෙටි සිනමා නිර්මාණය ගොඩ නැගෙනවා.

සිනමාපටය රූගත කිරීම් අතරතුර – facebook.com/impersonmovie

ජීවි චරිත අභිබවා යන අජීවී චරිතය 

IMPERSON සිනමාපටයේ ප්‍රධාන චරිත දෙකට අමතරව තව එක් අනු චරිතයක් තිබෙනවා. මේ චරිත සියල්ලට පිළිවලින් පණ පොවන්නේ 

         – හරේන්ද්‍ර රොද්‍රිගු ලෙස නිරෙන් රණසිංහ 

         – අනීකා ලෙස එශානි සෙනෙවිරත්න 

        – ලෝරා ලෙස කෞමදී රත්නායක යි.

ඒත් මේ සිනමා පටයේ ප්‍රධානම චරිතය ලෙස අපට හමුවන්නේ සෙෆ් නම් කෘත්‍රිම බුද්ධිය යි. Orion නම් ස්ථාපිතය හරහා සෙෆ් ක්‍රියාත්මක වෙනවා. එය සැලකෙන්නේ මේ සහශ්‍ර වර්ෂය තුළ නිර්මාණය වූ වඩාත්ම මානුෂීය හා රහසිගත කෘත්‍රිම බුද්ධි ස්ථාපිතය ලෙස යි. එහි මෙහෙයුම් පද්ධතිය වන්නේ Orion X නම් මෘදුකාංගය යි. කෘත්‍රිම බුද්ධිය මේ මෙහෙයුම් පද්ධතිය හරහා තමන්ගේ සහකරුවාගේ (Orion භාවිතා කරන්නා) දත්ත ලබාගෙන ඒවා විශ්ලේෂණය කරමින් තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් හරහා ඔහුගේ ජිවිතය හා සම්බන්ධ වීම සිදු වෙනවා. මේ හරහා හරින්ද්‍රගේ ජීවිතේ හැඟීම් පවා සෙෆ්  විසින් හඳුනා ගන්නවා. එමෙන්ම ඒවාට ප්‍රතිචාර දැක්වීම, ඔහුට දිනපතා වැඩ සැලසුම් කිරීම, ඔහුගේ අනාගත අවශ්‍යතා පුරෝකථනය කිරීම ද සෙෆ් සිදු කරනවා.

Orion නම් ස්ථාපිතය හරහා සෙෆ්  ක්‍රියාත්මක වෙනවා

IMPERSON නිර්මාණය සාර්ථක ද?

සිනමා පටයේ මුහුරත් උළෙලෙන් පසුව භූපති නලින්, විදර්ශන කන්නන්ගර, විමුක්ති ජයසුන්දර, හා බූඩි කිර්තිසේන සභාගී වූ කෙටි සාකච්ඡාවක් පැවැත්වුණා. මෙහිදී ඒ සිනමා නිර්මාණකරුවන් හා විචාරකයන් විසින් මේ සිනමා නිර්මාණය ඉතාම ප්‍රශස්ත මට්ටමෙන් අගය කරනු ලැබුවා. එමෙන්ම තාක්ෂණික, කලා අධ්‍යක්‍ෂණය ආදී අංගයන් ද මේ සිනමා නිර්මාණය තුළ ඉහළ මට්ටමක පවතින බව ඔවුන්ගේ අදහස වුණා.

කණ්ඩායමක් ලෙස මොරටුව විශ්වවිද්‍යාලයයේ වාස්තු විද්‍යා පීඨයේ සමෝධානික නිර්මාණ අංශයේ තුන්වන අදියරේ සිසුන් විසින් කළ මේ සිනමා නිර්මාණය සඳහා විශ්වවිද්‍යාලයයේ කුලපති කපිල පෙරේරා, වාස්තු විද්‍යා අංශයේ පීඨාධිපති වාස්තු නිර්මාණ ශිල්පී සිතුමිණි රත්නමලල, ආචාර්ය සුමන්ත්‍රි සමරවික්‍රම යන අයගේ ද විශාල සහායක් ලැබී තිබුණා. එමෙන්ම මාධ්‍ය හා සන්නිවේදන අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන දිලින ජනදිත් ද මේ වෙනුවෙන් සිසුන්ට තම මඟ පෙන්වීම සිදුකර තිබුණා.

IMPERSON අපට අවසානයේ තවත් ප්‍රශ්නයක් ඉතුරු  කරනවා. ඒ, ඉදිරි දිනක අනාගත තාක්ෂණය හා වර්තමාන ආචාර ධර්මයන් තව දුරටත් එකිනෙකට පෑහේ ද යන්න පිළිබඳව යි.

Related Articles

Exit mobile version