පෘථිවියේ ජීවය බිහි වූයේ කෙසේද යන ප්‍රශ්නයට මිනිසුන් සියවස් ගණනාවක සිට පිළිතුරු සොයමින් සිටිනවා. එක් එක් දැනුම් පද්ධතීන් මත පදනම් ව පෘථිවියේ ජීවය බිහිවූ අන්දම ගැන සංකල්ප ඒ අනුව බිහි වුණා. විද්‍යාත්මක ව අදහස් පළ කිරීමට පෙර, ජීවයේ සම්භවය සම්බන්ධයෙන් වූ ආගමික මතවාද වඩාත් ප්‍රචලිත ව පැවතුණා. එහිදී කිසියම් සර්වබලධාරී දෙවි කෙනකු ජීවය මැවීමෙන් පෘථිවිය මත ජීවය පහළ වුණායැ යි කියවෙනවා. විවිධ ආගමික විශ්වාස රැසක මැවුම්වාදය යම් යම් වෙනස්කම්වලට ලක්වී ප්‍රකාශ වන අයුරු අපිට දැකිය හැකි යි.
පෘථිවිය මත ජීවය ආරම්භ වූ අයුරු විද්‍යාව මඟින් පැහැදිලි කිරීමත් සමඟ ම මැවුම්වාදය විද්‍යාවත් සමඟ ගැටෙන්න පටන් ගත්තා. කොහොම නමුත්, විවිධත්වයක් සහිත මිනිස් විශ්වාසයක් ලෙස ජීවයේ ආරම්භය සමඟ බැඳුණු සංකල්ප රාශියක් අද දක්වා ම පවතිනවා. විද්‍යාව තුළත් ජීවයේ ආරම්භය සිදු වූ ආකාරය පැහැදිලි කරන ආකෘති කිහිපයක් තිබෙනවා. ජෛව-රසායනික පරිණාමය මත පදනම් ව ඉදිරිපත් කරන ආකෘති ඒ අතර වඩාත් පිළිගැනීමට ලක් වෙනවා. මෙම ලිපියෙන් ජීවයේ සම්භවය පැහැදිලි කෙරෙන, එහෙත් වඩා ප්‍රචලිත නොවූ, විද්‍යාව තුළ පවත්නා න්‍යායක තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරනවා.
පැන්ස්පර්මියා වාදය ගැන දැන ගනිමු
ජීවය පෘථිවිය තුළ සම්භවය නොවූ බවත්, එය විශ්වයේ කිසියම් තැනක ඇති වී පෘථිවියට පැමිණීමෙන් පසු අද අප දකින ආකාරයේ ජීවය දක්වා පරිණාමය වූ බව “පැන්ස්පර්මියා වාදය” මඟින් කියවෙනවා. තවත් සරල කළොත්, පෘථිවියට ජීවය පැමිණ තිබෙන්නේ පිටසක්වළින්. මෙය තරමක් දුරට අමුතුම ආකාරයේ පැහැදිලි කිරීමක් වුණත්, පැන්ස්පර්මියා වාදය එය පුළුල් ලෙස පැහැදිලි කරන කරුණු රාශියකින් යුක්ත යි.
පැන්ස්පර්මියා යන වචනයේ අර්ථය සරලව ම “සෑම තැනකම පවත්නා බීජ” යනුවෙන් විස්තර වෙනවා. පැන්ස්පර්මියා වාදයට අනුව ජීවය හට ගැනීමට තුඩු දෙන “බීජ” විශ්වය පුරා පවතින බවත්, එම බීජ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට අභ්‍යවකාශය හරහා ප්‍රචාරණය විය හැකි බවත් පැවසෙනවා. එලෙස අභ්‍යවකාශයේ එක්තරා ස්ථානයකින් පැමිණි බීජයක් හරහා පෘථිවිය මත ජීවය ස්ථාපනය වූ අයුරු පැන්ස්පර්මියා වාදයෙන් පැහැදිලි කෙරෙනවා. “බීජ” යන්නෙන් අදහස් කරන්නේ ක්ෂුද්‍ර ජීවි බීජාණු හෝ ඔවුන්ගේ න්‍යෂ්ඨික අම්ල යි.
පැන්ස්පර්මියා සංකල්පය
පැන්ස්පර්මියා සංකල්පය මූලික වශයෙන් පෝෂණය වීමට පටන් ගත්තේ 1830 සිට 1900 මුල් භාගය අතරතුර කාලය තුළ යි. ජෝන්ස් ජේකොබ් බර්සීලියස්, හ(ර්)මන් රිච්‍ටර්, ස්වාන්ට් ආහීනියස්, යන විද්‍යාඥයන්ගේ දායකත්වයෙන් මෙම සංකල්පය වර්ධනය වූ බව සඳහන් වෙනවා. මෑත කාලීන විද්‍යාඥයන් අතුරින් පැන්ස්පර්මියා සංකල්පය ප්‍රවර්ධනය කිරීමෙහි ලා ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ වැඩි වැඩ කොටසක් ඉෂ්ට කොට තිබෙනවා.
පැන්ස්පර්මියා වාදයේ දී විශ්වයේ එක් තැනක සිට තවත් තැනකට ජීව්‍ය බීජාණු පැතිරිය හැකි යාන්ත්‍රණ කිහිපයක් සාකච්ඡා වෙනවා. එයින් ප්‍රධාන ආකාර කිහිපයක් අපි සැකවින් සලකා බලමු.
රේඩියෝපැන්ස්පර්මියා
මෙම යාන්ත්‍රණය මඟින් ක්ෂුද්‍ර ජීවින් තාරකාවලින් නිකුත් වන විකිරණ වල පීඩනය උපකාරයෙන් සුදුසු ග්‍රහලෝකයක් හමු වන තුරු අභ්‍යවකාශය හරහා ගමන් කරන බව කියවෙනවා. අධික කාල පරාසයක් අභ්‍යවකාශය තුළ පවතින නිසා, විකිරණ හමුවේ බීජාණුවල DNA සහ RNA ස්වභාවය වෙනස් වන බැවින් රේඩියෝපැන්ස්පර්මියා යාන්ත්‍රණය බොහෝ අය පිළිගන්නේ නැහැ.
ලිතෝපැන්ස්පර්මියා
ග්‍රාහක, ධූමකේතු, උල්කාශ්ම වැනි දේවල් හරහා ග්‍රහලෝකයකින් ග්‍රහලෝකයකට “ජීවි බීජාණු” ගමන් කිරීමේ යාන්ත්‍රණයක් මෙහිදී විස්තර වෙනවා. බීජාණු සහිත ග්‍රාහක කොටස් ජීවය පවතින ග්‍රහලෝකයෙන් වෙන්වීමේ දී (ග්‍රාහක හෝ වල්ගා තරු ඝට්ටනය වීමක් මඟින්) සහ තවත් ග්‍රහලෝකයකට ගමන් කරන අතරතුර ඇති වන විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාවක් බීජාණුවලට පවතින බව මෙහිදී උපකල්පනය කෙරෙනෙවා.
සෘජු පැන්ස්පර්මියා න්‍යාය
පෘථිවියේ ජීවය ආරම්භ වූයේ වඩාත් දියුණු පිටසක්වළ ශිෂ්ටාචාරයක් හිතාමතා ම පෘථිවිය මත කළ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් නිසා බව මෙහිදී විස්තර වෙනවා. එහිදී අදාළ පිටසක්වළ ශිෂ්ටාචාරය වෙනත් ග්‍රහලෝකයක තිබුණ ජීවයක් පෘථිවියේ ස්ථාපනය කළ බව කියවෙනවා.
සුඩෝ-පැන්ස්පර්මියා
සාපේක්ෂ ව මෘදු අණුක ක්‍රියාවලියක් මඟින් ජීවයක් ඇතිවීම සඳහා අවශ්‍ය කාබනික තැනුම් ඒකක අභ්‍යවකාශයේ සැරිසරන දූලි වලාකුළු වල ඇති වී, පසුව ග්‍රහලෝක කරා පැමිණීමක් ගැන මෙම යාන්ත්‍රණයෙන් කියවෙනවා. මෙහි වෙනස වන්නේ, ජීවි බීජාණු නොව ජීවය ඇති වීම සඳහා අවශ්‍ය මූලික තැනුම් ඒකක පමණක් අභ්‍යවකාශයේ නිපදවෙන බව පැවසීම යි.
පැන්ස්පර්මියා වාදයේ මූලික ම ගැටලුව
විශ්වයේ එක් තැනක තිබූ ජීවය තවත් තැනක ස්ථාපනය වීමට නම්, එයට සහාය විය හැකි වෙනත් පිටස්තර ග්‍රහලෝකයක පරිසරයක් තිබිය යුතු වෙනවා. පිටස්තර ග්‍රහලෝකයක තිබූ “ජීවයේ බීජාණු” කිසියම් ක්‍රියාවලියකින් විශ්වයට පැමිණ, අභ්‍යවකාශයේ ඇති දූවිලි අංශු සමඟ සම්බන්ධවී වෙනත් ග්‍රහලෝකයක් කරා ගමන් කිරීමත් මෙම න්‍යාය අනුව සිදුවිය යුතුයි.
ජීවය විශ්වයේ එක් තැනකින් තවත් තැනකට සංක්‍රමණය වන ආකාරය පැහැදිලි කරන ආකෘති කිහිපයක් අප ඉහත සාකච්ඡා කළා. මෙහිදී ඉතා වැදගත් ගැටලුවක් හමුවේ පැන්ස්පර්මියා න්‍යාය අභියෝගයට ලක් වෙනවා. අභ්‍යවකාශය හරහා එක් තැනකින් තවත් තැනකට ජීවය ගමන් කිරීමේ දී අභ්‍යවකාශයේ පවතින පාරිසරික තත්ත්වය කිසිදු අයුරකින් ජීවයේ පැවැත්මකට සහය නොදීම පැහැදිලි කරන්නේ කෙසේ ද?
අභ්‍යවකාශය යනු පාරජම්බුල කිරණ, එක්ස්-කිරණ, කොස්මික් කිරණ වැනි මාරාන්තික විකිරණවලින් සමන්විත ස්ථානයක්. අන්තර් තාරකා අතර පවතින දුර සැලකීමේදී මෙම “ජීවයේ බීජාණු” බොහෝ කාලයක් විකිරණවලට එරෙහිව ජීවය රඳවා ගත යුතු යි. විකිරණ පමණක් නොව තවත් බොහෝ සාධක අභ්‍යවකාශය තුළ පවතින්නේ ජීවයට අවාසි වන අයුරින්.
පෘථිවියේ ජීවය පෘථිවියට අනන්‍ය ද?
මෙම ගැටලුව හමුවේ පැන්ස්පර්මියා න්‍යාය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු නැති බවයි ඇතැම් විද්වතුන්ගේ අදහස. එයට හේතුව වන්නේ, ඉතා ආන්තික තත්ත්ව යටතේ වුවත් ජීවිතය රැක ගන්නා ජීවින් පිරිසක් පෘථිවියේ පවා පැතිර සිටීම යි. සමහර බැක්ටීරියා සෙල්සියස් අංශක 113ක් තරම් ඉහළ උෂ්ණත්වයක පවා වර්ධනය වන අතරේ, තවත් සමහරක් සෙල්සියස් අංශක සෘණ 18ක් වැනි අවමයක් යටතේ ජීවි ක්‍රියා පෙන්වනවා. බොහෝ ක්ෂුද්‍ර ජීවි විශේෂ -196°C තරම් අවම උෂ්ණත්වයේ පවතින ද්‍රව නයිට්‍රජන්වල සංරක්ෂණය කළ හැකි යි.
ඉහළ මාත්‍රාවකින් යුතු අයනීකරණය සහ පාරජම්බුල කිරණ මෙන් ම, අධික පීඩනයක් පවා දරාගත හැකි ක්ෂුද්‍ර ජීවින් පෘථිවිය මත සිටිනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මූලික කරගෙන පැවැත්වූ “EXPOSE” නමැති අත්හදා බැලීම් හරහාත් මෙම කරුණ සනාථ වී තිබෙනවා. එහිදී ඔවුන් උල්කාපාතයක පවතින ස්ථරයකට සමාන ආරක්ෂිත ස්ථරයක් කාබනික ජීව විද්‍යාත්මක සාම්පල කිහිපයක් වටා ගොඩ නැඟුවා. මෙම සාම්පල තුළ බැක්ටීරියා බීජාණු, දිලීර, ශාක බීජ, වැනි දේ ඇතුළත් වුණා. පසුව, එම සාම්පල අභ්‍යවකාශයේ පවතින රුදුරු පරිසරයේ අවුරුදු එකහමාරක් පමණ පවතින්න ඉඩ හැරියා. රික්තකය, අධික විකිරණ සහිත පරිසරය, උෂ්ණත්වයේ පවතින විශාල උච්චාවචනය වීම් හමුවේ පවා ඇතැම් සාම්පල නොනැසී පැවතුණ බව එහිදී නීරික්ෂණය වුණා.
මෙම නීරික්ෂණවලින් පෙනී යන්නේ ජීවයට හිතකර පරිසරයක් පොදුවේ අර්ථ දැක්වීම අපහසු බව යි. පෘථිවියේ ජීවය පෘථිවියට ම අනන්‍ය බව පැවසීම අපහසු බවත් මෙයින් ගම්‍ය වෙනවා.
පැන්ස්පර්මියා න්‍යායෙන් කියවෙන “ජීවයේ බීජාණු” අභ්‍යවකාශයේ සැරිසරන අණුක වළාකුළුවලට ඇතුළත් වුවහොත්, එම බීජාණුවලින් කොටසක් වසර මිලියන ගණනක් තිස්සේ ජීව්‍ය තත්ත්වයෙන් පැවතිය හැකි බව මෙම න්‍යාය විශ්වාස කරන විද්වතුන් පවසනවා. එක් ග්‍රහ පද්ධතියක සිට තවත් ග්‍රහ පද්ධතියකට බීජාණු සංක්‍රමණය වීමට පවා එම කාලය ප්‍රමාණවත්. පෘථිවියේ ම නිදර්ශක භාවිතයෙන් සිදු කළ පර්යේෂණ මඟින් ලැබුණු ධනාත්මක ප්‍රතිඵල පැන්ස්පර්මියා න්‍යාය වෙනුවෙන් පෙනී සිටින විද්‍යාඥයන්ට මහත් රුකුලක් වී ඇති බවයි පෙනී යන්නේ.
ජීවය තිබිය හැකි අසල්වැසියෝ
පෘථිවියේ ජීවය පිටත ග්‍රහලෝකයකින් පැමිණි ජීව බීජාණු මඟින් ස්ථාපනය වූයේ නම්, ඒ සඳහා සුදුසු ග්‍රහලෝක පෘථිවිය අවටම තිබිය හැකි බව ඇතැම් විද්වතුන්ගේ අදහස යි. වර්තමානය වනවිට එම ග්‍රහලෝකවලින් ජීවය ඉවත් වී තිබෙන්නත් පුළුවන්. ජලය තිබීම හෝ අතීතයේ දවසක ජලය තිබුණු බවට සැක ඇති ආසන්නත ම ග්‍රහලෝක වෙතට අවධානය ඒ අනුව නිරායාසයෙන් ම යොමු වෙනවා. අඟහරු ග්‍රහයා මත අතීතයේ ජලය තිබුණු බව විශ්වාස කරන අතර, බ්‍රහස්පතිගේ චන්ද්‍රයකු වන යුරෝපා හි භූගත සාගර ඇති බව අනුමාන කෙරෙනවා. එවැනි වස්තුවක් සහ පෘථිවිය අතර දුර ප්‍රමාණය අවම හෙයින්, බීජාණු රැගෙන එන මාධ්‍යයට අභ්‍යවකාශය හරහා ගමන් කිරීමට සිදුවන කාලය අඩුවෙනවා. එමඟින් විකිරණ බලපෑමට හසුවන කාලයත් අවම වෙනවා.
මහාචාර්ය චන්ද්‍රාගේ ප්‍රයත්නය
පැන්ස්පර්මියා න්‍යාය ප්‍රවර්ධනය සහ පෝෂණය කිරීමෙහි ලා කීර්තිධර ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සහ මහාචාර්ය ෆ්‍රෙඩ් හොයිල් මනා කාර්යභාරයක් ඉටුකර තිබෙන අතර, ඔවුන්ගේ පර්යේෂණ සහ මතවාද හේතුවෙන් පැන්ස්පර්මියා න්‍යාය අද වනවිට එක හෙළා ප්‍රතික්ෂේප කළ නොහැකි දෙයක් බවට පත් වී තිබෙනවා. ඔවුන්ට අනුව විශ්වය පුරා ජීවය ගෙන යෑම සඳහා ධූමකේතු මඟින් ප්‍රමුඛ කාර්යභාරයක් සිදුවිය හැකි බව පැවසෙනවා.
පාෂාණ සහ පාංශුමය න්‍යෂ්ඨියක් වටා පිහිටන අයිස් ස්ථරයකින් ධූමකේතුවක් සෑදී තිබෙනවා. ඒ තුළ කාබනික සංයෝග රාශියකුත් අඩංගු වෙනවා. මෙම ස්ථරයන් මඟින් ආවරණය වී පවතින කාබනික සංයෝග සහ ජලය පැවතීමේ හැකියාව නිසා ජීවි සෛල හෝ බීජාණුවලට සජීවි තත්ත්වයෙන් පැවතීමට අවස්ථාවක් උදාවිය හැකි යි. මෙම ස්ථරයන් නිසා බීජාණු අහිතකර අන්තරීක්ෂ කිරණවලින් ආරක්ෂා වීමේ හැකියාවකුත් පවතිනවා. පැන්ස්පර්මියා න්‍යාය සම්බන්ධයෙන් මොවුන් දෙපළගේ පැහැදිලි කිරීම සහ කරුණුවල අන්තර්ගතය තුළ සාධනීය ගැඹුරක් තිබෙනවා. ඒ සියල්ල මේ ලිපියෙන් විස්තර කිරීම දුෂ්කර යි.
පෘථිවිය හැර සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පිළිබඳ ප්‍රශ්නය නිසියාකාරව විසඳීම සඳහා අඟහරු ග්‍රහයා, යුරෝපා සහ එන්සෙලඩස් වැනි උප ග්‍රහයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සහ ගවේෂණ යානා යැවීම වඩාත් පුළුල් කළ යුතු බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. එහිදී සොයා ගන්නා ඕනෑම අතීත හෝ වර්තමාන ජීවි ස්වරූපයක්, පැන්ස්පර්මියා න්‍යායේ ප්‍රායෝගිකත්වය කෙරෙහි බලපානු ඇති බවට අනුමාන කෙරෙනවා. මේ සියලු කරුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රථමයෙන් අප විශ්වයේ තවදුරටත් හුදෙකලා නොවන බව තහවුරු කරගත යුතු වෙනවා.