Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

3D කණ්ණාඩි සහ ත්‍රිමාණ තාක්ෂණය ක්‍රියාත්මක වන ආකාරය

ත්‍රිමාණ චිත්‍රපට, ඡායාරූප ඉතා බෙහෙවින් ප්‍රචලිතව පවතින්නේ සාම්ප්‍රදායික දර්ශනයන්ට වඩා ඒවායෙන් සත්‍යරූපී අත්දැකීමක් ලැබෙන නිසා යි. තිරයේ තලයට සීමා නොවී ඉන් ඉදිරියට පැමිණ ලොමු දැහැගන්වන දර්ශන ගෙන එන්නට ඒවාට හැකියාව තිබෙනවා.

ත්‍රිමාණ දෘෂ්ඨිය ඇතිවන ආකාරය

ඇස් දෙකට පෙනෙන්නේ වෙනස් දර්ශන දෙකක් (ocvt.info)

“ද්විනේත්‍රික දෘෂ්ඨිය” යනු බරපතල වචනයක් වුවත් ඉන් අදහස් වන්නේ සමාන මට්ටමක පවතිමින් ඉදිරියට යොමුවූ ඇස් දෙකක් සහිත ජීවීන්ගේ ‘පෙනීම’ යි. එහි ඇති විශේෂත්වය වන්නේ දිග සහ පළලට අමතරව ගැඹුර ද හඳුනාගැනීමට හැකිවීමෙන් ත්‍රිමාණ දෘෂ්ඨියක් ලැබීම යි. සුනඛයන්, බළලුන් වැනි සතුන්ට ද මෙම හැකියාව ඇතත් ඔවුන්ට වර්ණ නොපෙනෙන නිසා වඩාත් ඉහළ අත්දැකීමක් ලබන්නේ මානවයා යි.

මිනිස් ඇස් අතර දළ වශයෙන් 50 mm සිට 75 mm අතර පරතරයක් ඇත. ඒ අනුව, සෑම ඇසක්ම ලෝකයේ තරමක් වෙනස් කොටසක් දකී. මෙය අත්හදා බැලීම සඳහා පෑනක්, පැන්සලක් හෝ වෙනත් සිහින් වස්තුවක් ඉහළට ඔසවන්න. එක් ඇසක් වසා එදෙස බලන්න. දැන් ඇස් මාරු කර බලන්න. එවිට පසුබිමට සාපේක්ෂව එම වස්තුව එහා මෙහා යනවාක් සේ පෙනෙයි.

අදාල කෝණය, ජ්‍යාමිතිය ආදී ගණිත කර්ම අප නොදැනුවත්වම මොළයෙන් සිදු කරමින් එම දෘෂ්ඨි කෝණයන් දෙක; එක්කොට ගැඹුර සහිත වඩාත් හොඳ පෙනීමක් ගෙනදෙයි. නූතන ස්මාර්ට්ෆෝන්වල කැමරා ප්‍රමාණය එකකට වඩා වැඩිවීම (බොහෝවිට telephoto කාචය) මඟින් එයට ගැඹුර හඳුනාගනිමින් නිවැරදිව Focus කළ හැකිවෙයි.

සිනමා තාක්ෂණය

චිත්‍රපට කර්මාන්තය ත්‍රිමාණ දෘෂ්ඨියේ පුරෝගාමියකු වන අතර එහි විශාල මුදල් වැය කිරිම් සහ තාක්‍ෂණික හැකියාවන් නිසා ශීඝ්‍රයෙන් නවමු අත්දැකීම් ජනගත වෙමින් පවතියි. චිත්‍රපට සඳහා ත්‍රිමාණ තාක්ෂණය යොදා ගෙන ඇති ක්‍රම දෙකක් තිබේ. ඒ, ඇනග්ලිෆ් (Anaglyph) සහ ධ්‍රැවීකෘත වීදුරු (Polarized glasses) යි.

ඇනග්ලිෆ් ක්‍රමය

නිල් වර්ණයෙන් රතු වර්ණයත්, රතු වර්ණයෙන් නිල් වර්ණයත් පෙරහන් කරයි (poppy3d.com)

සාම්ප්‍රදායික 3D ඇනග්ලිෆ් වීදුරු එක් රතු කාචයක් සහ එක් නිල් (සියෑන් වර්ණිත) කාචයක් භාවිතා කරයි. රතු සහ කොළ වැනි තවත් බොහෝ වර්ණ සංයෝජන ක්‍රියා කරන නමුත් රතු සහ නිල් බොහෝ විට භාවිතා කෙරේ. නිල් කාචය මඟින් රතු ආලෝකය පෙරහන් කරන අතර රතු කාචය මඟින් නිල් ආලෝකය පෙරහන් කරයි. එවිට ඇස් දෙකට එකිනෙකට වෙනස් රූප පෙනේ.

3D චිත්‍රපටය තිරය මත ප්‍රක්ෂේපණය කළ විට, රූප දෙකක් දර්ශනය වේ. ඒ, එකක් රතු පැහැයෙන් සහ අනෙක නිල් පැහැයෙන් ලෙස යි. කණ්ණාඩිවල සෑම කාචයකටම පෙරහනක් ඇති බැවින්, එක් ඇසකට ළඟා විය හැක්කේ එක් රූපයක් පමණි. මොළය රූප දෙකම එකට ඒකාබද්ධ කළ විට ගැඹුර සහිත හෙවත් ත්‍රිමාණ රූපයක් ය යන මායාව ඇති වෙයි.

මෙම ක්‍රමයේ දී රූපයේ වර්ණය ඇති සැටියෙන්ම දර්ශනය නොවීම, බොඳවූ ස්වභාවයන් ඇතිවීම වැනි ගැටළු ඇති වෙයි.

ධ්‍රැවීකෘත වීදුරු

සිරස් සහ තිරස් පෙරහන්වලින් දර්ශන වෙන් කරලයි (dpreview.com)

ඔබ සිනමාහලක දී අවර්ණ කාච සහිත කණ්ණාඩි පැළඳ චිත්‍රපට නරඹා ඇත්නම් ‍ඒ මෙම ක්‍රමය යි. ධ්‍රැවීකෘත හෙවත් ‘ධ්‍රැවීකරණය කළ’ ආලෝක තරංග කම්පනය වන්නේ එක් තලයක පමණි. සූර්යයා විසින් නිපදවන ආලෝකය ධ්‍රැවීකරණය වී නොමැති අතර එයින් අදහස් වන්නේ එය විවිධ තලයන් මත කම්පනය වන ආලෝක තරංගවලින් සෑදී ඇති බවයි. කෙසේ වෙතත් එය ධ්‍රැවීකරණ පෙරණයක් (filter) භාවිතයෙන් ධ්‍රැවීකරණය වූ ආලෝකය බවට පරිවර්තනය කළ හැකිය.

ධ්‍රැවීකරණ පෙරහන් කණ්ණාඩිවල කුඩා සමාන්තර රේඛා (වම් ඇසට සිරස් සහ දකුණට තිරස් ආදී ලෙස) සවි කර තිබේ. එවිට තිරය වෙතින් එක් ආලෝක කිරණයක් සිරස්වත්, අනෙක තිරස්වත් ඇසට පැමිණෙන විට අප පැළඳ සිටින කණ්ණාඩියේ වම් ඇසට ඇති කාචයේ සිරස් පෙරහන්වලින් තිරස් ආලෝක කිරණ වම් ඇසට ලබා දෙයි. එසේම, දකුණු ඇසට ඇති කාචයේ තිරස් පෙරහන සිරස් ‍ආලෝක කිරණ ලබා දෙයි.

මෙහි වර්ණ පෙරහන් කිරීමක් නොමැති නිසා චිත්‍රපටයේ වර්ණවලට බාධාවක් නොවෙයි. එනමුත් සිරස් සහ තිරස් රේඛාවන් නිසා හිස මඳක් හෝ ඇල වුවහොත් සුමට දර්ශන නොලැබී යයි. මෙය වැළැක්වීමට දැන් සර්පිලාකාර රේඛා (එක් ඇසකට, එක් පසකට සහ අනෙකට, විරුද්ධ දෙසට කැරකුණු සර්පිල පෙරහන්) යොදා ගැනේ.

රූපවාහිනී තාක්ෂණය

සිනමාහල්වල ඇති චිත්‍රපට ප්‍රක්ෂේපකවල ඇති ක්‍රමවේදයන් නිවෙස්වලට ගතහොත් සුවිසල් මුදලක් වැය කළ යුතු වන හෙයින් රූපවාහිනී සඳහා වෙනත් ක්‍රම භාවිතා කෙරේ. චිත්‍රපට තිරයන්හි ආලෝකය පරාවර්තනය කිරීමට රිදී ආලේපනය කර තිබෙන නමුත් (සිනමාවට “රිදී තිරය” කියන්නේ එනිසා යි) රූපවාහිනියේ එසේ නොමැත. නිවසේ දී ත්‍රිමාණ අත්දැකීම් ලබා ගැනීමට ක්‍රම කිහිපයක් තිබේ. ඒ, සිනමා ආකාරයේ ධ්‍රැවීකෘත කණ්ණාඩි මෙන්ම සක්‍රීය (active) සහ අක්‍රීය (passive) ක්‍රම දෙක යි.

සක්‍රීය ක්‍රමය

අවර්ණ කණ්ණාඩි (mercatos.net)

වඩාත් සුලභ, active 3D ක්‍රමයේදී  ඉලෙක්ට්‍රොනික කණ්ණාඩි පැළඳිය යුතු වේ. කණ්ණාඩි ඔබේ රූපවාහිනිය සමග සමමුහුර්ත කර ඇති අතර ඒවා වේගයෙන් වැසීම සහ විවෘත වීම සිදු වෙමින් ආලෝක පෙරහන් කරයි. මෙම ෂටර ඉතා ඉක්මණින් චලනය වන බැවින් ඇසට නොපෙනේ. ත්‍රිමාණ හැකියාවන් ඇති රූපවාහිනීවල ඉහළ refresh rate එකක් ඇත. එනම් රූප දෙකක් තිරය මත මැවීමේ දී එකක් ඉවත්කොට අනෙක ගෙන ඒමට අඩු කාලයක් ගත වන බව යි. කණ්ණාඩි හරහා, කළු තිරයක් වෙනුවට එක් නියත රූපයක් දෑසට ලබා දෙයි.

අක්‍රීය ක්‍රමය (lenticular)

කණ්ණාඩි අනවශ්‍ය ත්‍රිමාණ තිරයක් (newatlas.com)

Passive 3D පද්ධති සහිත රූපවාහිනීවලට මිල අධික කණ්ණාඩි අවශ්‍ය නොවන අතර එක් ක්‍රමයක් වන්නේ රූපවාහිනී තිරය මත තුනී, කාචයක් බඳු (lenticular) තිරයක් යෙදීම යි. එය එක් එක් ඇසට තිරයේ වෙනස් දෘෂ්ටිකෝණයන් පෙන්වන, ඉතා තුනී, විශාලන කාච සහිත තීරු මාලාවකින් සකසා ඇත. මෙම තාක්ෂණයට විශාල, මිල අධික වීදුරු අවශ්‍ය නොවන නමුත් එයට රූපයේ ගුණාත්මකභාවය සීමා කළ හැකිය. සෑම ඇසක්ම ඕනෑම වේලාවක තිරයේ අඩක් පමණක් දකී. උදාහරණයක් ලෙස, තිරයක පික්සල් 100ක් තිබේ නම්, පික්සල් 50 විශාලනය කර වම් ඇසට යවනු ලබන අතර අනෙක් පික්සල් 50 විශාලනය කර දකුණු ඇසට යවනු ලැබේ. ප්‍රායෝගිකව, මොළයට පින්තූර දෙක එකට තබා මුළු පික්සල් 100 නැවත සකසා ගැනීමට හැකි වේ.

රූගත කිරීම්

කාච දෙකක් ඇති ත්‍රිමාණ කැමරාවක් (entaniya.co.jp)

ත්‍රිමාණ චිත්‍රපට රූගත කිරීමේ දී දෑසින් දකින්නා සේම ළඟ තැබූ කැමරා දෙකක් අවශ්‍ය වේ. මේවා එකට සහ එකම වේගයකින් චලනය කිරීම, zoom අගය වෙනස් කිරීම, Focus කිරීම සමානව නොකළහොත් අවසාන ඵලය අසාර්ථක වෙයි. එනිසා එකට තැබූ කැමරා පද්ධති මේ සඳහා යොදා ගැනෙයි. එසේම, ඉතා ළඟ දර්ශන (close-ups) ගැනීමේ දී කැමරා බෙහෙවින් ලං කිරීම ප්‍රායෝගික නොවන බැවින් දර්පණයක් මඟින් දෙවැනි කැමරාවකට දර්ශන යොමු කොට ත්‍රිමාණ දෘෂ්ඨිය සකසා ගනියි.

ඇනිමේෂන් චිත්‍රපටවල පරිගණකය භාවිතයෙන් සාපේක්ෂව පහසුවෙන් ත්‍රිමාණ දෘෂ්ඨිය සකසා ගැනේ. මේ සඳහා එකම Frame එකක් දෘෂ්ඨි කෝණ දෙකකින් පටිගත කිරීම සිදු කෙරේ. මේ සඳහා කාලය සහ සංස්කරණය සඳහා ශ්‍රමය බෙහෙවින් අවශ්‍ය වේ. චිත්‍රපට පටිගත කරන ලද ‍ඒවා නමුත් ත්‍රිමාණ පරිගණක ක්‍රීඩාවල මෙය සජීවීව කරන්නට සිදුවේ. එවිට ධාවනය වන පරිගණකයට (ග්‍රැෆික් ප්‍රොසෙසරයට) වැඩි බර පැණක් පැටවේ.

3D කණ්ණාඩියක් හදාගන්නේ මෙහෙමයි

ත්‍රිමාණ කණ්ණාඩියක් (3dexport.com)

නිවසේදී ම ඉතා පහසුවෙන් ඇනග්ලිෆ් (වර්ණ කාච දෙකක්) ඇති කණ්ණාඩියක් සකසා ගෙන ත්‍රිමාණ අත්දැකීම ලැබිය හැකියි. anaglyph ලෙස YouTubeහි සර්ච් කිරීමෙන් ඔබට ඒ ආකාරයේ වීඩියෝ නැරඹීමට අවස්ථාව තිබෙනවා.

අවශ්‍ය දෑ-:

  • කාඩ්බෝඩ් එකක්
  • කතුරක්
  • විනිවිද පෙනෙන ටේප් එකක්
  • කණ්ණාඩි ආකෘතිය (PDF ලෙස බාගන්න (72KB))
  • රතු සහ නිල් සෙලෝෆේන් කඩදාසි (වෙළඳසැල්වලින් ලබා ගත හැකිය)

බාගත කරගත් PDF එක මුද්‍රණය කොට එහි ඇති දාර දිගේ (ඇස් කෙවෙණි ද ඇතුළුව) කපා ගන්න. සෙලෝෆේන් කඩදාසි ඒ ප්‍රමාණවලට වඩා මඳක් විශාලව කපා කණ්ණාඩියේ කෙවෙණි මත තබා ටේප් මඟින් අලවා ගන්න. විශාලව කපාගත් නිසා ටේප්වලින් දර්ශනයට බාධා නොවන පරිදි රඳවා ගත හැකියි. දැන් මැද කොටසට කන් රැඳවුම් ටේප් කරගන්න. අවශ්‍ය නම් කාඩ්බෝඩ් සහ සෙලෝෆේන් වෙනුවට පැරණි අව් කණ්ණාඩියක කාච ඉවත්කර ඊට රතු, නිල් මාර්කර් පෑන්වලින් වර්ණ ගන්වා ගත් ඉටිකොළ අලවා ගත හැකියි.

Atlas පොත් කවර දැන් ත්‍රිමාණ දසුන් ගෙන එයි

සකසාගත් කණ්ණාඩියෙන් ඔබට ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පොත් කවර සඳහා ත්‍රිමාණ දසුන් ගෙන එන Atlas පොත්වල ඇති අපූරු දසුන් දැකගන්නට ද හැකි වෙනවා.

මූලාශ්‍රයයන්:

  • howstuffworks.com
  • mashable.com
  • nasa.gov
  • physics.org

කවරය: sea.museum

Related Articles