මිනිස් මොළය කථනය හඳුනාගන්නා හැටි

කලබලකාරී නගරයක ඇවිදින විට අපට මොනතරම් ශබ්ද අසන්නට ලැබෙනවාද? වාහන හඬ, හෝන් හඬ, ඇතැම් විට සතුන්ගේ හඬවල්, සංගීත හඬ ඇතුළු මෙකී නොකී ශබ්ද විශාල ප්‍රමාණයක් අපිට ඇසෙනවා. මේ සියල්ල අතරින් කවුරුන් හෝ කතා කරන හඬක්, වැදගත් යමක් පවසන හඬක් වෙන් කර හඳුනාගන්න අපට කිසිදු අපහසුවක් නැහැ. එය ප්‍රමාණවත් හඬකින් (Volume) ඇසෙනවා නම් එය තේරුම් ගැනීමට අපට තත්පරයක් හෝ ගතවන්නේත් නැහැ. එසේනම් කථනය හඳුනාගැනීමට මොළය සතුව තිබෙන විශේෂ හැකියාව කුමක්ද? එය කොපමණ වේගයකින් සිදු වනවාද? වචන දස දහස් ගණනක් මතකයේ රඳවාගෙන සිටින්නේ කෙසේද? භාෂා එකකට වැඩි ගණනක් දන්නා කෙනෙකුට තත්වය තවත් සංකීර්ණවනවා ද? මේ වගේ ප්‍රශ්න ගණනාවක් මොළය සම්බන්ධව අපට ඇතිවෙනවා. මේ ලිපියෙන් මිනිස් මොළය සතු කථනය හඳුනාගැනීමේ විශ්මිත හැකියාව ගැන කරුණු සොයා බලමු.

මොළයේ වෙනම කොටසක්?

මොළයේ විවිධ ස්ථානවලට විවිධ කාර්යයන් පැවරී තිබෙන බව අප දන්නවා. උදාහරණ ලෙස චලනයට අදාළ කොටස, මුහුණට අදාළ කොටස, පෙනීමට අදාළ කොටස, රස දැනීමට අදාළ කොටස ආදී වශයෙන්.

functional areas of brain
මොළයේ විවිධ කොටස් විවිධ කාර්යයන් සඳහා වෙන්වන අයුරු-pinterest

1861 දී ප්‍රංශ ජාතික ස්නායු විශේෂඥ පියර් පෝල් බ්‍රෝකා කථනය හඳුනාගැනීම සඳහා මොළයේ වෙන්වූ ප්‍රදේශයක් සොයාගත්තා. මෙය ඉන්පසු නම් කෙරෙන්නේ “බ්‍රෝකා ප්‍රදේශය” (Broca’s Area) නමින්. ඔහුට අනුව, කථනය හඳුනාගැනීමත් තේරුම් ගැනීමත් සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමත් සිදුකෙරෙන්නේ මෙම කලාපයෙන්. තම විද්‍යාඥ සගයෙකුගේ හිසෙහි ශල්‍යකර්මයක් කිරීමට බ්‍රෝකාට වරෙක සිදු වූ අතර පෙර සඳහන් කළ “බ්‍රෝකා ප්‍රදේශය” ශල්‍යකර්මයෙන් පසු ඉවත් කෙරුණා. එහෙත් සිත්ගන්නා කරුණ වුණේ ඔහුට ඉන්පසුවත් අන් අය පවසන දේ තේරුම් ගැනීමටත් කතා කිරීමටත් හැකියාව තිබීමයි. මුලදී සංකීර්ණ වාක්‍ය සැකසීමට ඔහුට නොහැකි වූ නමුත් කාලයත් සමඟ සියලු කථන හැකියා නැවත ලබා ගත්තා. ඒ අනුව බ්‍රෝකා ප්‍රදේශයට අමතරව කථනය සඳහා වෙන්වූ තවත් ප්‍රදේශ මොළයේ පවතින බව පැහැදිලි වුණා.

1871 දී ජර්මන් ජාතික කාල් වර්නික් නම් ස්නායු පිළිබඳ විශේෂඥයා, ඇසීම ඔස්සේ කථනය හඳුනාගැනීමට සම්බන්ධ මොළයේ වෙනත් කොටසක් සොයාගත්තා. එය අද වන විට හඳුන්වන්නේ “වර්නික් ප්‍රදේශය” (Wernicke’s Area) නමින්. මෙය පිහිටා තිබෙන්නේ සංඛක ඛණ්ඩිකාවේ (Temporal Lobe) පසුපස ඉහළට වන්නටයි. 1965 දී නොර්මන් ජෙශ්වයින්ඩ් නම් ස්නායු විශේෂඥයා මෙයට තවත් එකතු කිරීම් සිදු කළා. ඒ අනුව කථනය අවබෝධය හා ප්‍රතිචාර දැක්වීම සම්බන්ධ මොළයේ කොටස් නම් කෙරෙන ආකෘතිය අද වන විට හඳුන්වන්නේ “වර්නික් – ජෙශ්වයින්ඩ්” ආකෘතිය නමින්. මේ ආකෘතියට අනුව මෙම ක්‍රියාවලිය සඳහා මොළයේ විවිධ වූ කොටස් කිහිපයක්ම අවශ්‍ය වන බව පැහැදිලි වුණා.

කථනය අවබෝධය හා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය

ඔබ යමෙකුගේ කතාවට ඇහුම්කන් දෙන විට, ඔබේ කන් හරහා ශබ්ද තරංග ගමන් කර ඒවා ඔබේ ස්නායු හරහා විද්‍යුත් ආවේග ලෙස මොළයේ විවිධ කොටස් කරා ගෙන යනවා. මේ ආවේග ගමන් කරන පළමු ස්ථානය වන්නේ ශබ්ද තරංගයේ සංඛ්‍යාතය පරිවර්තනය කරන ශ්‍රවණ බාහිකයයි (Auditory Cortex). මේවා පසුව කොටස්වලට වෙන්වන අතර සමහර සංඥා චාලක බාහිකය (Motor Cortex) වෙතද ගමන් කරනවා. ඇත්තෙන්ම චාලක බාහිකය අවශ්‍ය වන්නේ කථනය සඳහායි. කථනයට අවශ්‍ය මුඛය සෙලවීම සහ මුහුණේ වෙනත් මාංශ පේශි සෙලවීම සිදුකෙරෙන්නේ මොළයේ මෙම කොටස මගින්. ශ්‍රවණය කළ යමක් අර්ථ නිරුපණය (Interpretation) සඳහාත් මේ චාලක බාහිකය භාවිත කෙරෙනවා. විශේෂඥයින් මෙය පැහැදිලි කරන්නේ ශ්‍රවණය කළ යමක්, මොළය තමන්ටම ඇසෙන සේ පමණක් අර්ථ නිරුපණය කරගැනීමක් ලෙසයි. කථනය සඳහා චලනය කළ යුතු මාංශ පේශි චලනය නොකර එම චලන සංඥාවට චාලක බාහිකය දක්වන ප්‍රතිචාරය පමණක් විවරණය කිරීමෙන් ශ්‍රවණය කළ ශබ්ද තරංගයේ තේරුම මොළය වටහා ගන්නවා. මේ සියල්ල මයික්‍රෝ තත්පර ගණනකින් සිදුවන නිසා අපට යමක් ඇසෙන සැණින් එහි අර්ථය පැහැදිලි කරගත හැකියි.

areas of brain used for speech interpretation
කථනය අර්ථ නිරුපණය සඳහා අවශ්‍ය වන මොළයේ කොටස්-bio-medical.com

යමෙකු සිදුකරන ප්‍රකාශයක අර්ථය දැනගැනීමට නම් අප වචනවල තේරුම් දැන සිටිය යුතු වනවා. කුඩා කාලයේ සිට අප ඉගෙන ගන්නා බොහොමයක් වචන අපගේ මතකයේ තැන්පත් වීම සාමන්‍ය සිදුවීමක්. සාමාන්‍යයෙන් වයස වසර 20 ක පමණ පුද්ගලයෙක් වචන 27000 සිට 52000 දක්වා ප්‍රමාණයක් දන්නා අතර වසර 60 ක පමණ පුද්ගලයෙකු සඳහා එම අගය 35000 සිට 56000 ක් පමණ වනවා. මෙම අගය රඳා පවතින්නේ කියවීම, ලිවීම වැනි භාෂා භාවිත සිදුකරන ප්‍රමාණය අනුවයි. ශ්‍රවණය වන වචනයක් අපගේ මතක ගබඩාව හා සසඳා බැලීමෙන් ක්ෂණිකව තේරුම් ගැනීමට අපට හැකියි. මෙම වචනවලින් අති බහුතරයක් කියවීම සඳහා ගතවන්නේ තත්පරයකටත් අඩු කාලයක්. ඒ නිසා වචන තේරුම් ගැනීමත් ඉතා ඉක්මනින් සිදුවිය යුතු වනවා. ඒ වේගයත් සමඟ නිරවද්‍යතාව පවත්වාගැනීම අසීරු විය යුතු නමුත් එවැනි අවස්ථාවලින් 98% කදීම මොළය ලබාදෙන තේරුම අනිවාර්යයෙන්ම නිවැරදි බවයි පැවසෙන්නේ. බොහොමයක් මිනිසුන්ට තත්පරයක් ඇතුළත උපරිමයෙන් අක්ෂර 8 ක් අවබෝධ කරගත හැකියි.

විශේෂඥයින්ගේ උපකල්පනයක් වන්නේ එක් එක් වචන සඳහා ඒවායේ තේරුම් අනුව මොළයේ බාහිකයේ විවිධ ස්ථාන වෙන්වී ඇති බවයි. එක් ස්ථානයකට පැවරී ඇත්තේ තම ස්ථානයට වෙන්වූ වචනය ශ්‍රවණය වුවහොත් එය හඳුනාගැනීම පමණයි. වචනයක් යනු මොළයට අනුව යම් නියුරෝන කිහිපයක්, සංඥා නිකුත් කරන එක්තරා රටාවක්. වෙනත් වචනයක් සඳහා එම රටාව වෙනස් වනවා. වචනය ශ්‍රවණය වන විට ආරම්භයේදීම එම වචනයේ උච්චාරණ ස්වභාවය අනුව විවිධ වචනටවලට වෙන්වූ මොළයේ ස්ථාන දහස් ගණනක් උත්තේජනය වෙනවා. වචනය ක්‍රමයෙන් සම්පුර්ණ වෙද්දී එම ස්ථාන එකින් එක අඩුවී එය කියවා අවසන් වීමටත් පෙර එක් තේරුමක් සඳහා මොළය අවතීර්ණ වීම සිදුවනවා.

උදාහරණයක් ලෙස යම් අයෙක් “Cap…” ලෙස යම් වචනයක් පැවසීම ආරම්භ කළහොත් Captain, Capital, Capacitor,… ආදීවශයෙන් වචන දහස් ගණනකට අදාළ මොළයේ ස්ථාන අපට නොදැනීම උත්තේජනය වනවා. ඉන්පසු Capital ලෙස වචනය කියවා අවසන් කිරීමට මොහොතකට පෙර එය Capital බව මොළය හඳුනා ගන්නවා. Capital යනු අගනුවර ද නැතහොත් ඉංග්‍රීසි භාෂාවේ භාවිත වන කැපිටල් අකුරුද යන්න මොළය තීරණය කරන්නේ එම අවස්ථාවට අනුකූල ලෙසයි. මේ සියල්ල ඉතා ක්ෂණිකව සිදුවන ක්‍රියාවලියක්. මෙහිම දිගුවක් වශයෙන් භාෂා කිහිපයක ප්‍රවීණතාව ඇති අය දක්වන්න පුළුවන්. ඔවුන් දන්නා ඕනෑම භාෂාවකින් ඇසෙන හඬක් තේරුම් ගැනීම ඔවුන්ගේ මොළය තුළ ක්ෂණිකව සිදු වනවා. බහු භාෂා හැකියාව මොළයේ සෞඛ්‍යයට යහපත් බව පෙන්වා දී ඇති අතර ඩිමෙන්ශියා වැනි රෝග ඇති වීම පවා අවම කරනවා. මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම හා දත්ත සැකසීමට වඩා හොඳ හැකියාවක් ද එමගින් ඇති කරන බවයි පැවසෙන්නේ.

මොළයේ වචන සිතියම

කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ ස්නායු සම්බන්ධ විද්‍යාඥයින් පිරිසක් 2016 දී සිදු කළ පර්යේෂණයකට අනුව විවිධ වචන මොළයේ එක් එක් ස්ථානවල ගබඩා වී ඇති බව පෙන්වා දී තිබෙනවා. මෙම පර්යේෂණය සඳහා ඔවුන් පැය දෙකක කතන්දරයක් සහභාගිවන්නන් 7 දෙනෙකුට ඇසීමට සලස්වා ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයන් වෙන වෙනම MRI යන්ත්‍රවලින් පටිගත කර තිබුණා. ඉන්පසු පර්යේෂකයින් එම ක්‍රියාකාරිත්වය දැක්වූ ස්ථාන මොළයේ ත්‍රිමාණ සිතියමක ලකුණු කර තිබෙනවා. එම ත්‍රිමාණ සිතියමේ වොක්සල් (ත්‍රිමාණ අවකාශයේ පික්සල් හඳුන්වන නම) 50,000 ක දත්ත අඩංගුයි.

word map of brain
මොළයේ වචන සිතියම/scientificamerican

මෙම වචන සිතියම මොළයේ බාහිකයේ වැඩි කොටසක් ආවරණය කරනවා. ඉහළ සංජානන කාර්යයන් පාලනය කරන පිටත මොළයේ කලාප බොහොමයක් වචන ගබඩා කිරීම සඳහා භාවිත වන බව ඉන් පැහැදිලියි. මෙය සාම්ප්‍රදායිකව භාෂා මධ්‍යස්ථාන ලෙස සලකන වර්නික් – ජෙශ්වයින්ඩ් ආකෘතියෙන් ඔබ්බට විහිදෙනවා. සෑම අර්ථයක්ම විවිධ ස්ථානවල දිස්වන අතර සෑම ස්ථානයකම අදාළ අර්ථ පොකුරක් අඩංගුයි. සමහර ප්‍රදේශ මිනිසුන් හා සම්බන්ධ වචනවලට තෝරා බේරා ප්‍රතිචාර දක්වන අතර අනෙක් ඒවා ස්ථාන හෝ අංකවලට පමණක් ප්‍රතිචාර දක්වනවා. සහභාගී වූ හත්දෙනා අතර සිතියම් එක සමාන නොවූවත් එක් සහභාගිවන්නෙකුගේ සිට තවත් අයෙකුට එය කැපී පෙනෙන ලෙස සමාන වී තිබුණා. 

word family map
සාමාන්‍ය අර්ථකථන සිතියම – මෙහි වර්ණ කර ඇත්තේ විවිධ වර්ගයේ වචන සඳහා මොළය වෙන්වන ආකාරය පෙන්වීමටයි- scientificamerican

ඉහත සිතියමේ විවිධ වර්ණයන්ගෙන් වචන වර්ගීකරණය කර තිබෙනවා. ප්‍රචණ්ඩත්වය සම්බන්ධ වචන ක්‍රීම් පැහැයෙනුත්, ශරීර කොටස් කහ පැහැයෙනුත්, මානසික සොඛ්‍ය සම්බන්ධ වචන දම් පැහැයෙනුත්, ස්ථාන නාම දුඹුරු පැහැයෙනුත් ආදී වශයෙන්. (මොළයේ වචන සිතියම මෙම ලින්ක් එක ඔස්සේ ඕනෑම අයෙකුට නැරඹිය හැකියි). ශල්‍යකර්ම හෝ වෙනත් ප්‍රතිකාරවල බලපෑම අවම කිරීම සඳහා මොළයේ ක්‍රියාකාරිත්වය සිතියම් ගත කිරීම සහ වෙනත් සංජානන කාර්යයන් අධ්‍යයනය දක්වා පුළුල් කළ මෙම තාක්ෂණය අද වන විට ඉතා ප්‍රයෝජනවත් බවයි පැවසෙන්නේ. 

අලුත් වචන මතක තබාගැනීම

මතක මොළයේ එක් කොටසක පමණක් ගබඩා වන්නේ නැහැ. විවිධ වර්ගයේ මතක ගබඩා වන්නේ මොළයේ විවිධ තැන්වලයි. අප ඉගෙනගන්නා කරුණු ආදී ආයාසයක් යොදා මතක තබාගන්නා සහ ආයාසයෙන් ආවර්ජනය කළ යුතු තොරතුරු හැඳින්වෙන්නේ නිශ්චිත (Explicit) මතක ලෙසයි. එසේ නොවන ඉබේම ආවර්ජනය වන මතක අවිනිශ්චිත (Implicit) මතක ලෙස හඳුන්වනවා. උදාහරණ වශයෙන් වසර ගණනකින් යතුරු පැදියක් අල්ලා වත් නැති අයෙකුට යතුරු පැදිය පදවන අයුරු ආයාසයකින් යුතුව නැවත මතක් කර ගත යුතුවන්නේ නැහැ. නිශ්චිත මතක ගබඩා වන්නේ මොළයේ හිපෝකැම්පසයේ, නව බාහිකයේ (neo cortex) සහ ඇමිග්ඩලා කොටසේයි. අවිනිශ්චිත ඒවා අනුමස්තිෂ්කයේ (cerebellum) සහ බේසල් ගැන්ග්ලියා කොටසේ ගබඩා කෙරෙනවා. කෙටි කාලීන මතකය ගබඩා වී පවතින්නේ පුර්ව ලලාට බාහිකයේයි (prefrontal cortex). 

areas of brain important to memory
මතකය හා සම්බන්ධ මොළයේ ප්‍රධාන කොටස්-Queensland Brain Institute

අප ඉගෙනගන්නා අලුත් වචන මුලින්ම තැන්පත් කෙරෙන්නේ හිපෝකැම්පසයේයි. මේ නිසා මොළයේ බාහිකයේ ඇති අප දැනටමත් දන්නා වචන හා මිශ්‍ර වීමත් ඒවා ඉවත් කරමින් නව වචන එකතු වීමත් මෙයින් වැළකෙනවා. ඒ වචන මගින් නියුරෝන සහ නියුරෝන රටා හවුලේ තබාගැනීමක් සිදු නොවන බැවින්. දිනපතා නින්දට යාමේදී මෙම හිපෝකැම්පසයේ තිබෙන අපට තවදුරටත් වැදගත් වන මතක දිගු කාලීන මතක ලෙස තැන්පත් කරනවා. ඒ ආකාරයටම වචන ද කාලයත් සමඟ මොළයේ නව බාහිකයේ ස්ථානගත කෙරෙනවා. ඉන්පසු එම වචන ඕනෑම අවස්ථාවකදී ශ්‍රවණයෙන් හඳුනාගැනීමට අපට පුළුවන්.

කවරයේ ඡායාරූපය: මිනිස් මොළය  - library.neura.edu.au

මූලාශ්‍ර:

brainworldmagazine.com,

bio-medical.com,

qbi.uq.edu.au 

ed.ted.com  

  

 

Related Articles

Exit mobile version