Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තමන්ගේම විද්‍යාත්මක නිමැවුම් අතින් මරණයට පත් වූ නිමැවුම්කරුවෝ I

මිනිසා යනු “මනසින් උසස් වූ” සත්වයායි. මිනිස් වර්ගයාගේ මනසෙහි උසස් බව නිසාම ගින්දර, රෝදය යනාදිය සොයා ගැනීමේ පටන් මේ දක්වා අප පැමිණ ඇත්තේ දිගු ගමනක්. දිනෙන් දින වැඩි දියුණු වන තාක්ෂණය සහ විවිධ විද්‍යාත්මක සොයා ගැනීම් නිසා අද වන විට මානව වර්ගයා සිය වර්ගයාගේ දියුණුවේ හිනි පෙත්තටම නැග අවසන්. ලෝකය වෙනස් කිරීමේ විධි පිළිබඳව සිතීමත්, එම අරමුණ වෙනුවෙන් විවිධ අවදානම් ගැනීමත් මනුෂ්‍ය ස්වභාවයයි. නමුත් තමන්ගේ මේ විස්මිත සොයා ගැනීම් හා නිමැවුම් හේතුවෙන් තම මරණය තමා වෙත ළඟා කරගත් පුද්ගලයින්ද අපට මානව ඉතිහාසය තුළ හමුවනවා. මේ පුවත් ඇතැමෙක්ට ඛේදනීය වන්නත් ඇතැමෙක්ට විනෝදජනක වන්නත් පුළුවනි. කෙසේ වෙතත්, roar.lk පාඨක ඔබ වෙත  අප මේ ලිපිය ගෙන එන්නේ ඔබගේ දැනුම සහ අවබෝධය වැඩි දියුණු කිරීම පිණිසයි.

තෝමස් ඇන්ඩෲස්

ඓතිහාසික “R.M.S. ටයිටැනික්” නෞකාවේ නිර්මාතෘවරයා වන තෝමස් ඇන්ඩෲස් ටයිටැනික් නැවේ මංගල ගමනටද එක් වූවා. ජීවිතාරක්ෂක බෝට්ටු හතලිස් හයක් මෙම නෞකාවට එක් කළ යුතු වුවද වියදම් අවම කිරීමේ අවශ්‍යතාවය මත ඊට එක් කරනු ලැබුවේ ජීවිතාරක්ෂක බෝට්ටු විස්සක් පමණයි. 1912 වසරේ අප්‍රේල් මස 15වන දින ටයිටැනික් නෞකාව අයිස් කන්දක ගැටීමෙන් අනතුරුව එහි වූ මගීන් විශාල ප්‍රමාණයකට ජීව්තාරක්ෂක බෝට්ටු වලට ගොඩ වීමට ඇන්ඩෲස් සිය සහය ලබා දී තිබෙනවා. ඇන්ඩෲස් එම බෝට්ටු වලට නැග නොමැති අතර සිය දිවියේ අවසන් හෝරා කිහිපය පළමු පන්තියේ දුම් පානය කිරීමේ කාමරය තුළට වී හඬමිනුයි ඔහු විසින් ගත කොට ඇත්තේ. ඔහුගේ මළ සිරුර කිසි දිනෙක හමු වී ද නැහැ.

තෝමස් ඇන්ඩෲස් (nationalarchives.gov.uk)

විලියම් බුලොක්

පළමු නවීන මුද්‍රණ යන්ත්‍රයේ (Modern printing press) නිර්මාතෲ වන්නේ ඇමරිකානු ජාතික විලියම් විලියම් බුලොක් නැමති නිපැයුම්කරුවායි. ෆිලඩෙල්ෆියා නගරයේ පොදු ලෙජරය වෙනුවෙන් මෙම මුද්‍රණ යන්ත්‍රය ස්ථානගත කරමින් සිටියදී බුලොක් විසින් එහි එක් පටියක් කප්පියක් තුළට යැවීමට තම පාදය භාවිතා කොට තිබෙනවා. එවිට ඔහුගේ පාදය යන්ත්‍රයට යට වී ඇති අතර, එම තුවාලය දරුණු වීම නිසා ඔහුගේ පාදය කපා දැමීමට සිදු වී තිබෙනවා. 1867 වසරේ අප්‍රේල් මස 12 වන දින ඔහුගේ පාදයට සිදු කරන ලද ශල්‍යකර්මයක් අතරතුරදී ඇතිවුණු සංකූලතාවයක් නිසා ඔහු මියගොස් තිබෙනවා.

විලියම් බුලොක් සහ නවීන මුද්‍රණ යන්ත්‍රය (naukrinama.com)

ෆ්‍රැන්සිස් එඩ්ගා(ර්) ස්ටැන්ලි

රිදී බ්‍රෝමයිඩ් මත ජෙලටින් ගල්වා සාදන ලද Photographis dry plate නමැති නිර්මාණය අතීතයේ ඡායාරූප ගැනීම සඳහා අවශ්‍ය වූ උපකරණයක්. එහි නිර්මාතෘවරයා වන ෆ්‍රැන්සිස් එඩ්ගා(ර්) එය කොඩැක් සමාගමට විකුණා ලබාගත් මුදලින් “ස්ටැන්ලි ස්ටීමර්ස්” නමැති වාෂ්ප බලයෙන් දිවෙන වාහන වර්ගයක් නිපදවීමේ ව්‍යාපාරයක් ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබෙනවා. Stanley motor carriage Company නම් වූ මෙම සමාගම විසින් නිපදවන ලද නවතම වාහනයක් පරීක්ෂා කිරීම පිණිස එඩ්ගා(ර්) විසින් පැද යමින් සිටියදී පාරේ සිටි සතෙකු වාහනයේ නොවැදීම පිණිස විසින් එඩ්ගා(ර්) විසින් වාහනය පාරෙ පසෙකට හරවා තිබෙනවා. එවිට රිය ධාවනය වී ඇත්තේ පාරේ පසෙක වූ දැව තොගයක් වෙතටයි. එම අනතුර සිදුවූ 1918 වසරේ ජූලි 13වන දින එඩ්ගා(ර්) මියගියේ අනතුරින් හටගත් තුවාල හේතුකොට ගෙනයි.

ස්ටැන්ලි ස්ටීමරයක් මත සිටින ස්ටැන්ලි එඩ්ගා(ර්) (www.flickr.com)

ජෝන් – ෆ්‍රන්සුවා ඩි රොසියෙ(ර්)

1783 වසරේදී ලොව ප්‍රථම උණුසුම් වායු බැලූනය නිපදවනු ලැබුවේ රසායන විද්‍යා හා භෞතික විද්‍යා ගුරුවරයකු වූ ජෝන් – ෆ්‍රන්සුවා අතිනුයි. 1785 වසරේ ජූලි මස 15වන දින ඉංග්‍රීසි සමුද්‍ර සන්ධිය හරහා තම වායු බැලූනය මගින් ගමන් කරමින් සිටියදී ඇති වූ අනතුරකින් වායු බැලූනය කඩා වැටුණු අතර, ජෝන් – ෆ්‍රන්සුවා ඩි රොසියෙ(ර්) මෙන්ම ඔහු සමග එහි ගමන්ගත් ඔහුගේ සගයාද මිය ගියා.

ජෝන් – ෆ්‍රන්සුවා සහ ඔහුගේ නිමැවුමේ සිතුවමක් (alchetron.com)

ලුවිස් ස්ලොටින්

දෙවන ලෝක යුද සමයේ ඇමරිකා එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් යුතුව ගෙන යන ලද න්‍යෂ්ටික අවි ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ “මෑන්හැටන් ව්‍යාපෘතිය” හෙවත් Manhatton Project නමින්. එහි කටයුතු කළ න්‍යෂ්ටික භෞතික විද්‍යාඥයෙකු (Nuclear Physist) වන ලුවිස් ස්ලොටින් දිනක් ප්ලූටෝනියම් නැමති මූලද්‍රව්‍යය ආශ්‍රයෙන් පරීක්ෂණයක් සිදු කරමින් සිටියදී සිදු වුණු අත්වැරදීමකින් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් හටගෙන තිබෙනවා. එම ප්‍රතික්‍රීයක ද්‍රව්‍යයන්ගෙන් තමාට ගැලවීමක් නොවන බව දැනගත් ස්ලොටින් එම රසායන තොගය බදා තම සිරුරින් වසා ගනිමින් එහි සිටි අනික් විද්‍යාඥයින්ට ඉන් පිටවී යාමට අවස්ථාව සලසා දුන්නා. න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවට මුහුණ දීමෙන් දෙසතියකට පසුව, එනම් 1946 වසරේ මැයි මස 30වන දින ලුවිස් ස්ලොටින් මියගියේ වීරයකු ලෙසිනුයි.

න්‍යෂ්ටික භෞතික විද්‍යාඥ ලුවිස් ස්ලොටින් (www.atomicheritage.org)

කැරෙල් සුසෙක්

අසාමාන්‍ය නිර්භීත බවකින් යුත් මේ චෙකොස්ලෝවැකියානු නිමැවුම්කරුවා 1985 වසරේ ජනවාරි 20 වන දින තමා විසින් නිර්මාණය කරන ලද කැප්සියුලයක් හැඩැති බහාලුමක් තුළට බැසගත් පසුව එය අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයේ සිට බිමට හෙලනු ලැබුවේ පොළොව මත වූ කුඩා ජල ටැංකියක් මතටයි. මින් පෙර කම්පන දරාගත හැකි ලෙසින් නිපදවන ලද බැරලයක නැගී නයගරා ඇල්ල කිහිප විටක්ම තරණය කොට තිබූ කැරෙල්ගේ මෙවර උත්සාහය ව්‍යර්ථ වූයේ එම කැප්සියුලය නිසි ලෙස ජල ටැංකිය තුළට නොවැටීම නිසා හටගත් ඝට්ටනය හේතුවෙනුයි. ඉන් ඔහු අවාසනාවන්ත ලෙස මිය ගියා.

කැරෙල්ගේ අවසාන ඡායාරූපය (alchetron.com)

සිල්වෙස්ට(ර්) H. රෝපර්

ලොව පළමු යතුරු පැදියෙහි නිර්මාතෘවරයා මොහුයි. වාෂ්ප එන්ජිමකින් ක්‍රියාත්මක වුණු එය හඳුන්වනු ලැබුවේ වෙලෝසිපීඩ් (Velocipede) නමිනුයි. 1896 වසරේ ජූනි මස පළමුවන දින පරීක්ෂණ කටයුත්තක් පිණිස ඔහු පැයට සැතපුම් හතලිහක වේගයෙන් එම යතුරුපැදිය පැදවීමේදී හටගත් හෘදයාබාධයකින් ඔහු මරණයට පත් වුණා. ඔහු ඒ වන විට හැත්තෑ දෙවෙනි වියෙහි පසු වී තිබෙනවා.

සිල්වෙස්ටර් සහ ඔහුගේ වෙලොසිපීඩයේ සිතුවමක් (commons.wikimedia.org)

හොරේස් ලෝසන් හන්ලි

හොරේස් හන්ලි යනු සබ්මැරීනයේ නිර්මාතෘවරයායි. ඔහුගේ පළමු සබ්මැරීනය දිය යට සිරවීම නිසා එහි වූ නාවුක හමුදා භටයින් හත්දෙනෙකු මියගියා. ඉන් අනතුරුව ඔහු තම දෙවන නිපැයුමද නිපද වූ අතර එය “H. L. Hunley” ලෙසින් නම් කළා. 1863 වසරේ ඔක්තෝබර් මස 15වන දින H. L. Hunley සබ්මැරීනය පරීක්ෂාවට ලක් කෙරුණේ දකුණු කැරොලයිනා ප්‍රාන්තයේ චා(ර්)ල්ස්ටන් මුහුදුබඩ නගරයේදී යි. එහිදී ද නැවත දිය මතුපිටට ඒමට සබ්මැරීනයට නොහැකි වූයෙන් ඒ තුළ සිටි හන්ලි ඇතුළු පිරිස මියගියා.

හන්ලි සහ ඔහු ඇතුළු පිරිස බිලිගත් සබ්මැරීනය (storyomg.com)

ඕරෙල් ව්ලැයිසු

රොමේනියානු නිමැවුම්කරුවකු වන ඕරෙල් ව්ලැයිසු Vlaicu, WR I, WR II සහ WR III නමින් ගුවන් යානා නිපදවූවෙක්. ඒවා පැදවූ ගුවන් නියමුවකු ලෙසින්ද ඔහු ප්‍රසිද්ධත්වයක් ඉසිලුවා. එතෙක් ලොව නිපදවන ලද දිගින් වැඩිම, උසින් වැඩිම සහ වේගවත්ම ගුවන් යානා නිපදවන්නා වූයේ ඔහුයි. 1913 වසරේ සැප්තැම්බර් මස 13වන දින ඔහු එතෙක් ගුවනෙහි වඩාත් ඉහළට ගමන්ගත් ගුවන් නියමුවා වීමේ වාර්තාව පිහිටුවීමට තැත්කිරීමේදි කා(ර්)පතියන් කඳු පෙළෙහි තම ගුවන් යානය ගැටීම හේතුවෙන් මරණයට පත් වුණා.

ඕරෙල් සිය ගුවන් යානය සමග (romaniancar.com)

වැලේරියන් ඇබකොව්ස්කි

ඒ රොවැගන් හෙවත් ඒරොකා(ර්) (Aerowagons/ Aerocars) නම් වූ වාෂ්ප බලයෙන් රේල් පීලි මත දිවෙන රථය නිපදවනු ලැබූයේ මොහු විසිනුයි. 1921 වසරේ ජූලි මස 24වන දින එවකට විසිපස් වන වියෙහි පසු වූ ඒරොවැගන් නිර්මාතෘ ඇබකොව්ස්කි ඇතුළු විසි දෙදෙනෙකුගෙන් යුත් පිරිසක් සයිබීරියාවේ ටූලා නගරයේ සිට රුසියාවේ මොස්කව් නුවර දක්වා ගමන් කරමින් සිටියදී රේල් මාර්ගයේ වූ වංගුවක් පැයට සැතපුම් අසූවක පමණ වේගයකින් පසු කිරීමට යාමේදී එම රථය පීල්ලෙන් පිටතට පැන තිබෙනවා. ඉන් ඔහු ඇතුළු හය දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

ඇබකොව්ස්කිගේ යානය (ijandk.com)

කවරයේ ඡායාරූපය – infoniagara.com

තොරතුරු උපුටා ගැනීම – www.huffingtonpost.com වෙබ් අඩවියේ “Top Twenty Inventors Killed by Their Inventions” ලිපිය ඇසුරිනි.

Related Articles