නින්දේ දී සිහින දැකීම අතිශය සාමාන්‍ය තත්ත්වයක් වුවත්, අතීතයේ සිටම විද්‍යාඥයින් සහ දාර්ශනිකයින් ඒවා විග්‍රහ කිරීමට වෙහෙසෙනවා. “අපට සිහින පෙනෙන්නේ ඇයි” යන්න අද වෙනතුරුත් මනෝවිද්‍යාවේ එන සිත් ඇදගන්නාසුළු ප්‍රශ්නයක් වී තිබෙන්නේ තවමත් එයට එක් නිවැරදි පිළිතුරක් නොමැති නිසාවෙන්. මේ පිළිබඳව පර්යේෂණ සිදු කළ මෑත කාලයේ මනෝවෛද්‍යවරුන්, මෙම ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් න්‍යායන් කිහිපයක් ගොඩනංවා තිබෙනවා. මේවා හුදෙක් කල්පිතම විය හැකි වූවත්, මානසික සෞඛ්‍යය යහපත් අයුරින් පවත්වා ගැනීමට සිහිනවලින් ලබාදෙන ඉඟි අදටත් මනෝවිද්‍යාවේ දී භාවිතා වනවා.
සිහින අර්ථ දැක්වීමේ ඉතිහාසය
ක්‍රිස්තු පුර්ව 3000 දී මෙසපොතේමියාවේ රජවරුන් තමන් දුටු සිහිනවල වාර්තා සහ ඒවායේ තේරුම් ඉටි පුවරුවල ලියා තැබුවා. එම ශිෂ්ටාචාරයේ දී පසුකලෙක ලියැවුණු ගිල්ගමේෂ් වීර කාව්‍යයේ සහ ඇට්‍රහාසිස් වීර කාව්‍යයේ ද සිහිනවල තේරුම් පිළිබඳව සඳහන් වනවා. ඒවා ලියා තැබීමට අමතරව මෙසපොතේමියන්වරුන් තම එදිනෙදා ජීවිතයේ දී ද එම තේරුම් භාවිතයට ගෙන තිබෙනවා. අනාගතය පිළිබඳ පුරෝකථනය ඒ අතරින් විශේෂ යි.
මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ගැන මෙතැනින් කියවන්න: මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පෙරලිකාර සොයාගැනීම් 8ක්
බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ සඳහන් වන මහා ගංවතුර වැනිම කතා පුවතක් ඇට්‍රහාසිස් වීර කාව්‍යයේ ද දැක්වෙනවා. මෙම කාව්‍යයේ එන ඇට්‍රහාසිස් නම් පුද්ගලයාට විනාශකාරී ගංවතුරක් පැමිණෙන බවට සිහිනයෙන් පෙනෙනවා. “ඇට්‍රහාසිස්” යන්නෙහි අර්ථය “අතිශය ඥානවන්ත” යන්න යි. කතාවට අනුව ඔහුට එම අනතුරු ඇඟවීම කර තිබෙන්නේ දෙවියන් විසිනි. ඔහු තවදුරටත් සිහිනයෙන් තමා වෙත අනාගතය පෙන්වීම් කරන ලෙසට ඉල්ලා දෙවියන්ට ත්‍යාග පිරිනැමූ බව ද සඳහන් වනවා. ගිල්ගමේෂ් වීර කාව්‍යයේ තැනක දැක්වෙන්නේ, ගිල්ගමේෂ්ගේ මිතුරකු වන එනකිඩු නැමැත්තා තමන්ව බලහත්කාරයෙන් අල්වා නිරයට ඇදගෙන යන අයුරු දුටු බව යි. එය දෙවියන් විසින් ඔහුගේ මරණය සිදුවන ආකාරය සිහිනයෙන් පෙන්වා දීමක් ලෙසයි එම කතාවේ දැක්වෙන්නේ.
පුරාණ ඊජිප්තුවරුන් සිහිනවල අර්ථ ලියූ පැපිරස් ලියවිලි සුප්‍රකට රජවරුන්ගේ නිම්නයෙන් හමුවී තිබෙනවා. එය “සිහින පොත” ලෙස නම්කර ඇති අතර එදිනෙදා දකින සිහින 100ක් පමණ සහ ඒවායේ තේරුම් ද එහි අන්තර්ගත යි. එහි සුබ සිහින මුලින් විස්තරකර ඇති අතර, රතු පැහැ අකුරින් පසුව දක්වා ඇත්තේ අසුබ සිහින යි. පුරාණ ඊජිප්තු වැසියන් රතු පැහැය අසුබ වර්ණයක් ලෙස සැලකීම මෙයට හේතුව යි. මෙම ලියවිලිවල අඩංගු වන්නේ ඉතා සාමාන්‍ය සිහින වීම විශේෂත්වයක්. උදාහරණයක් ලෙස, තමන් ජනේලයකින් එළිය බලන අවස්ථාවක් සිහිනයෙන් දුටුවහොත්, එය හැඬුමට හේතුවන යමක් සිදුවීමේ පෙරනිමිත්තක් බව මෙම ලියවිලිවල සඳහන්. මේවා ක්‍රිස්තු පූර්ව 1279-1213 කාලයේ විසූ දෙවන රැම්සීස්ගේ පාලන කාලයට අයත් බව යි පැවසෙන්නේ.
ක්‍රි. පූ. 1450 දී පමණ ලියැවුණු උත්පත්ති කතාවේ ද සිහින අර්ථදැක්වීම පිළිබඳව සඳහන් වනවා. යුදෙව් පූජක ජේකොබ්ගේ 11 වන පුත්‍රයා වන ජෝශප් හට සිහින ඔස්සේ අනාගතය දැකීමේ හැකියාවක් පැවති බව සඳහන්. බෞද්ධ සාහිත්‍යයේ ද සිහිනවල තේරුම් පිළිබඳ කතා අපට හමුවනවා. විශේෂයෙන් බුද්ධ කාලයේ රාජ්‍ය පාලනය කළ කොසොල් රජු දුටු සිහින 16ක් රාජ සභාවේ උපදේශකයින්ට පැහැදිලි කිරීමට නොහැකි වූ නිසා, රජු බුදුන්වහන්සේ හමුවීමට ගිය බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වනවා. එහිදී බුදුරජාණන්වහන්සේ විසින් ඒවා විග්‍රහ කිරීම ද සිහින අර්ථ දැක්වීම ඉතිහාසයේ සිට සිදුවූ බවට සාක්ෂ්‍ය දරනවා.
අපට සිහින පෙනෙන්නේ ඇයි යන ප්‍රශ්නය ගැන විද්‍යාත්මකව සොයා බැලීමට පෙර, නින්ද සහ සිහින ඇතිවන ආකාරය පිළිබඳව දැනගත යුතු යි.
නින්ද සිදුවන හැටි
අපගේ නින්ද ප්‍රධාන අදියර 4කට බෙදා වෙන් කළ හැකියි. එයින් පළමු අදියර 3ම ශීඝ්‍ර අක්ෂි චලන නොදක්වන, හෙවත් non-REM (Rapid Eye Movement) අදියරයන් වන අතර, අනෙක් අදියර REM අදියර යි.
නින්දේ පළමු අදියරේ දී සිදුවන්නේ අවදියෙන් සිටින අවස්ථාවේ සිට නින්ද සඳහා ශරීරය සූදානම් කිරීමක්. මෙය පවතින්නේ මිනිත්තු කිහිපයක් පමණක් වන අතර එම කාලය තුළ හුස්ම ගැනීමේ වේගය, හෘද ස්පන්දනය, සහ ඇස්වල චලනයන් ක්‍රමයෙන් අඩු කෙරෙනවා. ඒ අතරම මාංශ පේශි ඉහිල් වීම ද සිදුවනවා. ගැඹුරු නින්ද සඳහා ශරරිය සූදානම් කිරීම සිදුවන්නේ මීළඟ අදියරේ දී යි. මෙහිදී හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීමේ වේගය අඩුවීම, සහ මාංශ පේශි ඉහිල් වීම තවදුරටත් සිදුවන අතර ඇස්වල චලනය සම්පූර්ණයෙන්ම නැවතී ශරීරයේ උෂ්ණත්වය ද අඩු කෙරෙනවා. අපගේ නින්දෙන් පළමු අදියරට වඩා වැඩි කාලයක් ගෙවෙනුයේ මේ අදියරය තුළ යි. තුන්වන අදියර වන්නේ ගැඹුරු නින්ද යි. නින්දකින් පසු නැවත ප්‍රාණවත් ලෙස අවදිවීම සඳහා මෙම අදියර පසු කිරීම ඉතා වැදගත්. මෙහිදී හෘද ස්පන්දනය සහ හුස්ම ගැනීමේ වේගය, ඒවා ළඟාවිය හැකි අවමයට ළඟා වනවා. මේ අදියරේ සිටින්නෙකු අවදි කිරීම ද තරමක් අපහසු යි.
අවසන් අදියරයේ දී පමණක් අපගේ ඇස් දෙපසට වේගයෙන් චලනය වනවා. එය සිදුවන්නේ අපගේ ඇසිපිය වසා තිබිය දී, අපට නොදැනීම යි. මෙය අවසන් අදියරයයැ යි පැවසුවත් දෙවන, තෙවන, සහ සිව්වන අදියර අතර මාරු වීම කිහිපවිටකම සිදුවිය හැකියි.
REM නින්ද මුල් වරට මිනිත්තු 90ක පමණ කාලයක් පැවතීමට පුළුවන්. එම කාලය තුළ අපගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වී අක්‍රමවත් වනවා. එසේම හෘද ස්පන්දනය ද සහ රුධිර පීඩනය ද අවදියෙන් සිටින අවස්ථාවකට සමාන වන තරමට ඉහළ යනවා. සිහින පෙනීම බහුලවම සිදුවන්නේ නින්දේ මේ අදියරය තුළ දී යි. එසේ වුවත් ඇතැම් අවස්ථාවල දී අනෙකුත් අදියරවල දීත් සිහින දැකීම සිදුවනවා. REM අදියරේ දී අපගේ අත් පා සියල්ල පණ නැති තත්ත්වයකට පත්වනවා. මෙමඟින් සිහිනයෙන් පෙනෙන ආකාරයට හැසිරීමෙන් ශරීරය වළක්වා ගැනෙනවා. වයස්ගත වන විට අපගේ නින්දෙන් REM අදියරයේ ගතවන කාලය ක්‍රමයෙන් අඩුවන බව යි පැවසෙන්නේ.
අපට සිහින පෙනෙන අයුරු
නින්ද හා සම්බන්ධ මොළයේ කොටස් කිහිපයක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන වන්නේ හයිපොතැලමසය යි. එහි තිබෙන ඇතැම් ස්නායු සෛල නින්ද සහ අවදිවීම පාලනය කරනවා. හයිපොතැලමසයේ පිහිටි Suprachiasmatic Nucleus (සුප්‍රාකයැස්මැටික් නියුක්ලියස්/SCN) නම් මධ්‍යස්ථානය විසින් පරිසරයේ ආලෝක තත්ත්වය සම්බන්ධ තොරතුරු ඇස්වලින් සහ ශරීරයේ හැසිරීමෙන් ලබාගනු ලබනවා. නින්ද ඇති කිරීම සඳහා අඳුරු පරිසරයක් වඩා යෝග්‍ය වන්නේ මේ හේතුවෙන්. අන්ධ පුද්ගලයින්ගේ SCN මඟින් ද ආලෝකය යම් තරමකට හෝ ග්‍රහණය කරගත හැකි හැකියාවක් පවතිනවා. එම නිසා ඔවුන්ගේ නින්ද සහ අවදිවීමේ චක්‍රය ද නිවැරදිව පවත්වා ගැනීම සිදුවෙනවා.
සුෂුම්නා ශීර්ෂකය (Medulla), වැරෝලි සේතුව (Pons) සහ මැද මොළය යන කොටස් (පොදුවේ brainstem/මොළ දණ්ඩ ලෙස හඳුන්වයි) හයිපොතැලමස සමග නින්ද හා අවදිවීම සම්බන්ධ සන්නිවේදන කටයුතු කරයි. හයිපොතැලමසය සහ මොළ දණ්ඩ තුළ නිපදවන GABA නම් රසායනික ද්‍රව්‍යය නින්දට අදාළ රසායනිකය වනවා. එමඟින් අවදිවීමට අදාළ ශරීර කටයුතු අවම කෙරෙනවා. විශේෂයෙන් නින්දේ REM අදියරේ දී මාංශ පේශි ඉහිල්කර පක්ෂඝාත තත්ත්වයට පත් කරනුයේ මේ කොටස මඟින්.
තැලමස කොටස ක්‍රියාකරන්නේ ඉන්ද්‍රියන්ගේ සිට මස්තිෂ්ක බාහිකය (cerebral cortex) දක්වා තොරතුරු ලබා ගැනීමේ පිළියවනයක් (relay එකක්) ලෙස යි. නින්දේ ඉහත සඳහන් කළ non-REM අදියර තුනේ දීම තැලමසය සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ නෙවෙයි පවතින්නේ. නමුත් REM නින්දේ දී තැලමසය ක්‍රියාකාරී වී මොළයේ බාහිකයේ ගබඩා වී ඇති රූප, ශබ්ද ආදී මතකයන් අපට දැනීමට සලස්වනවා. මෙය සිහින දැකීම ලෙස යි හැඳින්වෙන්නේ. සිහින දැකීමේදී ඇතැම් විට අපට හැඟීම් පවා දැනෙනවා. එය සිදුකරන්නේ මොළයේ ඇමිග්ඩලා (amygdala) නම් කොටසෙන්. මෙයත් REM නින්ද පවතින අවස්ථාවේ දී සක්‍රීයව පවතිනවා.
අප සාමාන්‍යයෙන් සෑම රාත්‍රියකම පැය 2ක් පමණ කාලයක් සිහින දකින නමුත්, එම සිහින බොහොමයක් මතකයේ රැඳෙන්නේ නැහැ. ඒවායේ නිශ්චිත අරමුණ ද අප නොදන්නා නමුත් සිහින දැකීම මොළයේ හැඟීම් සැකසීමට උපකාරී වෙනවා. දිවා දවසේ සිදුවූ සිදුවීම් බොහෝ විට රාත්‍රී නින්දේ දී සිහින ආක්‍රමණය කළ හැකි අතර, මානසික ආතතියෙන් හෝ කාංසාවෙන් පෙළෙන පුද්ගලයින් බියකරු සිහින දැකීමට වැඩි ඉඩක් තිබෙනවා. නින්දේ සෑම අදියරක දීම සිහින අත්විඳිය හැකි නමුත්, සාමාන්‍යයෙන් REM නින්දේ දී වඩාත් විචිත්‍ර සිහින දැකිය හැකියි. ඇතැම් අය වර්ණවත් සිහින දකින අතර, ඇතැමුන් දකින සිහින සිහිපත් වන්නේ කළු සහ සුදු වර්ණයන්ගෙන් පමණි.
සිහින පෙනෙන්නේ ඇයි යන්න පිළිබඳ න්‍යායන්
ආරම්භයේ දීම පැහැදිලි කළ ආකාරයට, මේ සඳහා නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැහැ. නමුත් ඒ සඳහා පවතින න්‍යායන් ගැන විග්‍රහ කිරීම වැදගත් වනවා. ඉන් එකක් වන්නේ, අපගේ ප්‍රාර්ථනාවන් ඉටු කරගැනීම සඳහා අපට සිහින පෙනෙන බව යි. 1900 අවධියේ මුල්භාගයේ දී මනෝවිද්‍යාඥ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් යෝජනා කළේ අපගේ සිහින අපගේ දෛනික සවිඥාණික ජීවිතවල රූප එකතුවක් වන බව යි. එසේම ඒවාට සංකේතාත්මක අර්ථයන් ද ඇති අතර, ඒවා අපගේ උපවිඥාන ප්‍රාර්ථනාවන් ඉටු කිරීම හා සම්බන්ධ වන බව ඔහුගේ අදහස වුණා. ෆ්‍රොයිඩ් පැවසුවේ අප සිහිනයකින් අවදි වන විට අපට මතක ඇති සෑම දෙයක්ම අපගේ අවිඥානික ප්‍රාථමික සිතුවිලි, පෙළඹවීම්, සහ ආශාවන් සංකේතාත්මකව නිරූපණය කරන බව යි. උදාහරණයක් ලෙස, අප සැබෑ ජීවිතයේ දී බය වන සත්ත්වයෙකු සිහිනයෙන් දැකීමෙන් අප තුළ ඇති බය නිරුපණය කෙරෙනවා. එසේම දතක් වැටීම වැනි දෙයක් සිහිනයෙන් දැකීම අප තුළ ඇති අනාරක්ෂිත බව පෙන්නුම් කෙරෙනවා. ෆ්‍රොයිඩ් විශ්වාස කළේ එසේ මතක තබාගත් අංග විශ්ලේෂණය කිරීමෙන් අවිඥානික අන්තර්ගතය අපගේ සවිඥාණික මනසට හෙළිකර ගෙන, එම මානසික ගැටලු විසඳාගත හැකි බව යි.
යමක් මතක තබා ගැනීම සඳහා අපට සිහින පෙනෙන බව තවත් න්‍යායකි. ඇතැම් මානසික ක්‍රියාවලීන්හි ක්‍රියාකාරිත්වය වැඩි කිරීම සඳහා නින්ද වැදගත්වන නමුත්, නිදා සිටිය දී සිහින දැකීමට හැකි නම් එය වඩා කාර්යයක්ෂම වන බව මෙහි සරල අදහස යි. 2010 දී පර්යේෂකයන් පිරිසක් විසින් ත්‍රිමාණ අතථ්‍ය (virtual) වංකගිරියක් නිර්මාණය කෙරුනා.. එය තරණය කිරීම සඳහා පෙර සූදානමක් නොමැති කණ්ඩායම් දෙකක් වෙන වෙනම යොදාගැනුණු අතර, එක් කණ්ඩායමක් දෙවන වර උත්සාහයට පෙර නිදාගැනීමට සැලැස්වුණා. වංකගිරිය අරමුණු කරගෙන නිදාගත් අය කිසි ලෙසකින් හෝ නිදා නොගත් අයට වඩා 10 ගුණයකින් සාර්ථක ප්‍රතිඵල පෙන්නුවා. මේ ඔස්සේ පර්යේෂකයන්ගේ මතය වූයේ ඇතැම් මතක ක්‍රියාවලීන් සිදුවිය හැක්කේ අප නිදා සිටිය දී පමණක් වන බව යි. අපගේ සිහින යනු මෙම ක්‍රියාවලීන් සිදුවන බවට සංඥාවක් බව ඔවුන් පවසනවා.
ඉහත න්‍යායේම අනික් පැත්ත වනුයේ අපට සිහින පෙනෙන්නේ යම් යම් දේ අමතක කිරීමට බව යි. අපගේ මොළයේ ට්‍රිලියන 10,000කට අධික ස්නායු සබඳතා ප්‍රමාණයක් පවතිනවා. මේවා නිර්මාණය වී ඇත්තේ අප සිතන දේ සහ කරන ක්‍රියාවන් ඇසුරෙන්. 1983 දී හඳුනාගත් “විලෝම ඉගෙනීම” නම් වූ සිහින පිළිබඳ ස්නායු විද්‍යාත්මක සංකල්පය, REM නින්දේ දී බහුලව සිදුවෙනවා. එහිදී මොළයේ බාහිකයේ ඇති මතකයන් හෙවත් ස්නායු සබඳතා එකිනෙක පරික්ෂාකර වැදගත් ඒවා හැර අනික් ඒවා ඉවත්කර දැමෙනවා. මෙම විලෝම ඉගෙනීමේ ක්‍රියාවලිය නිසා මොළය අතිධාවනය නොවී වැදගත් බොහෝ දේ ප්‍රමාණයක් ගබඩාකර ගත හැකියි. එනම් සිහින දැකීමේ අරමුණ වන්නේ දේවල් අමතක කිරීම බව කෙනෙකුට පැවසිය හැකියි.
අපගේ මොළය අඛණ්ඩව වැඩ කරවීම සඳහා සිහින පෙනීම සිදුවන බව තවත් එක් න්‍යායක්. සිහින අපගේ මොළය තුළ ක්‍රියාත්මක වන අහඹු තිර සුරැකුම්කරුවෙකු (screen server) වීමෙන් එය සම්පූර්ණයෙන්ම වසා දැමීම වළක්වාලනවා. එමඟින් මොළයේ දිගුකාලීන මතකය නිවැරදිව පවත්වාගෙන යාමට උදව් කරන බව කියැවෙනවා. එසේම මොළය සුවපත් කිරීමක් ද සිහිනවලින් සිදුවෙන බව පැවසෙනවා. නින්දේ REM අවධියේ දී මොළයේ බොහොමයක් ස්නායු සම්ප්‍රේෂක අඩු ක්‍රියාශීලි බවක් දක්වනවා. භයානක හෝ උද්වේගකාරී සිහිනයක දී පවා ඒවා ක්‍රියාශීලි නැහැ. මේ නිසා වෙහෙසකර පීඩාකාරී ගතියෙන් මිදී මානසික සුවයක් ලැබීමට සිහින පෙනීම වැදගත්.
ඉහත ආකාරයට තවත් බොහෝමයක් න්‍යායන් සිහින පෙනීමට හේතුව පැහැදිලි කරමින් විවිධ විද්‍යාඥයින් ඉදිරිපත් කර තිබෙනවා. සිහින පෙනීමට එක් හේතුවක් පමණක් නොපවතින බව ඉන් පැහැදිලි යි. සමස්තයක් ලෙස ගත්කල සිහින පෙනීම මොළයේ ක්‍රියාකාරිත්වයට වැදගත් වන බව කිව හැකියි.