නිලීන ජාන නිසා ඇති වන සුලබ දේහ ලක්ෂණ සුවිශේෂීයි ද?

මිනිසා සොබාදහමේ අපූර්ව නිර්මාණයක්. මිනිසා ඇතුළු ජීවීන් සියල්ල ම පාහේ, පරම්පරාවෙන් පරම්පරාවට සිය අංග ලක්ෂණ, දේහ ලක්ෂණ, චර්යා වැනි බොහොමයක් දේ සම්ප්‍රේෂණය කරන්නේ තමන්ගේ සෛල තුළ ඇති වර්ණ දේහ මඟිනු යි. 

මිනිසා වැනි සංකීර්ණ, දියුණු ජීවීන්ගේ වර්ණ දේහ යුගළ වශයෙන් පිහිටන අතර, මිනිසාට වර්ණ දේහ යුගළ 23 ක් පිහිටනවා. මේවායේ ජාන විශාල සංඛ්‍යාවක් ඇති අතර ඔවුන්ගේ දේහ ලක්ෂණ සහ සමහරක් චර්යාමය ලක්ෂණ රඳා පවතින්නේ ඒ මත යි.

මිනිස් අංග ලක්ෂණ සහ චර්යා

මිනිස් සෛලයක ඇති මේ වර්ණදේහ යුගළකින් එක් වර්ණ දේහයක් මවගෙන් ලැබෙන අතර, අනෙක් වර්ණ දේහය ලැබෙන්නේ පියාගෙනු යි. මේ නිසා දුහිතෘ පුද්ගලයාට සිය වගේ හා පියාගේ ජාන ආසන්න වශයෙන් සම සම ව ලැබෙනවා. මෙය යුක්තානුව සෑදෙන මූලික අවධියේ සිදුවන ස්වභාවික ක්‍රියාවලීන් නිසා මඳ වශයෙන් අඩු වැඩි විය හැකි යි. මිනිස් අංග ලක්ෂණ සහ චර්යා ප්‍රවේණිගත ව ලැබීමේදී ප්‍රමුඛ ලක්ෂණ සහ නිලීන ලක්ෂණ වශයෙන් දෙකොට්ඨාසයක් අපට හඳුනාගත හැකි යි. මෙහිදී, ඊට අදාළ ජාන යුගළයෙන් මව හෝ පියා එක් අයකුගෙන් ප්‍රමුඛ ජානයක් ලැබී තිබේ නම් එම ලක්ෂණය පෙන්නුම් කෙරෙනවා. 

එම ජාන දෙක ම නිලීන නම් පමණක් නිලීන ලක්ෂණය පෙන්නුම් කරනවා. මේ හේතුවෙන් ලොව බහුතරයක් දෙනාට ප්‍රමුඛ ලක්ෂණ පිහිටන අතර, නිලීන ලක්ෂණ පිහිටන්නේ කිහිප දෙනකුට පමණ යි. ඒ නිසා සමාජයේ එම ලක්ෂණ ඇති අය සුවිශේෂී ලෙස අන් අයට පෙනී යනවා. මින් සමහරක් අතිශය දුර්ලභ වන අතර, තවත් සමහරක් සාපේක්ෂ ව වැඩියෙන් දැක ගත හැකි යි. මින් සමහරක් ලක්ෂණ නිලීන ජානවලින් ඇතිවන්නක් යැයි සිතා ගත නොහැකි තරම් සුලබ ව සමාජයේ පවතිනවා. 

මේ ලිපිය වෙන් වන්නේ එවැනි නිලීන දේහ ලක්ෂණ තුනක් සම්බන්ධයෙන් කතා කරන්නට යි.

ඕ’ වර්ගයේ රුධිරය – sciencefocus.com

‘ඕ’ වර්ගයේ රුධිරය

‘ඕ’ වර්ගයේ රුධිරයට ලොව විශාල ඉල්ලුමක් තිබෙනවා. ඒ හේතු දෙකක් නිසා යි. පළමුවැන්න ‘ඕ’, විශේෂයෙන් ‘ඕ නෙගටිව්’ වර්ගයේ රුධිරය ලොව ඕනෑ ම වර්ගයක රුධිරය සහිත අයකුට ලබා දිය හැකි වීම යි. ‘ඕ’ වර්ගයේ රුධිරය දරන අයකුට ලබා ගත හැකි වන්නේ එම වර්ගයේ ම රුධිරය දරන අයකුගේ රුධිරය පමණක් වීම යි. මෙම ඕ වර්ගයේ රුධිරය ඇතිවීම සිදුවන්නේ නිලීන ජානයක් නිසා යි. ‘ඕ නෙගටිව්’ රුධිරය සාපේක්ෂ ව දුර්ලභ වන අතර, එයට හේතුව විශේෂයෙන් ම ‘රීසස්’ සාධකය’ යි. 

මේ නිසා ලොව නෙගටිව් වර්ගයේ රුධිරය සහිත අය සිටින්නේ සෑහෙන පමණ අඩුවෙනු යි. රීසස් සාධකය ඍණ වීම නිලීන ජානයක් වන අතර, එය ධන වීම ප්‍රමුඛ ජානයක් නිසා ඇතිවෙනවා. එය පසෙක ලූ විට ‘ඕ’ වර්ගයේ රුධිරය ඇතිවීම ම නිලීන ජානයක් හේතුවෙන් සිදුවෙනවා. කෙසේ නමුත් වර්තමානය වන විටත් ලොව වැඩිපුරම වෙසෙන්නේ ‘ඕ’ කාණ්ඩයේ රුධිරය දරන මිනිසුන්. එයට හේතුව පරිණාමය වීමේදී මුලින් ම ඇති වූ රුධිර වර්ගය ‘ඕ’ වීම යි. ඒ හා බී ප්‍රමුඛ ජාන විකෘතියක් ලෙස ඇති වී තිබෙන අතර, තවමත් එය මිනිස් වර්ගයා තුළ බහුල වශයෙන් පැතිරී නැහැ.

තනුව හා ස්වර හඳුනා ගැනීම – iconcollective.edu

තනුව හා ස්වර හඳුනා ගැනීම

ලොව සැලකිය යුතු පිරිසකට යම් තනුවක් හඳුනා ගෙන, ඒ අනුව යම් ප්‍රමාණයකට හෝ ස්වර පරාස හඳුනා ගෙන ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. තවත් සැලකිය යුතු තරමේ පිරිසකට එම හැකියාව පිහිටා නැහැ. විශේෂයෙන් ‘කැරෝකේ’ හෙවත් තනුව සපයාගෙන ඒ අනුව ගායනා කිරීම ලොව ජනප්‍රිය වී තිබෙනවා. කෙසේ නමුත් මෙලෙස තනුව හඳුනා ගැනීම නිලීන ජානයක් නිසා ඇතිවන්නක් බැව් ඔබ දැන සිටියා ද? තනුවලට සංවේදී නොවීම ප්‍රමුඛ ලක්ෂණය වෙනවා. ලොව බොහෝ දෙනෙක් තනුවට  අනුව ගායනා කිරීමට හුරු වන්නේ එය නිරතුරු පුහුණු වීම මඟින්. උපතින් ඒ හැකියාව ඇති අය ‘ස්වභාවිකව, සුවිශේෂී ලෙස හැකියාව ලද්දන්’ ලෙස අප හඳුනා ගන්නවා. ලොව බොහෝ දෙනෙක් සාර්ථක ව තනුවට අනුව ගැයීමට ‘පුහුණු වන’ නිසා ලොව බොහෝ දෙනකුට එම හැකියාව ජානගත ව ම ඇති බව බැලූ බැල්මට පෙනී යනවා.

ස්වර හඳුනා ගැනීම ඇති වන්නේ ජාන කිහිපයක එකතුවක් මඟිනු යි. එම නිසා මෙය ලොව සෑම දෙනාට ම අඩු වැඩි වශයෙන් පිහිටන අතර, නිරතුරු පුහුණු වීමෙන් එම හැකියාව වැඩි දියුණු කළ හැකි යි. මේ හැකියා දෙක ම, එනම් තනුවට හා නිවැරදි ස්වරවලට අනුව ගැයීමට උපතින් ම හැකියාව ඇති අය ලොව දුර්ලභ යි.

ඇඟිලි පහක් සහිත අත් – sciencefocus.com

ඇඟිලි පහක් සහිත අත්

මිනිසුන්ට ඇඟිලි 5 ක් සහිත අත් පැවතීම නිලීන ජාන නිසා සිදුවන බැව් යමෙක් ඔබ හට ප්‍රකාශ කළහොත් ඔබ කිසි ලෙසකින් එය විශ්වාස නොකරනු ඇති. කෙසේ නමුත් එය එලෙස ඇතිවන්නේ නිලීන ලක්ෂණයක් වශයෙන් බැව් වර්තමානය වන විට විද්‍යාඥයන් සොයා ගෙන තිබෙනවා. ඇත්තෙන් ම ප්‍රමුඛ ලක්ෂණය වන්නේ ‘බහු අංගුලිකතාව’ යි. (වෙනත් ජානගත නිලීන රෝගී තත්ත්වයන් නිසා ද බහු අංගුලිකතාව හෝ ඇඟිලි අඩුවෙන් පැවතීම සිදුවිය හැකි යි ) ගාත්‍රාවක ඇඟිලි 6 ක් හෝ ඊටත් වැඩියෙන් පිහිටීම ප්‍රමුඛ ලක්ෂණයක් වෙනවා. එසේනම් ලොව මේ සා විශාල පිරිසකට ඇඟිලි 5 ක් සහිත ගාත්‍රා ඇති වූයේ කෙසේ ද යන්න පිළිබඳ ව බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා.

ගාත්‍රාවක ඇඟිලි 5 ට වැඩියෙන් පවතින ලෙස පිහිටන ප්‍රමුඛ ජානය ලොව විසිරී පවතින්නේ ඉතා අඩුවෙන්. එයට හේතුව නිසියාකාරයෙන් සොයා ගන්නට විද්‍යාඥයන් සමත් වී නැහැ. කෙසේ නමුත්, මේ නිසා එවැන්නන් ලොව හමුවන්නේ ඉතා අල්ප ව වන අතර, එය සුවිශේෂී ලක්ෂණයක් ලෙස මිනිස් ප්‍රජාව සලකනවා.

කවරයේ ඡායාරූපය - දියුණු ජීවීන්ගේ වර්ණ දේහ යුගළ වශයෙන් පිහිටන අතර, මිනිසාට වර්ණ දේහ යුගළ 23 ක් පිහිටනවා - Pau Bosch Castro 
මූලාශ්‍ර:
Ranker.com
Biologydictionary.net
Biologywise.com

Related Articles

Exit mobile version