වයෝවෘද්ධ වීමට හෙවත් ‘වයසට යන්න’ අපි කවුරුත් කැමති නැහැ. මෙලෙස වයසට යාම හැකි පමණින් නවත්වා ගන්නට අපි හැකි සෑම දේ ම කරනවා. විද්‍යාඥයන් ද කලක පටන්, මෙලෙස වයෝවෘද්ධ වීමට හේතු සහ එය අවම කර ගැනීමට පර්යේෂණ කරමින් සිටිනවා.
අමෙරිකා එක්සත් ජනපදයෙහි හාවඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ, වෘද්ධීතාව පිළිබඳ පර්යේෂණ සිදුකරන ආයතනය වන පෝල් එෆ්. ග්ලෙන් මධ්‍යස්ථානයේ, සම අධ්‍යක්ෂ, ජාන සම්බන්ධ මහාචාර්ය ඩේවිඩ් සින්ක්ලෙයා සහ ඔහුගේ කණ්ඩායම පසුගිය දා ප්‍රකාශ කළේ තමන් මිනිසුන්ගේ වයසට යාම පිළිබඳව වූ විශේෂිත ජානමය ඝටිකාවක් හඳුනා ගත් බව යි. මෙහි විශේෂත්වය වන්නේ මේ ඝටිකාව හැසිරැවීමෙන්, මිනිස් සෛල වයසට යාම වේගවත් කිරීම මෙන් ම, එය ආපස්සට හැරවීමත් සිදු කළ හැකි බැව් මහාචාර්ය සින්ක්ලෙයා පවසා සිටීම යි.
සෛල වෘද්ධීතාවට භාජනය වන්නේ කෙසේ ද?
මිනිසා ඇතුළු සත්ත්වයන්ගේ සෛල වයසට යාම සිදුවන්නේ කුමන ක්‍රමවේදයක් යටතේ ද යන්න පිළිබඳ ව කලක පටන් විද්‍යාඥයන් පර්යේෂණ පවත්වනවා.ඔවුන් වැඩිමනත් ම අවධානය යොමු කර තිබෙන්නේ සමහරක් විශේෂිත ඩී.එන්.ඒ. විකෘතිතා පිළිබඳව යි.
මේ විකෘතිතා ,කාලයත් සමඟ, සෛලවල සමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධා ඇති කර අවසනයේ එය මරණයට පත් කරන බවට, බොහො දෙනෙක් පිළිගත් මතයක් තිබෙනවා. කෙසේ නමුත්, මේ මතයට විරුද්ධ සාධකයක් ලෙස දැක්විය හැක්කේ, වෘද්ධීතාවට පත් වූ සෛලවල, තරුණ සෛලවලට සාපේක්ෂ ව විශාල වශයෙන් විකෘතිතා දක්නට නොලැබීම යි. විකෘතිතා බහුල ව ඇති සෛල ඉක්මනින් වයෝවෘද්ධ වන බවත් සොයාගෙන නැහැ.
අපිජනකවල සැඟවුණු රහස
වෘද්ධීතාව ඇති කරන සාධක සොයා යාමේ දී, එයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ විකෘති නොවන බව වටහා ගත් මහාචාර්ය සින්ක්ලෙයා සිය පර්යේෂණ වෙනතකට යොමු කළා. ඔහු මෙවර අවධානය යොමු කළේ, මිනිස් ගෙනෝමයේ කොටසක් වන ‘එපි ගෙනෝම’ හෙවත් ‘අපි ජනක’ වෙත යි. මිනිසකුගේ සියලු සෛල, එකම ජානමය ද්‍රව්‍ය දරද්දී, මේ සෛල කාර්යය විභේදනය කර, ව්‍යුහාත්මක ලෙස මෙන් ම කෘත්‍යාත්මකවත් විශේෂණය කරන්නේ මේ අපිජනක විසිනු යි.
මෙය ඒ ඒ සෛලවලට අදාළ වෙනස් පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමෙන් සිදු වෙනවා. මඳක් විස්තරාත්මකව කිවහොත්, යම් කෘත්‍යයකට අනුකූල ව යම් සෛලයක් විශේෂණය කරද්දී, ජාන කිටුවේ සමහර කොටස් ‘නිහඬ’ කිරීම සහ ‘ක්‍රියාත්මක කිරීම’ මෙමඟින් සිදුවෙනවා. මෙය සමාන වන්නේ, එකම වර්ගයේ රෙද්දකින් විවිධ ඇඳුම් මැසීම ට යි. මේ අපිජනකවල ප්‍රධාන කෘත්‍යය අවසන, සාමාන්‍ය දෛහික සෛලයක් යම් විශේෂිත පටකයක විශේෂණය වූ සෛලයක් බවට පත් වෙනවා.
සින්ක්ලෙයා ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කරන්නේ මේ අපිජනකවලට පර්යේෂණාගාර මීයන් වෘද්ධීතාවට පත්වීම ඉක්මන් කිරීමට මෙන් ම ප්‍රමාද කිරීමටත් හැකියාව තිබෙන බවට තමන්ට ඔප්පු වූ බව යි. ඒවාට ඊට විරුද්ධ ලෙස ක්‍රියාත්මක වී, තරුණ භාවය නැවතත් උදා කර දීමේ හැකියාව පවතින බව ද ඔවුන් ප්‍රකාශ කරනවා. මේ අනුව වෘද්ධීතාවට හේතු වන්නේ ජානවල අඩංගු විකෘතිතා යන මතයට විරුද්ධ ව ප්‍රබල සාධකයක් ගොඩනැඟෙනවා.
සින්ක්ලෙයාට අනුව කාලයත් සමඟ, මේ අපිජනකවල ‘සෛල විශේෂණය කිරීම’ සඳහා වූ දත්තවල වියැකී යාමක් සිදුවෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ සමහර අති විශේෂිත සෛල සහ පටක, නැවත නිෂ්පාදනයට ශරීරයට හැකියාව නොලැබීම යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වෘද්ධීතාව ඇති වෙනවා.
මෘදුකාංග මඟින් දෘඪාංග පාලනය කිරීම හා සමාන දෙයක්
සින්ක්ලෙයා ඇතු කණ්ඩායමේ නවතම පර්යේෂණ මඟින් මෙය සෑහෙන පමණින් තහවුරු වී තිබෙනවා. ඔහුට අනුව මෙය ඇත්තෙන් ම පරිගණක මෘදුකාංග මඟින් දෘඪාංග පාලනය කිරීම හා සමාන දෙයක්. මේ මෘදුකාංග සමහරක් කල් යාමේදී ‘කරප්ට්’ වීම හෙවත්, දත්ත හානි වීම්වලට භාජනය වන අතර, ඉන් පසු ඒවා ප්‍රතිස්ථාපනය කළ යුතු වෙනවා.
විද්‍යාගාර මීයන්ගෙන් ලැබුණු ප්‍රතිඵල අනුව සිංක්ලෙයා පවසන්නේ, වයසට යාම සෛල තුළ විෂ ද්‍රව්‍ය හෝ විකෘති ඇති වීම නිසා සිදුවේ නම්, මෙලෙස ඔවුන් නැවත තරුණ කිරීමට හැකියාව නොලැබෙන බව යි. සින්ක්ලෙයාගේ පර්යේෂණ අනුව විද්‍යාගාර මීයන් සාර්ථක ලෙස වෘද්ධීතාවෙන් මිදී, මඳ වශයෙන් හෝ තරුණ වන ලකුණු පෙන්වා තිබෙනවා.
පර්යේෂණ සිදු කළ ආකාරය
මෙම පර්යේෂණ සිදුකිරීමේ දී, සින්ක්ලෙයා ඇතුළු කණ්ඩායම, පර්යේෂණය සඳහා යොදා ගත් විද්‍යාගාර මීයන්ගේ අපිජනකවල ‘බැකප්’ එකක් ගබඩා කර ගෙන තිබෙනවා. මීයන් වෘද්ධීතාවට පත්වෙද්දී, ඔවුන්ගේ මේ අපිජනකවලින් නිකුත් කළ යුතු සමහර පණිවිඩ නිකුත් නොවන විට, ඒවා හඳුනා ගෙන, තමන් කලින් ගබඩා කළ දත්ත සහිත අපිජනක ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය කොට තිබෙනවා. සියලු දෙනා පුදුමයට පත් කරමින්, මේ අපිජනක මඟින් තරුණ මීයන්ගේ මෙන් පණිවිඩ නිකුත් වන්නට නැවතත් පටන්ගෙන ඇති අතර, ඒනයින් කලින් වෘද්ධීතාවට පත් වූ මීයන් තුළ, පෙර මෙන් ම සෛල විශේෂණය වීම ඇරඹී තිබෙනවා.
මෙලෙස කල්යත් ම අපිජනකවල දත්ත විනාශ වීමට දුම් පානය, විෂ රසායනවලට නිරාවරණය වීම ඇතුළු හේතු ගණනාවක් බලපා ඇති අතර, මෙවැනි අවස්ථාවලට ලක් කළ මීයන් ඉක්මනින් ම වෘද්ධීතා ලක්ෂණ පෙන්වනු සින්ක්ලෙයාට නිරීක්ෂණය වී තිබෙනවා.
අපිජනක නැවත සැකසීම
මොවුන්ගේ අපිජනක නැවත සැකසීම සිදු කර ඇත්තේ ඔවුන්ගේ අපිජනක සෛලවල වියැකී ගිය සමහර දත්තවලට අදාළ ජාන, ඔවුන්ගේ ම පැරණි ජානවලින් නැවත හඳුන්වා දීමෙනු යි. උදාහරණ ලෙස, මූලික වශයෙන්, වකුගඩු වල ක්‍රියාකාරීත්වය සහ සමේ යහපැවැත්ම පිළිබඳව වූ දත්ත සහිත ජාන මෙලෙස හඳුන්වා දී ඇති අතර ප්‍රතිඵල සාර්ථක වී තිබෙනවා.
ඔවුන් මේ සඳහා පෙර අවබෝධය ලබාගෙන තිබෙන්නේ, නොබෙල් ත්‍යාගලාභී ශින්යා යමනකාගේ දෛහික සෛල පිළිබඳව වූ පර්යේෂණ වාර්ථා අනුව යි. යමනකා 2006 වසරේදී දෛහික සෛලවලට, කාලයත් සමඟ වියැකී යන ජාන හඳුන්වා දී, ඒවායේ ක්‍රියාකාරීත්වය සාර්ථක ව ප්‍රතිස්ථාපනය කර තිබුණා. මෙමඟින් අවසානයේ ලැබුණු ප්‍රතිඵලවලින්, මීයන් 57% ක් පමණ ‘තරුණ’ වී ඇති බැව් සින්ක්ලෙයා වාර්තා කර තිබෙනවා. ඔහුට අනුව මේ ආකාරයෙන් ඕනෑම සෛලයක්, වෘද්ධීතා ඝටිකාවේ එහෙ මෙහෙ ගෙන යා හැකි යි.
මීයන්ට සාර්ථක වූ ප්‍රතිකර්මය මිනිසුන්ටත්?
විද්‍යාගාර මීයන් යොදා ගෙන සින්ක්ලෙයා සිදු කළ පර්යේෂණය, මිනිසුන් කෙරෙහිත් ප්‍රායෝගික ව ඒ ආකාරයෙන් ම සාර්ථක වේ ද? ලොව පුරා ජනතාව නගඟන මීළඟ ප්‍රබල ම පැනය එය වී තිබෙනවා. ඇත්තෙන් ම මේ පිළිබඳ ව පර්යේෂණ දැනටමත් සින්ක්ලෙයා ආරම්භ කර තිබෙනවා. ඔවුන් මිනිසුන්ට සමීප ප්‍රයිමේටාවන් යොදාගෙන පර්යේෂණ අරඹා ඇති අතර, ප්‍රතිජීවකයක් වන ‘ඩොක්සිසයික්ලින්’ට මේ ජාන ඇතුළත් කොට, ඒවා ප්‍රයිමේටාවන්ට ලබා දී නිරීක්ෂණය කිරීම මෙහිදී සිදු කෙරෙනවා. ඉන් නොනැවතී මිනිස් නියුරෝන, සමෙහි සෛල මෙන් ම සම්බන්ධක පටකවල ෆයිබ්‍රොබ්ලාස්ට සෛල ද ඈඳා ගෙන ඔහු සිය පර්යේෂණ නව මානයකට ගෙන යමින් සිටිනවා.
‘තිරිහන්’ වීමෙන් සමාජමය ගැටලු
2020 වසරේ දී සින්ක්ලෙයා මේ පර්යේෂණ මඟින් සාර්ථක ලෙස, වයෝවෘද්ධ මීයන්ගේ ඇස්වල නියුරෝන සෛල නැවත නිසි පරිදි ක්‍රියාත්මක කොට, ඔවුනට තරුණ කාලයේ මෙන් පෙනුම ලබා දුන්නා. මේ නිසා අනාගතයේ දී, වෘද්ධීතාව සම්බන්ධ සමහර රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමේ ක්‍රමත් නව මානයකට ගෙනයා හැකි වනු ඇති බව විද්වත් මතය යි. විශේෂයෙන් පඅනාගතයේදී හෘද රෝග, ඇල්සයිමර් රෝගය වැනි රෝගවලට ප්‍රතිකාර කිරීමට මේක්‍රමය යොදා ගත හැකි බවට ඔවුන් මත පළ කරනවා.
මේ පිළිබඳ බොහෝ දෙනා සුබවාදී ව කතා කරන විට, මේ ආකාරයෙන් ‘තිරිහන්’ වීමෙන් විශාල සමාජමය ගැටලු රාශියක් උද්ගත වනු ඇති බවටත් සමහරෙක් මත පළ කරනවා. මිනිසුන්ගේ සරුභාවය දිගට ම පැවතීම නිසා, ස්වභාවික ව සිදුවන මරණය ඇණහිට, උපත් දිගට ම සිදුවීම නිසා ලෝකය මිනිසුන්ගෙන් පිරී ඉතිරී යනු ඇති බවත්, පරිණාමික ක්‍රියාවලියට ඉන් බාධා පැනනඟිනු ඇති බවත් ඔවුන් පවසනවා. මේ සොයා ගැනීම කොයිබට ගමන් කරයි ද යන්න ඉදිරි දශක කිහිපයේ දී, බොහෝ දෙනකුට දැනගත හැකිවනු ඇති.