රතු දත්ත පොත පරිසරයට ලැදි බොහෝ පිරිස් නම කියූ පමණින් දන්නා පොතක් නමුත්, එහි නම සඳහන් වීම නම් එතරම් යහපත් නැහැ. ඇත්තෙන්ම, ජීවි විශේෂයක නම සඳහන් නොවන තරමට හොඳ රතු දත්ත පොත ගැන යි අද මේ කතා කරන්න යන්නේ.
වර්ෂ 1948 දී ආරම්භ වූ, සොබාදහම රැකීමේ ජාත්‍යන්තර සංගමය (The International Union for Conservation of Nature/IUCN) සොබාදහම සුරැකීම සහ ස්වභාවික සම්පත් තිරසරව භාවිතා කිරීම සම්බන්ධ කටයුතුවල යෙදෙන ජාත්‍යන්තර සංවිධානයක්. ඔවුන් 1964 දී ආරම්භ කරන ලද රතු දත්ත පොත (Red List/ Red Data Book) ගෝලීය වශයෙන් ජීවීන්ගේ සංරක්ෂණ තත්ත්වය පිළිබඳව වඩාත්ම නිවැරදි තොරතුරු වාර්තා කෙරෙන ලේඛනය බව වර්තමානය වන විට පිළිගැනේ. එයින් වාර්තා කෙරෙන තොරතුරු මත, ඇතැම් ජීවි විශේෂ බොහොමයක් මිහිපිටින් තුරන් නොවී සංරක්ෂණයට හැකියාව ලැබී තිබීම එහි ප්‍රයෝජනවත්භාවයට හොඳ නිදසුනක්.
IUCN රතු ලැයිස්තුව ජීවී විශේෂ ප්‍රවර්ග සහ නිර්ණායකයන් කීපයක් යටතේ ඉදිරිපත් කරන අතර, ලෝකයේ ජෛව විවිධත්වයේ පැවැත්ම පිළිබඳව තීරණාත්මක දර්ශකයක් ලෙස ක්‍රියාකරයි. එය හුදෙක්ම එක් එක් ජීවී විශේෂ සටහන් කෙරෙන ලැයිස්තුවක් නොව, ඒ එක් එක් විශේෂයන්ගේ පැවැත්ම, ව්‍යාප්තිය, චර්යා රටාව, ඔවුන්ට අවශ්‍ය පාරිසරික තත්ත්වය වාර්තා කෙරෙන, හා ඒ එක් එක් විශේෂයන් සංරක්ෂණය හා ප්‍රතිපත්තිමය වෙනස්කම් ඇතිකරවීමට දායක වන ප්‍රබල මෙවලමකි. පාරිසරික විද්‍යාත්මක පදනම් සහිතව එම විශේෂවලට පවතින තර්ජනයන්, සංරක්ෂණ ක්‍රියාමාර්ග මෙන්ම භාවිතයන් හා වාණිජ්‍යමය භාවිතාවන් පිළිබඳ තොරතුරු පවා ඇතුළත්ව පවතී.
IUCN රතු ලැයිස්තු කාණ්ඩ/ ප්‍රවර්ග සහ නිර්ණායක
රතු ලැයිස්තුව ප්‍රධාන වශයෙන් කාණ්ඩ/ප්‍රවර්ග නවයකට බෙදා ඇති අතර, එය ගෝලීය වශයෙන් වඳවීමේ වැඩි අවදානමක් ඇති විශේෂ වර්ගීකරණය කිරීමේ පහසුව මත පදනම් වී ඇත. එම කාණ්ඩ මෙසේ යි:
- දැනට තක්සේරු නොකළ එනම් ඇගයීමට ලක්නොවූ විශේෂ (NE)
- ප්‍රමාණවත් දත්ත නොමැති/ දත්ත ඌන ජීවි විශේෂ (DD)
- අඩු අවදානමක් ඇති ජීවි විශේෂ (LC)
- තර්ජනයට ආසන්න ජීවි විශේෂ (NT)
- අවදානමට/තර්ජනයට ලක්විය හැකි විශේෂ (VU)
- වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ජීවි විශේෂ (EN)
- උග්‍ර ලෙස අවදානමට ලක්වූ ජීවි විශේෂ (CR)
- ස්වභාවික පරිසරයෙන් වඳව ගොස් ඇති ජීවි විශේෂ (EW)
- නෂ්ට වූ/ වඳවී ඇති ජීවි විශේෂ (EX)
අපි මේ ප්‍රවර්ගයන් එකින් එක සලකා බලමු.
දැනට තක්සේරු නොකළ, එනම් ඇගයීමට ලක් නොවූ විශේෂ
තවමත් මෙම විශේෂ පිළිබඳව අධ්‍යයනයන් කිසිවක් කර නොමැත. මෙයින්, මෙම ජීවි විශේෂ තර්ජනයට ලක්ව නැති බවක් අදහස් නොකෙරෙන අතර, හුදෙක් ඔවුන් ප්‍රවර්ගයක් යටතට දැමීමට අධ්‍යයනයක් සිදුකර නොමැති බව අදහස් වේ.
ප්‍රමාණවත් දත්ත නොමැති/ දත්ත ඌන ජීවි විශේෂ
මෙම කාණ්ඩයට ප්‍රමාණවත් තොරතුරු නොමැති හා හඳුනාගැනීමේ ගැටළු ඇති, ව්‍යාප්තිය පිළිබඳව තොරතුරු නොමැතිවීම නිසා තවමත් අධ්‍යයනය කර නොමැති විශේෂ අයත් වේ.
අඩු අවදානමක් ඇති ජීවි විශේෂ
මෙම කාණ්ඩයට අයත් වන්නේ පහත කාණ්ඩයන්ට අයත් නොවූ, අධ්‍යනයන් කර ඇති විශේෂ වේ. මෙම කාණ්ඩයට අයත් විශේෂවල බහුලතාවය නිසාම නුදුරු අනාගතයේ තර්ජයට ලක්වීමේ අවදානමක් නොමැති ජීවි විශේෂ මෙයට ඇතුළත්ව පවතී.
තර්ජනයට ආසන්න ජීවි විශේෂ
දැනට තර්ජනයට ලක්ව නැතත්, නුදුරු අනාගතයේ දී වඳවීමේ තර්ජනයට ලක්වීමේ හැකියාවක් සහිත, අවධානය යොමුකර සංරක්ෂණය කළ යුතු, සංරක්ෂණ පියවර නොගතහොත් තර්ජනයට ලක්විය හැකි ජීවී විශේෂ මෙයට අයත් වේ.
අවදානමට/තර්ජනයට ලක්විය හැකි ජීවි විශේෂ
උග්‍ර ලෙස අවදානමට ලක්නොවුණත්, ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් වන සාධක අවම නොවුවහොත් හෝ ඔවුන්ගේ බෝවීම වේගවත් නොවුවහොත් අනාගතයේ තර්ජනයට ලක්වීමේ හැකියාව ඉතාමත් ඉහළ විශේෂ මෙම කාණ්ඩයට අයත් වේ. දැනට බුලත් හපයා (Pethia nigrofasciata), වත රතු මල්කොහා (Phaenicophaeus pyrrhocephalus), සහ ශ්‍රී ලංකා මයිලගොයා (Columba torringtoniae) වැනි ලංකාවේ ජීවී විශේෂ කිහිපයක් මෙම කාණ්ඩය යටතේ පවතී.
වඳවීමේ තර්ජනයට ලක්වී ඇති ජීවි විශේෂ
නුදුරු අනාගතයේ නෂ්ටවීමේ අවදානම සහිත ජීවීන් මෙම කාණ්ඩයට ඇතුළත් කෙරේ. මොවුන් ස්වභාවික පරිසරයේ වඳවීමට හේතු සාධක බහුල නිසා උග්‍ර අවධානමට ලක්විය හැකි විශේෂ වේ. ලංකා හබන් කුකුළා (Suncus zeylanicus), දඬු ලේනා (Ratufa macroura), සහ ආසියානු අලියා (Elephas maximus) මෙයට අයත් ය.
උග්‍ර ලෙස අවදානමට ලක්වූ ජීවි විශේෂ
නුදුරු අනාගතයේ දීම වඳවීමේ තර්ජනයට තදබල ලෙස මුහුණ දී ඇති ජීවීන් විශේෂ මෙම කාණ්ඩය යටතට ගැනේ. මේ යටතට ලංකාවේ ගල් සේරු (Diplospora erythrospora) සහ දොරණ (Dipterocarpus glandulosus) වැනි ශාක ද, දින කීපයකට පෙර ගම්පහ අධිවේගී මාර්ගය සැදීමට කපාදමන්නට ගොස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනියකගේ මැදිහත්වීමෙන් ඉතිරි කෙරුණු Crudia Zeylanica ශාකය ද අයත් ය.
ස්වභාවික තත්ත්ව යටතේ නැති ආරක්ෂිත ජීවි විශේෂ
නිජබිම් අහිමි වීම නිසා හෝ වෙනත් හේතුවක් නිසා ස්වභාවික පරිසරයෙන් වඳවී ගොස් ඇති නමුත්, ඇතිකරන ලද තත්ත්ව යටතේ පමණක් (සත්වෝද්‍යාන/ සංරක්ෂණ ස්ථාන ආදිය) දැකිය හැකි ජීවී විශේෂ මෙයට ඇතුළත් වේ.
නෂ්ට වූ/ වඳවී ඇති ජීවි විශේෂ
මෙම කාණ්ඩයේ සියළුම ජීවීන් ස්වභාවික පරිසරයේ මෙන්ම ඇතිකරන තත්ත්ව යටතේ පවා නැති, පෘථිවිය මත සිටින අවසාන ජීවියා පවා වඳවී ගිය ජීවි විශේෂයන් වේ. මේ යටතට ඩෝඩෝ පක්‍ෂියා (Raphus cucullatus), සහ බටහිර අප්‍රිකානු කළු රයිනෝ (Diceros bicornis longipes) වැනි සත්ත්වයින් අයත් වේ.
ජීවි විශේෂයක නෂ්ටවීම ස්වභාවික ක්‍රියාවලියේ කොටසක් වුවත්, මෑත කාලීනව සිදුවූ ජීවී විශේෂ නෂ්ටවීම්වලට මිනිසාගේ ක්‍රියාකාරකම් ඍජු ලෙස බලපෑමක් ඇති කර තිබෙනවා. විසිවන සියවස හා විසිඑක්වන සියවස තුළ දී ජීවි විශේෂ නෂ්ටවීමේ සීඝ්‍රතාවය ඉතා ඉහළ ගොස් තිබෙනවා. එයට ප්‍රධාන වශයෙන් මානව ගහණයේ වර්ධනය හා ශිෂ්ටාචාරවල වර්ධනය නිසා භූමිය කඩ කඩ වීම, වනාන්තර වැනි ස්වභාවික වාසස්ථාන විනාශ කිරීම, කෘෂි කර්මාන්තය සඳහා බිම් එළිපෙහෙළි කිරීම ආදී කරුණු බලපා තිබෙනවා.
උභයජීවී විශේෂ 40%ක්
ක්ෂීරපායි විශේෂ 26%ක්
කේතුධර ශාක විශේෂ 34%ක්
පක්ෂී විශේෂ 14%ක්
මෝරුන් හා මඩුවන් විශේෂ 33%ක්
කොරල්පර විශේෂ 33%ක්
තෝරාගත් ක්‍රශ්ටෙශීය විශේෂ 28%ක්
මේ මොහොත වනවිට තර්ජනයට ලක්වී ඇත.
ලංකාවේ ද, ජීවි විශේෂ බොහොමයක් තර්ජනයට ලක්ව හෝ වඳවී යමින් පවතිනවා. වනාන්තර එළිපෙහෙළි වෙමින් සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති එයට මූලික හේතුවක්.
මිහිමතින් ජීවී විශේෂයක් වඳවී ගියහොත් එය නැවත ඇතිකළ නොහැකි ය. ඒ හෙයින් අපගේ ජීවිත කාලය තුළ එවන් විනාශයක් අප නිසා ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීම අපගේ වගකීම යි.