Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විස්මයජනක 7D තාක්ෂණය

2D නමින් හැඳින්වෙන ද්විමාන තාක්ෂණයත් 3D නමින් හැඳින්වෙන ත්‍රිමාන තාක්ෂණයත් පිළිබඳව අපට පැවතියේ විශාල උනන්දුවකි. 21ක් වන සියවසට එකතු වන නව තාක්ෂණය, බලා සිටියදී වෙනස්වීම් වලට ලක් වේ. රූපයක තල දෙකක් පමණක් ඉස්මතු කළ ද්විමාන තාක්ෂණයටත්, තල තුනක් ඉස්මතු කළ ත්‍රිමාන තාක්ෂණයටත් ඒ ධර්මතාවය එලෙසින්ම බලපාන ලදි. අද වන විට මෙම තාක්ෂණයන් ද්විත්වයම යල් පැන ගොසිනි. ඒ වෙනුවට 3D තාක්ෂණය 7D තාක්ෂණය දක්වා විශාල පිම්මක් පැන අවසන්ය. 7D තාක්ෂණය හරහා, පැති ගණනාවකින් පිළිබිඹු වන රූපයක් නිර්මාණය කර දක්වයි. එහි පවත්නා අපූර්වත්වය වන්නේ යමක් සජීවීව ප්‍රතිනිර්මාණය කර දැක්විය හැකි වීමයි. මේ අනුව වඩා තාත්වික රූප රාමු පෙළක් නිර්මාණය කර දැක්වීම 7D හොලෝග්‍රෑම් තාක්ෂණය හරහා සිදුවේ.

7D තාක්ෂණය (YouTube)

7D හොලෝග්‍රෑම් තාක්ෂණය යනු කුමක්ද?

ද්විමාන සහ ත්‍රිමාන තලයන් ගණනාවක එකතුවෙන් සැකසෙන පූර්ණ වස්තුවක අත්දැකීම ප්‍රේක්ෂකයාට සමීප කිරීමට මේ හරහා උත්සාහ කරයි. මෙය විද්‍යාව හා තාක්ෂණවේදයට විශාල සවියක් වීමට නියමිත අතරම සිනමාකරණයේ නව පෙරැළියකට ද මග සලසයි.  7D හොලෝග්‍රෑම් තාක්ෂණය පිළිබඳ අත්දැකීම් නොමැති පුද්ගලයෙකුට එය කවරාකාරදැයි හඳුනා ගැනීම සඳහා පහසුම උදාහරණයක් ඇත. කිසියම් වස්තුවක් ඡායාරූප ශිල්පීන් ගණනාවක් විසින් විවිධ කෝණයන්ගෙන් ඡායාරූපකරණයට ලක් කොට ලබන ද්විමාන තලයන්හි පෙනුමත්, වස්තුව පවත්නා හැඩය සැකසෙන පරිදි පිළිවෙළට තැබූ විට සැකසෙන ත්‍රිමාන තලයන්ගේ එකතුවත්, අදාළ මුල් වස්තුවේ පරිදි ආලෝක තීව්‍රතාව ද කාල නිරූපණය ද සමස්තයක් ලෙස ගත් කල එය 7D හොලෝග්‍රෑම් තාක්ෂණයේ නිමැවුමක් බවට පත් වන්නේය.

7D තාක්ෂණය භාවිත කරන සත්ත්වෝද්‍යානයක් (YouTube)

නව අත්හදාබැලීම්

සිනමා ක්ෂේත්‍රය තුළ 4D, 5D සිනමා සජීවීකරණයෙන් අනතුරුව අද වන විට නවතම අත්හදා බැලීමක් බවට පත් වී තිබෙන්නේ 7D හොලෝග්‍රෑම් තාක්ෂණයයි. 7D හොලෝග්‍රෑම් තාක්ෂණය හරහා අදාළ සිනමාපටය තුළ ප්‍රේක්ෂකයාව ජීවත් කරවයි. තාක්ෂණය දියුණු වන තරමටම උත්සාහ දරන්නේ ද රසවින්දනයෙහි තාත්විකත්වය තීව්‍ර කිරීමටය. 7D සිනමා මැදිරි තුළදී බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාට සජීවී අත්දැකීමක් ලබා දීමටය. සිනමාපටයෙහි දිවෙන කතාන්දරයට උචිත ලෙස ආසන සකස් කිරීමේ සිට, සිනමාපටය විකාශය වීමේදී තිරගත වන සිදුවීමට අදාළ සංවේදනාවන් දැනීමට සැලැස්වීම පවා සිදු කරයි. එනම්; සිදුවීමට අදාළ විවිධ ශබ්දයන්, ගන්ධයන් (digital scent), ස්පර්ශයන් (උදා: වැසි අවස්ථාවක ශරීරයට හිරිකඩ විසිවීම, විවිධ දුමාරයන් පිටවීම) ප්‍රේක්ෂකයාට ළඟා කරවීම මෙහිදී සිදු වේ. මෙහිදී පවත්නා විශේෂත්වය වන්නේ අදාළ ගන්ධ සංවේදනාවන් හඳුනා ගැනීම සඳහා කිසිදු ආවරණයක්/ මෙවලමක් පැළඳිය යුතු නොවීමයි.

7D තාක්ෂණයේ ක්‍රියාකාරීත්වය (IoT Records)

7D තාක්ෂණය ක්‍රියාකාරී වන අන්දම

මේ අනුව 7D සිනමා ශාලා තුළ, තිරගත වන සිදුවීමට අදාළව විවිධ අංග ගණනාවක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. සිනමා පටයේ අන්තර්ගතය පහසුවෙන් හැ‍ඟෙන දැනෙන පරිදි සිනමා ශාලාව තුළ පාරිසරික තත්ත්වය සැකසීම මෙහිදී සිදු වේ. මෙහි පවත්නා අතිශය දියුණු තත්ත්වයක් වන්නේ අදාළ රූපයන් ප්‍රේක්ෂකයාගේ ප්‍රතික්‍රියාවන්ට ප්‍රතිචාර දැක්වීමයි. සතුරකු සමඟ සටනක් පවත්නා අවස්ථාවකදී නම් අදාළ වී‍ඩියෝ පටය නරඹන්නන්ට ද එම සටනට හවුල් වී සතුරා පරාජය කිරීමට හැකි වන ලෙස ඔවුන් අතට ඇතැම් විට කුඩා තුවක්කු වැනි ඩිජිටල් පාලන උපකරණ ලබාදීම ද සිදු වේ. 7D සිනමා අත්දැකීම තුළ කිසිදු විටෙක ප්‍රේක්ෂකයාට හුදෙකලා වීමට ඉඩ ලබා නොදේ. ජපානයේ සිදු කරන ලද විද්‍යාත්මක පරීක්ෂණයන් මගින් අනාවරණය කරගෙන තිබෙන්නේ මෙම නව රූප තාක්ෂණය හරහා ගින්නකින් දැවීමේදී ඇති වන හැඟීම පවා අනතුරක් රහිතව ප්‍රේක්ෂකයාට දැනවිය හැකි බවයි. මෙම තාක්ෂණය මිලෙන් ඉතා අධික වන අතර දැනට ඩුබායි වෙළඳ හා සාප්පු සංකීර්ණවල, සිනමා ශාලාවල සහ පොදු ස්ථානයන්හි අත්විඳීමට ඇත.

7D තාක්ෂණයෙන් නව සිනමා අත්දැකීමක් (groupon.com)

තමා ස්ථානයන් කිහිපයක එක්වර පෙනී සිටින බවට අත්දැකීමක් මෙම තාක්ෂණය හරහා ලබාගත හැක. පන්ති කාමර/ දේශන ශාලා කිහිපයකට එකවර දේශන පැවැත්වීමට ද මේ හරහා අවස්ථාව උදා වේ. එකිනෙකාට පෞද්ගලිකව භාවිත කිරීම සඳහා මිලදී ගැනීමට තරම් මෙම තාක්ෂණයෙහි මිල අවප්‍රමාණය වූ කල්හි, ඕනෑම පුද්ගලයෙකුට කිසිදු ගමන් මහන්සියකින් තොරව වුව ‍තම කාමරය තුළ හිඳිමින්ම දේශන සඳහා සහභාගි වීමට මින් අවස්ථාව උදා වන්නේය. රැස්වීම් සඳහා විශාල පිරිවැයක් දරමින් විදේශ ගතවනු වෙනුවට, මෙම ක්‍රමය භාවිත කරමින් විවිධ රාජ්‍යයන්හි වෙසෙන පුද්ගලයන්ට එකම ස්ථානයකදී හමුවීමට හැකියාව උදා වේ. යම් පාර්ශවයකගේ ජීවමාන රූපය යම් තැනක සජීවීව දර්ශනය කරවීමේ හැකියාව ද මෙහිදී උදා වේ. මෙම තාක්ෂණය දියුණු කිරීමෙහි වැදගත්කම මේ අනුව පැහැදිලි වේ.

7D තාක්ෂණයෙන් පරිගණක ක්‍රීඩා (Groupon)

7D හොලෝග්‍රෑම් තාක්ෂණය නිසා අනාගතයේ ලොවට අත්වන වාසි

7D තාක්ෂණය වඩාත් දියුණු කිරීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පෙරැළියක් සිදු කිරීමට ඉඩහසර උදා වේ. මාර්ග තදබදය ඇති කරමින් විවිධ ස්ථානයන් වෙත ගමන් කරනු වෙනුවට තමන්ට රිසි ස්ථානයක රැ‍ඳෙමින් 7D හොලෝග්‍රෑම් හරහා වෙනත් ස්ථානයක පෙනී සිටීමට ද මේ හරහා ඉඩ ප්‍රස්තාව ලැබීම සෑම අතින්ම විශාල ඉතිරියකි. එනම් කාලය, මුදල්, ඉන්ධන, ශ්‍රමය යනාදී සියල්ල මෙම තාක්ෂණය දියුණු කිරීම හරහා පුද්ගලයන්ට ඉතිරි වන්නේය. නිවාසවල මෙන්ම කාර්යාල කටයුතු පහසු කරගැනීම සඳහා ද මෙම තාක්ෂණය භාවිත කිරීමට හැක. පරිගණක ක්‍රීඩා වඩාත් සජීවීව අත්විඳීමට ද මෙම තාක්ෂණය යොදා ගත හැක. වඩාත්ම වැදගත් සාධකයක් වන්නේ රහස් යුද මෙහෙයුම්වලදී ඔත්තු බැලීම සඳහා හොලෝග්‍රෑම් තාක්ෂණය හරහා යමෙකුව යැවිය හැකි වීමයි. යම් පුද්ගලයෙකු සැබවින්ම යම් ස්ථානයක භෞතිකව සිටින්නා සේ දැක්වීමට මෙම තාක්ෂණය හරහා සැලසෙන ඉඩ ප්‍රස්ථාවෙන්, විශාල වැඩ කොටසක් සිදු කර ගැනීමට නව ලෝකවාසීන්ට හැකියාව ලැබේ.

7D හොලෝග්‍රෑම් තාක්ෂණය ඇසුරින් විවිධ සතුන් දර්ශනය කරවන සත්වෝද්‍යානයක් ජපානයෙහි ඉදි කර ඇත. මෙම තාක්ෂණය දීර්ගතම කාලයක සිට පැවති මානව සිහිනයක් එක්තරා ආකාරයකින් සැබෑ වීමකි. විද්‍යා ප්‍රබන්ධ ග්‍රන්ථයන්හි සහ චිත්‍රපටවල පැවති කල්පිතයක් සැබෑ වීමකි.

කවරයේ පින්තූරය (youtube.com)

මූලාශ්‍ර

www.simplicable.com

www.iot-records.com

www.xd-cinema.com

www.steemit.com

www.snopes.com

Related Articles