Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් වසඟ කළ අතීත යාන්ත්‍රික නිපැයුම්

මිනිසාට අභියෝගයක් විය හැකි බුද්ධිමත් යන්ත්‍රයක නැඟී ඒම අනාගත ලෝකය තුළ සිදු සිදුවිය හැකි බවත්, ක්ෂේත්‍ර ගණනාවක වැඩ කටයුතු කාර්යයක්ෂම ව සිදු කිරීමට මෙමඟින් හැකියාව සැලසෙන බවත් අතීතය හා සබැඳි ප්‍රාඥ පරපුර පවසා සිටියා.

මෙවැනි යන්ත්‍ර සූත්‍ර සමඟ බැඳී පවතින මූලික සංකල්පය කෘත්‍රිම බුද්ධිය ලෙස හඳුන්වා දිය හැකි යි. සියවස් ගණනාවකට ප්‍රථම පැවති ග්‍රීක අධිරාජ්‍යය සමයේ සිට ලෝකයා මුහුණ පෑ සීතල යුදමය වාතාවරණය දක්වා වූ අවස්ථා ගණනාවක කෘත්‍රිම බුද්ධියෙන් හෙබි රොබෝ යන්ත්‍ර මනුෂ්‍ය වර්ගයා සමඟ ගනුදෙනු කරන ආකාරය කෙබඳු වේ දැයි පරිකල්පනය කිරීමට නොයෙකුත් පාර්ශව උත්සුක වූවා.

වේලාව දක්වන ලීයෙන් කළ කතා කරන එළිසබත්ගේ හිස – en.wikipedia.org

අනාගත ලෝකය ආක්‍රමණය කිරීමට සැරසෙන මෙවැනි බුද්ධිමත් යන්ත්‍ර මෙහෙයවීමේ බලතල මානව සංහතියට හිමි වේවි ද? එසේත් නොමැතිනම් මෙකී රොබෝවරුන් මනුෂ්‍ය වර්ගයා අභිබවා යාමේ දැවැන්ත සැලසුමකට මුල පුරයි ද?

මෙවැනි යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරීත්වය න්‍යායාත්මක ව සහ ප්‍රායෝගික ව ගවේෂණය කිරීමට ඩා වින්චි ඇතුළු බුද්ධිමතුන් ගණනාවක් දිවා රෑ නොතකමින් වෙහෙසුණා. පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරයේ සිට 19 වන සියවස දක්වා වූ කාල පරිච්ඡේදවල යාන්ත්‍රික රොබෝවරුන් නවෝත්පාදනයට අතීත මානවයා උත්සහ දැරූ ආකාරය මෙයින් විමසා බලමු.

1). යාන්ත්‍රික පූජකතුමා

ක්‍රිස්තු වර්ෂ 1556 වසරේ සිට ස්පාඤ්ඤ අධිරාජ්‍යය පාලනය කළ II වන පිලිප් රජුගේ පුත් කුමරා නොසිතූ අන්දමේ හදිසි අනතුරකට භාජනය වූවා. රජ කුමරාගේ හිස ආශ්‍රිත ප්‍රදේශය එහිදී හානියට ලක් වනවා. මෙම සිදුවීමෙන් කම්පනයට පත් පිලිප් රජු සිය පුත්‍රයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කඩිනම් පියවර අනුගමනය කළා.

ඉන් නොනැවතුණු පිය රජු, කුමරාට ඉක්මන් සුවය ලැබීමේ අරමුණින් සිදුකළ දේව කන්නලව්වකටත් සහභාගී වූවා. සිය පුත් කුමරාගේ සෞඛ්‍යය තත්ත්වය පෙර මෙන් යහපත් වුවහොත් මහත් ආශ්චර්යයක් සිදු කිරීමට තමා සූදානම් බව II වන පිලිප් රජු මෙකී කන්නලව්ව හමුවේ පවසා සිටියා.

ෆ්‍රැන්සිස්කන් ෆ්‍රියර් ඩියාගෝ ද අල්කාලා (ශාන්ත ඩියාගෝ) නමැති පූජකතුමාගේ ජීවමාන ශරීරයට සමානව ක්‍රියාත්මක වන කුඩා පරිමාණ රොබෝ යන්ත්‍රයක් II වන පිලිප් රජුට නිර්මාණය කර දීමට ජුවානෙලෝ ටුරියානෝට නියම වූවා – ds.si.edu

සම්පූර්ණ සුවයට රජ කුමරු එළඹි විගස, ඔරලෝසු සාදන්නෙක් සහ නව නිපැයුම්කරුවෙක් වූ ජුවානෙලෝ ටුරියානෝට රාජ නියෝගයක් පිළිපැදීමට සූදානම් වන්නැයි පිලිප් රජු දැනුම් දෙනවා. ෆ්‍රැන්සිස්කන් ෆ්‍රියර් ඩියාගෝ ද අල්කාලා (ශාන්ත ඩියාගෝ) නමැති පූජකතුමාගේ ජීවමාන ශරීරයට සමාන ව ක්‍රියාත්මක වන කුඩා පරිමාණ රොබෝ යන්ත්‍රයක් II වන පිලිප් රජ වෙත නිර්මාණය කර දීම උක්ත රාජ නියෝගයේ අන්තර්ගත පණිවිඩය වූවා.

රාජ ආඥාව අකුරට ම අනුගමනය කළ ජුවානෙලෝ, දැති රෝද සහ ලීවර මූලධර්ම භාවිතයෙන් ක්‍රියාත්මක වන පූජකවරයකුගේ පෙනුමට සමාන කුඩා රොබෝ යන්ත්‍රයක් නිපදවනවා. ඔතන ලද ස්ප්‍රින් කැබැල්ලකින් බල ගැන්වෙන මෙකී රොබෝ පූජකවරයාගේ චාලක කර්තව්‍යය ඉටු කිරීමට ප්‍රමාණයෙන් කුඩා රෝද ත්‍රිත්වයක් යන්ත්‍රයට පහළින් සවිකොට තිබුණා. අඟල් 15 ක පමණ උසකින් යුත් මෙම පූජනීය රොබෝවරයාගේ නිෂ්පාදනයට අදාළ සියලු කටයුතු ක්‍රිස්තු වර්ෂ 1560 දී පමණ අවසන් වූවා.

භක්තිමත් පූජකවරයකුගේ සක්මන, දෙනෙත්වල චලනය, දෙතොල් සෙලවීම, හිස චලනය කිරීම හා බැඳුණු ප්‍රධාන අංග එලෙසින් ම අනුකරණය කිරීමට මෙකී රොබෝ යන්ත්‍රයට හැකි වූවා. ගැඹුරු යාඥාවක නිරතවන පූජකතුමකුගේ ස්වරූපය, ගීතිකා ගායනා කරන පූජක ස්වරූපය, හිස වනමින් සිටින පූජකතුමාගේ ස්වරූපය, සිය දකුණු හස්තයෙන් පපු පෙදෙස ස්පර්ශ කරමින් සිටින පූජක ස්වරූපය, ජපමාලයක් සහ කුරුසියක් සිප ගන්නා පූජකතුමකුගේ ස්වරූපය යනාදි හැසිරීම් රටා කිහිපයක් අනුකරණය කිරීමේ හැකියාව ද ජුවානෙලෝගේ රොබෝවරයා සතු ව පැවතියා.

රාජ ආඥාව අකුරට ම අනුගමනය කළ ජුවානෙලෝ, දැති රෝද සහ ලීවර මූලධර්ම භාවිතයෙන් ක්‍රියාත්මක වන පූජකවරයකුගේ පෙනුමට සමාන කුඩා රොබෝ යන්ත්‍රයක් නිපදවනවා – delivery service

මේ වන විට වසර 450 ක ඉතිහාසයකට උරුමකම් කියන රොබෝ පූජකතුමා අදටත් හරි අපූරුවට ක්‍රියාත්මක වනවා. වොෂින්ටන් හි ස්මිත්සෝනියන් කලා කෞතුකාගාරයට පිය නැඟූ විටෙක මෙකී අරුම පුදුම රොබෝවරයා දැකගැනීමේ හැකියාව ඔබටත් හිමි වනවා.

2). ඩා වින්චිගේ නයිට්වරයා

ඉතාලි ජාතික ලියනාඩෝ ඩා වින්චි ඉංජිනේරුවකු, චිත්‍ර ශිල්පියකු සහ විද්‍යාඥයකු ලෙස කටයුතු කළ අයෙක් වූවා. යුරෝපා පුනරුද සමය තුළත් කැපී පෙනුණු සේවයක් ඉටුකළ හෙතෙම ලොව ප්‍රකට මොනාලීසා සිතුවම ඇඳි සිත්තරා ද වූවා. භෞතික විද්‍යා මූලධර්ම ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන සුවිශේෂී යන්ත්‍ර කිහිපයක ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය සවිස්තරාත්මක රූප සටහන් ඇසුරෙන් පැහැදිලි කර දීමටත් ලියනාඩෝ සමත් වූවා.

හෙලිකොප්ටරය බිහිවීමට මූලික අඩිතාලම දැමූ ගුවන් යන්ත්‍රයක පැරණිත ම සැලසුම් සටහන 15 වැනි සියවසට දායාද කර දීමට ලියනාඩෝ උත්සුක වූවා – vinci-closluce.com

හෙලිකොප්ටරය බිහිවීමට මූලික අඩිතාලම දැමූ ගුවන් යන්ත්‍රයක පැරණිත ම සැලසුම් සටහන, යුද ටැංකියකට සමාන යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය පිළිබඳ සිදු කළ පුළුල් විග්‍රහය, හයිඩ්‍රොලික් බලයෙන් ක්‍රියාත්මක වන ජල ඔරලෝසු කටු සටහනට අමතර ව යාන්ත්‍රික රොබෝ සිංහයෙක් දක්වා වූ නවෝත්පාදන රාශියක් 15 වැනි සියවසට දායාද කර දීමට ලියනාඩෝ උත්සුක වූවා.

ඩා වින්චි ඉදිරිපත් කළ මෙකී සුවිශේෂ අදහස් හමුවේ එකල ලෝකයා සැබෑ මවිතයකට පත් වූවා. ජර්මානු නයිට්වරයෙක් ආයුධ සන්නද්ධ ව සිටින අයුරු යාන්ත්‍රික ස්වරූපයකින් නිර්මාණය කිරීම හෙතෙම අනුගමනය කළ මීළඟ පියවර වූවා. කප්පි සහ කේබල් යනාදියේ චාලක මූලධර්ම ඇසුරෙන් ක්‍රියාත්මක වන ඩාවින්චිගේ නයිට්වරයා වාඩි වීම, නැගී සිටීම, හිස හැරවීම, දෑත් එකිනෙකට හරස් කිරීම සහ දෑත් ඔසවා ගෙන සිටීම යනාදී හැසිරීම් රටා කිහිපයක් අනුගමනය කළ හැකි අයකු ද වූවා.

ජර්මානු නයිට්වරයෙක් ආයුධ සන්නද්ධ ව සිටින අයුරු යාන්ත්‍රික ස්වරූපයකින් නිර්මාණය කිරීම ඩා වින්චි අනුගමනය කළ මීළඟ පියවර වූවා – www.ststworld.com

ලියනාඩෝ සැලසුම් කළ නයිට්වරයාගේ අංගසම්පූර්ණ යාන්ත්‍රික සටහන මේ වන විටත් සොයා ගැනීමට නොහැකි ව තිබෙනවා. ආයුධ සන්නද්ධ නයිට්වරයාගේ ප්‍රාථමික මූලාකෘතියක් ගොඩ නඟා එහි ක්‍රියාකාරීත්වය මැනවින් නිරීක්ෂණය කිරීමට ඩා වින්චි නැමති ප්‍රාඥයා ක්‍රිස්තු වර්ෂ 1495 දී සැලසුමක් සිදු කළා.

NASA ආයතනයේ රොබෝ විද්‍යාඥයකු ලෙස කටයුතු කළ මාර්ක් රොෂයිම්, ලියනාඩෝගේ රොබෝ නයිට්වරයා පරික්ෂා කර බැලීමට ඩා වින්චි ලියා තැබූ අසම්පූර්ණ කටු සටහන් ඒ ආකාරයට ම අනුගමනය කිරීමට 2002 වසරේදී උත්සුක වූවා. මිනිසකුගේ සැබෑ උස අනුගමනය කරමින් නිර්මාණය කළ මෙකී රොබෝවරයා ක්‍රියාශීලී යන්ත්‍රයක් බවට එහිදී පරිවර්තනය වූවා. රොබෝ තාක්ෂණය බිහිවීමට උරදුන් මූලික පුරෝගාමියෙක් ලෙස ලියනාඩෝ ඩා වින්චිගේ නාමය යෝජනා කළ යුතු බව මාර්ක් රොෂයිම් පවසා සිටියා.

NASA ආයතනයේ රොබෝ විද්‍යාඥයකු ලෙස කටයුතු කළ මාර්ක් රොෂයිම්, ලියනාඩෝගේ රොබෝ නයිට්වරයා පරික්ෂා කර බැලීමට ඩා වින්චි තැබූ අසම්පූර්ණ කටු සටහන් ඒ ආකාරයට ම අනුගමනය කළා – editions.covecollective.org

3). ආකර්ෂණීය රිදී හංසයා

නව නිපැයුම් ශිල්පියකු වූ ජේම්ස් කොක්ස්, ජෝන් ජෝසප් මර්ලින් නමeති ඔරලෝසු කාර්මිකයා සමඟ එක්ව යන්ත්‍රානුසාරී ව ක්‍රියාත්මක වන හංසයකු 1773 වසරේ දී නවෝත්පාදනය කළා. සාමාන්‍ය බිත්ති ඔරලෝසුවල දක්නට ලැබෙන මෝටර් උපාංග ත්‍රිත්වයකින් බල ගැන්වෙන මෙකී හංසයා රිදී වර්ණයෙන් හැඩ ගන්වා තිබුණා. ගලා යන දිය දහරාවක පාවෙමින් සිටින හංසයකු ජීවමාන ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කිරීමට මෙම යන්ත්‍රයේ නිර්මාණවේදීන් දැඩි උත්සහයක නිරත වූවා.

සිය ගෙල පෙදෙස පහළට යොමුකොට යළි ඉහළට එසවීම, හිස දෙපසට සෙලවීම සහ මත්ස්‍යයකු තම හොටේ ග්‍රහණයට නතු කොට එකී ගොදුර අනුභව කිරීම යනාදී අංග චලන මෙම රිදී හංසයා යන්ත්‍රානුසාරී ව අනුගමනය කළා. හංසයාගේ ශරීර අභ්‍යන්තරය ජීවමාන හංසයකුගේ මුවින් පිටවන ස්වකීය ශබ්ද පට සහ මියුරු සංගීත රාවයක් ගෙන දෙන කුඩා යන්ත්‍රයකින් සමන්විත වූවා.

නව නිපැයුම් ශිල්පියකු වූ ජේම්ස් කොක්ස්, ජෝන් ජෝසප් මර්ලින් නම් ඔරලෝසු කාර්මිකයා සමඟ එක් ව යන්ත්‍රානුසාරී ව ක්‍රියාත්මක වන හංසයකු 1773 වසරේදී නවෝත්පාදනය කළා -alchetron.com

ක්‍රිස්තු වර්ෂ 1872 දී මහා බ්‍රිතාන්‍යයට අයත් බෝව්ස් කෞතුකාගාරය මෙම රිදී හංසයා මිලට ගෙන මහජන දැක්ම උදෙසා එම කෞතුකයෙහි තබා ප්‍රදර්ශනය කළා. ලන්ඩනයේ ජේම්ස් කොක්ස් යාන්ත්‍රික කෞතුකාගාරයට මහජන ආකර්ශනය දිනාගනු පිණිසත් මෙම යාන්ත්‍රික හංසයා ප්‍රදර්ශනාත්මක ස්වරූපයක් ගෙන තිබුණා.

1867 වසරේ පැවති අන්තර්ජාතික පැරිස් ප්‍රදර්ශනයට යම් අලංකාරයක් එක් කළ අංගය වූයේද මෙකී රිදී හංසයා යි. සුප්‍රකට නවකතා රචක මාර්ක් ට්වේන් ප්‍රංශයේ සිදු කළ සංචාරයක් අතරතුර මෙම රිදී හංසයා අහම්බයෙන් මෙන් දුටු අයකු වූවා. සජීවී හංසයකුට බෙහෙවින් සමාන මෙම විස්මිත නිර්මාණය, ක්‍රමානුකූලව සංවර්ධනය වන මිනිසාගේ යාන්ත්‍රික බුද්ධිය මනාව නිරූපණය කරන බව හෙතෙම සඳහන් කළා.

ගලා යන දිය දහරාවක පාවෙමින් සිටින හංසයකු ජීවමාන ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කිරීමට මෙම යන්ත්‍රයේ නිර්මාණවේදීන් දැඩි උත්සහයක නිරත වූවාThe Bowes Museum

4). අඟුටුමිටි ජනතාව

යාන්ත්‍රික තාක්ෂණය උපරිම මට්ටමකට එළඹෙමින් පැවති යුගයක් ලෙස 18 වැනි සියවස අර්ථ දැක්වීමට පුළුවන්. යුරෝපා මහද්වීපය පුරාවට ව්‍යාප්ත වූ මෙම තාක්ෂණික උන්මාදය යාන්ත්‍රික දියුණුව අරබයා බිහි වූ කුඩා උපාංග හේතුවෙන් විචිත්‍රවත් වූවා. ස්විට්සර්ලන්ත ජාතික පියරේ ජැක්ස්-ඩ්‍රෝස් ක්‍රිස්තු වර්ෂ 1768 – 1774 යන කාලවකවානුව අතරතුර අඟුටුමිටි පෙනුමකට සමාන කුඩා අනුරූ තුනක් ගොඩනැංවූවා.

එකල සමාජයේ පැවති ස්ථර ත්‍රිත්වයක් ඉහත අනුරූ කිහිපය නිරූපණය කළා. ලේඛකයා, සැලසුම් ශිල්පියා සහ සංගීතඥයා යනුවෙන් එම අනුරූ කිහිපය හැඳින්වූවා.

ස්විට්සර්ලන්ත ජාතික පියරේ ජැක්ස්-ඩ්‍රෝස් අඟුටුමිටි පෙනුමකට සමාන කුඩා අනුරූ තුනක් ගොඩනැංවූවා – MAHN

සෙන්ටිමීටර් 60 ක උසකින් යුත් මෙම කුඩා අඟුටුමිට්ටන් දාර සහිත කේතගත තැටි පද්ධතියකින් චලනය වූවා. සැබෑ තීන්ත හෝ කඩදාසි භාවිතයෙන් අක්ෂර ලිවීම, චිත්‍ර සටහන් ඇඳීම සහ සංගීත භාණ්ඩයක් වාදනය කිරීම යනාදී අංග චලන පවා මෙකී අනුරූ හරි අපූරුවට අනුකරණය කළා.

සෙන්ටිමීටර් 60 ක උසකින් යුත් මෙම කුඩා අඟුටුමිටිට්ටන් දාර සහිත කේතගත තැටි පද්ධතියකින් චලනය වූවා -media.techeblog.com

5). අල්-ජසාරිගේ සංගීත කණ්ඩායම

අරාබි ජාතික බුද්ධිමතෙක් වූ අල් ජසාරි නවෝත්පාදන රාශියක් මෙලොවට දායාද කළ අයකු වූවා. යාන්ත්‍රික ව ක්‍රියාත්මක වන වයින් සේවිකාව, ජලයෙන් ක්‍රියාත්මක වන ඔරලෝසුව හා සබන් සහ අත් පිස්නා යන්ත්‍රානුසාරී ව සපයා දෙමින් අත් සෝදවන යන්ත්‍රය මොහු නිපදවූ නිර්මාණ අතරට එක් වූවා.

ජල කඳක් මත පාවෙමින් ක්‍රියාත්මක වන යාන්ත්‍රික වාදක-මඩුල්ල හෙතෙම නිර්මාණය කළේ ක්‍රිස්තු වර්ෂ 1206 දී යි. කුඩා පොකුණක්, වැවක් හෝ දිය උල්පතක් මත පාවෙමින් සිටින අතරතුර සංගීතය සපයා දීම මෙම වාදක-මඩුල්ල සිදු කළ ප්‍රධාන කර්තව්‍යය වූවා.

ජල කඳක් මත පාවෙමින් ක්‍රියාත්මක වන යාන්ත්‍රික වාදක-මඩුල්ල අල්-ජසාරි නිර්මාණය කළේ ක්‍රිස්තු වර්ෂ 1206 දීයි – upload.wikimedia.org

ලීවරවල චාලක ශක්තිය උපයෝගී කරගනිමින් නිර්මාණය කළ මෙය, විවිධ ශබ්ද උත්පාදනය කරන වීණා වාදකයෙක්, ෆ්ලූට් වාදකයෙක් සහ බෙර වාදකයන් දෙදෙනකුගෙන් සමන්විත වාද්‍ය වෘන්දයක් වූවා. වෘන්දය රැගත් ඔරුව චලනය කිරීමට යාන්ත්‍රික හබල් කරුවන් කිහිපදෙනකුත් සහායට සිටියා. ඉතිහාසයේ බිහි වූ ප්‍රථම වැඩසටහන්ගත කළ හැකි යන්ත්‍රය අල්-ජසාරිගේ යාන්ත්‍රික සංගීත කණ්ඩායම ලෙස පිළිගැනෙනවා.

6). බුදින තාරාවා

ප්‍රංශ ජාතික ජැක් ද වෝකන්සන් රාමුවෙන් ඔබ්බට සිතූ නව නිපැයුම්කරුවකු වූවා. සාමාන්‍ය තාරාවකුගේ ආහාර ජීරණය පද්ධතියට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය යාන්ත්‍රික ව නිරූපණය කිරීමට හෙතෙම සමත් වූයේ 1738 වසරේ දී යි.

වෝකන්සන් නිර්මාණය කළ මෙම යාන්ත්‍රික සත්ත්වයා “ බුදින තාරාවා ” යනුවෙන් හැඳින්වූවා. චලනය වන ලෝහ කොටස් 400 කින් මෙකී තාරාවා සමන්විත වූවා. මීට අමතර ව තාරාවාගේ බාහිර ශරීරය තඹ ලෝහයෙනුත් අභ්‍යන්තර ශරීරයට අදාළ කොටස් රබර් භාවිතයෙනුත් සාදා තිබුණා. පියාපත් ගසා ගැනීම, ජලය පානය කිරීම, ධාන්‍ය ඇට අනුභව කිරීම, අනුභව කළ ආහාරය දිරවීම සහ අවසාන වශයෙන් දිරවූ ආහාරය ශරීර කෘතයකින් බැහැර කිරීම දක්වා වූ හැසිරීම් රටා සියල්ල අනුකරණය කිරීමට මෙකී පක්ෂියා සමත් වූවා.

ප්‍රංශ ජාතික ජැක් ද වෝකන්සන් තාරවකුගේ ආහාර ජීරණය පද්ධතියට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය යාත්‍රිකව නිරූපණය කිරීමට හෙතෙම සමත් වූයේ 1738 වසරේ දී යි -cdna.artstation.com

නම්‍යශීලී රබර් ටියුබයක් යාන්ත්‍රික තාරා ශරීරයේ ආන්ත්‍රික කොටස ලෙස ක්‍රියා කළා. ආහාරයක් ගිල දමා එය ජීර්ණය කිරීම යන සංසිද්ධිය අනුකරණය කළ මෙම සත්ත්වයා දුටු අය බොහෝමයක් ක්ෂණයකින් මවිතයට පත් වූවා.

18 වන ශතවර්ෂයේ බිහිවූ අද්විතීය නිමැවුමක් ලෙස සැලකෙන වෝකන්සන්ගේ තාරාවා යුරෝපා උසාවි සංකීර්ණ කිහිපයක ම මහජන දැක්ම පිණිස ප්‍රදර්ශනය කළා. ප්‍රංශයේ යාන්ත්‍රික මහිමය අන්‍යයන්ට කියාපෑමට මෙම තාරාවාට හැකියාවක් ලැබූ බවත් මෙහිදී සඳහන් කළ යුතු යි.

7). යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයා

1769 වසරේදී හංගේරියානු ජාතික වුල්ෆ්ගැන්ග් වොන් කෙම්පලෙන් චෙස් ක්‍රීඩාවේ නියැළෙන යන්ත්‍රයක් නවෝත්පාදනය කළා. වෘත්තීයමය චෙස් ක්‍රීඩකයකුගේ ක්‍රීඩා විලාසය අනුකරණය කිරීමට මෙම යන්ත්‍රයට හැකිවූවා. ප්‍රමාණයෙන් විශාල ලී මේසයට සමාන වූ යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයා ලීවර, කේබල් සහ කප්පි යනාදිය භාවිතයෙන් ක්‍රියාත්මක වූ සංකීර්ණ පද්ධතියක් ලෙසත් හැඳින්වූවා. මෙම යන්ත්‍රයේ මතුපිට කොටස පුද්ගලයන් දෙදෙනකුට ක්‍රීඩා කළ හැකි චෙස් පුවරුවකින් සමන්විත වූවා.

තමා සිදු කළ නව නිපැයුම මහජන දැක්ම පිණිස සමස්ථ යුරෝපා මහද්වීපය පුරා ප්‍රදර්ශනය කිරීමට වුල්ෆ්ගැන්ග් කෙම්පලෙන් පියවර ගෙන තිබුණා. එලෙස සංවිධානය කළ ප්‍රදර්ශනාත්මක වැඩසටහන්වලට සහභාගී වූ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් මෙම යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය දැක විස්මයට පත් වූවා. මෙවැනි ප්‍රදර්ශනයකට සහභාගී වූ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා පවා මෙකී යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයා හමුවේ පරාජයට පත් වූවා. වුල්ෆ්ගැන්ගේ යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයා වෙත ප්‍රේක්ෂක කුතුහලය දැඩිව එල්ල වූයේ මෙයින් අනතුරුවයි.

1769 වසරේදී හංගේරියානු ජාතික වුල්ෆ්ගැන්ග් වොන් කෙම්පලෙන් චෙස් ක්‍රීඩාවේ නියැළෙන යන්ත්‍රයක් නවෝත්පාදනය කළා – cdn.britannica.com

යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයාට අභියෝග කළ දක්ෂ තරගකරුවන් බොහෝ දෙනෙක් මෙම යන්ත්‍රය ක්‍රීඩා කළ විලාසය දැක මහත් සේ පුදුම වූවා. තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ මොවුන් පවසා සිටියේ වුල්ෆ්ගැන්ගේ චෙස් ක්‍රීඩකයා යන්ත්‍රානුසාරී බුද්ධියකින් බැහැරව විචක්ෂණශීලී මිනිසකුගේ ක්‍රීඩා විලාසය අනුගමනය කිරීමට බොහෝ අවස්ථාවන්හි පෙලැඹුණු බව යි.

මෙම චෙස් ක්‍රීඩක යන්ත්‍රයේ නිර්මාතෘ වියෝ වූ පසු ජොහැන්නන් මාලසෙල් නැමැති පුද්ගලයකු යාන්ත්‍රික ක්‍රීඩකයා මිලදී ගැනීමට උත්සුක වූවා. යුරෝපා සහ අමෙරිකානු මහද්වීප පුරාවට නැවත වරක් ප්‍රදර්ශනය කළ මෙම යන්ත්‍රය සැලසුම්සහගත චෙස් තරඟ කිහිපයකටත් සහභාගී වූවා.

එම තරගවලින් ජය ගැන්මත් සමඟ ප්‍රේක්ෂක ජනයාගේ නොමඳ කුකුසට මෙම යන්ත්‍රය පාත්‍ර වූවා. සුප්‍රකට ලේඛකයකු වූ එඩ්ගාර් ඇලන් පෝ, යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයා සහභාගී වූ එක් ප්‍රදර්ශන වැඩසටහනකට පැමිණීමෙන් අනතුරුව පවසා සිටියේ මෙකී යන්ත්‍රය ක්‍රියාත්මක කරවීමට මිනිසකුගේ මෙහෙයවීමක් කොතැනක හෝ තිබිය යුතු බව යි.

නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා පවා මෙකී යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයා හමුවේ පරාජයට පත් වූවා – chessjournal.b-cdn.net

ඇලන් පෝ ගේ සැකය සත්‍යයක් බවට ඔප්පු කරමින් යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයා පසුපස තිබූ සැබෑ රහස මාධ්‍යය හමුවේ පාපොච්චාරණය කිරීමට යම් තැනැත්තෙක් 1837 වසරේදී ඉදිරිපත් වූවා.

වෘත්තීයමය චෙස් ක්‍රීඩකයකු චුම්බක කැබලි අතලොස්සක් භාවිතයෙන් මෙම යන්ත්‍රය අභ්‍යන්තරයේ සිට එහි මතුපිට පෘෂ්ඨයේ තිබූ චෙස් ඉත්තන් මෙහෙයවීම සිදුකළා. යන්ත්‍රයේ අරුම පුදුම හැකියාවට වශී වී සිටින අයකුට මෙම ප්‍රෝඩාව එකවර සොයා ගැනීමට නොහැකි වූවා. සාමාන්‍ය මිනිසකුට වාඩි වී චෙස් ක්‍රීඩා කිරීමට අවැසි මට්ටමේ ඉඩකඩක් එම යන්ත්‍රය තුළ වූවා. මෙකී වංචාව හෙළිදරව් වූ පසු 1854 වසරේ දී ගොඩනැඟිල්ලක හට ගත් ගින්නකින් යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයා විනාශයට පත් වූවා.

සුප්‍රකට ලේඛකයකු වූ එඩ්ගාර් ඇලන් පෝ, යාන්ත්‍රික චෙස් ක්‍රීඩකයා සහභාගී වූ එක් ප්‍රදර්ශන වැඩසටහනකට පැමිණීමෙන් අනතුරුව පවසා සිටියේ මෙකී යන්ත්‍රය ක්‍රියාත්මක කරවීමට මිනිසකුගේ මෙහෙයවීමක් කොතැනක හෝ තිබිය යුතු බවයි -en.chessbase.com

කවරයේ ඡායාරූපය: මිනිසාට අභියෝගයක් විය හැකි බුද්ධිමත් යන්ත්‍රයක නැඟී ඒම අනාගත ලෝකය තුළ සිදු සිදුවිය හැකි බව නොයෙකුත් පාර්ශව සිටියා - www.gannett-cdn.com

ලිපියේ මූලාශ්‍ර -
www.history.com
www.bbvaopenmind.com

Related Articles